වර්ෂ 2018 ක්වූ  මාර්තු 22 වැනිදා බ්‍රහස්පතින්දා




අධිවේගී මාර්ගය හරහා කොළඹ පාර

අධිවේගී මාර්ගය හරහා කොළඹ පාර

සුසිල් වික්‍රමසිංහ වේදිකා නාට්‍යය නිර්මාණය

‘කොළඹ පාර’ වේදිකා නාට්‍යයට තේමා වන්නේ සාමාන්‍ය නගරයක් හරහා යන මාවතක් පිළිබඳයි. ඒ මාවත අධිවේගී මාර්ගයක් බවට පත්වීමේදී පෙළ ගැසෙන ගැටලු රාශියක් හරහායි මේ වේදිකා නාට්‍යය දිග හැරෙන්නේ.

සුසිල් වික්‍රමසිංහගේ ‘කොළඹ පාර’ වේදිකා නාට්‍යයේ මංගල දැක්ම මේ මස 24 වැනිදා පස්වරු 6.45ට ලුමිබිණි රඟහලේදී පැවැත්වෙයි. රංගන ශිල්පියකු ලෙස සිය කලා ගමන අරඹන සුසිල් වික්‍රමසිංහ වේදිකාවට නැතුව ම බැරි ශිල්පියකු වන්නේ වේදිකාවේ අනුෂාංගික අංග මෙහෙය වීම සඳහා ය. ඊට පසුව කලක් නාට්‍ය සංවිධායකවරයකු ලෙස වේදිකාවේ සක්මන් කරන ඔහු වේදිකා නාට්‍යයක් අධ්‍යක්ෂණය කරන්නේ පළමු වරට ය. ඒ ඔහුගේ රංගනයට වසර හතළිහක පමණ කාලයක් ගතවද්දී ය. මේ ඔහුගේ කලා ගමන පිළිබඳත්, ප්‍රථම වේදිකා නාට්‍යය අධ්‍යක්ෂණය පිළිබඳත් ‘සරසවිය’ට කළ කතාබහකි.

ඔබ කොළොම්පුරවරයට පිවිසෙන්නට පෙර කලාවට පිවිසීමේ මඟ කියාදෙන්නේ දෙනියාය ප්‍රදේශය ද?

මා අධ්‍යාපනය ලබන්නේ දෙනියාය මධ්‍ය මහා විද්‍යාලයේ. එහිදියි මා රඟපෑමට පිවිසෙන්නේ. ඒ 1979 වසරේ උසස් අධ්‍යාපනය ලබමින් සිටන අතරතුරේදී එහි සිංහල ආචාර්ය අමරදාස රණවක ගුරුතුමාගේ ‘සෙනෙහස’ නාට්‍යයෙන්. ඉන්පසුවයි මා උසස් අධ්‍යාපනයෙන් පසුව කොළොම්පුරවරයට පිවිසෙන්නේ. එහිදි නොයෙක් ප්‍රවීණ නාට්‍යකරුවන් සමඟ කටයුතු කිරීමට මට ඉඩ ලැබෙනවා. ඒ අනුව දේව් ශ්‍රී ධර්මානන්දගේ ‘බොරුකකුල්කාරයෝ’ වේදිකා නාට්‍යයෙයි මා මුලින්ම රඟපාන්නේ. අනුර වරාගොඩ වගේ ම සතිස්චන්ද්‍ර එදිරිසිංහ වැනි නිර්මාණකරුවන්ගේ ඇසුරත් සමඟයි ‘සොක්කානෝ රජාණෝ’, ‘බක තපස්’ වැනි නිර්මාණවලට මා රංගනයෙන් සම්බන්ධ වන්නේ. ඔහුට මහවැලි ව්‍යාපාරයට සම්බන්ධ වීමත් සමඟ එහි පැවැත්වුණු නාට්‍ය වැඩමුළු කිරීමට සහය වන්නේත් මා ඇතුළු පිරිසයි. ඊට පසුවයි ප්‍රවීණ රංගන ශිල්පියකු වන ටෝණි රණසිංහ සමඟ ‘ජූලියර් සීසර්’ වගේ නාට්‍යයක රඟපෑමට මට අවස්ථාව හිමිවන්නේ.

ජයලත් මනෝරත්න මහතා සමඟ ඔහුගේ නිර්මාණවලට දායක වන ඔබ බොහෝ දෙනාගේ ආරාධනාව අනුව නාට්‍ය සංවිධායකවරයකු ලෙස කටයුතු කිරීම ආරම්භ කරන්නේ ඉන් පසුව ද?

