|
බහිනවා, ඩික්සන් ගෙයින් එළියට
මෙතෙක් සිදු වූයේ මෙහෙමයි නිළියක් වීමේ අභිලාෂය ඇතිව රඟපෑමට වරම් සොයන බිනරි ගේ හිතවතා වූයේ විනෝද්ය.ඉහළ බලාපොරොත්තු ඇතිව නාට්‍යයක් නිර්මාණය කරන්නට යන විනෝද් ගේ සිහින බොඳ වනුයේ නොකළ වරදකට පොලිස් අත් අඩංගුවට පත්වීම සමගය.එයින් පසු ඔහු කොළඹ අතහැර යයි.බිනරි මනෝජ් නම් තරුණයකු හා විවාහ ව ඉතාලියට යයි.පස් වසරකට පසු ඇය ආපසු එන්නේ කටුක විවාහ දිවියක අත්දැකීම් එක්කය.ඒ වන විට කොළඹ පිටකොටුවේ සුළු ව්‍යාපාරිකයකුව සිටි පියා එය අතහැර අනුරාධපුරයට ගොස් සිටින්නේ නව ව්‍යාපාරයක් අරඹමිනි.බිනරි අම්මා සමග අනුරාධපුරයට යන්නේ තාත්තා සොයා ගෙනය. ඒ වන විට පියා වෙනත් ගැහැනියක හා ජීවත් වන බව ඔවුන් සොයාගනියි. බිනරි තනිවම ජීවිතයට මුහුණ දෙන්නට සිතාගෙන කොළඹ එන්නේය. පිටකොටුවේ සාප්පුව තම අතට ගන්නට සිතන බිනරි නිවස අලුත්වැඩියාවට ඩික්සන් නම් තරුණයකුට පවරයි. අනතුරුව ඩික්සන් එම නිවසේම පදිංචි වෙයි. බිනරිගේ පැරැණි මිතුරෙකු වූ දර්ශන චිත්‍රපටයක් නිපදවීම ඩික්සන් පොලොඹවා ගැනීමට උත්සහා කරයි. එහි දුෂ්ටයා වනුයේ ඩික්සන්ය. නිෂ්පාදිකාව බිනරි. චිත්‍රපටය නිපදවා මුදල් හිඟවන බිනරිට උපකාර කරන්නේ විනෝද්ය. මේ අතර විනෝද් කිසිවකු විසින් මරාදමන ලද සැලවෙයි. අද එතැන් සිට...
‘ඩික්සන් මේ විධියට වැඩ කරන්ඩ බෑ.එක්කෝ තමුසේ මට හරියට දවසක් කියනවා.’ බිනරි ගේ ඇතුලේ සිට ගෝරනාඩුව අසා සිටියාය.ආගන්තුකයා ගත වූ දවසක ද මෙහි ආවා බිනරිට මතකය.ඔහු පැමිණියේ ඩික්සන් හමුවීමටය.ඩික්සන් ඔහු දැක තිගැස්සුණේය.අනතුරුව ඔහු පැත්තකට කැඳවා ගෙන ගිය ඩික්සන් හීන්සීරුවේ යමක් පවසනු ඇය බලා සිටියාය..තව මොහොතකින් ආගන්තුකයා ආපසු ගියේය. ඩික්සන් කතාබහකින් තොරව ආපසු කාමරයට වැදිණ.බිනරි ඔහු පසුපස ගියේය. ‘කවුද ඒ’ ‘මේ බිස්නස් එකක් කතා කර ගන්ඩ ආවා.අලුතින් ගත්ත කොන්ත්‍රාත් එකක්’ ඩික්සන් පැවසුවේ ඉවත බලාගෙනය.පසුගිය දවස් දෙකේම බාර ගත් වැඩ ඇතත් ඩික්සන් ගෙයින් එළියට නොබැස්සේය.බිනරි ඒ ගැන නොවිමසා සිටියාය.ඩික්සන් ඇඳ විට්ටමට හිසතබා එය පහසු කරන්නට කොට්ටය සකසා ගත්තේය. අද ආපසු පැමිණ ඇත්තේ ඒ ආගන්තුකයාමය.බිනරි ඉදිරියට ගියේ ඔහුගේ හඬ උස් වූ හෙයින්ය.ඩික්සන් ආගන්තුකයා අස්වසා ගෙන යන්නට සැරසෙනු බිනරිට පෙනිණ.ඇය කතා නැතිව මොහොතක් බලා සිටියාය. ආගන්තුකයා ආපසු යන්නට ගොස් හැරී බැලුවේය.ඔහු බිනරි දැක්කේ එවිටය. ‘මේ මොකද මේ?’ ඇය විමසුවාය. ‘නෑ.සුදු නෝනේ මේ මගේ යාළුවෙක්’ ඩික්සන් වරද වසා ගන්නට තැත් කරන වගක් බිනරිට හැගිණ. ‘යාළුවෙක් තමයි.හැබැයි’ ආගන්තුකයා තර්ජනාංගුලිය එසවුවේය. මම යාළුවෙක් හින්ද තමා තවමත් ඉවසන්නේ. ඔහු නැවතත් පැවසුවේය.ඔහුගේ හඩ අහල පහලට ද ඇසෙතැයි බිනරිට සිතිණ.ඒ වන විට අහල පහල කලබලය අඩුය.එබැවින් මහ හඩින් කරන කතාබහ පැතිර යා හැක. ‘දැන් මොකද්ද වෙලා තියෙන්නේ’ බිනරි ඇසුවාය. ඒ වන තෙක් ඩික්සන් විසින් ඇද ගෙන යන්නට තැත් කළ ආගන්තුකයා එයින් මිදිණ. ‘මේකයි කාරණය.මේ මිනිහාට මං ලක්ෂ දහයක් දුන්නා.එකෙක් ගෙන් ඉල්ලා ගෙන පොලියට.දැන් මේ යකා මාව මග අරිනවා.අරූ මගේ ඔළුව කන්ඩ හදනවා’ ඩික්සන් අසරණ විලාසයෙන් බිනරි දෙස බැලුවේය.හැඩි දැඩි මිනිසකු වුව ඩික්සන් එක්වරම නෝන්ජලයෙකු වන අවස්ථා එමට බව බිනරි දැන් දන්නීය. ‘මට නම් එහෙම දෙයක් දීලා නෑ.’ බිනරි ආගන්තුකයාට පැවසුවාය. ‘එහෙනම් කොහේ හරි ගෑණියෙකුට දුන්නාද මං දන්නේ නෑ.අද මට හරි උත්තරයක් ඕනෑ.’ ආගන්තුකයා පුටුවක හරි බරි ගැහී වාඩි විය.ඔහු සැරසුණේ යන්නට නම් නොවේ.ඩික්සන් තටු සිදුණ කුරුල්ලෙකු ගානය. ‘කාරණාව කියනවා’ ඇය ඉදිරි පුටුවක වාඩිවුණාය. ‘මෙයා පික්චර් එකේ ඇට් කරන දවස් වල ඒකට සල්ලි මදි කියලා මගෙන් සල්ලි ඉල්ලා ගත්තා.මා ගාව සල්ලි තිබුනේ නෑ.මම ඇප වෙලා ණය අරන් දුන්නා’ බිනරි ඩික්සන් දෙස බැලුවේ ඔහු දවා අළු කරවන තරමේ බැල්මකි. ‘ඇත්තද මේ කතාව’ ඩික්සන් හිස වැනුවේය. ‘මම ඒ සල්ලි ගෙනාවේ පික්චර් එකේ වැඩට“ ‘දැන් කෝ ඒවා’ ඒවායෙන් අනිත් ණය ගෙව්වා’ ඩික්සන් උත්තර දුන්නේ සහනයක් බලාපොරොත්තුවෙන්ය. ‘මොන පිස්සුද මූ බූරුවා ගහන්ඩ යන්න ඇති.නැත්නම් රේස් බයි රේස්’ ආගන්තුකයා ලොකු හෙළිදරව්වකය.ඩික්සන් තවත් අසරණ වන හැඩක් මතුව ඇත්තේය.මෙහි පොලොව පලා ගෙන යන්නට සිදුරක් ඇත්නම් ඔහු එයින් සැඟව යන්නේය. ‘මෙයා ඔය ගම් පලාත් අතහැර දාලා තියෙන්නේ ඒ හින්දා නේ’ ‘මේ පියදාස අය්යා උඹේ සල්ලි මොන මක්කරලා හරි මං දෙන්නම්’ ඩික්සන් තවත් පිරුවට ගැලවෙනවාට කැමැත්තක් දැක්වූයේ නැත.ඔහු ගිගුරුවේය.ඔහු එයින් එහා කරබා ගත්තේ බිනරි ගේ රකුසු මුහුණ දුටු විටය. ‘ඩික්සන් උඹ ගැන මට තව දේවල් කියන්ඩ තියෙනවා.මම කැමැති නෑ අපි එක පතේ කාපු බීපු මිනිස්සු හින්දා.දැන්උනත් මම මේ ආවේ උඹ මාස ගණනක් අන්දවපු හින්දා’ ආගන්තුකයා නැගී සිටියේය. ‘මොනවද මෙයා ගැන කියන්න තියෙන්නේ?’ බිනරි උන් තැනම වාඩි වී ඇසුවාය. “ඒව ඕන නෑ.මට මගේ සල්ලි තිබුණා නම් ඇති’ ඔහු පැවසුවේය. ‘තමුසෙලාටත් පිස්සු නේ.මේ යකා සූදු අන්තුවෙක් නම් ඇයි එහෙම මිනිහෙකුට සල්ලි දුන්නේ’ ආගන්තුකයා එයින් මෙල්ල වූවාසේය. ‘නෝනා මංව දන්නේ නැතුව ඇති.මම චුට්ටං මුදලාලිගේ යාළුවෙක්.මාත් බිස්නස් කරන්නේ අනුරාධපුරේ.