FEEDBACK
FEEDBACK
ගායක චලක චමුපතිට
දැන් තිරගත වන අප්පට සිරි චිත්‍රපටයෙන් සිනමාවට පිවිසුණු බව දැක්කාම හරිම
සතුටුයි. ඒ මොකද, මිල්ටන් පෙරේරා නැමැති ගායන ශිල්පියාගේ ආදරණීය පුත්‍ර රත්නයක් වීම
එහි විශේෂතම වූ හේතුව බව සඳහන් කිරීමට හැකිය. ඔබ ඔතනින් නොනැවතී තව තවත් චිත්‍රපටවල
ප්‍රධාන චරිතවල රංගනයේ යෙදෙන්න. විශේෂයෙන් ජනප්‍රිය ගණයේ චිත්‍රපටවල රඟපානවා නම් අද
මේ පවතින රැල්ලත් සමඟ ඉදිරියට යා හැකියි. ඔබ ඉතාම ඉවසීමෙන්, සන්සුන්ව අනවශ්‍ය ලෙස
කලබල නොවී අවශ්‍ය දේ තෝරා බේරාගෙන ඉදිරි කාලයේදී සිනමාවේ දිගු ගමනක් ඉදිරියට යාමට
පියවර ගන්න කියා ඔබව ප්‍රිය කරන රසිකයෙක් නිසා විශේෂයෙන්ම සඳහන් කිරීමට කැමැතියි.
ඔබට වාසනාවන්ත අනාගතයක් පතමි.
මිල්ටන් ප්‍රනාන්දු
මූදුකටුව
සිඳු යන්නේ කොහේද?
සිඳු ටෙලි නාට්‍යය දැන් නම් කොහේදෝ යනවා. ආරම්භය තරම් හොඳ නැහැ. දැන් නිධානයක්
සොයා හැමෝම දුවනවා. නාට්‍යය අවශ්‍ය නොවෙන තරමට දික් කරලා. නැවතීම කොතැනද
අධ්‍යක්ෂතුමනි.
ක්‍රිෂා
දළුවකොටුව
කමල් ඇයි නිහඬ
ඉතා සාර්ථක රංගනයන් බොහෝමයක් අපට දායාද කළ විශිෂ්ට රංගන ශිල්පී කමල් අද්දරආරච්චි
රංගන ශිල්පියා අද ඉතා නිහඬ දිවියක් ගෙවන්නේ රංගන දිවිය ගැන කලකිරිමෙන් ද, නැවත
රඟපාන්නේ නැද්ද? ඔහුට දීර්ඝායුෂ පතමි.
එස්. ඒ. සමන් කුමාර
කඩවලගෙදර
රොබින්ට දීර්ඝායුෂ
හැටේ හැත්තෑවේ දශකවල අපේ හදවත් තුළ ජීවත් වූ සිංහල සිනමාවේ දැවැන්ත සටන් නළු
රොබින් ප්‍රනාන්දු රංගන ශිල්පියාට දිර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි.
ඉඹුල්්ගොඩ අබේසිංහ
ශ්‍රියානි ජයසිංහ
අලව්ව
මතකයේ රැඳුණු ගී කෝ
ගුවන් විදුලි ඉතිහාසයේ එදා අප සවන් දුන් පැරැණි ගී කොතරම් අගේද, එම ගීත අද
කාලයටත් කොතරම් සුන්දර ද. ඒ ගී අපට දායාද කළ සියලුම කලාකරුවන් මතකය අවදි කළ ගුවන්
විදුලියේ වෙළෙඳ සේවයෙන් ප්‍රචාරය වූ මතකයේ රැඳුණු ගී වැඩ සටහන නැවත රසිකයන්ට
ශ්‍රවණය කිරීමට සලස්වන්නේ නම් කොතරම් හොඳද. නැවත එම වැඩසටහන ප්‍රචාරය කරන මෙන්
ඉල්ලා සිටිමි.
