වර්ෂ 2018 ක්වූ  සැප්තැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




"ප්‍රේමය නම්" මටත් ඕන වුණේ වෙනස් වෙන්නයි

"ප්‍රේමය නම්" මටත් ඕන වුණේ වෙනස් වෙන්නයි

මෙවර සරසවිය සම්මාන උලෙළේ 2017 වසරේ හොඳම සංගීත අධ්‍යක්ෂණය වෙනුවෙන් සම්මාන දිනා ගත්තේ ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය රෝහණ වීරසිංහයන්ය. මින් ප්‍රථම සරසවිය සම්මාන 5 ට හිමිකම් කියූ රෝහණ වීරසිංහයන් මෙවර දිනා ගන්නේ 6 වැනි සරසවිය සම්මානයයි. (ආරාධනා - 1982 / ආදර හසුන - 1987 / සහරාවේ සිහිනය - 1991 / සෙයිලම - 1996 / විසිදෑල - 1998). සරසවිය සම්මාන ඉතිහාසයේ මෙතෙක් හොඳම සංගීත අධ්‍යක්ෂණය වෙනුවෙන් වැඩිම සරසවිය සම්මාන දිනා ඇත්තේ දිවංගත ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ය. ඒ සම්මාන අටකට හිමිකම් කියමිනි. දෙවැනි ස්ථානය හිමි වනුයේ ආචාර්ය රෝහණ වීරසිංහයන්ටය.

* මෙවර ඔබට හිමි වුණේ හොඳම සංගීත අධ්‍යක්ෂණය වෙනුවෙන් ඔබ දිනා ගන්නා 6 වැනි සරසවිය සම්මානය. ආපස්සට හැරුණොත් ඔබට මොනවද මතක් වෙන්නේ?

ඇත්තටම මට මතක් වෙන අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි මගේ පළවෙනි සරසවිය සම්මානය. ඒක කෙනෙකුට හීනයක් වගේ දෙයක්නේ. 1981 දී තමයි ප්‍රථමයෙන් ඒක මට ලැබුණේ. සම්මාන උලෙළ තිබුණේ 1982. චිත්‍රපටය විජය ධර්ම ශ්‍රී ගේ 'ආරාධනා'. මේ චිත්‍රපටයේ ගීත අද වනතුරුත් ජනප්‍රියයි. 'සීත අරණේ සුපුල් නාමල' ගීතයට තමයි සම්මානය ලැබුණේ. ඒක කවදාවත් අමතක වෙන්නේ නෑ. බලාපොරොත්තුවක්වත් නැති යුගයක ලැබුණු ඒ සම්මානය. ඒක හරිම සුන්දර අත්දැකීමක්. උලෙළකට ඇඳගෙන යන්න තරම් හරියට ඇඳුමක්වත් නැති යුගයක. ඒක සම සම්මානයක් හැටියට ගියේ එච්. එම්. ජයවර්ධනත් සමඟ. ඒ වෙනකොට සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ 'වදුල' චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කරලා තිබුණට ඒක තිරගත වෙලා තිබුණේ නෑ. 'ආරාධනා' තමයි තිරගත වුණු පළවෙනි චිත්‍රපටය. ඒකටම සම්මානත් ලැබුණා. දෙවැනි අවස්ථාව තමයි එච්. ඩී. ප්‍රේමරත්නයන්ගේ 'ආදර හසුන' (1987) සම්මාන ලැබීම. එකත් මට ජීවිතේ අමතක නොවන සිදුවීමක්. ඒ සම්මානය දෙන මොහොතේ මම පිටරට ගිහින් හිටියේ. මගේ නෝනා තමයි සම්මානය ගත්තේ.

* ඒ වගේම මොහොතක් තමයි මෙවරත් උදා වණේ. සම්මාන දෙන කොට ඔබ ලංකාවේ හිටියෙ නෑ නේද?

