වර්ෂ 2018 ක්වූ  සැප්තැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




තරුණයන්ට අත නොදුන්නොත් සිනමාවේ ඉදිරිය අවදානම්

තරුණයන්ට අත නොදුන්නොත් සිනමාවේ ඉදිරිය අවදානම්

Sasika Ruwan Marasinghe

අප සිනමා පටයක් රස විඳීන්නේ කරුණු දෙකක් පදනම් කරගෙනය. එකක් රූපයයි. අනෙක ශබ්දයයි. ඉන් එකක් හෝ අඩුපාඩු වුවහොත් සිනමා පටයෙන් වැඩක් නැත. තිරයෙන් පිටුපස සිදුවන මේ දැවැන්ත කාර්යයන් ඉටු කරන්නන් බොහෝ දෙනා හඳුනන්නේ නමින් පමණි. ශබ්ද සැලසුම්කරණය, ශබ්ද පරිපාලනය වැනි තනතුරක් යටතේ වර්තමාන සිනමා පට රැසක දකින සසික රුවන් මාරසිංහ පළමුවරට සරසවිය සම්මානයකින් පිදුම් ලබන්නේ මෙවර උලෙළේදී ආලෝකෝ උදපාදි වෙනුවෙන්ය. සිය විෂයය පිළිබඳ හසළ දැනුමක් ඇති ඔහු මෙරට සිනමා ශබ්ද පරිපාලන තාක්ෂණය පිළිබඳ මෙසේ කීවේය.

මෙය ඔබේ පළමුවැනි සරසවිය සම්මානය?

ඔව්. මීට පෙර මම සම්මාන හතරක් ලබා තිබෙනවා. සාක් අන්තර්ජාතික සම්මානය, කෙටි චිත්‍රපටයක් සඳහා චයිනීස් ස්ටූඩන්ට් උලෙළේ සම්මානයත්, කර්ම වෙනුවෙන් සිග්නීස් සම්මානය ලැබුණත් හෝ ගානා පොකුණ වෙනුවෙන් ඉන්දියාවේ ගිහින් සිටි නිසා එය මගේ අතින් ගන්න බැරි වුණා. කර්ම සඳහාම හිරු සිනමා උලෙළෙදී ලද සම්මානය වෙනුවෙන් තමයි මම පළමු වරට වේදිකාවකට නඟින්නේ. මෙවර ආලෝකෝ උදපාදි ශබ්ද සංකලනය වෙනුවෙන් සරසවිය සම්මානය සදහා වේදිකාවට නඟින්න මට වාසනාව තිබුණා.

ඒ වෙලාවේ මොකද හිතුණේ?

ඇත්තෙන්ම සිනමා ක්ෂේත්‍රයේ හැමෝම වගේ ්කියන්නේ සරසවිය සම්මානයක් නැත්නම් වැඩක් නෑ කියලා. ඒ නිසා මට පුංචි පසු තැවීමක් තිබුණා ඒ ගැන. මේ වර ලැබුණු සම්මානය හරි පුදුමයි මොකද වෙනත් උලෙළවල අපට පුංචි ඉඟියක් දෙනවා නිර්දේශ වෙලා තිබෙන බවට. ඒත් සරසවිය ක්‍රමය එසේ නොකිරීම බව මම දන්නේ නෑ. ඉතින් මගේ නම නිර්දේශ වෙලා කියලා කියද්දි හෘදස්පන්දනය තරමක් වැඩීයි වගේ තේරුණා. පස්සේ සම්මානය මට කියලා කීවාම ඇත්තටම හිතා ගන්නත් බැරුව ගියා. විශාල සතුටක් දැනුණා.

ඔබ අන්තර්ජාතික සම්මාන ලාභියෙක්නේ?

සාක් සම්මානය මම දන්න තරමින් ලංකාවේ වෙන කවුරුත් අරගෙන නෑ තමයි. ඒත් සරසවිය සම්මානය කියන්නේ හීනයක්. අනෙක මේ සම්මානය හරිම බරයි. ඒකත් මගේ දෑතටම වේදිකාවෙදිම දැනුණ එක අපූරුම අත්දැකීමක්.

