වර්ෂ 2018 ක්වූ  සැප්තැම්බර් 13 වැනිදා බ්‍රහස්පතින්දා




89 හැංගිලා ඉන්දැද්දි මාව ගෙනාවේ ලොකු තාත්තා

89 හැංගිලා ඉන්දැද්දි මාව ගෙනාවේ ලොකු තාත්තා

චන්දන ජයසිංහ

චන්දන ජයසිංහ මා මුලින්ම දුටුවේ ද වීඩියෝ ටීම් ආයතනයේ නිත්‍ය කැමරා ශිල්පියා ලෙසය. ඒ 1998 පමණ දීය. කාලය ගෙවී ගොස් වසර විස්සකට පමණ පසු ඔහු හමුවන්නේ සරසවිය සම්මාන උලෙළේ 2017 වසරේ හොඳම කැමරා අධ්‍යක්ෂවරයා ලෙස සම්මානය ලැබීමත් සමඟය. මේ එතෙක් මෙතෙක් ඔහුගේ ගමන් මඟ සහ සිනමාවේ ගමන පිළිබඳ ඔහුගේ අදහස් බිඳකි.

මොනවද මේ දවස්වල කරන අලුත් නිර්මාණ?

චිත්‍රපට දෙකක් කරනවා. සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර අධ්‍යක්ෂණය කළ ද නිවුස් පේපර් චිත්‍රපටයේ රූපගත කිරීම් කළා. සරත් වීරසේකර අධයක්ෂණය කරන විජය බා රජුගේ කතා පුවත සම්බන්ධ චිත්‍රපටයක කැමරා අධ්‍යක්ෂණ කටයුතුවලත් නිරත වනවා.

සරසවිය සම්මානය ගැන මොකද හිතෙන්නේ?

අවුරුදු 25ක කැප කිරීම වෙනුවෙන් මට ලැබුණු පළමු සිනමා සම්මානය 2017 වසරේ 28 චිත්‍රපටය වෙනුවෙන්. මට දැනෙන්නේ ජීවිතේ පළමුවරට සම්මානයක් ගත්තා වගේ සතුටක්.

කවුද ඔබට මතක් වෙන්නේ මේ වෙලාවේ?

මගේ ගුරුවරු තුන්දෙනෙක්. ඩොනල්ඩ් කරුණරත්න, සුමින්ද වීරසිංහ, චන්න දේශප්‍රිය වැනි ප්‍රවීණ කැමරා ශිල්පීන්ගෙන් ඉගෙනගත් දේවල්වලට පින්සිදු වන්න මෙවර නම් සාධාරණයක් විය යුතුයි කියා මටත් හිතුණා. ඒ ගුරුවරුන්ටත් ස්තුතිවන්ත වන අතර මගේ සතුට වැඩි වන්නේ මේ පළමු සිනමා සම්මානයම සරසවිය එකක් නිසායි.

සම්මානයක් සමඟ ඔබ ප්‍රමිතිගත වනවා?

කැමරා අධ්‍යක්ෂවරයකුට ශ්‍රී ලංකාව තුළ තිබෙන්නේ කුඩා වපසරියක් වුණත් චිත්‍රපට කැමරා ශිල්පීන් ඉන්නේ හත් අට දෙනෙකු පමණක් නිසා ඒ අතරින් සම්මානය ගැනීම ලොකු දෙයක්.

අද පවතින තාක්ෂණය ඔබට බලපාන්නේ කොහොමද?

තාක්ෂණය අතින් ගත්තාම අද රිදී තිරයේ චිත්‍රපට කරන අයත් නෑ. ඒ තාක්ෂණයත් නෑ.

ඒත් අපි එය හැදැරුවා. ඒ නිසා අපි මොබයිල් ෆෝන්වලින් හෝ 'ලෝ කොලිටි' වැඩ කරන තැන නොවේ ඉන්නේ.

ලෝකේ තාක්ෂණය අතර අපි ඉන්නේ 4ම් වලින් පටිගත කරන තැනයි. ඒත් අද ලෝකය 8ම් වෙලා. අපේ සිනමා ශාලා තවම තිබෙන්නේ තිබෙන්නේ 2ම් තාක්ෂණයේ. ඉතින් අපට තිබෙන ඒ තාක්ෂණික මෙවලම් භාවිත කරමින් අද ලේසියෙන් රූපගත කිරීම කර ගන්න පුළුවන් විදිහටයි තිබෙන්නේ.