එතැන් පටන් වේදිකාවේ සියලු ම අනුෂාංගික අංග නියෝජනය කරමින් එහි කටයුතුවල නියැළෙන මා රඟපෑ නාට්‍ය, නාට්‍ය උලෙළවලදි සම්මාන සඳහාත් නියෝජනය වුණා. වරක් මා හා ජයලාල් රෝහණ යෞවන නාට්‍ය උලෙළේදී හොඳම නළුවා සඳහාත් නිර්දේශ වුණු අතර ම ඉන් ජයග්‍රහණය කරන ලද්දේ ජයලාල් රෝහණයි. මට ඒ රඟපෑම සඳහා ලැබුණේ විශේෂ සම්මානයක්. ජයන්ත චන්ද්‍රසිරිගේ ‘අත්’, ‘මෝරා’ වැනි නිර්මාණවලටත් සහභාගි වන මා හෙක්ටර් කුමාරසිරිගේ ‘බිසෝ’, ඉන්දික ෆර්ඩිනෑන්ඩුගේ ‘ජනාධිපති තාත්තා’ වැනි නිර්මාණ හරහායි සංවිධායකවරයකු ලෙස ආරම්භය සනිටුහන් කරන්නේ. බොහෝදෙනා මා නාට්‍ය සංවිධායකවරයකු බව දැන ගන්නේ ජයලත් මනෝරත්න මහතාගේ නාට්‍ය සංවිධානය කිරීම හරහායි.

‘කොළඹ පාර’ වේදිකාවට නැඟෙන්නේ කුමන අදහසක ප්‍රතිඵලයක් විදියට ද?

‘කොළඹ පාර’ කියන්නේ මගේ පළමු වේදිකා නාට්‍යය අධ්‍යක්ෂණයයි. එහි පිටපත රචනා කරන්නේ කපිල කුමාර කාලිංගයි. ස්වීය රචනයක් වුණු ‘කොළඹ පාර’ වේදිකා නාට්‍යය මා දකින්නේ මේ තිබෙන ප්‍රවාහයට ප්‍රතිවිරුද්ධව යන නාට්‍යයක් ලෙසයි. යම් බැරෑරුම් ගණයේ නාට්‍යයක් ප්‍රේක්ෂකයන්ට රස විඳීන තත්ත්වයට ගෙනෙන්නේ කොහොමද කියන කාරණය මට එල්ල වුණු අභියෝගයක්. ඒ අභියෝගය ජය ගැනීමේ අදහස පෙරදැරිවයි ‘කොළඹ පාර’ වේදිකා නාට්‍යය වේදිකාගත කරන්නේ. ඒ නාට්‍යයේ අදහස බොහෝ ප්‍රේක්ෂකයන්ට ග්‍රහණය වේවි කියලා මා විශ්වාස කරනවා.

‘කොළඹ පාර’ වේදිකා නාට්‍යයට පාදක වන්නේ වර්තමාන සමාජයේ පැන නැඟී තිබෙන එක්තරා සමාජ ප්‍රශ්නයක පැතිකඩක් ද?

‘කොළඹ පාර’ වේදිකා නාට්‍යයට තේමා වන්නේ සාමාන්‍ය නගරයක් හරහා යන මාවතක් පිළිබඳයි. ඒ මාවත අධිවේගී මාර්ගයක් බවට පත්වීමේදී පෙළ ගැසෙන ගැටලු රාශියක් හරහායි මේ වේදිකා නාට්‍යය දිග හැරෙන්නේ. ඒ මාවත ඉදිකිරීමේදී පාර දෙපස සිටින පුරවැසියන්ගේ ඉඩම් අත්පත් කර ගැනීම නිසා ඔවුන් මුහුණපාන ගැටලු හරහායි ‘කොළඹ පාර’ වේදිකා නාට්‍යයේ පිටපත නිර්මාණය වන්නේ. එහිදි ඔවුන්ට ලබාදෙන වන්දි මුදල් නිසා සමහරු තෘප්තිමත් වන අතර ම සමහරුන්ට සිය පදිංචිය ඔප්පු කරගැනීමේ අනන්‍යතාව නොමැති වීම නිසා ඒ වන්දි මුදල් හා සිය පදිංචි ඉඩම අහිමි වීමත්, ඔවුන්ගෙන් සමහරු විරැකියාවට පත්වීමත්, සමහරු ඒ ප්‍රදේශය අතහැර වෙනත් ප්‍රදේශයකට සංක්‍රමණය වීමත් ආදී විවිධ ගැටලු රැසක් නාට්‍යයේදී සාකච්ඡා කෙරෙන බව කිව යුතුයි. ඒ සියලු ගැටලු සාකච්ඡා කෙරෙන්නේ රැකියාවෙන් විශ්‍රාම ගොස් සිටින වයසක නෝනා කෙනෙක් හා මහත්තයකු මූලික කරගෙනයි. එහි ප්‍රධාන චරිත බවට පත්වන්නේ ඔවුන් දෙදෙනායි.

