වර්ෂ 2018 ක්වූ  සැප්තැම්බර් 13 වැනිදා බ්‍රහස්පතින්දා




හැමදාමත් මිනිස්සු රැවටුණා ඉදිරියටත් රැවටෙනවා

හැමදාමත් මිනිස්සු රැවටුණා ඉදිරියටත් රැවටෙනවා

මොහාන් රාජ් මඩවල ‘කොළඹ’ ගැමියන් ගැන කියයි

බොහෝ නවකතා ලියවෙන යුගයක ඔහුගේ පස්වැනි නවකතාව ද පසුගිය දා දොරට වැඩියේ පාඨකයන්ගේ විවිධ ප්‍රතිචාර මධ්‍යයේයි. මොහාන් රාජ් මඩවලගේ නවතම නව කතාව 'ඛ්ර්‍ණඹ්ර්‍ණර්ඕර්‍ණ' පිළිබඳ යෙදෙන මේ කතා බහ ඒ නිමිත්තෙනි.

'COLOMBO' වැ නි නවකතාවක් රචනා කරන්නට ඔබ අදහස් කළේ ඇයි?

මේ කෘතිය රචනා කරන්නට කරුණු කිහිපයක්ම බලපෑවා. ඉන් එකක් තමයි ඉතිහාසයේ සිට කොළඹ නගරයේ ශීඝ්‍ර වෙනස් වීම. එහි දී හමුවෙන දෙවන ලෝක යුද්ධය, තාක්ෂණිය අතින් සිදුවන පෙරළිය මේ සියල්ල ගැන කතා කරන්න මට අවශ්‍ය වුණා.

*එදා සහ අද කොළඹ වෙනස් වීම ඔබ දකින්නේ කෙලෙසද?

වර්තමානයේ කොළඹ කියන්නේ හරිම ජනාකීර්ණ, නාගරික පරිසරයක් සහිත හරිම නොසන්සුන් නගරයක්. ගෙන්දගම් පොළව කියලයි කතාවට කියන්නේ. නමුත් ඇත්තටම බැලුවොත් මීට අවුරුදු අසූවකට සියයකට පෙර නිස්කලංක කලබලකාරී බවින් තොර සාමකාමී හාත්පසින්ම වෙනස් නගරයක් තමයි කොළඹ. ලෝකය වෙනස්වීමත් එක්ක කොළඹ ශීඝ්‍රයෙන් වෙනස් වෙන වාණිජ නගරයක් බවට පත්වුණා.

*‍ඓතිහාසික කොළඹ වටා ගෙතෙන කතාවක් ගැනයි මෙයින් පැවැසෙන්නේ?

අද පිටිසර ගමකවත් දක්නට නැති හද්දා පිටිසර ස්වරූපයක් එදා කොළඹ පැවැතුණා. අද වගේ යාන වාහන පිරී ඉතිරී එහෙට මෙහෙට යන කාර් වෑන් එදා කොළඹ තිබුණෙ නැහැ. ගොනුන් බැදි කරත්ත, රික්ෂෝවලින් කොළඹට අවේ ගියේ. පසු කලෙක ට්‍රෑම් කාර් ආවා.

අද වගේ නෙමෙයි මිනිස්සුත් ඉතින් ජැන්ඩියට ඇදගෙන නෙමෙයි කොළඹ ආවේ ගියේ. උඩුකයට කිසිවක් නැතිව සරම ඇඳගෙනයි කොළඹ ආවේ ගියේ. දැනට අවුරුදු සියයකට කළින් එවැනි හද්දා පිටිසර ගමක් තමයි කොළඹ තිබුණේ.මෙහෙම කොළඹක් තිබුණ ද කියලා හිතා ගන්න බැරි වෙලාවක ඒ පැවැති පැරැණි කොළඹ අපූර්ව බවත් මේ නවකතාවෙන් මට කියාපාන්න අවශ්‍ය වුණා.

* ඔබේ නවකතාවන්ට බොහෝ විට පාදක වන්නේ ලංකාවේ ඉතිහාසය. ඇයි ඒ?

ඉතිහාසය පාදක කර ගන්නේ පාඨකයාට වර්තමානය පැහැදිලි කරන්නයි. වර්තමාන සමාජ ප්‍රශ්නයම තමයි ඉතිහාසයේත් තිබිලා තියෙන්නේ කියන දේ පැහැදිලි කරන්න. ජීවිතය චක්‍රයක් වන විට සංසාරයත් චක්‍රයක්. ඒ වගේ ඉතිහාසයත් චක්‍රයක් වෙනවා. ඉතිහාසය තේරුම් ගන්න එක අපිට ජීවත් වෙන්නට පහසුවක් වෙනවා. උදාහරණයක් කියනවා නම් මේ කතාව නිමා වෙන්නේ බණ්ඩාරනායක අගමැති ලෙස තරගවදින්නට සූදානම් වන කාලෙදි ඔහුට උදව් කරන්නට එළිසබෙත් ඉදිරිපත් වීමෙන්.

