|
ලංකාවේ ප්‍රථම චිත්‍රාගාරයට මුල්ගල තැබූ ජෝසප් සෙනෙවිරත්න
‘අසන් සිටින ලොකු පුංචි සියලු දෙනාට
කොණ්ඩේ බැඳලා පනා ගසල කුඩෙ ගනීලු 1945 වසරේ ගුවන් විදුලි ගීත අතර ‘කැවුම් අවුල’ ගීතය ගායනා කළේ එවකට විසි වැනි වියේ සිටි ජෝසප් සෙනෙවිරත්න නම් තරුණයා විසිනි. ඔහු විසින්ම ප්‍රබන්ධය කළ මේ ගීතය ප්‍රස්ථාර කර ඇත්තේ සංගීතාචාර්ය ජස්ටින් වික්‍රමගේය. තමන්ගේ ඇසට පෙනෙන දේත්, කනට ඇසෙන දේත් සිතට නැඟෙන දේත් සියලු දෙනාට ආදර්ශයක් වන ලෙස තමන්ම සකස් කරගෙන කීමට හෝ ගැයීමට ද කොලොම්බියා රැකෝඩ්ස් ලෝකයේ දීප්තිමත් තරුවක් ද වශයෙන් ද කොල්ලුපිටියේ එක්සත් ජාතික නාට්‍ය සභාවේ සියලුම නාට්‍යයන් හි ප්‍රධාන විකට නළුවා වශයෙන් රඟපෑ තරුව වූ ජෝශප් සෙෙවිරත්නට එකල කලා ලෝකය බැබළ වූ කලාකරුවකු විය. පිටිසර මම්මා, නගර හෝභනී, අවසාන හසුන, උඩරට පෙරළිය, දොම්පෙ ආයා, සැඟවුණුු ආලය, සූටි ගමරාළ හා රයිගම් බණ්ඩා, හිතුමතය, දුම්බර පැංචා ඔහු එදා රඟපෑ වේදිකා නාට්‍යයන්ය. සෙනෙවිරත්න මුදියන්සේලාගේ දොන් ජෝසප්් අප්පුහාමි නම් ඔහු 1925 අගෝස්තු 27 වෙනිදා කොටහේනේ මෝදර අලුත් මාවතේ උපත ලැබීය. මෝදර ඩිලාසාල් හා ග්‍රෑන්ඩ්පාස් හී සාන්ත ජෝසප් විද්‍යාලවල ඉගෙනුම ලැබූ ඔහු පාසලේ ඇතැම් ගුරවරුන්ගේ හැසිරීම් රටා විකට ජවනිකාවලින් ඉදිරිපත් කරමින් ජනප්‍රිය විය. පාසල් වාර අවසානයේ විවිධ ප්‍රසංගයට ඔහු ‘අප්පු විත් අවුට් අ කුලපල්පු’ (ඒනනභ එඪබඩ ර්‍ණභබ ඒ ම්භතචනනභ) නමින් නාට්‍යයක් රචනා කොට ප්‍රධාන චරිතයක් රඟපෑවේය. තම පන්ති මිතුරන් වූ එමානුවෙල් රුද්‍රිගු (ප්‍රේම් ජයන්ත්), ධර්ම ශ්‍රී රණතුංග, ධර්ම ශ්‍රී කල්දේරා සමඟ එක්ව ඔහු ‘මාමයි බෑණයි’ නමින් ඉදිරිපත් කළ නාට්‍යය ප්‍රසිද්ධ වේදිකාවේ කිහිප වරක් රඟ දැක් විය. පසු කලෙක මේ සිසු නළුවන් හතර දෙනාම සිංහල සිනමාව බැබළුහ. ‘අපිට සාන්ත ජෝසප් විදුහලේ සිංහල උගන්නපු පීටර් පෙරේරා මහත්තයා දවසක් කිව්වා ‘අයිසේ ජෝසප් දැන් ‘පේරන්ට්ස් ඩේ’ එකට හොඳ නාට්‍යයක් කරනවා. මේ 1943 අවුරුද්ද. මගේ කකුල් දෙක ගැහෙන්න ගත්තා ඒ කතාව අහලා. ‘සර් මම මීට ඉස්සර නාට්‍ය ලියලා නැහැ. ඔහේ විහිළු තහළු කළාට. මේ අමාරු වැඩක්.’ ‘අයිසෙ, ජෝසප් මොනව කිව්වත් ළමයි හිනා වෙනවනෙ. ඉතින් ඔය රඟපාන්න කැමති ළමයි දෙතුන් දෙනෙක් අල්ලාගෙන මොනව හරි කරනවා.’ ඔය විදිහට ‘හක්කේ ට්‍රබල්’ නාට්‍යය බිහි වුණේ. එදා ඒ නාට්‍යයේ රඟපෑ ප්‍රේම් ජයන්ත්, ධර්ම ශ්‍රි රණතුංග, ධර්ම ශ්‍රී කල්දේරා මාව තනි කරලා කල් ඇතුවම මිය ගිහින්.’ ජෝසප් සෙනෙවිරත්න මට මේ සිද්ධීන් කිව්වේ 2007 වසෙර්ය. ඒ වසරේදී ඔහු පානදුරේ පදිංචිව සිටි නිවසේදී මට හමු වූ අවස්ථාවේ සිංහල සිනමාවේ මුල් යුගයේ අපූරු තොරතුරු රැසක් කීවේය. තමාට අමතක වූ කරුණු කිහිපයක් කීමට ඔහු තම බිරිඳ කැටුව ත්‍රීරෝද රථයකින් අප නිවසට පැමිණි අයුරු අදත් සිහිපත් වෙයි. ඒ තොරතුරු මතු ලියන ලිපියකින් ලිවීමට අදහස් කරමි. එදා ප්‍රසිද්ධ වේදිකාවක රඟපෑ ජෝසප්ගේ නාට්‍ය බැලීමට පැමිණි ගුවන් විදුලියේ ඩී. ඇම්. කොළඹගේ මහතා නාට්‍යාවසානයේ ඔහු සොයා ගියේය. ‘ජෝසප් හෙට රේඩියෝ සිලෝන් එකට ඇවිත් මාව හම්බ වෙන්න’ මේ හමුවීම නිසා ජෝසප් සෑම දෙසතියකට වරක් විනාඩි 15 ක විකට වැඩ සටහනක් කිරිමට අවස්ථාව ලැබිණ. 1938 සිට 1941 දක්වා මේ විකට වැඩ සටහන ප්‍රචාරය වී ඇත. පාසලෙන් සමුගත් පසු කොළඹ කාර්මික විද්‍යාලයේ ඉගෙන පසුව ඔහු වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සැලසුම්කරුවකු ලෙස සේවයට ගියේය. ලංකාදීප පත්‍රයට ‘දිරච්ච ලණු’ නම් විකට තීරුවක් ද ඔහු රචනා කළේය. ‘මට හිත තිබුණේම නළුවෙකු ලෙස ඉදිරියට යාමට. ඒ වගේම මදුරාසියට ගිහින් චිත්‍රපට කරන හැටි ඉගෙන ගන්න. මගේ තාත්තා මෝදර කොන්ත්‍රාත් වැඩ මහ පරිමාණයෙන් කරන කෙනෙක්. තාත්තා හිතුවා මම ඒ වැඩවලට සම්බන්ධ වෙයි කියලා. තාත්තා දවසක් මට කතා කොට චෙක් පතක් දුන්නා. ‘ජෝසෆ් මෙතැන රුපියල් 7,500 ක් තියෙනවා. ඒක මාරු කරලා වැඩ කරපු මිනිස්සුන්ට පඩි ගෙවපන්. මට අද ටිකක් සනීප නෑ’ කියලා. ඒ කාලේ රුපියල් 7,500 ක් කිව්වාම අති විශාල මුදලක්. මම ඒ චෙක්පතේ මුදල මාරු කරගෙන නැවතුණේ ඉන්දියාවෙන්. මම වසර දෙකක් ඉන්දියාවේ දුක් ගැහැට විඳ ගනිමින් මදුරා නරගයේ ස්ටාර් කොම්බයින් ස්ටුඩියෝවේ වැඩට ගියා. මේ අවස්ථාව මට ලබා දුන්නේ වේශ නිරූපණ ශිල්පී පෙරෙයිරා නම් මහතෙකුගේ උදව්වෙන්. අර කිව්ව ස්ටුඩියෝ එකේ කළමනාකර මානි ගාවට ගියේ පෙරෙයිරාගේ උදව්වෙන්. මානි මාව යෙදෙව්වේ ඔහුගේ කාමරය පිරිසුදු කිිරිම හා තේ සෑදීමටය. කෙසේ හෝ වැඩ හොඳට කරල මානිගේ හිත දිනාගෙන මට ඕනෑ වුණේ ස්ටුඩියෝ එකට රිංග ගන්න. මානි මාව යැව්වා මේක්අප් රූම් එකේ වැඩ ඉගෙන ගන්න. ඒ කලෝ ජනප්‍රියව සිටි තවමනි දේවි දවසක් ආවා මේක්අප් රූම් එකට. ඈ එන විට ‘වනමෝහිනී’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාමින් හිටියේ. ඇය ලංකාවේ උපත ලැබූ නිළියක්.’ ජෝසප් කියූ අන්දමට තමා ලංකවේ කෙනෙකු බව කී විට ඇයගේ උපකාරයෙන් කැමරා අංශයට මාරුවක් ලබාගෙන ඇත. ඉන් පසු ඔහුට ලැබී ඇත්තේ ඉන්දියානු කැමරා ශිල්පියාගේ වැඩවලට අත් උදව්දීම හා කැමරා ලෙන්ස් පිරිසුදු කිරිමටය. එතැනින් ජෝසප්ට සංස්කරණ හා සවුන්ඩ් අංශවලට මාරුවීම් ලැබී ඇත. ‘තවමනි දේවි මම ආදරයෙන් සිහිපත් කරනවා. ඇය කළුවට කළුවේ කරුවල රූපයක් වගේ. ඒ වුණාට ඇය ෆොටෝජෙනික්. කළු වුණාට හැඩයි. කැමරාවට ඇගේ කළුව පෙනෙන්නෙම නෑ. මට කැමරාවෙන් ඇය දැක ගැනීමේ වරමක් ලබුණා.’ මේ කාලයේ (1949) ජේ. සිංහ ‘මගේ දුව‘ රූගත කරන්න මේ ස්ටුඩියෝවට පැමිණි ඔහු මුලින්ම ඒ චිත්‍රපටයේ සුළු චරිතයක් රඟපෑමට ජෝසප්ට අවස්ථාවක් දුන්නත් චිත්‍රපටය අතරමඟ නතර විය. පුරා වසර 3 ක් දර දිය ඇද චිත්‍රපටයක් කරන හැටි ගැන පුළුල් දැනුමක් ලැබූ ජෝසප් ලංකාවට පැමිණියේ ලංකාවේම චිත්‍රාගාරක් හැදීමේ අරමුණු කරගෙනය. ලංකාවට පැමිණි ඔහු මේ අදහස මුලින්ම කියා ඇත්තේ ලංකාවේ චිත්‍රපට රජා සර් චිත්තම්පලම් ගාඩිනර්ටය. ඒ හමුවට ඔහුට උදව් කලේ කපාඩියා නම් ඉන්දියානු බෙහෙත් ගෙන්වන සාප්පු හිමියෙකි. 1948 වසරය ඒ. ‘සර් මට සිංහල චිත්‍රපටයක් කරන්න අදහසක් තියෙනවා. ඒකට හරි යන කතා පිටපතකුත් තියෙනවා’ ජෝසප් කීය. ‘කතා කරන්න එපා. අසෝකමාලා කරලා මට ඇති වෙලා ඉන්නෙ.මම හිතන් ඉන්නේ ඉන්දියාවෙන් දෙමළ චිත්‍රපට ගෙන්නවා සිංහල මිනිසුන්ට දෙමළ උගන්වන්න’ ගාඩිනර්ට යටිහිතින් බැන වදිමින් ජෝසප් එළියට ආවේ නැවත ඉන්දියාවේ පස් නොපාගා සිංහල චිත්‍රපටයක් ලංකාවේම කරනවා යන අධිෂ්ඨානයෙන් දෙවියන්ට කියමිනි. ‘දවසක් මම කැලණිය පැත්තේ සාදයක විකට ගීයක් ගයමින් පැමිණ සිටි අය ප්‍රීතිමත් කරලා ඉවර වෙලා ඉන්න කොට එක්තරා මහත්මයෙක් මගෙන් වගතුග අහල තමා සිංහල චිත්‍රපටයක් කරන්න කැමැතියි කිව්වා. ඔහු චන්ද්‍ර රාමනාදන්. ප්‍රථම සිංහල කතානාද චිත්‍රපට නිපද වූ නායගම්ගේ මල්ලී. මම ඔහුට කිව්වා ලංකවේ චිත්‍රාගාරයක් හැදුවොත් ලංකාවේ සල්ලි ඉතුරු වෙයි කියලා. ඔහු මාව පසුවදාම නායගම් නම් සහෝදරයා වෙත ගෙන ගියා. මල්ලි අයියට මගේ යෝජනාව කිව්වා. ‘උඹට පිස්සුද? මේ පුංචි කොල්ලට පුළුවන්ද ස්ටුඩියෝවක් හදන්න’ මම ඔහුගේ කතාව අහලා අධෛර්යමත්ව එළියට යන්න හදන විට නායාගම් මහතා මට කතා කළා. ‘උඹ උත්සාහවන්තයෙක්. මම උඹට රුපියල් 500 ක් දෙන්නම්. වැඩේ පටන් ගනින්.’ ඒ කාලේ රු.500 ලොකු මුදලක්. මම කඳානේ පොලීසියට යාබද අක්කරයක ඉඩමක් තෝරා ගත්තා. හැබැයි පරහකට හිටියේ ඉඩම පස් කන්දක්. නායගම් සහෝදරයා එක්ක ඇවිත් ඉඩම බැලුවා. ‘පිස්සා, මේකෙ කොහොමද ස්ටුඩියෝවක් හදන්නේ’ ඒ නායගම් මහතාගේ හඬ. ‘සර් මට මාසයක් කල් දෙන්න. මම මේ කන්ද ෆ්ලැට් කරලා දෙන්නම්’. ඒ කාලේ අද කැලණිතිස්ස විදුලි බලාගාරය ඉදි කරන්න වෙලක් තෝරගෙන තිබුණා. වෙල ගොඩ කරන්න පස් ඕනෑ කර තිබුණා. මගේ යාළුවෙක් එතැනට පස් ගෙනාවේ. කඳානේ ඉඩමේ පස් කන්ද කපලා ඒකේ පස් කියුබ් එක ශත 25 ගණනේ දුන්නා. අද තියෙන කැලණිතිස්ස විදුලි බලාගාරය ඉදි වෙලා තියෙන්නේ කඳානේ පස්වලින්. ඉඩම බලන්න ආපු නායගම් මහතා සතුටට පත් වුණා.’ ජෝසප් සෙනෙවිරත්න ඊළඟට විස්තර කළේ මේ කාලයේ මදුරාසියේ තමා වැඩ ඉගෙන ගත් ස්ටාර් කොම්බන් කියන ස්ටුඩියෝව බංකොලොත් වී වෙන්දේසියේ විකුණන ආරංචිය. ඔහු රාමනාදන් මහතාට කළ යෝජනාව අනුව දෙදෙනා මදුරාසියට ගියහ. ‘අපි මදුරෙයි නගරයට ගියා. මගේ සම්බන්ධතා නිසා ඒ චිත්‍රාගාරයේ කැමරා, ශබ්ද, සංස්කරණ උපකරණ එක්ක කාර්මිකයෝත් අපි ලබා ගත්තා. මුළු වියදම රු. 75,000 යි. එහෙ චිත්‍රාගාරයෙන් ආපු කඩම්පාඩි රසායනාගාරය භාරවත්, මානි කැමරාව භාරවත්, ඇස්. රාමමුර්ති සහ පර්තසාර්ති කලා අධ්‍යක්ෂවරු වශයෙනුත් අපේ කඳානේ චිත්‍රාගාරයේ වැඩට ආවා. නායගම් මහතා කඳානේ සුන්දර සවුන්ඩ් චිත්‍රාගාරය පටන් අරන් ලංකාවේ මුල්ම චිත්‍රාගාරයේ ප්‍රථම සිංහල චිත්‍රපටය හැටියට ‘බණ්ඩා නගරයට පැමිණීම’ 1951 වසරේ රූපගත කිරීම් ආරම්භ කළා. ඊට පස්සේ මේ චිත්‍රාගාරය එස්. පී. එම්. චිත්‍රාගාරය ලෙස හැඳින්වූවා. මට දැන් වයස 82 ක්. (2007 දී). ඒ ඉඩමේ නොකැපූ පස් කඳු තාම තියෙනවා. ඒ අතීතය ගැන හිතල මම සතුටු කඳුළු හෙළනවා. එදා කඳුළු බර දෙනෙතින් ඔහු කියනු මට අදත් සිහිවේ. ජෝසප් සෙනෙවිරත්න නම් චිත්‍රපට නළුවා සිනමාවට පිවිසෙන්නේ එස්. එම්. නායගම් නිෂ්පාදනය කළ ‘බණ්ඩා නගරයට පැමිණීම’ චිත්‍රපටයෙනි. 