වර්ෂ 2018 ක්වූ  මාර්තු 22 වැනිදා බ්‍රහස්පතින්දා




අතීත කලා ලෝකයේ රස තොරතුරු සොයා යන ලිපි පෙළක්

අතීත කලා ලෝකයේ රස තොරතුරු සොයා යන ලිපි පෙළක්

රඟපෑ, හඳහන් බැලූ, පොත් ලියූ ගැයූ, වැයූ එඩ්නා සුගතපාල

හැටේ දසකයේ සිනමාවට පිවිසි එඩ්නා සුගතපාල මාර්තු 14 දා පුද්ගලික රෝහලකදී අවසන් හුස්ම හෙළුවාය. ඇගේ ඉල්ලීම පරිදි මෘතදේහය වෛද්‍ය විද්‍යාලයට භාර දෙන ලදී. 1946 ජනවාරි 03 වෙනිදා ගොරකානේ උපත ලැබූ එඩ්නා කමල යෙරෝමනී අධ්‍යාපනය ලැබුවේ බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේත්, පානදුරේ යහපත් එඬේරාගේ කන්‍යාරාමයේත්ය. කුඩා කල සිටම ඇය ගායනයට හා පියාමෝ වාදනයට සමත්කම් පෑවාය. ඇය පියානෝ වාදනය වැඩිදුර පුහුණු කළේ ලන්ඩන් ට්‍රිනිටි සංගීත විද්‍යාලයෙනි. එම විද්‍යාලයේ ඩිප්ලෝමාධාරිනියක් වූ ඇය සිනමාවට ඇලුම් කළේ කුඩා කළ සිටය. තම මවු වූ ස්වර්ණා මේරි බර්නඩෙත් ‘දස්කොන්’ චිත්‍රපටයේ සහාය නිෂ්පාදිකාවක් වූවාය. එහෙත් ඇයට රඟපෑමට වඩා එකල තිබුණේ සංගීතය පැත්තට නැඹුරුවකි. රුක්මණී දේවිය ‘දස්කොන්’ චිත්‍රපටයේ ප්‍රමිලා බිසව ලෙසත්, දස්කොන් ලෙස රඟපෑ කිත්සිරි පෙරේරා රඟපාන දර්ශනයක් ඇයගේ නෙතට රසඳුනක් විය. කිරුළපන ලංකා චිත්‍රාගාරයේ ඉදි කර ලද විශාල රජ මැදුරේදී මේ නළු නිළි යුවළ රඟපෑ ගීතමය ජවනිකාව ඇය තුළ රඟපෑමේ මූල බීජය සනිටුහන් කළේය.

‘සොම්නස පෙම් රස එකතු කළා

ඔබ සතු මගෙ හද ඔකඳ වුණා’

ඒ රුක්මණී දේවියගේ මධුර මනෝහර ගායන ලීලාවෙන් ඇය විකසිත වූවාය. පානදුරේ ඩික් ඩයස් නම් ප්‍රවීණ නාට්‍ය නිෂ්පාදකවරයාගේ ‘ගැහැනු හටන’ වේදිකා නාට්‍යයෙන් කලා ලොවට පිවිසි ඇය කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා අධ්‍යක්ෂණය කළ ‘සැනසුම කොතැනද?’ චිත්‍රපටයේ හෙදියක් ලෙස රඟපෑ ජීවරාණි කුරුකුලසූරියගේ මිතුරියක් ලෙස රඟපාමින් සිනමා රංගනයට පිවිසියාය. ඒ 1966 වසරේ දීය. මේ ඩික් ඩයස් 1946 දී රුක්මණී දේවි ද, 1956 දී ජීවරාණි ද, 1966 දී එඩ්නා ද කරළියට ගෙනාවාය. ඉන්පසු ‘සෙනෙහස’ චිත්‍රපටයේ රඟපෑ අතර ඇය වඩාත් කැපී පෙනුණේ අමරසේන කුමාරසිංහ අධ්‍යක්ෂණය කළ මිරිඟුව චිත්‍රපටයේ ගාමිණී ෆොන්සේකා සමඟ රඟපෑ චරිතයෙනි. සූරයන්ගේ සූරයා, එදත් සුරයා අදත් සුූරයා, වීදුරු ගෙවල්, මේ දැස් කුමටද, රන් එතනා, නැවත හමුවෙමු, හිත හොඳ කොල්ලෙක්, ඔබට දිවුරා කියන්නම්, රෝසි, ගෙදර බුදුන් අම්මා, දෑසේ මල් පිපිලා, තරණය, උණ්ඩය යන චිත්‍රපටවල ඇය ඉන්පසු රඟපෑවාය.

