වර්ෂ 2018 ක්වූ  සැප්තැම්බර් 13 වැනිදා බ්‍රහස්පතින්දා




මට කරපු චෝදනාව මේ සම්මානයෙන් මැකී ගියා

මට කරපු චෝදනාව මේ සම්මානයෙන් මැකී ගියා

Manjula Ayagama

පසුගියදා උත්කර්ෂවත්ව නිමාවට පත් වූ සරසවිය සම්මාන උලෙළේදී 'ආදරණීය කතාවක්' සිනමා නිර්මාණයේ කලා අධ්‍යක්ෂණය වෙනුවෙන් කුසලතා සම්මානයකට හිමිකම් කියන්නට එහි කලා අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ මංජුල අයගම වාසනාව ලද්දේය. තම කලා දිවියේ දී සරසවිය සම්මානයක් ලද ප්‍රථම අවස්ථාව මෙය බව පවසන මංජුල ඔහු දිනූ සම්මානයේ සතුට වගේම ඔහුගේ කලා දිවියේ නවතම කලා තොරතුරු අප සමඟ බෙදා හදා ගත්තේ මෙපරිද්දෙනි.

මේ වන විට සම්මාන උලෙළ බොහොමයකින්ම සම්මානනීය වූ කලාකරුවෙක් ඔබ?

ඔව්. ලොකු සතුටක් දැනෙනවා. මුලින්ම ටෙලි නාට්‍ය සම්මාන උලෙළවලින් සම්මාන ලැබුණා. මේ වන විට සිනමා නිර්මාණ උදෙසා ද සම්මාන කිහිපයක්ම කලා අධ්‍යක්ෂණය වෙනුවෙන් මම ලබා තිබෙනවා.

ඒ සම්මාන ගැනත් කතා කරමු?

මම පළමුවෙන්ම සම්මාන ලද්දේ මම පළමුවම කලා අධ්‍යක්ෂණය කළ ටෙලි නාට්‍යයට වීම විශේෂයි. ඒ 'සඳ අමාවකයි' ටෙලි නාට්‍යයේ කලා අධ්‍යක්ෂණය වෙනුවෙන්. ඉන් පසුව 2011 දී 'බඹර වළල්ල' සිනමාපටයට හොඳම කලා අධ්‍යක්ෂක ලෙස සම්මානය හිමි වන්නේ ර්‍ණඛ්ධ්ඛ් සම්මාන උලෙළින්. ඊට අමතරව 'හෝගාණ පොකුණ' චිත්‍රපටයට ජනාධිපති සම්මාන කලා අධ්‍යක්ෂණය වෙනුුවෙන් මට හිමි වුණා. 2017 වසරේ ගොළු තාත්තා ටෙලි නාට්‍ය වෙනුවෙන් සිග්නීස් සම්මානය, සුමති ටෙලි සම්මානය කලා අධ්‍යක්ෂණය අරඹයා මට හිමි වුණා.

ඒත් සරසවිය සම්මානයක් ඔබට ලැබෙන්නේ මෙවරයි.

ඇත්තෙන්ම. එය ලොකු සතුටක්. කලාකරුවෙකුට ජීවිතයේදී සරසවිය සම්මානයක් ලැබෙනවා කියන්නේ ලොකු දෙයක්. ඕනෑම කලාකරුවෙකුගේ බලාපොරොත්තුව සරසවිය සම්මානයක් හිමි කර ගැනීමයි. ඒ වගේ අහිංසක බලාපොරොත්තුවක් මටත් තිබුණා. මෙවර හෝ සරසවිය සම්මාන උලෙළ පවත්වලා ඒ සිහිනය සැබෑ කරපු එක විශාල මෙහෙවරක්. පසුගිය කාලේ සරසවිය සම්මාන උලෙළ නවතා දමා තිබුණා. ඒ වසරවලත් සම්මාන උලෙළ පැවැත්වූවා නම් අනිවාර්යයෙන්ම මා වෙනුවෙනුත් සම්මානයක් හිමිවෙන්නට ඉඩ තිබුණා කියා හිතෙනවා. මොකද ඒ වසරවල මම දායක වූ සිනමා නිර්මාණවලට මෙවන් උළෙලයන්ගේ මට සම්මාන හිමි වුණා.

දැන් සරසවිය සම්මාන උලෙළ පැවැත් වෙනවා.

ඇත්තටම එය ඉතා හොඳ දෙයක්. මොන තරම් සම්මාන උලෙළවලින් සම්මාන ගත්තත් කලාකරුවෙකුට දැනෙන සම්මානයක් හිමි වන්නේ සරසවිය සම්මාන උලෙළින් තමයි. එය හරි සම්භාව්‍ය, හදවතකට දැනෙන පැරැණිම සම්මාන උලෙළ නිසා.

ඔබගේ පළමු පුවත්පත් සාකච්ඡාවත් මෙය බව පැවැසුවා?