ප්‍රියන්ත හෙට්ටිආරච්චි
ගම්පහ
එදා නාමාවලිය අද කෝ
ඉස්සර සිංහල චිත්‍රපටවල නාමාවලියට ප්‍රමුඛත්වය දී තිබිණ. එමඟින් චිත්‍රපයේ රඟපාන
ප්‍රධාන නළුවා, නිළිය කවුරුන්ද කියාත්, විකට නළු නිළියන්, සටන් නළුවන්, සංගීත
අධ්‍යක්ෂණය, ගීත ගායනය කාගේද කියා හොඳින් දැනගත හැකි විය. තවද එකල එම නම් පෙළ තිරයේ
දිස්වෙන විට රසික කැල සතුටින් ඉපිල ගියේය. එය තිරය පුරාම විශාල ලෙස පැහැදිලිව
පෙනෙන්න විය. එහෙත් කියන්නට කනගාටුයි අද වන විට චිත්‍රපටවල, ටෙලි නාට්‍යවල ද
නාමාවලිය කියවන්න තවත් වාහනයක යා යුතුය. ඉතා කුඩාවට පැත්තෙන් පැත්තට වේගයෙන් දිස්
වෙයි. මෙය ප්‍රේක්ෂක අපටත් නිර්මාණවල ශිල්පීන්ටත් කරන බලවත් අසාධාරණයකි.
ජගත් චන්ද්‍රසිරි, පූජා ජගත්සිරි
පස්යාල
අමරසිරි කලංසූරියට
සිනමාවේ අහිංසක පෙම්වතා, පුංචි තිරයේ ප්‍රථම ටෙලි පෙම්වතා, ඔබේ රැඟුම් තවමත් අප
හදේ රැඳී ඇත. අපේක්ෂා, අහස් ගව්ව, යස ඉසුරු, පූජා, පොඩි විජේ, මල් වරුසා, අහස්
මාලිගා, වජිරා කීපයකි. තවත් වසර ගණනාවක් අපව පිනවීමට ඔබට හැකි වේවා! කලං ඔබට චිරං
ජයතු! නිරෝගී සුව!
නිට්ටඹුව
ආනන්ද සේනාරත්න
රොෂාන් පිලපිටිය වෙත
රේඛාව චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟපාමින් තිරයට ආ මල්ලිකා පිලපිටියගේ ආදර
පුතණුවන් වන ඔබ දීප්තිමත් රංගන ශිල්පියෙක්. ගායනයට ද දස්කම් පායි. වාදනයට ද එසේමයි.
'පිටගම්කාරයෝ' වැනි ටෙලි නාට්‍යයන් ද 'අම්මාවරුනේ' වැනි ශ්‍රේෂ්ඨ චිත්‍රපට තුළින් ද
ප්‍රේක්ෂකයන් තුළ ප්‍රසිද්ධය. දැනට ප්‍රවීණ නළුවකු වන ඔබ දක්ෂ විචාරකයකු බව ද ටෙලි
කතා තුළින් අප දැනගතිමු. ඔබට සදා ජය . අපගේ උණුසුම් ප්‍රතිචාර.
මීගමුවේ
ක්ලෝඩ් ද ලිවේරා සහ
නාලිනී ද ලිවේරා
ප්‍රේමකීර්ති යළි යළිත් සමරමු
අර්ථවත් රසවත් ගීත රාශියක් සිංහල කලා රසිකයන්ට දායාද කොට ගීත ලෝකය ඒකාලෝක කළ
ප්‍රේමකීර්ති ද අල්විස් නමැති ප්‍රබුද්ධයා සදා සැමරිය යුතුය.