බණ්ඩාරනායක අගමැති ලෙස තරග වදින කාලය ලංකා ඉතිහාසයේ අතිශය තීරණාත්මක කාලයක්. පංච මහා බලවේගය නිර්මාණය කර ගෙන පොදු ජනතාව එකතු කරගෙන අගමැති වෙනවා. එවිට මිනිස්සු හිතනවා එයා තමයි එකම ගැලවුම් කාරයා කියලා.

ඊට පෙර ඩී.එස් ගැනත් හිතුවෙත් එහෙමයි. එදා සිට අද දක්වාම පත් වූ සියලුම ජන නායකයින් ගැන ජනතාව හිතුවේ එලෙසයි. ඒත් මිනිස්සු බලාපොරොත්තු වූ දේ ඉටුවුණේ නැහැ. හැමදාමත් මිනිස්සු රැවටුණා. ඉදිරියටත් රැවටෙනවා. මේ යථාර්තය වක්‍රාකාරයෙන් මෙහි විද්‍යමාන වෙනවා.

*ඔබ පවසන අන්දමට මේ කෘතිය සත්‍ය සිදුවීම් ඇසුරින් නිර්මාණය වූවක්?

මෙහි එන බොහෝ සිදුවීම් සත්‍ය සිදුවීම් පදනම් කරගෙනයි රචනා වෙන්නේ. බම්බලපිටිය ප්‍රදේශයේ කොරනෙල් වලව්වක සිදු වූ සත්‍ය සිදුවීම් පදනම් කරගෙනයි මෙය රචනා වූයේ. කොරනෙල් වලව්වේ සිදු වූ දේවල්, බෝම්බ පිපිරීම්, කාපිරි මුඩුක්කුවේ සිදුවීම් සියල්ල ඉතිහාසගත සත්‍ය දේවල්.

*ඔබ නවකතා රචනයට ඉතිහාසගත මූලාශ්‍ර සපයා ගන්නේ කෙලෙසද?‍

ඉතිහාසය අනම්‍ය නැතිනම් ස්ථීරසාර දෙයක් වෙන්නේ නැහැ. ඉතිහාසය ගවේෂණය කරන දකින කෙනා අනූව එය වෙනස් වෙනවා. මම මේ කෘතිය රචනා කරන්නට කළින් අද අවුරුදු අසූවක් අනූවක් වයසැති මිනිසුන් සමඟ කතාබහ කළා. ඔවුන් ඒ අතීතය ගැන කියන සමහර දේ පරස්පරයි. ලේඛන ගතදේ පරිශීලනය කළා. ‍මම ලැබූ අත්දැකීම්, දැනුම උපකාර වුණා. මේ සියල්ලේ සංකලනයක් තමයි මේ කෘතියට මූලාශ්‍ර වන්නේ.

*මේ කෘතියේ යම් යම් සිදුවීම් අතිශයෝක්තියෙන් ගහණ බවක් පෙනෙනවා. පවතින යථාර්ථය තුළ ෆැන්ටසි ඉදිරිපත්වීම ගලාගෙන යන නවකතාවට බාධාවක් නෙමෙයිද?

අතිශයෝක්තිය, අපූර්වත්වය කියන්නේ අපේ සංස්කෘතියේ අනන්‍යතාවයක් ලෙසයි මම දකින්නේ. උදාහරණයක් ගනිමු අපේ බුද්ධ චරිතයට අනුව සිදුහත් කුමාරයා උපන් විගස නෙළුම් මල් හතක් උඩ සක්මන් කළා කියා කියනවා. මේ ගැන තර්ක කරන්න ගියොත් උපාසක අම්මලාගෙන් කනේ පාරක් කන්න වෙනවා.

නමුත් තාර්කිකව ඕන කෙනෙක්ට තේරෙනවා එහෙම වෙන්න බැහැ කියලා.ක්‍රිස්තු චරිතය ගත්තත් එහෙමයි. ක්‍රිස්තුන් වහන්සේ මුහුද උඩින් ඇවිද ගෙන ගියා කියලා කියනවා. මේ වාගේ විශ්වාස තිබෙනවා. ඒවා අතිශයෝක්තියෙන් යුතු කතා. මේවා හැම සංස්කෘතියකම පවතිනවා. මම කියන්නේ අතිශයෝක්තිය අපේ ජීවිත සමඟ බද්ධ වූ දෙයක්. මම හිත්නනේ එය කිසිසේත්ම භාධාවක් නොවෙයි.

