|
මාලිනියේ ඉන්ද්‍රජාලය - 2
ආචාර්ය ශෝමා ඒ. චැටර්ජි වසර 40 ක් පුරා ඉන්දියාවේ සිනමාව පිළිබඳ විචාරයේ නියුතු මාධ්‍යවේදිනියකි. ඇය ආචාර්ය උපාධිය ලබා ගත්තේ සිනමා අධ්‍යයනය සඳහාය. සිය සිනමා විචාර සඳහා 1991 වසරේ ජාතික සම්මානයෙන් පිදුම් ලැබූ ඇය හොඳම සිනමා කෘතිය සඳහා 2002 වසරේදී ජාතික සම්මානයෙන් පුදනු ලැබීය. සිනමාව හා ජනමාධ්‍ය තුළ කාන්තාව පිළිබඳ කෘති 22 ක් ඇය විසින් රචනා කර ඇති අතර කෙටිකතා රැසක් ද නිර්මාණය කර ඇත. ජාතික හා අන්තර් ජාතික සිනමා ජූරි රැසක් නියෝජනය කර ඇති ඇය 2012 වසරේ කල්කටා රොටරි සමාජය මඟින් ජීවිතයේ එක් වරක් පමණක් පිරිනමන ඉඒර්ර්ඒව් සම්මානයට ද හිමිකම් කියන්නීය
ශ්‍රී ලාංකේය සිනමාවේ අග්‍රගණ්‍ය සිනමාවේදියකු වන ධර්මසේන පතිරාජ අධ්‍යක්ෂණය කළ එයා දැන් ලොකු ළමයෙක් චිත්‍රපටයේ ඇය නිරූපණය කළ චරිතය වෙනුවෙන් මාලිනී 1978 වසරේ මොස්කව් අන්තර්ජාතික සිනමා උලෙළේ හොඳම කාන්තා ඉදිරිපත් කිරීම වෙනුවෙන් සම්මානයක් දිනා ගන්නට සමත් විය. පතිරාජට අනුව එම චිත්‍රපටයේ ඇය දැක්වූ විශිෂ්ට රංගන කෞශල්‍යය ජූරියේ සුවිශේෂි ඇගයීමට හේතු විය. නිව්යෝක් හි සිනමා විචාරකයකු සටහන් කර තිබුණේ සුසිලා ලෙස රංගනයේ යෙදෙන ශිල්පිනිය තුළින් ඔහු දුටුවේ ශෝකයේත් භීතියේත් සිනහවේත් ගැහැනිය බවයි. වයස අවුරුදු 15ක් වූ සුසිලාගේ චරිතය මාලනී රඟ දැක්වූයේ ඇය 30 වැනි වියේ පසුවද්දීය. පිබිදෙන භද්‍ර යෞවනියක වන සුසිලා ඇගේ සිරුරේ සිදුවන ලිංගික පරිනතිය හා එයට කුමක් කළ යුතුද යන්න පිළිබඳ නොදැන කෙතරම් තැවුලකින් ව්‍යාකූල වී සිටින්නියකද යන්න කෙතරම් විශ්වසනීය අයුරින් මාලිනී ඉදිරිපත් කළේද යත් ඇයගේ පසුබිම හෝ ජීව දත්ත පිළිබඳ නොදන්නෙකු ඇය ඒ වයසේ පසුවන්නියක් යැයි තදින් අදහනු නොඅනුමානය. මාලිනියගේ අගනා රංගනය ඇගේ දිගු නිහැඬියාවෙන් පෝෂණය වෙයි. ඇය කතා කරන්නේ ඇගේ දෑසිනි, ඇගේ ලැජ්ජාවෙන් පිරි සිනාවෙනි, ඇගේ සියොළඟ හා වෙළුණු සිරුරු බස මඟින් ඇගේ මවගෙන් ලබන හික්මීම නිසා නිහඬ කර තැබීමට ඇය උත්සාහ දරන වැඩෙන සිරුරේ හා එහි ප්‍රතිඵල පිළිබඳ තියුණු අවබෝධයක් ඇති ඇගේ නොසන්සුන් මානසිකත්වය පිළිබඳ යමෙකුට ඇත්තෙන්ම කියවා ගත හැකිය. ප්‍රධාන නිළිය ලෙස සිනමාවේ වසර හයක් ගත වද්දී, බඹරු ඇවිත් තරුණ හා නැඟී එන මාලිනියට අභියෝගයක් ඉදිරිපත් කළේය. එය සාම්ප්‍රදායික නොවන චිත්‍රපටයක අසාමාන්‍ය චරිතයකි. එක