සුනිල් චන්ද්‍රසේකර
කොටුගොඩ
දකින්නට පිං ලැබේවා
මිහිපිට පහළ වූ සුන්දර සුරඟනිය ඔබ විය හැක්කේ
ගීත ලොවේ මධුර ගී ගැයූ ගීත කෝකිලාවි ඔබ යැයි දැක්කේ
සීතාවන් මෙන් ගුණදම් නිරතුරුම පණ මෙන් රැක්කේ
මේ සසරේ ජීවමානව ඔබ දැකුමට පින ලැබේවා රුක්මණි අක්කේ
ආරියදාස පිංදෙණිය
පාදුක්ක
කේ. රාණි සදා සමරමු
සුජතා, සැඩ සුළං, අහංකාර ස්ත්‍රී, සූරයා, සූරසේන, මාතලන්, සිරිලී, වනමෝහිනී,
අංගුලිමාල වැනි චිත්‍රපටවල මනමෝහිනී හඬින් සිනමා රසිකයන් හද පින වූ ඒ අමරණීය
ගායිකාව මතකයේ රැඳේවා!
පානදුරේ, ගඟුලේ
රත්නසිරි අමරසේකර
එදා ගීත රසවත්
එදා ගායක, ගායිකාවන් ගුවන් විදුලියට, චිත්‍රපටවලට සහ වෙළඳ තැටිවලට ගැයූ ගීත
සියල්ලක්ම වාගේ හරිම රසවත්. අහන්න අහන්න ආසයි. නමුත් මෙදා ඇසෙන ගීත මෙලෝ රහක් නෑ.
අහන්නත් එපා වෙනවා. එදා ගීවලට අභියෝග කරන්නවත් මෙදා ගීවලට නොහැකි වී තිබේ.
ජයන්ත අමරතුංග
පොළොන්නරුව
හිමාලි සයුරංගි
අපට සිටින දක්ෂ චරිතාංග රංගන ශිල්පිනියන් අතර ඉහළ ස්ථානයක සිටින හිමාලි සයුරංගි
බොහෝ නිර්මාණකරුවන් මතක තබාගත යුතු ශිල්පිනියකි. ඔබගේ දක්ෂතාවන් තවත් පෙන්වීමට
එවැනි අවස්ථා ලැබ්වා කියා ප්‍රාර්ථනා කරමි.
නිමල් කුලසේකර
අඟුලාන
ප්‍රවීණ රංගනවේදී ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දුට
එදා ඔබේ රංගන ප්‍රතිභාව නිසා සිනමා රසික හදවත් අමන්දානන්දයට පත් විය. සටන්
ජවනිකාවලදී ඇසුණු විසිල් හඬ අද මතකයක් පමණකි. එදා අපි පෙම් බැඳි සිනමාව අද කොහේදෝ
ගිහිල්ලා. අපි නොදනිමු. නමුත් ඔබලා වැනි ශිල්පීන්ගේ නම් පමණක් මතකයක් ලෙස අපට ඉතිරි
කර ඇත. ඔබ සටන් ජවනිකා පමණක් නොව චරිතාංග ශිල්පියෙක් බවත් සමහර චිත්‍රපටවලින්
පෙන්නුම් කර ඇත. ඉන් එකක් නම් 'සරදියෙල්ගේ පුතා' හැඳින්විය හැකිය.
ඔබලා වැනි ශිල්පීන් රැක ගැනීම ජාතික මෙහෙවරක් හැටියට මම දකිමි. නමුත් මොකක්දෝ
අවාසනාවකට මේ රට පාලනය කළ උදවිය කලාවට සේවයක් කළාදැයි මම නොදනිමි. ඔබ වැනි ශිල්පීන්
අප රටේ ඕනෑ තරම් ඇති. ඔබත් ඇතුළු ඒ ශිල්පීන්ට පින් දෙමි අප සිනමාවෙන් සැනසුවාට!
එස්. පී. සොලමන්ස්
දූල්මුර
තලාතුඔය
දිල්හානිට සුබාසිරි
දිල්හානි ඔබ මෑතකදී රංගනයෙන් දායක වූ සෑම චිත්‍රපටයකම ඉතා උසස් මට්ටමින් රඟපා
ඇත. ඔබ යම් චරිතයක් ඉදිරිපත් කරද්දී අවස්ථාවට උචිත පරිදි මුහුණින් හැඟීම් ප්‍රකාශ
කිරීම ඉතාමත් තාත්විකය. දිල්හානි ඔබේ කලා දිවියට රසික අපගේ ආදරණීය සුභාසිරි.