ඔව්. මට සම්මාන උලෙළ හත අටකින් හොඳම කලා අධ්‍යක්ෂණයට සම්මාන හිමි වුණත් බොහෝ සම්මාන උලෙළවලට නම නිර්දේශ වී තිබුණත් කිසිම දිනෙක මා ගැන විස්තරයක් හෝ සාකච්ඡාවක් පුවත්පතක පළ වී නැහැ. සරසවිය පත්තරෙන් තමයි අද මගේ පළමු ලිපිය මා ගැන ලියැවෙන්නේ. ඒ ගැන සරසවියට මම ස්තුතිවන්ත වෙනවා.

සිනමා නිර්මාණයක හෝ ටෙලි නාට්‍ය නිර්මාණයක කලා අධ්‍යක්ෂණය පහසු කාර්යයක්ද?

එය හරිම අමාරු කාර්යයක්. කලා අධ්‍යක්ෂකවරයාට පැවරෙන වපසරිය වැඩියි. ටෙලි නාට්‍යයක පසුබිම, කොස්ටියුම් ගැළපීම මේ සියල්ල කලා අධ්‍යක්ෂවරයා අත තමයි තිබෙන්නේ.

ඔබ ක්ෂේත්‍රයට එක්වෙන අයුරු දැනගන්නට කැමැතියි?

මම මුලින්ම මතක් කරන්න ඕනෑ මේ ක්ෂේත්‍රයට මට එක් වෙන්නට අත දුන්නු මගේ ගුරුවරයා ගැන. ඔහු තමයි කේ. ඒ. මිල්ටන් පෙරේරා. මම මේ ක්ෂේත්‍රයට එක් වන්නේ 1992 වසරේදී පමණ. මම සාමාන්‍ය පෙළ හදාරන අවධියේදී රඟපාන්න හුඟක් ආසාවෙන් තමයි හිටියේ. ඒ වකවානුුවේ ර්‍ණ/ඹ් විභාගය කරලා ගෙදර හිටියේ. මට දැනගන්නට ලැබුණා මගේ මාමාගේ නිවෙසේ ටෙලි නාට්‍යයක් රූගත කරන බවක්. ඒ තිස්ස අබේසේකරයන්ගේ පිටගම්කාරයෝ ටෙලි නාට්‍යය. මමත් ගෙදර ඉඳලා පාදුක්කේ පෝරෙගෙදරට යනවා. ගියේ රඟපාන්න අවස්ථාවක් ඉල්ල ගන්නයි. මට එතැනදී හමුවෙනවා සුරුට්ටුවක් බිබී එතැන වැඩට සහාය වන කෙනෙක්. ගැමි මනුස්සයෙක්. නාට්‍යයේ පසුතලය සකසමින් හිටියේ. මම ඔහුට මගේ ආසාව කියනවා. ඉන් පසු ඔහු මට කියනවා 'මම කරන්නේ පසුතලය නිර්මාණය කරන එක, කාගෙන් හරි අහන්න' කියලා. පසුව මෙයා මට හුඟක් හිතවත් වෙනවා. ඒ තමයි මිල්ටන් අයියා. පස්සේ මාස තුනක් පමණ මේ නාට්‍යය රූගත කිරීම් එහිදී සිදු වුණා. මමත් ඔහුට සහාය වුණා. ඉන් පස්සේ උසස් පෙළින් පසුව දිගටම මම ඔහුට සහාය වෙවී සහාය කලා අධ්‍යක්ෂවරයෙක් ලෙස වැඩ කළා. මට මතකයි මේ නාට්‍යයේ මාලිනී, රන්ජන්, සබීතා රඟපෑවා. හරියටම මේ අය බලන්න සෙනඟ එනවා. ඒ 1993 දී විතර. සබීතාගේ විවාහ දර්ශනය රූගත කරන විට පොලීසියෙන් පවා යොදවන්න සිදු වුණා. ඒතරමටම සෙනඟ පිරී හිටියා. මේ විදිහට මිල්ටන් අයියත් එක්ක ඔහුගේ සහාය කලා අධ්‍යක්ෂවරයා ලෙස මම අවුරුදු අටක් නවයක් වැඩ කළා. මේ අතරතුර ඔහු මට කියනවා මංජු දැන් තනියම වැඩක් කරන්න ඕන නේද කියලා. ඒ දේ කිව්වේ මිහින්තලේ මහකනදරාව වැව ළඟදී. පස්සේ ඔහුම මට කිව්වා ඔයා ප්‍රසන්න ජයකොඩිගේ 'සඳ අමාවකයි' නාට්‍යයේ කලා අධ්‍යක්ෂණය තනියම කරන්න කියලා.

ඒ අභියෝගය ඔබ බාර ගත්තා?