ඒ කියන්නෙ නළු නිළියන්ට අධ්‍යක්ෂවරුන්ට වගේම තාක්ෂණ ශිල්පීන්ටත් මේ බර දැනෙනවා?

සම්මානයකින් ඇගයීමක් ලැබීම කියන්නේ ඉදිරියේදි අපේ වැඩකටයුතු ප්‍රමිතියක් ඇතිව, සැලසුම් සහගතව කළ යුතුයි කියන වගකීම හිතට එන්න හේතුවක්. මොකද ඒ සම්මානයේ ගෞරවය අපි ආරක්ෂා කර ගන්න ඕනා.

ඔබට සම්මානය පිදුවේ ඔබේ ගුරුවරයා අතින්මයි?

එය තමයි ලොකුම භාග්‍යය. මම හිතන්නේ ලංකාවේ ප්‍රථම වතාවටද දන්නෙත් නෑ ශබ්ද සැලසුම්කරණය සම්බන්ධව ගුරුවරයා අතින් ගෝලයා සම්මානයට පත්වන. ලයනල් ගුණරත්න මහත්මයා නැත්නම් ඇත්තෙන්ම මම මේ ක්ෂේත්‍රයෙත් නෑ. මම ආධුනික පුහුණු ශිල්පියකු විදිහට ජාතික චිත්‍රපට සංස්ථාවට අයත් සරසවි චිත්‍රාගාරයේ වසර දෙකක පුහුණු කාලයක් නිම කරලා ගෙදර යනවා. මම හිතුවේ උසස් අධ්‍යාපනය සඳහා පිටරට යන්න. ඒත් මම ඒ වසර දෙක තුළ දුන් දායකත්වය නිසා ලයනල් ගුණරත්න මහත්මයා විශේෂ ඉල්ලීමක් කරලා නැවත මාත් තව දෙදෙනෙකුත් චිත්‍රාගාරයට බඳවා ගත්තා. එතනින් පසු මම මගේ උසස් අධ්‍යාපන කටයුතු මේ ක්ෂේත්‍රයෙන් කරන්න තීරණය කරන්නේ. අද මම යම් තැනක ඉන්නවා නම් ඒ සියල්ල නියාමනයේ ගෞරවය ලැබිය යුත්තේ ලයනල් ගුණරත්න මහත්මයායි. ඉතින් ඔහු අතින්ම සරසවිය කියන බර සම්මානය ගන්න ලැබීම විශාල භාග්‍යයක්.

ශ්‍රී ලංකාවේ ශබ්ද තාක්ෂණය පිළිබඳ ඔබේ අදහස කුමක්ද?

මේ රටේ ශබ්ද තාක්ෂණය ගැන තිබෙන විශාලම කණගාටුදායක තත්ත්වය තමයි එකදු ප්‍රමිතිගත ශබ්ද මිශ්‍රණ ආයතනයක් නැති වීම. ඒ නිසා අපට ඉන්දියාවට යන්න සිදු වී තිබෙනවා. අප චිත්‍රපටයක් නරඹන ශාලාවක වටප්‍රමාණයක් සහිත ස්ථානයක තමයි ශබ්ද මිශ්‍රණය කළ යුත්තේ. ඒත් ඒ පහසුකම අපට නෑ. අනෙක ලෝකයේ ශබ්ද තාක්ෂණය ත්‍රීඩී ඕරා, ඩොල්බි ඇට්මොස් කියන තත්ත්වයට ඉහළ නැඟ තිබුණත් අපට තිබෙන්නේ 7.1 ශාලා දෙකක් පමණයි. අනෙක් සියල්ල 5.1 ඒවා. ඒ නිසා ශබ්ද තාක්ෂණය පැත්තෙන් අප ඉන්නේ 2000 වසර කාලයේ.

අපට එවැනි ශබ්දාගාරයක් හදන්න අපහසුතාවක් තිබෙනවාද?

මම දන්න තරමින් සිනෙ සිටි එක් ශාලාවක් පමණක් ඩොල්බි ඇට්මොස් ශබ්ද සහිතව නැරඹිය හැකි තත්ත්වයට පත් කර තිබෙනවා. ශබ්ද මිශ්‍රණය සඳහා රසායනාගාරයක් හදන්න නම් තරමක ලොකු වියදමක් යනවා. එය රජයකට නම් දරන්න පුළුවන් මුදලක්. ලක්ෂ 500ක් විතර.

