වර්ෂ 2018 ක්වූ  මාර්තු 08 වැනිදා බ්‍රහස්පතින්දා




සළකුණ ස්ථාපිත කළ පුරහඳ කළුවර

සළකුණ ස්ථාපිත කළ පුරහඳ කළුවර

බණ්ඩාර මිය ගියා යැයි පවුලේ අයත්, ග්‍රාම සේවකයාත් වන්නි හාමි ට ඒත්තු ගන්වන්නට කෙතරම් උත්සහා කළද වන්නි හාමි තම මතය වෙනස්කිරීමට කැමති වූයේම නැත. බණ්ඩාර මියගියා යැයි ඔහු කිසිසේත් පිළි ගන්නේ නැත. බණ්ඩාර වෙනුවෙන් රජය මගින් ගෙවන වන්දි මුදල ලබා ගැන්මට නම් බණ්ඩාරගේ පියාවූ වන්නිහාමි අත්සන් කළ යුතුය.

නොමැරුණු තම පුතු වෙනුවෙන් වන්දි භාර ගැනීමට විරුද්ධ වුනු වන්නි හාමි තම පුතු කවදා හෝ නිවසට එන බව තරයේම විශ්වාස කළේය. එහෙත් අන් අයට අවශ්‍ය මුදල්ය. එතරම් දරිද්‍රතාවයකින් ඔවුන් පෙලඹෙන්නට ඇත. ග්‍රාම සේවකයා නම් ඒ ගැන උනන්දු වුයේ, එමගින් හෝ තමන් බණ්ඩාරට දුන් නය ටික පියවා ගැන්මටය. "ඇස් පෙනෙන ඔවුන්ට නොපෙනෙන සත්‍ය , ඇස් නොපෙනෙන තමාට පෙනීම " වන්නි හාමිගේ ඒකායන සිතුවිල්ල විය.

ප්‍රසන්න විතානගේ හැරවුම් ලක්ෂණය වූ "පුරසද කළුවර" තේමා පාඨය එය විය .යුද්ධය නොපෙන්වා යුද්ධය පෙන්වීමේ,විශිෂ්ටත්වය තුළ ප්‍රසන්නගේ අධ්‍යක්ෂණය පරිපෝෂණය විය. කුඩාම සිදුවීමක් විශාල ලෙස හුවා දැක්වීම නම් විශ්මිතය. සිදුවීම නම් වන්නිහාමි තම පුත්‍රයා මිය ගියා යැයි පිළිගැන්මට කිසි සේත් කැමති නොවීමය. ප්‍රසන්න මේ ඛේදවාචකය ආරම්භ කරනුයේ,ඛේදවාචකයන් අතර තුරමය. මුලින්ම දරුණු පෑවිල්ල, ඉරි තැලී ගිය ගිනියම් වූ කාෂ්ඨක පොලව. ඒ සමගම හිදී යන වැවෙන් බුලි වලට පුරව ගන්නා වතුර පානුයේ තව දිනකීපයකින් වැව ද හිදෙන බව දන්වමිනි. ඉන්පසු බණ්ඩාර යුද්ධයේදී මියගිය බව කියමින් ගෙන එන සීල් තැබූ මිනි පෙට්ටිය. මේ සියල්ලම එකතු කර ඔහු තැන්පත් කරන්නේ හින්නිහාමිගේ මුහුණේය. පිරිත් සජ්ඣායනය හඩ සමඟ දවස ආරම්භ කළද ඒ දවස එතරම් ශාන්ත වූයේ නැත.

මුල් විනාඩි කීපය තුළින්, ප්‍රසන්න තමන්ට අවශ්‍ය ඉමට පැමිණියේය. සිද්ධාන්තයේ පෙරළියට ඔහු සවිමත් අඩිතාලමක් දැමුයේද මේ සීල් තැබූ මිනි පෙට්ටිය හරහාය. ප්‍රසන්න,සියුම් දේ තුළින්,විශාල අරුතක් දෙන්නට තැත් කරයි. මිනීපෙට්ටිය ,වැඩි පහසු කමක් නැති සාලයේ තබා තිබෙන විට, එවලේ වහින මුරුගන් වර්ෂාව නිසා වහලය හිල්වූ තැන් වලින් වතුර ගලා විත් මිනි පෙට්ටියට වැටෙයි . මිනීපෙට්ටිය වෙන පැත්තකට හැරවීමටවත් එම සාලයේ ඉඩකඩ නැත. මේවා ඉතාමත් සියුම් දේවල්ය.