ඔව්. හරිම සතුටින් බාර ගත්තා. එය තරමක් අපහසු වූ කර්තව්‍යයක් වුණා. 1998 - 99 දි විතර තමයි එය විකාශය වුණේ. මට ඒ නාට්‍යය වෙනුවෙන් හොඳම කලා අධ්‍යක්ෂක ලෙස සිග්නීස් සම්මානය හිමි වුණා.

ඔබ ආ ගමන් මඟ ගැන මොකද හිතෙන්නේ?

මම මෙතැනට ආවේ ස්ව උත්සාහයෙන්. මගේ ගුරුවරයා දිහා බලාගෙන ඉඳලා මම උකහා ගත් දෙයින් තමයි මේතරම් දුරක් අවේ. කිසිම විටෙක පාඨමාලා කරලා පන්ති ගිහින් ඉගෙන ගෙන මෙතැනට ආවේ නැහැ. නමුත් අද තාක්ෂණය, උපක්‍රම සමඟ මමත් මගේ දැනුම දියුණු කරගන්නවා. ඕනෑම පසුබිමක් නිර්මාණය කරන්න අවශ්‍ය දැනුම අවබෝධය අත්දැකීම් මා සතුව තිබෙනවා. ඒ වගේම කලා අධ්‍යක්ෂණය වෙනුවෙන් සම්මානනීය වුණු චිත්‍රපට ප්‍රවීණයන් ගැන සොයා බලා ඔවුන්ගේ නිර්මාණ අධ්‍යයනය කරනවා.

කලා අධ්‍යක්ෂණය කරත්දී එහි අසීරු වූ නිර්මාණත් ඇති?

ඔව්. මට මතක් වෙන්නේ සුදත් මහදිවුල්වැව අධ්‍යක්ෂණය කළ 'වනස්පති' ටෙලි නාට්‍යය. එහි රූගත කිරීම් සිදු කළේ කිතුල්ගල, තල්ගලදියි. තල්ගල කැලේ සෙට් ගැහුවේ. ගෙවල් සියල්ල හැදුවේ අපියි. කන්ද මුදුනට බඩු ඔසවාගෙන යන්න වුණා. මාස තුනක් විතර ඒ කට්ට කෑවා. ගොළු තාත්තා ටෙලි නාට්‍යයත් ඒ වගේ තරමක් අසීරු වූ නාට්‍යයක්. මේ කතාවට අවශ්‍ය පසුතල හැදුවේ තිස්සමහාරාමේ. ඒ ප්‍රදේශයේ හිඳුණු වැවක තමයි නාට්‍යයේ එන ගෙවල්, පාසල හැදුවේ.

ඔබ සම්මාන ලද 'ආදරණීය කතාවක්' චිත්‍රපටයේ ඔබට පැවරුණු අභියෝගය?

මට කරපු චෝදනා මේ නිර්මාණය ඔස්සේ මැකී ගියා. මොකද හුඟ දෙනෙක් කිව්වේ මංජුලට පුළුවන් ගැමි කතන්දරවලට උචිත පසුතල නිර්මාණය කරන්න විතරයි කියලයි. නමුත් මටත් නවීන වාණිජමය චිත්‍රපටවල පසුතල නිර්මාණය කරන්නට පුළුවන් බව මේ චිත්‍රපට ඔස්සේ මම ඔප්පු කළා. ආදරණීය කතාවක්, සුපර් සික්ස්, ප්‍රවේගය චිත්‍රපට එයට උදාහරණ වෙනවා.

ඔබගේ පෞද්්ගලික තොරතුරු මොනවාද?

මම විවාහකයි. බිරිය සජීවී කඩවත. අපට දරුවො දෙන්නයි. දෙදෙනාම රත්නපුරේ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ඉගෙනුම ලබනවා. මට මගේ බිරියගෙන් විශාල සහායක් මේ කටයුතු වෙනුවෙන් ලැබෙනවා. මාස ගණන් පිට ගිහින් මගේ කලා වෘත්තියේ නියැලෙන්නට මට අවකාශ ලැබී තිබෙන්නේ ඇගේ ඇති අපිරිමිත සෙනෙහස වගේම අවබෝධය නිසයි.

මොනවාද ඔබේ බලාපොරොත්තු?

ලංකාවේ හොඳ කලා අධ්‍යක්ෂවරයෙක් බවට පත්වෙලා ජාත්‍යන්තරය ජය ගන්න එකයි. ඒ වගේම මගේ ගුරුවරයා ගැනත් යමක් කිව යුතුයි. ඔහු මා වගේම තවත් ගෝලයන් පිරිසක් බිහි කළා. ඒත් අද ඔහු දෑස් නොපෙනෙන ලෙඩට ගොදුරු වී නිවෙසට වී කාලය ගත කරනවා. කවුරුවත් ඔහු බලන්න එන්නේ නැහැ. මම හැකි හැම විටම ඔහුව බලන්නට යනවා.