එහෙම කළොත් අපට කොපමණ මුදලක් රටේ ඉතිරි කර ගත හැකි වෙයිද?

දැනට වසරකට චිත්‍රපට 40ක් පමණ නිෂ්පාදනය වනවා. ඉන්දියාවේ මිශ්‍රණ කටයුතු සඳහා ලක්ෂ හතරහමාරක් පමණ මුදලකුත් ගුවන් ප්‍රවේශපත් සහ ඉඳුම් හිටුම් සියල්ල සමඟ ලක්ෂ හතක් පමණ වැය වනවා. ඉතින් වසරකට ලක්ෂ 280ක් පමණ ඉතිරි කරන්න පුළුවන් මෙය ලංකාවෙදිම කළොත්.

හැබැයි ඉතින් සිනමා ශාලා ඒ තාක්ෂණයට නැති නිසා ප්‍රශ්නයක් වෙයි නේද?

මම නම් කියන්නේ එක තැනකින් පටන් ගන්න කියලා. මොකද සෝමරත්න දිසානායක මහත්මයා සූරිය අරණ ඩොල්බි තාක්ෂණයෙන් නිෂ්පාදනය කළ නිසා තමයි ලංකාව ඒ තාක්ෂණයට හැරුණේ. ඉදිරියේදි එක චිත්‍රපටයක් හෝ ඩොල්බි ඇට්මොස්වලින් කළොත් සිනමා ශාලා ඒකටත් සූදානම් වෙයි. මොකද එක දෙකක හරි මේ තාක්ෂණයෙන් චිත්‍රපට පෙන්වද්දි එයට ප්‍රේක්ෂකයන් ඇදෙන හැටි දැක්කාම අනෙක් අයත් ඉබේම වෙනස් කර ගනී.

ශාලා හිමියන්ට ඒ වියදම දරාගන්න පුළුවන් වෙයිද?

මෙහෙමයි. ඩොල්බි ඇට්මොස් 64 චැනල් යන්න බැරි නම් 16 චැනල් ක්‍රමය වැනි විකල්පයකට මුලින් යන්න පුළුවන් අඩු වියදමකින්.

ශබ්ද සංකලනය නැත්නම් මිශ්‍රණය පැත්තෙන් අපේ රට කෙබඳු තැනකද ඉන්නේ?

දැන් අපේ රටේ ශිල්පීන් ඒ පිළිබඳ බොහෝ උනන්දුයි. ඒ නිසා ලොකු තරගයක් තිබෙනවා. ශබ්ද සංකලන ශිල්පියකු කළ යුත්තේ ලබා දී තිබෙන රූපය ශබ්ද මඟින් තවත් තීව්‍ර කිරිමනේ... වර්තමානයේ ශිල්පීන් ඒ කාර්යයත් හොඳීන් සිදු කරනවා.

වත්මන් චිත්‍රපට ගැන ඔබේ අදහස කුමක්ද?

ලංකාවේ චිත්‍රපට නම් ප්‍රමිතිගත කිරීමක් අත්‍යාවශ්‍යයි. මොකද අද විශාලම ඛේදවාචකය තමයි සල්ලි තිබෙනවා නම් ඕන කෙනකුට චිත්‍රපටයක් කරන්න පුළුවන් වීම. එයින් අසාධාරණයට ලක් වන්නේ ප්‍රමිතිගත සිනමාකරුවන්. මම මෙහිදී සම්භාව්‍යද වාණිජද යන්න සලකන්නේ නෑ. ඒ දෙකම යම් ප්‍රමිතියකින් සිදු විය යුතුයි. ඒ වගේම සිනමා කර්මාන්තය රැකෙන්න නම් මේ වර්ග දෙකේම චිත්‍රපට නිෂ්පාදනය විය යුතුයි.

ඔබේ වෘත්තිය ගමන් මඟ ගැනත් කියමු?