‘කොළඹ පාර’ වේදිකා නාට්‍යය පිටපත කපිල කුමාර කාලිංගගේ නිර්මාණයක්

‘කොළඹ පාර’ වේදිකා නාට්‍යයේදී විවිධ චරිත නියෝජනයක් දක්නට ලැබෙනවා. එහිදි විවිධ උප සංස්කෘතිවල ජීවත් වන මිනිසුන්ගේ සමාජ මානසික තත්ත්වයන් හා ඔවුන් ඒවාට හුරුදු පුරුදු වී තිබෙන ආකාරය ගැන පැවසීමට වගේ ම ඔවුන්ගේ විවිධ චරිත ලක්ෂණත් වේදිකාවට රැගෙන පැමිණීමට කපිල කුමාර කාලිංගගේ පිටපතට හැකි වී තිබෙන බව කිව යුතුයි. එහිදි නාට්‍ය ගුණයෙන් පොහොසත් නාට්‍යමය ලක්ෂණයන්ගෙන් යුත් අවස්ථා ගණනාවක් නාට්‍ය ඇතුළේ මේ රචනාවට ග්‍රහණය වී තිබීමත් විශේෂත්වයක්.

‘කොළඹ පාර වේදිකාවට රැගෙන පැමිණීමට ඔබට සහය වූ නළු නිළියන් පිරිස කවුරුන් ද?

ජනක කුඹුකගේ, අවන්ති අපොන්සු, ජෙහාන් ශ්‍රී කාන්ත අප්පුහාමි, ජයන්ත මුතුතන්ත්‍රි, ලංකා බණ්ඩාරනායක, සුමිත් ශාන්තප්‍රිය, කැලුම් ගම්ලත් කියන පිරිසයි රංගනයේ නියැළෙන්නේ. මෙහි සංගීතය නිර්මාණය කරන්නේ නවරත්න ගමගේයි. ඇඳුම් නිර්මාණයෙන් සුවිනීතා පෙරේරාත්, පසුතල නිර්මාණයෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු වන චතුරත්, දමින්ද මෙන්ඩිස් වේදිකා පරිපාලනයෙනුත්, වේශ නිරූපණයෙන් ප්‍රකාශ් යන ශිල්පීන් හා ශිල්පිනියයි සහය වන්නේ. ‘කොළඹ පාර’ නාට්‍යය අධ්‍යක්ෂණය කරන ගමන් ම සංවිධායක කටයුතු කරන්නේත් මමයි. මේ නිර්මාණය දිගින් දිගටම පවත්වා ගෙන යමින් සාර්ථකත්වය ලැබූ පසුව තවත් නාට්‍යය නිර්මාණයක් වේදිකාවට රැගෙන පැමිනීමටයි මා අදහස් කරගෙන සිටින්නේ.

මෙහි සංගීතය නිර්මාණය කරන්නේ නවරත්න ගමගේයි. ඔහුගේ සංගීතයෙන් මේ නාට්‍යයට ලැබෙන ආලෝකය මොන වගේ ද?

මෙහි පෙළ නිර්මාණය වී තිබෙන ආකාරය අනුව මට හැඟී ගිය කාරණයක් වූයේ සංගීතය හරහා මේ නාට්‍යය මනා ආලෝකයක් ලබා ගත හැකි බවයි. ඒ අනුව ‘කොළඹ පාර’ වේදිකා නාට්‍යයේ පෙළ හා බද්ධ වූ කවි ගායනා රැසක් ඇතුළත්. ඒ කවි ගායනා බොහොම නිර්මාණශීලී විදියටත්, පෙළ මඟින් කියැවෙන අදහස අර්ථවත් වන විදියටත් නවරත්න ගමගේ නාට්‍යයට සංගීතය නිර්මාණය කර තිබෙන අයුරු දැකිය හැකියි. ඔහු නිර්මාණය කරන ලද සජීව සංගීතයක් සමඟ ප්‍රේක්ෂකයාට 24 වැනිදාට ‘කොළඹ පාර’ නාට්‍යය නැරැඹීමට ලුම්බිණි රඟහලට පැමිණෙන්නැයි අප ආරාධනා කරන්නේ බොහෝ ආදරයෙන්.