ඒ පහසුව අද වගකීම් විරහිතබවකට පෙරළී ඇති බවට චෝදනා එල්ල වනවා?

ඇත්ත. ඒ පහසුව නිසා විෂයය ගැන අධ්‍යාපනයක් ඕන නැති තරමට අවිත්. ඩීඑස්එල්ආර් කැමරාවකිනුත් චිත්‍රපටයක් කරන්න පුළුවන්. සිනමාව ගැන ඉගෙනගෙන ඇවිත් කාචවල ගැඹුර ආදිය දැනගෙන සිනමා කැමරාකරණය කරන එකයි ඇත්තෙනම සාර්ථක. අද රස්සාව පවා ගෙදර ඉඳන් කරන කාලේ තාක්ෂණය හරියට දැනගෙන කරනවා නම් සුදුසු දේ සුදුසු විදිහට භාවිත කරන්න තේරුම් ගන්නවා. එහෙම නො කළාම වෙන්නේ ප්‍රමිතියක් නැතිව යන එකයි. ඕන කෙනකුට මෙය කළ හැකියි කියා සිතීමත් වැරදියි.

ඔබේ විසිපස් වසරක ගමන ගැනත් සිහි කරමු?

මම මුලින්ම වැඩ කරන්න පටන් ගත්තේ ශිරාන් ටෙලිසිනේ ආයතනයෙන්. මගේ ලොකු තාත්තා ඩොනල්ඩ් කරුණාරත්න තමයි මාව එතැනට ගෙනිච්චේ. අද මම ඉන්න තැනට එන්න නම් මේ විෂයය හදාරන්න ඕන කියන තැන එදා සිට ඔහු සිටියා. මම සාමාන්‍ය පෙළ කළාට පස්සේ ගෙදර නිකන් ඉන්න නිසා ඔහු ඒ යෝජනාව කළේ. 89/90 කාලේ තිබුණු වාතාවරණය අනුව මට ඒ ලෙවල් කරන්නත් බැරිව ගියා. හැංගිලා ඉන්න සිදුවුණා. ඒ කාලේ මාව ලොකු තාත්තා එතැනට ගෙනිච්චා. පස්සේ ටීවීටී එකේදි බොහෝ දෙනෙක් හමු වුණා. ඒ අතර පරාක්‍රම නිරිඇල්ල සහ රවීන්ද්‍ර ගුරුගේ යන දැවැන්තයන් හමු වුණා. ටීවීටී එකේදී මට සියලු තාක්ෂණික මෙවලම් අතපත ගාන්න ලැබෙනවා. එයින් තමයි මේ තැනට එන්න පදනම වැටෙන්නේ. මොකද මට මේ විෂය ගැන අමුතු හැඟිමක් ආවා. ඉතින් මට ඉගැන්වූ සියලු දෙනාට ස්තුතියි.

මෙය පළමුවන සිනමා සම්මානය වුවත් ටෙලි නාට්‍ය සම්මාන ඔබට ලැබුණා?

ඔව්. ටෙලි නාට්‍ය සම්මාන 7ක් පමණ ගන්න පුළුවන් වුණ. ඒවාත් තරමක වෙනසක් කරන්න උත්සාහ කළ ටෙලිනාට්‍ය. ඒත් මේ සම්මානය මගේ ජීවිතේ ලොකු ජයක් ලෙස දැනෙන්නේ එදා ඉඳන් රටේ පිළිගත් ආයතනයකින් පිරිනමන නිසා. ජනාධිපති හෝ සරසවිය සම්මානය කියන්නේ මේ රටේ කලාකරුවන්ගේ හීනයක්.

ඔබට එවැනි තවත් හීන තිබෙනවාද?