නමුත් ප්‍රසන්න ඒ තුළින් මිනිසුන්ගේ හදවත් තුලට කූඨ ලෙස රිංගීය. එහී තවත් අවස්ථාවකි මිනිය කනත්තට වැව් කණ්ඩිය හරහා යන විට, වැවේ මාළු උඩ පනින ශබ්දය. වැවේ මාළු අප දකින්නේ නැත. එහෙත් ශබ්දය අපට ඇසේ . එලෙසම වතුර කැලැත්තෙන අයුරු දෘශ්‍ය වේ. මිනිය රැගෙන යාමත්, වැව් කණ්ඩියේ මාළු උඩ පැනීමත් අතර සම්බන්ධයක් නැත. එහෙත් මිනිය ගෙනියන්නේ වැව් කණ්ඩිය හරහාය. නමුත් ප්‍රසන්න අප අවධානය මිනිය මතම නොතියා,වැවේ මාළු කරා ගෙන යන්නේ ඉතාමත් සුක්ෂම ලෙසය. ප්‍රසන්න තමාගේ "බ්‍රෑන්ඩ්" එක සාදා ගත්තේ මේ අයුරිනි. එවැනි සංකේත අප ඔහුගේ මුල් චිත්‍රපට තුනේදී දුටුවේ නැත.

කිලෝ මීටර් ගණනාවක දුර සිට වුවද වන්නිහාමි ග්‍රාමසේවකගේ තැපැල් නයින්ටි මෝටර් බයිසිකලේ හඩ හදුනා ගනී. ඔහු එන හේතුවද වන්නිහාමි හොදාකාරව දනී. ඒ බණ්ඩාරගේ වන්දිමුදල ගැනීමට අවශ්‍ය පෝරම කොළ වන්නිහාමි ලවා අත්සන්කර ගැනීමටය. ග්‍රාමසේවක එයට වලිකන්නේ බංඩාර විසින් සාදන්නට පටන් ගත් නිවෙස ග්‍රාමසේවකට උකස් කොට මුදල් ලබා ගත් නිසාය. බණ්ඩාර වෙනුවෙන් දෙන වන්දි මුදල ගතහොත් ග්‍රාමසේවකයාට තම නය මුදල පියවා ගැන්මට පුළුවන.

එහෙත් නොමැරුණු පුතු වෙනුවෙන් ඇගිලි අත්සන තියන්නට වන්නිහාමි අකැමති නිසා ග්‍රාමසේවකගේ බයිසිකලයේ හඩ ඇසෙන විටම ඔහු ග්‍රාමසේවකයාව මග හරින්නට බලයි . සුනන්දා ද තම පියා වූ වන්නිහාමිගෙ සිතුම් පැතුම් හදුනාගෙන සිටි නිසා, වන්දි මුදල ගැන එළවන්නේ නැත. එහෙත් සුනන්දාව සහයෙට ගන්නට සිටින සෝමේ ඉව ඇල්ලුවේද මෙම වන්දි මුදලටය. ඒ කුමක් හෝ ව්‍යාපාරයක් පටන් ගෙන සුනන්දා සමග දීගේ කෑමටය. සුනන්දා, බණ්ඩාර ගේ මරණය ,ගැන වන්නිහාමි සිතන ආකාරයට රහසින් එකග වූ නිසා, ඇය ඇදුම් කම්හලක රැකියාවක් සොයා ගත්තාය.

සුනන්දා ගේ සොහොයුරිය යමුනා හා ඇයගේ සැමියා පාල බණ්ඩාරගේ තුන් මස දානයට ලක ලැස්ති විය. ඔවුන්ද මෙය සැලසුම් කරන්නේ වන්දි මුදල ලබාගෙන කරන්නටය. එහෙත් තම පුතු ජීවත් බව තරයේම විශ්වාස කල වන්නිහාමි යමුනා කෙතරම් කාරුණීකව කීවත්, හඩ හඩා කීවත් කෙලෙසකවත් එම පෝරමයට ඇගිලි සලකුණ තිබ්බේ නම් නැත. "හෙට අනිද්දා උගසට තිබ්බ ගේත් සින්න වෙන්න යනවා. අප්පච්චි හදන්නේ ජීවත් වෙලා ඉන්න අයවත් නැති කරන්න" යමුනා බැරිම තැන එසේ කීවද, වන්නි හාමි එය කනටවත් ගත්තේ නැත.

ප්‍රසන්න, වන්නිහාමි තුල ඇති කල අධිෂ්ඨානය හරි ප්‍රබලය. මුළු සිනමාපටය තුලම එම අධිෂ්ඨානය රැදී පැවතුනි. ප්‍රසන්නගේ අධ්‍යක්ෂණය තුලින්ද එම අධිෂ්ඨානය මැනවින් දක්නට ලැබුණි. මිනිසුන් මුදල් පසු පස හඹා යන ආකාරය ප්‍රසන්න හේතු දක්වන්නේ ඔවුනගේ දරිද්‍රතාවය නිසා යනුවෙනි. සෝමේ වන්දි මුදල ගැන උනන්දු වන්නේ තමන්ගේම කියා ව්‍යාපාරයක් පටන් ගෙන සුනන්දා සමග සතුටින් සිටීමටය .යමුනා හා පාල උත්සහා ගන්නේ එම වන්දි මුදලගෙන උගසට තිබු ගෙය බේරා ගෙන ,බණ්ඩාරගේ තුන්මස දානය දීමටය .

