|
ත්‍රස්තවාදීන් දණ ගැස්සූ 7 Days in Entebbe1976 වසරේ දී සිදු වූ සත්‍ය සිදුවීමක්
ජොසේ පදිල්හා අධ්‍යක්ෂණයක්
සේපාල ඒකානායක විසින් 1982 ජූනි 30 වෙනිදා අලිතාලියා ගුවන් සමාගමට අයත් සිවිල් ගුවන් යානයක් ගුවනේ දී පැහැර ගැනීම සිදු කරන්නේ තම බිරිඳ හා දරුවා පිළිබඳ තිබූ අසීමිත ආදරය නිසා. ඉතාලි ජාතික බිරිය සහ පුතු සමඟින් ඉතාලියේ ජීවත්ව සිටියදී වීසා අහිමි වී බිරිය සහ පුතුගෙන් වෙන්වීමට නොහැකි වූ වේදනාවෙන්. අද මේ කතාවත් ගුවන් යානා පැහැර ගැනීමක් ගැනයි. එය සේපාල ඒකනායක ගැන නොවුණද ගුවන්යානා පැහැර ගැනීමක් පිළිබඳ අසන්නට ලැබෙන විටදී ඔහු පිළිබඳ මතකයත් සිහියට නැඟෙන්නේ නිරායාසයෙන්. පසුගිය 16 වැනිදා අමෙරිකා එක්සත් ජනපදය ඇතුළුව ලොවපුරා තිරගත කිරීම ආරම්භ කළ Entebbe චිත්‍රපටය ගෙන එන්නෙත් තවත් එක් ගුවන් යානා පැහැර ගැනීමක්.
මෙය එන්ටෙබේ මෙහෙයුම පිළිබඳ සිනමාවට නැඟුණු පස්වැනි චිත්‍රපටය යි. මීට පෙර අමෙරිකානු රූපවාහිනි චිත්‍රපට ද්විත්වයක් වන Victory at Entebbe (1976), Raid on Entebbe (1977) සහ ඊශ්‍රායල චිත්‍රපටයක් වූ Operation Thunderbolt (1977) ද චක් නෝරිස් හා ලී මාවින් ප්‍රධාන චරිත රඟපෑ Delta Force එලෙස තැනුණ ද චිත්‍රපටයන්ය. Operation Thunderbolt හා Delta Force චිත්‍රපට දෙකම ශ්‍රී ලංකාවේ අතිශය සාර්ථක ලෙස තිරගත විනි. මෙම චිත්‍රපට දෙකම අධ්‍යක්ෂණය කරන ලද්දේ මෙනහම් ගෝලන් විසිනි. උගන්ඩාවේ එන්ටෙබේ ගුවන්තොටුපොලේදී මෙම ගුවන්යානා පැහැර ගැනීම සිදු වූයේ 1976 වසරේ ජූනි 27 වැනිදා. මගීන් 248ක් රැගත් ඊශ්‍රායලයේ සිට ප්‍රංශයේ පැරිස් දක්වා ගමන් ගත් එයාර් ෆ්‍රාන්ස් ගුවන් සමාගමට අයත් එම ගුවන් යානය පැහැර ගැනීම පලස්තීන ජාතිකයන් දෙදෙනෙකු සහ ජර්මානු ජාතිකයන් දෙදෙනෙකුගෙන් සැදුම් ලද ත්‍රස්ත කල්ලියක් විසින් සිදු කරන්නේ ඩොලර් මිලියන පනහක මුදලක් සහ ඊශ්‍රායලයේ සිරකර ගෙන සිටි පලස්තීන හමුදා භටයන් 53 දෙනෙකු නිදහස් කර ගැනීම වෙනුවෙන්.
එහිදී ත්‍රස්ත කල්ලියේ සියලුම සාමාජිකයන් සහ උගන්ඩා හමුදා භටයන් 45 දෙනෙකු මරණය පත් වූ අතර එන්ටෙබේ ගුවන්තොටුපොලේ තිබූ ගුවන් යානා විශාල සංඛ්‍යාවකට ද හානි පැමිනුණා. මෙහෙයුම අතරතුර එක් ඊශ්‍රායල හමුදා භටයෙක් මරණයට පත්වී තවත් පස් දෙනෙකු තුවාල ලද අතර ගුවන් යානයේ මඟින් අතරින් තිදෙනෙකු මරණය පත් වී දස දෙනෙකු තුවාල ලැබුවා. දින හතක් ගත වූ පසු 1976 ජූලි 04 වැනිදා ඊශ්‍රායල හමුදාව විසින් මෙම එන්ටෙබේ මෙහෙයුම ඉතා සාර්ථක අයුරින් නිම කළේ ලොව සිදු වූ භයානකම මුදා ගැනීමේ මෙහෙයුම ලෙසින් ඉතිහාසයට එක් වෙමින්. පසුගිය පෙබරවාරි මාසයේදී බර්ලින් ජාත්‍යන්තර සිනමා උලෙළේදී මංගල දර්ශනය පැවැත් වූ Entebbe චිත්‍රපටයේදී මෙම මෙහෙයුම යළිත් ප්‍රතිනිර්මාණය වී ඇති අතර රොසමුන්ඩ් පයික්, ඩැනියෙල් බෘහ්ල්, ලියෝ අශ්කෙන්සි, මාර්ක් අයිවන්, ඩෙනිස් මෙනොෂේ ඇතුළු පිරිසක් එහි රංගනයෙන් දායක වී ඇත. මිනිත්තු 106ක් පුරා දිවෙන මෙම චිත්‍රපටයට දැනට විචාරක ප්‍රතිචාර හිමි වී තිබෙන්නේ සෘණ මට්ටමෙන් බවයි හොලිවුඩ් පුවත් ගෙන එන්නේ. අධ්‍යක්ෂ පදිල්හාට තිබුණු මෙහෙයුම ඉතා සරළ එකක් බවත් ලොව අවධානය දිනා ගත් 1976 වසරේදී සිදු වූ මෙහෙයුම පිළිබඳ ඔහු අලුත් යමක් පවසන්න ගත් උත්සාහය අසාර්ථක බව 'ද රැප්' හි විචාරක බෙන් ක්‍රෝල් පවසයි. මෙම චිත්‍රපටය නරඔන විටදී ප්‍රාණ ඇපකරුවන් පිරිස දින හතක් පුරා ප්‍රාණ ඇපයේ සිටි බව නොපෙනුණ ද තමන් විසින් මෙම චිත්‍රපටය නැරඹූ මිනිත්තු 106 දින හතක් සේ දැනුණු බව තවත් විචාරකයෙකුගේ අදහසයි.
|