මගේ හීනයක් තිබුණා අන්තර්ජාතික චිත්‍රපටයක වැඩ කිරීමට. එය සැබෑ කරගන්න මට උදව් කළේ චන්ද්‍රන් රත්නම් මහත්මයා. ඔහු අධ්‍යක්ෂණය කළ 'අ කොමන් මෑන්' රංගනය සඳහා සර් බෙන් කිංස්ලි එනවා ප්‍රධාන නළුවා ලෙස ලංකාවට. එහි කැමරා අධ්‍යක්ෂණය මට පැවරුණා. ඒ වගේම ජැකලයින් ෆර්ඩිනන්ස් වැනි ශිල්පී ශිල්පිනියන් සහභාගී වූ මැතිව් පීරිස් පියතුමා සම්බන්ධව නිපදවුණු 'එකෝඩිං ටු මැතිව්' චිත්‍රපටය වැනි ඔහුගේ චිත්‍රපට 5ක් පමණ සඳහා මම කැමරාකරණය කළා මම. මේ සම්මානයට ඒ අත්දැකීමුත් බලපාන්න ඇති. තවත් හීනයක් තිබෙනවා. මගේ මිතුරන් කීපදෙනකුගේ චිත්‍රපට කීපයක් කැමරා අධ්‍යක්ෂ ලෙස කටයුතු කරනවා. ඒවා අවසන් කර තව අවුරුදු දෙකකින් පමණ කැමරා අධ්‍යක්ෂණය සහ අධ්‍යක්ෂණය දෙකම කරන්න තමයි ඒ හීනය.

දේශීය සහ විදේශීය නිෂ්පාදනවල කටයුතු කරද්දී දැනෙන වෙනස?

පෙර සැලසුම් කියන දේ බොහෝ උනන්දුවෙන් ප්‍රබල ලෙස ඔවුන් කරනවා. ඒ නිසා මුලින් හොඳට සැලසුම් කිරීම කෘතිය අග වෙනකල්ම පිලිවෙළකට කටයුතු කරන්න හේතු වෙනවා. අපි දකුණු අප්‍රිකාවේ සිෂෙල්ස් දිවයින් වල ඔවුන්ගේ සිනමාවට චිත්‍රපටයක් කළා. ඒ නළු නිළියන් සමඟ වැඩ කරද්දි මුලින් අපහසු වුණා භාෂාව තේරෙන්නේ නැති නිසා. සිංහල දෙමළ ඉංග්‍රීසි කොහොම හරි අපට තේරෙනවා. ඒත් ඒ භාෂා හාත්පසින්ම වෙනස්. පස්සේ අප දෙගොල්ලන්ටම ඉංග්‍රීසියෙන් කතා කරමින් යාළු වෙලා වැඩ කරන්න සිදු වුණා. ඒවා බොහොම රසවත් අත්දැකීම්. චන්ද්‍රන් රත්නම් මහත්මයා අධ්‍යක්ෂණය කළ 'අ කොමන් මෑන්' චිත්‍රපටයට හොඳම නළුවා සහ හොඳම අධ්‍යක්ෂණය සදහා මැඩරීඩ් උලෙළේ සම්මාන ලැබුණා. ශ්‍රී ලංකාවට අන්තර්ජාතික සිනමාව ගේන්නේ බොහෝ විට චන්ද්‍රන් රත්නම් මහත්මයා කීවත් වැරැදි නෑ. ඔහු සමඟ කටයුතු කළ පසු තාකෂණික නිලධාරීන් පවා අදින පලඳීන විදිහ වුණත් වෙනස් වෙනවා. වෘත්තීය සිනමා සංස්කෘතියක් ඇති වෙනවා.

වත්මන් සිනමාව ඔබ දකින්නේ කොහොමද?

මම ඒ පිළිබඳ කරුණු කීපයක් දකිනවා. එකක් සමහරු යුද්ධය විකුණාගෙන කෑම. මේ රටේ ස්ථාපිත සිනමාකරුවකුට මුදල් නොලැබුණාට ඒ වැනි නිර්මාණ කරන අයට මුදල් කොහෙන් හෝ ලැබෙනවා. අමතරව හමුදාව වගේම දුගී ගැමි ජනතාවගේ දුක විකුණාගෙන කෑමකුත් සිදු වෙනවා. සිනමාව කරන්න ඕන එය නොවෙයි. මට දැනේන්නේ මෙය එක්කෝ විකෘති මානසිකත්වයක් එහෙම නැත්නම් කාගේ හෝ බලපෑමට කරන දෙයක් ලෙසයි.

ඒත් ඔවුන් කියන්නේ ඒ සිනමාව අයිති කලාත්මක සිනමාවට කියලයි?