1952 මැයි 04 වෙනිදා තිරගත වූ මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය ඒ. බී. රාජ්ය. ටී. ඩී. පියදාසගේ ‘තුම්පනේ බණ්ඩා සහ කොළඹ අප්පුහාමි’ නම් නාට්‍යය ඇසුරෙන් ජෝසප් ලියූ චිත්‍රපට කතාවට නම තබා ඇත්තේ ‘කොළඹ ආ බණ්ඩා’ කියාය. හියුගෝ ප්‍රනාන්දු දෙබස් හා ගීත ප්‍රබන්ධය කළ මේ චිත්‍රපටයේ කොළඹ අප්පුහාමි ලෙස ජෝසප් ද, බණ්ඩා ලෙස බර්නාඩ් පෙරේරා ද රඟපෑහ. ලංකාවේ ඉදි කළ ප්‍රථම චිත්‍රාගරයක වැඩ නිම වූ මුල්ම චිත්‍රපටය මෙහි ලංකාවේදී සියයට සියයක් දර්ශන රූගත විය. මේ හැම කටයුත්තකදීම නිශ්ශබ්ද වීරයා වූ ජෝසප් සෙනෙවිරත්නට නායගම් මහතා විසින් රු. 750 කට බියුක් වර්ගයේ කාර් එකක් ලබා දුන් බව ඔහු මට පැවසීය. ඔහු ඉන්පසු ඩිංගිරි මැණිකා, පුදුම ලේලි, දෙයියන්නේ රටේ, සොහොයුරෝ, පිරිමියෙක් නිසා, කවට අන්දරේ, අල්ලපු ගෙදර, සැනසුම කොතනද, බයිසිකල් හොරා, කතුරු මුවත්, ලොකුම හිනාව, දරුවා කාගේද, සුහද දිවි පිදුම, වෙන ස්වර්ගයක් කුමටද, සුහද සොහොයුරෝ, චෙරියේ ඩාලිං, දුලීකා, චිං චිං නෝනා, ජීවන කඳුළු, සනසන්න මා, දුර්ගා, චෙරියෝ ඩොක්ටර් යන චිත්‍රපටවල රඟපෑවේය. කවට අන්දරේ චිත්‍රපටයේ එඩී ජයමාන්න වෙනුවෙන් සීපද ගායනා කළේ ඔහුය. ‘ඩිංගිරි මැණිකා’ චිත්‍රපටයේ මංගල දර්ශනයට පැමිණි අග්‍රාමාත්‍ය එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාට නිෂ්පාදක එස්. වී. ද ඇස්. සෝමරත්න විසින් හඳුන්වා දෙන ලදී. ‘ජෝසප් ගැන මම දන්නවා නොවැ. මුන්නැහැගේ විකට ජවනිකා මම රේඩියෝවෙන් අහලා තියෙනවා. අපට සතුටු වෙන්න පොඩි විහිළුවක් කරන්නකෝ’ අගමැතිතුමා කිවේ. ඒ 1956 බණ්ඩාරනායක මහතා අගමැති වූ අලුතය. ‘සර් මම විහිළුවක් කරන්නම්. අපහාසයක් වුණොත් සමාවෙන්න’ ‘කියනවා, විහිළුවලට මොන සමාවක්ද?’ ‘බණ්ඩා කේම් ටු ටවන් යූ. ඇන්. පී. ඩවුන්’ බණ්ඩාරනායක මහතා මහ හඬින් සිනාසීය. එවකට ජනප්‍රිය නිළියක වූ අයිලින් ගුණතිලක (චාන්දනී සෙනෙවිරත්න) සමඟ මුල්වරට විවාහ වූ ඔහු දියණියකගේ හා දයාබර පුතෙකුගේ පියෙකි. කුමුදු හා ජයන්ත ගුවන් විදුලි සංස්ථාවේ සේවය කළහ. පසුව ජෝසප් ශීලවතී දිසානායක සමඟ විවාහ විය. 2010 වසරේ අප්‍රේල් මස 13 වෙනිදා ඔහු ජීවිත සිනමාවෙන් සමු ගත්තේය.
|