වර්ෂ 2018 ක්වූ  ජූලි 11 වැනිදා බ්‍රහස්පතින්දා




රජරටින් උරුම කරගත් ගීයක අරුමය

රජරටින් උරුම කරගත් ගීයක අරුමය

රාත්‍රිය මනරම්ය. වලාපෙළ අතරින් කෝල ලෙස එබී බලමින් යළි සැඟවෙමින් එන සඳ කුමරිය විටින් විට පතුරුවන සෞම්‍ය සඳ එළිය සිත මන්මත් කරවයි. එවන් මනෝ රම්‍ය සඳ එළියක ඈතින් ඈතට විහිදෙන නිල් ජල තලය සිප එන සීතල මදනල සිරුරේ දැවටෙන විට දැනෙන අමන්දානන්දය කෙතරම් වේද? තිසා වැව අසබඩ සඳ ඇති රාත්‍රියක දුටු අසිරිමත් සුන්දරත්වය ගැන කියවෙන මේ ගීතය මේ දිනවල නිතර ඇසෙන්නක්. ගීතය ගායනා කරනුයේ ප්‍රවීණ ගායන ශිල්පී ක්‍රිශාන්ත එරන්දක විසින්. ගීපද රචනය නයනසේන වන්නිනායකගේය. සංගීත නිර්මාණය නාලක අංජන කුමාරගෙනි.

තිසා වැව ළඟ රළපනාවේ

බලා ඉන්නම් හුදකලාවේ

උනා සළු පිළි සඳ කුමාරිය

වැව් දියේ ගිලෙනා වෙලාවේ

කදෝ පැණියන් වීර ගස්වල

විදුලි වැල් බඳිනා වෙලාවේ

නිශාචාර සුළඟට වහන් වී

ඇහැළ මල් ඉඟි කරන යාමේ

මුදා ගන්නේ කෙලෙස දැහැනින්

තිසා වැව අද්දර සුයාමේ

දණ්ඩි පැටවුන් පාසි අතරින්

වැටුණු තරු අහුලන වෙලාවේ

ඕලු මල් සයනයෙන් මත් වුණු

බඹර ගී ඇසෙනා විරාමේ

මුදා ගන්නේ කෙලෙස දැහැනින්

තිසා වැව අද්දර සුයාමේ

මෙය අතිශය රමණීය පරිසර වර්ණනාවකි. එහෙත් ආදරය, ප්‍රේමය, විරහව වැනි හැඟීම් ප්‍රකාශනයේ තරම්ම හදවත විනිවිද යන වචනයෙන් විස්තර කළ නොහැකි ආකාරයේ සංවේදනයක් දැනෙන ගීතයකි. විශේෂයෙන් ඒ හැඟීම් සමුදාය උද්දීපනය කරන්නට නාලක අංජන කුමාර යොදා ගන්නා සියුම් සත්සර හි ආනන්දය මෙතැකැයි කිව නොහැක.

සංගීතයේ ගීතාත්මක බව ඇතුළත මැවෙන සාහිත්‍ය රසය විශේෂයෙන් සඳහන් කළ යුතු වන්නේ වත්මනෙහි බිහිවෙන බොහෝ ගීත රචනාවන් තුළින් සාහිත්‍ය රසයක් විඳ ගැනීමට හැකි වන්නේ අතේ ඇඟිලි ගණනටත් අඩුවෙන් බැවිණි. ගීතයකටත් වඩා මෙය වැඩියෙන් දක්නට ලැබෙනුයේ අලංකාර කාවේ‍යීක්තීන්ය. උපමා රූපකයන්ය.

කඳෙී පැණියන් වීර ගස්වල විදුලි වැල් බඳිනා වෙලාවේ වැනි ගී පදයක අපූර්වත්වය වීර ගස්වල ඉඳුණු ගෙඩි පිරී තිබෙනු දැක ඇති කෙනෙකුට කෙතරම් අලංකාර ලෙස දැනේදැයි සිතා ගත හැකියි. වැව් දියේ බැඳුණු පාසි අතරින් පෙනෙන දිය තුළින් රාත්‍රියට දකින තරු කැට වැව් දියේ සිටින දණ්ඩි පැටවුන් අහුලනවා වැනි සංකල්පනාවන් බෙහෙවින් රමණීයය. ඕලු මල් සයනයක් කරගත් බඹරුන් වැනි යෙදුම් අතිශය ශෘංගාරාත්මකය. වදන් හි ඇති අපූර්වත්වයත්, සංගීතයෙහි ඇති ආනන්දනීය බවත්, ක්‍රිශාන්තගේ ළගන්නා සුළු ගායන විලාශයත් අපූරු ගීතයක හිමිකම ශ්‍රාවකයාට තිළිණ කරයි.