ආට් හවුස් නම් එතැන ටීම් එකක් තිබෙන්න ඕනා. ඒ දහ පහළෙස් දෙනා එක්වෙලා චිත්‍රපටයක් හදන්න ඕන. මේවා එහෙම නෙවෙයිනේ කෙරෙන්නේ. මේවායින් වන්නේ අපේ සමාජයේ වටිනාකකම් නැති වෙලා යන එකයි. ඔවුන් හිතනවා ඔවුන් වෙන තැනක ඉන්නවා කියලා. ඒත් මට හිතෙනනේ ඔවුන් කාගේ හරි යටතේ ඉන්නවා කියලයි.

අනතර්ජාතික උලෙළවලට චිත්‍රපට ඉදිරිපත් කිරීම ගැන ඔබ හිතන්නේ කෙසේද?

මමත් කැමතියි ඒ උලෙළවලට සහභාගී වන එකට. හැබැයි එහිදී ඇත්ත ඇති සැටියෙන් කළ චිත්‍රපට ඉදිරිපත් කළ යුතුයි. ආසියානු රටක් ලෙස ලංකාවේ පුද්ගලයකු පිළිබඳ ලෝකය එයින් හඳුනාගන්නවා. සමහරු බොහොම අමාරුවෙන් චිත්‍රපට කරන්නේ. ඔවුන්ට අන්තර්ජාතික සම්මානයකින් පිළිගැනීමක් ලැබෙනවා. ඒත් එය සාර්ථක වන්නේ අපේ සමාජයටත් හොදක් වුණොත් තමයි. මටත් ආසාවක් තිබෙනවා අන්තර්ජාතික උලෙළක් නියෝජනය කරන්න. මුදල හොයන්න බැරි නිසා එහෙම එකකට කලින් නිෂ්පාදකයා ගොඩ දා ගත හැකි කතාවක් ඒ කියන්නේ ජනප්‍රිය ධාරාවේ එකක් මුලින් කරලා පසුව කලාත්මක එකකට යන්නයි හිතන්නේ. දැනට පවතින් ටෙලි නාට්‍ය සහ චිත්‍රපට බහුතරයක් සරලයි බොලඳයි. ජනතාව ඊට වඩා දියුණුයි. දියුණු තාක්ෂණය සහ චැනල් බලද්දි ඒ අයට ගැළපෙන සිනමාවක් තමයි නිර්මාණය කළ යුත්තේ. ඒත් අපේ සමහරුන්ට ඊට ගැළපෙන සංකල්ප කල්පනා වෙන්නේ නෑ.

සිනමාවේ ඉදිරිය ගැන ඔබ දකින්නේ කොහොමද?

ඒ වෙලාවට නම් හිතෙනවා රට සුද්දාට තිබුණා නම් මීට වඩා හොඳයි කියලා. මොකද රටට සේවය කරන මිනිසුන් අඩුයි. මේ ක්ෂේත්‍රයේ ඉදිරි පැවැත්ම වෙනුවෙන් දැවැන්ත අධ්‍යක්ෂවරු දෙවැනි පෙළක් බිහි කරන්න උදව් කළ යුතුයි. එය සිදු වන්නේ නෑ. හැමදාම තමන්ගේ මඩිය තර කර ගන්න තමයි හදන්නේ. ඒත් සමහර විරල තැන්වලදී එහෙම උදව් කළ අවස්ථා තිබෙනවා. තමන්ගේ ආයතනයේ ආධුනික නිර්මාණකරුවන්ගේ හැකියාව බලන්න ටීවීටී ආයතනය පනස්දාහක් බැගින් දීලා නිර්මාණයක් කරන්න අවස්ථාව දුන්නා. එවැනි දේ මඟින් නවකයන් ඉදිරියට එනවා. ඒ වගේම සමහරු සහෝදර ශිල්පීන්ට පොල්ල තියනවා ඒවා එකක් දෙකක් වුණාම ආයෙ කාටවත් උදව් කරන්න හිතෙන්නෙත් නැ. එහෙමත් දේවල් තිබෙනවා. අපි තේරුම් ගත යුතු දේ තමයි සල්ලි නිසා නෙවෙයි අපි ජීවත් වෙන්නේ ජීවත් වෙන්නයි සල්ලි ටිකක් ඕනෙ. ඒ නිසා මම වැඩ හොයාගෙන යන්නේ නෑ. ආවොත් බාර ගන්නවා.