ශබ්ද සැලසුම්කරණයට එද්දි ප්‍රවීණ නළු නිළියන්ගෙන් මට බොහෝ උපකාර ලැබුණා. ඔවුන් මේ තාක්ෂණය ස්වෝත්සාහයෙන් ඉගෙන ගත් අය හැටියට විශාල දැනුමක් සහිතයි. විශේෂයෙන් චන්න පෙරේරා අයියා තමයි මුලින්ම කල්පාන්තයේ සිහිනය කරද්දි මල්ලි උඹට මේක කරන්න පුළුවන් කියලා මුම්බායිවල චිත්‍රාගාරයකට අතහරින්නේ. එතකොට මම කිසිම චිත්‍රපටයක 5.1 තාක්ෂණයෙන් ශබ්ද මිශ්‍රණය කර තිබුණේ නෑ. කර්මවල ශබ්ද සැලසුම්කරණය පමණයි කරලා තිබුණේ. එතැනින් තමයි පන්නරය ලබා ගන්නේ. මගේ මුල්ම චිත්‍රපටය රෝස මල් සයනය. 2008 මට එකවර චිත්‍රපට දෙකක් ලැබෙනවා ශබ්ද සැලසුම් හා මිශ්‍රණයට. ඒ අනෙක තමයි මගෝඩි ගොඩයි. හැම තිස්සේම වගේ මට අන්ත දෙකේ සිනමා පට තමයි එකවර ලැබුණේ. හෝ ගානා පොකුණ හා රංජා වුණත් එහෙමයි. මම ඒ දෙවර්ගය සඳහාම එකවර මුම්බායි යන්නේ. ඒ ආයතනවල ශිල්පීන් පවා සතුට වුණා මම මේවා පටලවා නොගන්නා එක ගැන. 2007 වසරේ මම බැංගලෝරයේදී ශබ්ද තාක්ෂණය පිළිබඳ හැදෑරුවා. ඊට අමතරව බෙලෝන් ෆොන්සේකා නම් ප්‍රවීණ ගුරුවරුන් යටතේත්, ප්‍රසන්න විතානගේ මහත්මා මඟින් තපස්නායක් නම් මනිරත්නම් මහතාගේ ශබ්ද සැලසුම් ශිල්පියා යටතේත්, පසුව කබාලි, විවේකම් වැනි චිත්‍රපටවල ශබ්ද මිශ්‍රණය කළ උදය කුමාර් සහ රවී මුරුගන් වැනි අති දක්ෂ ශිල්පීන් සමඟ කටයුතු කිරීමෙන් විශාල පන්නරයක් ලැබුවා.

මේ වන විට ඔබ නියැළෙන කටයුතු මොනවාද?

මෑතකදි අභඵඩ නම් චිත්‍රපටයේ කටයුතු කළා. එය මේ රටේ වාණිජ සිනමාවේ වෙනම සන්ධිස්ථානයක් වෙයි කියා හිතෙනවා. ඉන්දික ෆර්ඩිනැන්ඩුගේ තවම නමක් නොයෙදූ චිත්‍රපටයකත්, චත්‍ර වීරමන්ගේ ආයු චිත්‍රපටයේත් කටයුතු කරමින් ඉන්වා.

ඔබේ ඉදිරි බලාපොරොත්තුව කුමක්ද?

පැහැදිලිවම තිබෙන ලොකුම බලාපොරොත්තුව ජාතික කර්තව්‍යයක් වශයෙන් නවීන තාක්ෂණයෙන් යුතු ශබ්ද මිශ්‍රණ මැදිරියක් අපේ රට තුළ, රජයේ හෝ පෞද්ගලික අංශයේ මැදිහත් වීමෙන් ඇති කිරීමට මගේ දායකත්වය ලබා දීම. මොකද අපට මානව සම්පත් ඕනෑතරම් තිබෙනවා. තාක්ෂණය විතරයි අඩු. තරුණ ශිල්පීන් බොහෝ දෙනකු ඉන්නවා තමන්ගේ හැකියාවන් එළි දක්වන්න විදිහක් නැතිව. ඔවුන්ට යම් අතදීමක් නොවුණොත් තවත් වසර දහයක් පමණ ගත වද්දී සිනමාව යන ගමන ඉතාම අවදානම් සහිත වේවි.