*දෙවන ලෝක යුද්ධය මිනිස්සුන්ට බලපෑම් කළ අයුරු ඔබ කතා කරනවා ?

1980 -90 න් පසුව බොහෝ විට කොළඹ ගැන කතා කළේ එල්ටීටීඊ බෝම්බ පිපිරීම් ගැන. ඒත් 1942 දෙවන ලෝක යුද්ධ සමයේ ජපානය කොළඹට බෝම්බ දැම්මා. වරායට,ගෝල්ෆේස් පිටියට, රත්මලාන ගුවන් තොටුපොළට, අංගොඩට මේ බෝම්බ ඇද වැටුණා. එදා සිටි අයට මෙය ත්‍රාසජනක අත්දැකීමක් වුණා. මේ අත්දැකීමට සෘජුවම මුහුණ දුන්නේ එදා කොළඹ ජීවත් වූ මිනිස්සු. එයින් පසුව ඒ අය කොළඹ ජීවත් වෙන්න පවා බය වුණා. ඔවුන් කොළඹ අතහැරදාලා පිට පළාත්වල පදිංචියට ගියා.

එයත් මේ කෘතියට පාදක වෙනවා. දෙවන ලෝක යුද්ධය අපට බලපෑමක් නොකළත් 1942 කොළඹට බෝම්බ දැමූ සිද්ධිය හරි අනුවේදනීය අත්දැකීමක්. අපේ බොහොමයක් නිර්මාණ වලින් මේ සංසිද්ධිය, පසුබිම ගැන කතා කර තිබෙනවා බොහොම අඩුයි. මේ කෘතියෙන් ඒ ගැන කතා කරන්න මට හිතුණා.

*ලෝකයේ ඇති වූ තාක්ෂණය විද්‍යාත්මක දියුණුවත් මේ නවකතාවට අදාළයි?

1920-1950 වගේ කාලය තමයි මෙයට පාදක වෙන්නේ. මේ කාල සීමාවේ ලෝකය පුරාම නවීන විද්‍යාව එළියට එන කාල වකවානුව. නවතම තාක්ෂණික මෙවලම් අත්හදාබැලීම් එළියට එන කාලය.ග්‍රැමෆෝන් තැටිය, ගුවන්යානය, කැමරාව මේ කාලයේ මිනිසුන්ට මැජික් වගෙයි. ලෝකයේ ඇති වන මේ තාක්ෂණය ලංකාවට එන කාලයේ මුලින්ම ඒවා ගැන හැලහැප්පීම් ඇති වන්නේත් කොළඹයි. මේවා දකින කොළඹ ජීවත්වන හද්දා පිටිසර ගැමියන්ට මේවා මැජික් වගේ එදා පෙනුනේ. මේ සියල්ල ගැන කතා කරමින් ඒ ඇසුරින් තමයි 'ඛ්ර්‍ණඹ්ර්‍ණර්ඕර්‍ණ' නව කතාව ලියැවෙන්නේ.

*මේ නව කතාවේ එන චරිත ගැන කතා කළොත්?‍

මීට අවුරුදු අසූවකට සියයකට එපිට සමාජයේ ජීවත් වු චරිත තමයි මේ ඔස්සේ නිරූපණය වෙන්නේ. එව්ලින්, අව්රේලියා, සැම්සන්, ඊබට්, එළිසබෙත්, ලෙනින් කියන චරිත ඔස්සේ මේ කෘතිය රචනා වෙනවා. ඒ ඒ චරිත ඔස්සේ කියවන කෙනාගේ බුද්ධි මට්ටම මත එකල ජන සමාජය අවබෝධ කරගත හැකියි.

*ඔබගේ කෘති කියවන විට ඔබටම හිමි අනන්‍යතාවක් තිබෙන බව පෙනෙනවා?‍

ඒ ගැන මට සතුටක් තිබෙනවා. මට ආවේණික මම ලියන ශෛලියක් තිබෙනවා.මොනයම් ක්ෂේත්‍රයක හෝ කටයුතු කරන කෙනෙක් එයාටම හිමි අනන්‍යතාවක් හදා ගන්නවා කියන්නේ එය ලොකු සතුටක්.

*ඔබේ බලාපොරොත්තු?‍

මෙය මගේ අන්තිම නවකතා පොත වෙන්නත් පුළුවන්. ජීවිතේ කල්තියා කිසිම තීරණයක් මම ගන්නෙත් නැහැ. සැලැසුම් කරන්නෙත් නැහැ.