මට මුල්වරට එඩ්නා හමු වන්නේ ලෙනින් මොරායස් අධ්‍යක්ෂණය කළ ‘එදත් සූරයා අදත් සූරයා’ චිත්‍රපටයේ රූපගත කිරීම් අතරතුර ලැබුණු විරාමයකදීය. වත්තල හැඳල පාරේ එම චිත්‍රපටය නිෂ්පාදනය කළ සරත් රූපසිංහගේ නිවසේදී. ලෙනින් විසින් මට ඇය හඳුනා දෙන ලදී.

‘රංජිත්ගේ ලග්නය කුමක්දැයි’ ඇය මා සමඟ කතාබහ ඇරැඹුවාය.

‘තුලා’ යැයි මම කීවෙමි.

හඳහනේ කොටුවල සිටින ග්‍රහයන් ගැන ඇසූ විට මට මතක නැති බව කිව් පසු ඇය මගේ උපන් දිනය හා උපන් වෙලාව ඇසුවාය. මම කීවෙමි.

ඒ වනවිට අප සරත්ගේ ගෙදර දිවා ආහාරය ගෙන මඳ විරාමයක් ගෙන තිබුණි.

ඇය කඩදාසියක් ඉල්ලා මගේ උපන් දිනය හා වේලාව අනුව පලාපල කියන්නට පටන් ගත්තාය. මා සමඟ ‘සරසවිය’ පත්‍රයේ කැමරා ශිල්පී රෙජී බුලත්සිංහල ද විය. එඩ්නා එදා මා ගැන කියූ දෙය මම නොලියමි. එහෙත් සමහර දේ හරියාකාරව ඉටු විය. මේ හැත්තෑ ගණන්වල මුලය. ඇය රෙජීට ද පලාපල කීවාය.

‘හඳහන් බලන නිළිය’ යන මාතෘකවෙන් මම ‘සරසවිය’ට විශේෂාංගයක් ලීවෙමි. එඩ්නා කෙළින් කතා කරන, හිත හොඳ කාන්තාවක් වූවාය. ඇගේ විශේෂාංග කිහිපයක් ලිවීමට අප මීගමුවේ රෝහල පාරේ නිවසට ගිය අයුරු මට මේ අවස්ථාවේ සිහි වෙයි. ආගන්තුක සත්කාර කිරීම අතින් ඇය තරම් කාරුණික නිළියක මා දැක නොතිබුණි. එහෙත් ඇය රැවටිලිකාරයන්ට හසුවෙන බව අපට ඉවෙන් මෙන් දැනුණු අවස්ථා තිබේ. එසේ වුව ද ඒ අවස්ථා දැන දැනම උපේක්ෂාවෙන් ඇය සිතින් බැහැර කළාය.

ඇය දක්ෂ ජ්‍යෝතිෂවේදිනියක් බව කලා ක්ෂේත්‍රය දැන සිටි නිසා ඇය සිටි දර්ශන තලයට හඳහන් අරගෙන ආ අයගෙන් අඩුවක් නොවීය. ගාමිණී ෆොන්සේකා ඇය හමු වූ අවස්ථාවල ඔවුන් කළ දීර්ඝ සංවාද රූපගත කිරීම් පමා වීමට හේතු වූ බව මම දනිමි. ගාමිණීට ද අත බලා පලාපල කීමටත්, හඳහන් බැලීමටත් හැකියාවක් තිබුණි. ගාමිණීගේ මවට ද හඳහන් බැලීමට හැකියාවක් තිබුණි. මේ නිසා ගාමිණී හා එඩ්නාගේ හමුවීම් තකට තක වූහ.

ගායන ශිල්පිනියක ලෙස වරක් ඇය එච්. ආර්. ජෝතිපාලයන් සමඟ ගී ගැයුවාය. එපමණක් නොව ‘වීණා’ නමින් ඇය කැසට් පටයක් සංගත තැටියක් ද නිකුත් කළාය. සිය කලා ජීවිතයට වසර 50 ක් පිරීම නිමිත්තෙන් එඩ්නා මහවැලි කේන්ද්‍රයේදී පියානෝ අනුවාදන සංයුක්ත තැටියක් ද නිකුත් කළාය. ‘වීණා’ යනු එඩ්නාට සිටි එකම දියණියයි. ඕ තම දියණියට අසීමිත ලෙස ආදරය කළ අතර ඇගේ ලෝකය ‘වීණා’ම විය.