කෙනත් පෙරේරා
ජාඇල

ඉන්දික ගිනිගේට
දක්ෂ රංගන ශිල්පියෙකු ලෙස නම රැන්දූ ඔබේ වියෝව දරන්නට බැරි තරම් දුකකි. 'දේදුනු
පාලම' ටෙලි නාට්‍යයේ ඔබේ රංගනය අමතක නොවේ. ඔබට නිවන් සුව.
රංජනී අමරසිංහ
වල්පොල
සුජාතා අත්තනායක
1956 වසරේදී එස්. එම්. නායගම්ගේ සොහොයුරෝ චිත්‍රපටයෙන් පසුබිම් ගායනයට පිවිසි
සුජාතා අත්තනායක මහත්මිය මේ වන විට ගීත රාශියක් ගායනා කර ඇත. සීගිරි කාශ්‍යප,
චිත්‍රපටයට හරුන් ලන්ත්‍රා සමඟ ගැයූ පිරුණා හද සන්තානේ, මහ රෑ හමු වූ ස්ත්‍රිය ජීවන
විල මැද අදටත් අසන්නට කැමැත්තෙමි. ඊට අමතරව මීදුම් වලාවන්, චන්ද්‍රා මේ රෑ පායා
ආවා, මල් සුගන්දේ, ආදරේ මන්දිරේ, මාගේ මතකේ ගීතත් තාමත් ජනප්‍රිය ඒවාය. සුජාතා
අත්තනායක නිළියන් කීප දෙනෙකුට ගීත ගයා ඇත. කලා ක්ෂේත්‍රයේ අම්මට සහ දුවට ගීත ගායනා
කළා. ගර්ලි ගුණවර්ධනට සහ සබීතා පෙරේරා, රෝහිණී ජයකොඩි, වීණා ජයකොඩිට සහ තලතා
ගුණසේකර ඇයගේ දියණිය නදීකා ගුණසේකරට ද ඊට අමතරව රීටා රත්නායක, සන්ධ්‍යා කුමාරි,
ක්ලැරිස් ද සිල්වා, මාලිනී, ගීතා, සුමනා, දිල්හානි ඇතුළු නිළියන්ට ගීත ගායනා කර ඇත.
මෙවැනි ගීත සිනමාව වෙනුවෙන් කැප වුණු අපේ සුජාතාට දිගාසිරි පතනවා.
ජාඇල කලඑළිය
සරත් සේනාධීර
ශ්‍රී නිමල් පද්ම කුමාර නිහඬ ඇයි?
ජනප්‍රිය රූපවාහිනී නිවේදකයකු වූද, ටෙලි නාට්‍ය හා චිත්‍රපට කිහිපයක පමණක් රඟපෑ
ජනාදරයට පත් වූ ශ්‍රී නිමල් පද්ම කුමාර ගැන කලක පටන් කිසිදු තොරතුරක් නැතිව නිහඬව
ඉන්නේ ඇයි කියන්න.
කෑගල්ලේ තිලකරත්න විල්වල සහ මැණිකේ විල්වල
තිසුරිට සුබපැතුම්
මාපිය සෙවණ රැකරණය නිරතුරුවම ලබමින් රසික අපගේ ආදරය නොඅඩුව ලැබූ තිසුරි තම හදවත
හඳුනාගත් ආදරණීය පෙම්වතා සුරාජ් සමඟින් ඇරඹූ යුග දිවිය සදාකාලික ආදරණීය බැඳීමක්ම
වේවා! දියණියනි නුඹට සුබම සුබ යුග දිවියක් මුළු ජීවිත කාලයටම පවතිත්වා. රසික අපගේ
ආදරණීය හෘදයාංගම සුබපැතුමයි මේ.
සුසිලා පතිරාජ
උස්වැටකෙයියාව
|