මේ ගීතය තුළ දක්නට ලැබෙන අනෙක් සුවිශේෂීත්වය වනුයේ නුවර කලාවියේ අනන්‍යතාවයයි. ගීතයට ත්‍රිවිධාකාරයෙන් නිර්මාණ දායකත්වය පිරිනමන නයනසේන වන්නිනායකත්, නාලක අංජන කුමාරත්, ක්‍රිශාන්ත එරන්දකත් නුවර කලාවියේ රුව ගුණ තේජස මැද උපන් එහි නිර්ව්‍යාජත්වය හොඳින් හඳුනන ඒ තුළ ජීවිතය ලද්දවුන්ය. එක අතකට මේ ගීිතයෙන් වහනය වනුයේ ඔවුන්ගේ ආදරණීය ජීවන සුවඳය. මේ ගීතය මෙතරම් සාර්ථක වන්නට එය ද සුවිශේෂ හේතුවක් වන්නට ඇතැයි මට සිතේ.

ගීතයේ රචකයා නයනසේන වන්නිනායක වත්මනෙහි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිවිල් ඉංජිනේරුවරයකු වශයෙන් කටයුතු කරන්නෙකි.

'මේ ගීතය මගේ අතින් ලියවිලා අවුරුදු 6 -7 ක් ඇති. කොටින්ම කිවුවොත් මුලින් මේක මගේ අතින් ලියවුණේ කවියක් විදියට. මගේ යාළුවෝ බොහොම දෙනෙක් කිව්වා ඒක ගීතයකට හොඳයි කියලා. ඒ අනුව තමයි දැනට අවුරුදු 2 - 3 ට කලින් ගීතයක් බවට පත් වුණේ. මේක තමයි මගේ පළවෙනි ගීතය. ගීතය ලියන්න මට අත්දැකීම් එකතු කරගන්න අමුතුවෙන් ඕන වුණේ නෑ. මගේ උපන් ගමේ වැව් තාවුල්ලේ ජීවන හුස්ම ගත්ත මිනිහෙක් මම. මේ ගීතයට පස්සේ මම ගීත 100 ක් විතර ලියලා තියෙනවා. එළඹෙන සැප්තැම්බරයේදී ඉන් ගීත 70 ක් විතර එකතු කරලා ගී පොතක් කරන්න සූදානම් වෙනවා. ගී පොතට නම දාලා තියෙන්නෙත් 'තිසා වැව ළඟ' කියලයි.'

ගායන ශිල්පී ක්‍රිශාන්ත එරන්දක නුවර කලාවියේ ගැමි දිවිය ආශ්වාදයෙන් වින්ද සුන්දර මිනිසෙක්. ගීතයේ පද රචනාව දුටු සැනින්ම ඔහු මේ ගීතය ගායනා කරන්නට ඉදිරිපත් වෙන්න ඇත්තේ ඒ නිසා වන්නට ඇත.

'මේ ගීතයෙන් කියවෙන්නේ ඉතාම අලංකාර පරිසර වර්ණනාවක්. ඒ වුණාට ගීතය ඇහෙන කොට වෙනත් ප්‍රේම ගීතයකින්, විරහ ගීතයකින් හිතට දැනෙන කිව නොහැකි සංවේදනයක් මගේ හිතටත් දැනෙනවා. මේ කියවෙන්නේ මගේ ජීවිතෙන් වැඩි කොටසක් ගෙවුණු මම ආදරෙන් වැළඳ ගත්ත, මම හැදී වැඩුණ පරිසරය ගැන. තිසා වැවේ රළපනාව ගැන ගීතයෙන් කියවෙන කොට මට මතක් වෙන්නේ ඉස්සර අපි ඉස්කෝලේ ඇරිලා ඇවිත් වැවට බැස්සම ආයෙත් වැවෙන් ගොඩ එන්නේ තාත්තා වැඩ ඇරිලා ගෙදර එන්න ළංවෙන වෙලාවට. ඒ තරමට වැවත් එක්ක තිබුණු ගනුදෙනුව සමීපයි. මේ ගීතයෙන් කියවෙන පරිසර වර්ණනාව අතිශය සුන්දරයි.

මට හිතෙනවා ඒ පරිසරය කවදාවත් මට මගේ කර ගන්න බෑ. හැබැයි අපි ඔක්කොටම මේක භුක්ති විඳින්න විතරක් පුළුවන්. තිසා වැව අයිනේ ඉන්නකොට වැදෙන සීතල සුලං රැළි අපි කාටත් එක වගේම ලැබෙනවා. සීතල ජල රැළි අපි කාටත් එක වගේ සිසිල ගේනවා. මේ ගීතයේ රූප රචනාව දැක්කම ඒක තවත් තහවුරු වන විදියේ අලුත් අදහසකින් තමයි කළේ. රූප රචනය කළේ රුවන් නන්දික මල්ලයි. මතු පිටින් රූප පෙළ බැලුවම ඒක ගීතයත් එක්ක පරස්පර විරෝධියි වගෙයි දැනෙන්නේ. නුවර කලාවියට බොහෝ විට පොදු එකගෙයි කෑම තමයි රූප රචනයට පදනම් වෙන්නේ. සහෝදරයන් දෙදෙනෙකුට එක කාන්තාවක් අවාහයට ගෙනවිත් ඔවුන් කරන්නේ භුක්ති විඳීමක්. කාටවත් අයිති කර ගැනීමක් නොවෙයි. ස්වභා දහමත් එහෙම තමයි. අපි කාටවත් අයිති නෑ. භුක්ති විඳින්න විතරයි පුළුවන්.