අතකින් ඇය ඇන්තනි යටතේ වැඩකරන ක්‍රිස්ටෝපර්ගේ දියණිය ලෙස තහනම් ප්‍රේමයක පැටලෙයි. අනෙක් අතින් තමන්ට ලස්සන යැයි සිතෙන මිනිහෙකු සමඟ සිය කැමැත්තෙන් යහන්ගත වූ බව කියන්නට ඇය නොපැකිළෙයි. ඇගේ පෙම්වතා මානසික පීඩාව නිසා සියදිවි නසාගත් විට ඇය වික්ටර් දෙසට හැරෙන්නේ කොළඹ කැටුව යන බවට ඔහු දුන් පොරොන්දුව ඉටු කරන්නේ කවදාදැයි ඇසීමටය. ඔහු කවදාහරි යැයි කියූ විට ඒ දවස කවදාවත් උදා නොවන බව දන්නා හෙලන් ඇගේ ඛේදවාචකය දරාගෙන නොහඬා ඇගේ ඉරණමට ඉඩ දෙයි. මාලිනී ඇය පෙනී සිටින සෑම දර්ශනයකම සෑම රූප රාමුවකම ඇගේ අභිනයෙන් සහ සිරුරු බසින් සියුම් ලෙස වෙනස්කම් කරමින් ඒ දසුන් රචනා කරයි. සොල්දාදු උන්නැහේ ඉදිරිපත් කරන්නේ ප්‍රධාන සමාජ ධාරාවෙන් නෙරපා පිටුවහල් කරනු ලැබූ ඇතැම්විට ඔවුන්ගේ කොන්වීම නිසාම එකිනෙකා මත යැපෙන එකිනෙකාට සෙනෙහස දක්වන පුද්ගලයින් සතරදෙනකු පිළිබඳවය. ඔවුන්ගෙන් එකකු දෙවැනි ලෝක යුද්ධයේදී බෝම්බ පහරකින් තැතිගත් මහලු සොල්දාදුවෙකි. විලී මහත්තයා ගෙයක් දොරක් නැති, සිය ලිපිකාර රැකියාවෙන් පන්නනු ලැබූ බේබද්දෙකි. ප්‍රේමක්කා තමන්ගේ හිත මිත්‍රාදීන්ගෙන් බැට කා ගණිකා වෘත්තියට නතු වූ ඇත්තියකි. සයිමන් ගැටකපන්නෙකු මෙන්ම ප්‍රේමක්කා වෙනුවෙන් පිම්පිකම් කරයි. සිනමා කෘතිය ගලා යන්නේ ශ්‍රී ලංකාවේ නිදහස් දිනය යෙදෙන පෙබරවාරි 4 වැනිදා අයත් දින තුනක කාලයකය. සොල්දාදු උන්නැහේ අන්තර්ජාතික කතෝලික සිනමා පර්ෂදයෙන් දශකයේ හොඳම සිනමා කෘතියට හිමි සම්මානය (1980-1990) හිමි කර ගත්තේය. බඩවියත රැකගැනීම වෙනුවෙන් අශිෂ්ට ලෙස ලිංගික කටයතුවල යෙදෙමින් සිය සිරුර විකුණන ප්‍රේමක්කාගේ භූමිකාව මාලිනී ෆොන්සේකා නිරූපණය කරන්නේ කිසිවකුටත් අනුකරණය කළ නොහැකි අයුරින් ඒ භූමිකාවට ආවේශ වී ඒ තුළ හිඳීමිනි. එක් අතකින් කායික හා මානසික පීඩාව නිසා ඇය තුළ ඇතිවන වෙනස්වීමේ ගුණය ප්‍රකාශ කිරීමට මාලිනීට ඇති හැකියාවත්, අනෙක් අතින් අනෙක් තිදෙනා සමඟ ඈ සතු එකමුතුබවත් ඇදහිය නොහැකි තරමට තාත්වික හා සසලකරවන සුලුය. ඇගේ සැබෑ ජීවිතයේ තිරයෙන් මෙපිට ඇති වැදගත්කමේ ප්‍රතිරූපය ඇය සියුම්ව අභිබවමින් ප්‍රේමක්කාගේ භූමිකාවට ගොඩ වන්නේ අත්නැති, ගොරහැඩි හැට්ටයකින් සැරසුණු, ඇබිබැම ගලවන ලද, විශාල මලක් හිසේ ගසාගෙන මහ හයියෙන් සිනාසෙන ගැහැනියක් ලෙසිනි. මතු සම්බන්ධයි...
විශේෂ ස්තූතිය - ඈෂ්ලි රත්නවිභූෂණ මහතාට |