එඩ්නා පුංචි තිරයට පිවිසෙන්නේ තිලක් ගුණවර්ධනගේ ‘කුමාරිහාමි’ ටෙලි නාට්‍යයෙනි. රන්මසු උයන, දත් කැකුළු පාලා, ග්‍රහණය, කළු හංසයෝ, චල අචල, එකට ගැටුම, පුංචි වීරයෝ, මකර විජිතය, මල් යහනාව, මතු අත්භවයේ යන ටෙලි නාට්‍යවල ඇය රඟපෑවාය. ඇය මීගමුවේ කටුවපිටිය පාරේ ඡ්ඤදච ඉජඩධධත ධට ර්භඵඪජ නමින් සංගීත පාසලක් ද කලකට ඉහත පවත්වාගෙන ආවාය. ලේඛිකාවක් වූ ඇය ‘සුගත චින්තන’ නමින් ග්‍රන්ථයක් පළ කළ අතර යෝග ශාස්ත්‍රය හා ජ්‍යෝතිෂය මැනවින් ප්‍රගුණ කර තිබුණාය. ප්‍රකට දේශපාලනඥයන් පවා තම කල දවස ගැන දැන ගැනිමට ඇය සොයා ආ අවස්ථා අප අසා තිබුණි.

ඇගේ මව කතෝලික බැතිමතියක් වූ නිසා හඳහන් විශ්වාස නොකළාය. ප්‍රකට ඡ්‍යොතිෂවේදියකු වූ ඩැනියෙල් ගමආරිය සොයා ඇගේ මව ගොස් ඇත්තේ නොයෙක් බාධා හිරිහැර තම ජීවිතයට බලපෑ නිසාය. මවට මෙහිදී ලැබුණු පල අපල ගැන පැහැදුණු පසු ඇය තම දියණිය එඩ්නා මේ ශාස්ත්‍රය ගැන ඉගෙනීමට පානදුරේ එච්. එච්. ප්‍රේමරත්න මහතා වෙත යැවූ බව සරසවිය පත්‍රයේ උප කතුවරයකු වු චන්දන දයාසිරිවර්ධන මීට කලකට පෙර ලියා තිබුණි. ඒ අනුව එඩ්නා අන්තිම කාලයේ ආගමට ධර්මයට නැඹුරු වී ඇත.

එම ලිපියේ මෙසේ ද සඳහන්ව තිබුණි.

‘මම නින්දට යන්නට පෙරත්, නින්දෙන් අවදිවීමෙන් පසුත් සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා කියලා මේ ලෝකයේ පාලනය කරන යම් ධර්මයක් තිබේ නම් මේ පොළොව මත දෙපයින් සිටීමට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා මම ප්‍රාර්ථනයක් කරනවා. ඒ වගේම මම නිළියක් කියන සම්ප්‍රදායෙන් බැහැර මගේම ගෙදර වැඩපල මම කරනවා. මගේ ගෙදර මිරිස්ගල, මෝල් ගහ පවා තියෙනවා. ගෙදරට ඕනෑ කුළුබඩු අදටත් මම මේවා මඟින් තමයි සකස් කර ගන්නේ. කොල මැල්ලුමක් මගේ ආහාර වේලට එකතු කර ගන්නවා.’

සිනමාවේ රූමත් නිළියක්ව සිටි රුක්මණී දේවිය මෙන් සම්භාෂණවලදී එඩ්නා විලාසිතාවලින් කැපී පෙනීමට කැමති වූවාය. ඇගේ සමීපතම සහෝදර නිළියක් වූ ශ්‍රියානි අමරසේන අපට කීවේ ඇය නිහතමානී ගතිගුණවලින් පෝෂණය වු කලාකාරියක් බවය. තමා නිෂ්පාදනය කළ ‘තරණය’ හා ‘දෑසේ මල් පිපිලා’ චිත්‍රපටවල රඟපෑ එඩ්නා සහයෝගය දෙමින් සොහොයුරියක ලෙස කටයුතු කළ ආකාරය ජීවිතයට අමතක නොවන මතක සටහන් තබන බව ඇය කීවාය.