මගේ මතකයේ හැටියට අවස්ථා තුනකදීම මට සරසවිය සම්මානය පිළිගන්න එන්න බැරිවෙලා තිබෙනවා. පළවෙනි අවස්ථාව 1987 දී මම 'ආදර හසුන'ට ලැබුණු සම්මානය. ඒ වෙනකොට මම එංගලන්තයේ සංගීත ප්‍රසංගයක හිටියේ. ඊට පස්සේ 1996 දී 'සෙයිලම' චිත්‍රපටයට ලැබුණු සම්මානය ගන්න එන්න බැරි වුණේ එවර සරසවිය සම්මාන උලෙළට පසු දින තමයි සුමති සම්මාන උලෙළ පැවැත්වුණේ. එහි සංගීත අධ්‍යක්ෂවරයා වුණේ මම. සරසවිය සම්මාන උලෙළ දවසේ තමයි රියසල් යෙදිලා තිබුණේ. මම සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ රියසල්වල ඉන්නකොට තමයි සම්මානයක් ලැබුණා කියන ආරංචිය ආවේ. එදා සම්මාන උලෙළට නෝනයි පුතයි ගිය නිසා පුතා ගිහින් සම්මානය අරන් තිබුණා. මෙවර උදා වුණේ තුන්වැනි අවස්ථාව. මේ පාර නම් පවුලේ ඔක්කොම අපි දඹදිව වන්දනාවක හිටියේ. සම්මාන උලෙළට පසු දින තමයි ලංකාවට ආවේ. ගෙදර ඇවිත් පොඩ්ඩක් නිදාගන්න හදන කොට 'කුලේ' (කුලරත්න ආරියවංශ) කතා කරලා සුබ පැතුවා. මම ඇහුවා මොකටද කියලා. 'ඇයි මචං උඹට ඊයේ සම්මානයක් ලැබුණනේ' කිව්වා. මේ පාර කුලේගේ පුතා වින්දන තමයි ගිහින් සම්මානේ අරගෙන තිබුණේ. පහුවදාම ඔවුන් මට සම්මානය ගෙදරට එවලා තිබුණා. සරසවිය සම්මාන හා සම්බන්ධව මගේ ජීවිතේ එවැනි අත්දැකීම් තිබෙනවා.

* මෙවර ඔබට සම්මානය හිමි වෙන්නේ වින්දන හා කල්පන ආරියවංශගේ 'ප්‍රේමය නම්' චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය උදෙසා. සිනමාවේ අනාගකය රැඳි තරුණ පරපුර සමඟ වැඩ කිරීම කොයි වගේ අත්දැකීමක්ද?

මම හුඟක් චිත්‍රපට කරලා තියෙන්නේ එච්. ඩී. ප්‍රේමරත්න, මහාචාර්ය සුනිල් ආරියරත්න, සෝමරත්න දිසානායක වැන්නන් සමඟ. එච්. ඩී., සුනිල් ආරියරත්න වැන්මෝ 70 දශකයේ සිටම සිනමාවේ හිටපු අය. සෝමේ ඊට පස්සේ සිනමාවට ආපු කෙනෙක්. මේ හැමදෙනාම චිත්‍රපට සංගීතයේදී ගීතයේ මිහිර පිළිබඳව හුඟාක් උනන්දුවෙන් බලාපොරොත්තු වුණු අය. 'ප්‍රේමය නම්' චිත්‍රපටය කරත්දී මට මුණ ගැසුණේ ඊට වෙනස් පරපුරක්. ඔවුන් නව අදහස්, නව තාක්ෂණය පෙරටු කොටගෙන ගමන් කරන්නන්. කතා තේමාවන් පවා ඔවුන්ගේ වෙනස් මාදිලියක්. ඒකට අවතීර්ණ වෙන්න ටිකක් මහන්සි වෙන්න වුණා. විශේෂයෙන් වින්දන හා කල්පන ගැන සඳහන් කරන කොට ඔවුන් සිනමාව හදාරලා ලෝකයේ ඉහළ ගණයේ සිනමා නිර්මාණ නරඹලා, නව තාක්ෂණය පිළිබඳවත් හොඳ අත්දැකීමක් ඇතුව ආපු අය. මේ කතා තේමාවත් හරි අමුතු එකක්. මානසික ඝට්ටනයක් තියෙන්නේ. මේ සියල්ල අවබෝධ කරගෙන ඔවුන්ට අවශ්‍ය සංගීතය නිර්මාණය කරන්න මට වෙනස් වෙන්න සිද්ධ වුණා.