අහන්ඩ තාත්තා ගෙන් රත්තරන් පියදාස කියන්නේ කවුද කියලා“ ඔහු තවත් කියන්න ට යයි.හදිසියේ තාත්තා ගැන අසන්නට ලැබුණු ඉඩකඩ අහිමි ව යයි.ඒ සියල්ල අතීතය සමග වළලා දමන්නට ඇය සමත් ව සිටියාය. ‘ඩික්සන් අනුරාධපුරේ නෙවේනේ ? මේ සල්ලි ගන්ඩ අනුරාධපුරේ ම ආවා ද?’ බිනරි ට කියැවිණ. ‘ඩික්සන් කොහිද නොහිටියේ නේද ?.මෙහෙමයි නෝනා මට පොලි එපා.ඒ මිනිහගෙන් ගත්ත සල්ලි දුන්නා නම් ඇති“ ‘මට ඕකට මැදිහත් වෙන්ඩ බෑ.ඔය ඉන්නේ තමන් කර ගත්තු මිනිහා ඒ මිනිහාත් එක්කම කර ගන්න එක ඇති’ බිනරි උන් තැනින් නැගිට්ටාය. නෝනා දන්නැතුව ඇති.මේ යකා මාතර ගෑණියෙක් එක්ක පවුල් කෑවා’ රත්තරන් පියදාසට වුවමනා යන යකා කොරහත් බිද ගෙන යන වැඩක් කරන්නටය. ‘ඇත්තද ඩික්සන් මේ කතාව ?’ බිනරි ගිය ගමන නතර කර ආපසු ආවාය. ‘යකෝ උඹේ සල්ලි පරක්කු වුණාට මේ වගේ වැඩ කරන්න එපා’ ඩික්සන් බිනරිට උත්තර බඳීන්නට කල් නොයවා ආගන්තුකයා ට කඩා පැන්නේය. ‘ඇයි උඹ මට මොනා කරන්ඩ ද ?උඹ ගැන විස්තර කියන්ඩද?උඹ මේ ගෑනිටත් කරන්නේ අනිත් ඒවාට කරන දේමයි’ බිනරි උඩ බිම බැලුවාය.ඇය හිස මත හෙණයක් පතිත ව ඇත්තේය. ‘නෝනා මේවා තාත්තා දන්නේ නැතුව ඇති.මේව නොකිව්වොත් අපට හෙණ වදියි.අපි ඔය ගොල්ලො දන්නේ අද ඊයේ නොවේ.’ බිනරි සිදුවන්නේ කුමක්දැයි නොසිතාම සිය කාමරයට කඩා වැදුණාය.ඇය උපන් කඳුළ ගලන්නට ඉඩ නොහැරියාය.අනතුරුව ඇය තීරණයක් ගත්තාය ඇය ආපසු එන විටත් ප්‍රතිමල්ලවයන් එකිනෙකා ගේ වතගොත එළිදරව් කරමින් සිටිති.අහල පහළ කිසිවකු ගෙයි දොරකඩට නෑවිත් හොර ගල් අහුලමින් සිදුවන්නේ කුමක්දැයි විමසා සිටිති.බිනරි පැමිණියේ ඩික්සන් සතු සබ්බ සකල මනාවම එක මල්ලක ලා ගෙනය.ඒ කාලය ඇතුළත ඔහු සතු සියලු වත්කම් එක් කරන්නට සමත් වූවාය.ඇය ඒ සියල්ල ගෙයි දොරකඩට ගෙන විත් එළියට විසි කළාය.ඒ වන විට පියදාස ගෙයින් එළියට බැස අවසානය. ‘බහිනවා ඩික්සන් දැන් ගෙයින් එළියට’ බිනරි ගුගුලුවාය.ඔහු කිසිවක් කියන්නට තැත් කළේය.ඇය දැන් නපුරු වැළහින්නක වැනියැයි ඔහු වටහා ගත්තේය. ‘ආයේ මම උඹට වචනයක් කියන්නේ නෑ.දැන් බැහැපං එළියට’ ඇයගේ හඩඅහසට ද ඇසිණ.ඩික්සන් ගෙයින් එළියට බටුයේය.පියදාස අල්ලා මරා දමන්නට හැකි නම් ඔහුට සිතිණ.මේ සියල්ල ඇවිලූ ඔහු පලාතකවත් නැත.බිම වැටුණු ගමන් මලු අතට ගෙන ඔහු යළි හැරුණේ ගෙට ඇතුළු වන්නටය.බිනරි එයට පෙර දඩස් ගා දොර වසා ඇතුළින් අගුළු දමා ගත්තාය.ඔහු වටපිට බැලුවේය.අහල පහල කිහිප දෙනෙක් ඔහුට මුහුණ නොදී හොරැහින් සිදු වන දේ විමසා බලා සිටිති.ඔහු එබැවින් එතැනින් යන්නට මගට පිවිසියේය.එබැවින් ඔහු කිසිවක් දෙස නොවිමසා බිම බලා ගෙන ඉදිරියට ගියේය. |