* වින්දනට කල්පනට ඕන වුණේ වෙනදට ඔබ නිර්මාණය කරන සංගීතය නොවෙයිද?

ඇත්තටම නෑ. ඔවුන්ට ඕනෑ වුණේ වෙනදට කරන තේමා සංගීතයවත් නොවේ. ඒගොල්ලන් හැම වෙලේම සෑහීමකට පත් කරන්න අමාරු වුණා. දැන් චිත්‍රපටයට සංගීතය පටිගත කරලා දුන්නට පස්සේ නැවත නැවත ඒක සංශෝධනය කරන්න ඔවුන්ට ඕනෑ වුණා. කිසි දේකින් එක සැරේ සෑහීමකට පත් වෙන්නේ නෑ. චිත්‍රපටයේ සංගීතය පටිගත කළේ සුරේෂ් මාලියද්ද. අන්තිමේ ඔහුටත් කරදරයක් වෙන තරමට නැවත නැවත වෙනස් කරනවා. මේ දෙන්නට දෙන්නත් වෙලාවකට එක මතයකට ගේන්න අමාරුයි. දෙන්නා සාකච්ඡා කළත් වෙලාවකට දුවගෙන ඇවිත් 'අනේ මාමේ මෙතන වෙනස් කරමුද' අහනවා. කොහොම නමුත් අන්තිමේ හොඳ නිර්මාණයක් බිහි වුණා.

* දැන් ඒ වෙනස් කිරීම් කරදර කිරීම් හොඳයි කියලා හිතෙනවද?

ඇත්තටම ඔව්. ඔවුන්ගේ තීරණ නිවැරැදියි. මටත් ඕන වෙනස් වෙන්න නේ. කවුරු හරි කියලා මාව වෙනස් කරනවා නම් ඒක මගේ ඉදිරි ගමනටත් හොඳ දෙයක්.

* මෙවර සම්මාන උලෙළේ බොහොමයක් සම්මාන දිනා ගත්තේ නව පරපුර. චිත්‍රපට පසුබිම් සංගීතය පැත්තෙනුත් බොහෝ සම්මාන දිනා ගත්තේ නවකයින්. හැබැයි මේ නවකයින් අතර ඔබ තවමත් තරඟකාරීව. වරෙක නිර්දේශිත නාමයන් අතරට එනවා. වරෙක සම්මානය දිනා ගන්නවා. ඔබට ඔබ ගැන මොකද හිතෙන්නේ?

අද මේ නවකයින් විඳින්නේ පෙරදා මම වින්ද අත්දැකීමක්. 1981 නවකයෙක් විදියට සම්මාන ලබලා මම වින්දෙත් ඔය සතුටමයි. ඒ ගැන මට අමුතුවෙන් විග්‍රහ කරන්න ඕන නෑ. මට ඒ ලැබිච්ච සතුට අද අලුත් පරපුර විඳින කොට මට සතුටුයි. අනෙක් පැත්තෙන් මට සන්තෝස වෙන්න පුළුවන් දශක ගාණක් ගිහිල්ලත් මම ඒ තරඟකරුවන් අතර ඉන්න එක ගැන. නිර්දේශ වෙනවා කියන එකත් එක පැත්තකින් සම්මානයක් ලැබුණා වගේ. එදා 'ආරාධනා' චිත්‍රපටය වෙනුවෙන් සම්මාන දිනලා මට ලැබුණ ප්‍රහර්ෂය අද නව පරපුර විඳින කොට මම ඔවුන්ට උපේක්ෂාවෙන් ආශිර්වාද පිරිනමනවා. ඒක නිසා තමයි මට අදත් ඉන්න පුළුවන් වුණේ. ආපහු හැරිලා බලන කොට ඒක මට ලොකු සතුටක්.

* නව අදහස් රැගෙන එන තරුණ පරපුරත් එක්ක ඔබ අලුත් වෙන්න ලෑස්තිද?

අද චිත්‍රපට සංගීතයේ තිබෙන්නේ චිත්‍රපට ගීත මත්තේ යැපෙන ජනප්‍රිය ක්‍රමය නෙවෙයි. සිනමාත්මක සංගීතයක් දැන් හැම කෙනෙක්ම බලාපොරොත්තු වෙනවා. අද අලුත් පරපුර චිත්‍රපට ලෝකයේ තිබෙන හොඳම චිත්‍රපට බලනවා. එවායින් අත්දැකීම් ලබා ගන්නවා සහ යාවත්කාලීන වෙනවා. සිනමා ප්‍රේක්ෂකයිනුත් එහෙමයි. එතෙන්දි අපි පුරුදු වෙලා ඉන්න සාම්ප්‍රදායික ක්‍රමයෙන් අපිව ඇදගෙන යන්න ඔවුන් උත්සාහ කරනවා. එවිට අපි නම්‍යශීලී වෙන්න ඕනෑ. අපිත් ඒ මට්ටමේ නිර්මාණ අත්විඳලා අපිත් දැනුම්වත් වෙන්න ඕන. මේ දවස්වල සෝමරත්න දසානායකගේ නවතම චිත්‍රපටය වන 'සුනාමි' චිත්‍රපටයේ සංගීත කටයුතු කරමින් ඉන්නවා. ඒ ගැන මම සුවිශාල අධ්‍යයනයක ඉන්නවා. දැන් තාක්ෂණය ඉතාම දියුණුයි. ඒ හරහා අධ්‍යයනයත් ඉතාම පහසුයි. අනෙක් පැත්තෙන් පසුබිම් සංගීතය පටිගත කිරීමේ නව තාක්ෂණික ක්‍රමෝපායන් ගැන අපි හදාළ යුතුයි.

* අලුත් පරපුරත් එක්ක වැඩ කරත් දී සමහර විට නොගැළපීම්, පරම්පරා ගැටීම් ඇති වෙන අවස්ථා තිබෙනවා. ඒ ගැන අත්දැකීම් ඔබට නැත්ද?

නෑ. මම කවදත් නම්‍යශීලී මනුෂ්‍යයෙක්. මට ඒකයි මෙච්චර කල් වැඩ කරන්න පුළුවන් වුණෙත්, මෙච්චර පිරිසක් එක්ක වැඩ කරන්න පුළුවන් වුණෙත්. අනිත් පැත්තට නව පරපුර ශාස්ත්‍රය හදාරලා එන පිරිසක් වුණාම අපිට ඒගොල්ලන්ගේ ඉල්ලීමකට පිටුපාන්න බැරි වෙනවා. තර්කානුකූලව ඔවුන් ඒක වටහලා දෙනවා. එවැනි පිරිස් තමයි ඉදිරියට ඕන කරන්නේ.

* චිත්‍රපට සංගීත නිර්මාණයෙන් ඔබ්බට මේ දිනවල ඔබේ සූදානම?

මේ දවස්වල සූදානම් වෙන්නේ මගේ ඒක පුද්ගල ප්‍රසංගයකට.ඒක නම් කරලා තිබෙන්නේ 'සුදු මුතු රළ පෙළ' නමින්. මේකට තේමා වෙන්නේ මගේ සිනමා ගීතාවලිය. මගේ සංගීත නිර්මාණයන්ට දායක වූ පණ්ඩිත් අමරදේවයන්ගේ සිට අද සම්මාන ලබන දුමාල් වර්ණසූරිය දක්වා මගේ ජනප්‍රියම සිනමා ගී එකතුව මේ හරහා රැගෙන ඇවිත් එහි අසිරිය විඳින්න සූදානම් වෙන්නේ මගේ 70 වැනි ජන්ම දිනය නිමිතිකොට ගෙන එළඹෙන ජනවාරියේදීයි.