ග්‍රාමසේවක උත්සහා ගන්නේ බණ්ඩාර විසින් තමාට ඔහු හදාගෙන ගිය අලුත් ගෙය උගසට තබා තමාගෙන් ගත් මුදල් ,මෙම වන්දිය ලැබුණු පසු යළි ආපසූ අය කර ගැන්මටය. මේ හැම ක්‍රියාවක්ම හරිම සාධාරණය.එතැන මුදල් පසු පස ඔවුන් හඹා යන්නේ අත්‍යවශ්‍යම කරුණු කීපයක් නිසාය. "අප්පච්චි හදන්නේ ජීවත් වෙලා ඉන්න අයවත් නැති කරන්න" කියා යමුනා කියන්නේ එම කරුණු හේතුකොටගෙනය. එහෙත් මේ කිසිවකට නෑසුණු කන් ඇත්තෙක් ලෙසය වන්නිහාමි සිටියේ.

ඇත්තටම බණ්ඩාර මිය ගියාද කියන උබකෝතීටික ප්‍රශ්නයට ප්‍රේක්ෂකයන් ඇතුළු සියල්ලම මැදිහත් වී සිටියහ. ඒ සා, ප්‍රසන්න පවා බණ්ඩාර මියගියාද නැත්නම් තවමත් ජීවතුන් අතර සිටිනවාද කියා දැන ගෙන සිටියේ නැත. නමුත් මෙයට නිශ්චිත පිළිතුර වන්නිහාමි දැන සිටියේය. දැන සිටියා පමණක් නොව, එය ඔහු ප්‍රකාශ කළේය. "යුද්ධෙ ගජරාමෙට යනවලු නේද, ඔය රේඩියෝ එකෙනුත් කියන්නේ. අපේ කොලුවත් ඔය කොහේ හරි ඇති". එසේම තවත් තැනක ඔහු මෙසේ කීය. " බාස් ළමයා ඔය වැඩේ ඉවරවෙන්න කොච්චර කාලයක් යයිද , මොකද අපේ ගේ වැඩෙත් ආයෙත් පටන් ගන්න යන්නේ ,ලබන පෝයට කලින් ".... වන්නි හාමි පවසන මේ දෑ වලින් කියවනුයේ බණ්ඩාර ජීවත් වන බව නොවේද?. ප්‍රසන්න මෙම චිත්‍රපටයේ තිර නාටකය තුල පෙන්වූ "මැජික්" එක මෙයය.

අන් අතකට ප්‍රසන්න මේ හැම දෙයම එකතු කොට ඇලවුවේ සුනන්දා ගේ මුහුණේය. එම මුහුණ තුල, බණ්ඩාර මිය ගියාද, නැද්ද යන්නත්, යමුනා හා පාල වන්දිමුදලින් බලා පොරොත්තු වන්නේ කුමක්ද?, සෝමෙට අවශ්‍ය තමාවද, නැති නම් වන්දිමුදලින් කොටසක්ද යන ප්‍රශ්නවලට පිළිතුරු තිබුනි. මේ ප්‍රසන්නගේ "බ්‍රෑන්ඩ්"එකය. ඒ ඉදිරිපත් කිරීම් රටාව ප්‍රසන්න හැරෙන්න වෙන කිසිවෙක් ළඟ තිබුනේ නැත.

පෝරම කොලයට අත්සම තැබීමට යැයි බල කරමින් හැම පැත්තෙන්ම වන්නිහාමිට එන බලපෑම් උග්‍ර වන විටය ඔහුගේ අත උදැල්ලට ගියේ. දෑස් නොපෙනෙන වයෝවෘද්ධ මිනිසෙකුට කෙලෙසකවත් කිරීමට නොහැකි කාර්යකට වන්නි හාමි අත තැබුවේ තම සිතේ තිබු අධිෂ්ඨානයේ ආවේගය නිසාය. ඒ ආවේගය විසින් ඔහුව "ඉන්ක්රේඩිබල් " මිනිසකු කළේය. ඔහු ජවයෙන් පරිපූර්ණ විය. බණ්ඩාර වැළලු වල හාරා පෙට්ටිය මතුකරගන්නට ඔහු සමත් වුයේ ඒ අධිෂ්ඨානයේ ආවේගයේ ජවයයි. සීල් කෙරූ පෙට්ටිය තුල තිබෙන්නේ කුමක්දැයි වන්නිහාමි නොදැන සිටියද, ඒ තුල බණ්ඩාර නොසිටින බව නම් ඔහු සක්සුදක් සේ දැන සිටියේය. ඔහුට අවශ්‍ය වූයේ මේ පෙට්ටිය තුල බණ්ඩාර නොසිටින බව අන් අයට ඔප්පුකිරීමටය.

ජෝ අබේවික්‍රමට "ඔහේ ඉන්නට" කියා කී ප්‍රසන්න ඔහුගේ නහර තුලට චරිතයේ ස්වභාවය විද්දේය. චරිතය කුමක්දැයි ජෝ අවබෝධ කර ගන්නට විය. ජෝට "ජෝ"ව අමතක විය. ඒ අමතක වීමේ ප්‍රතිඵලය වූයේ 1999 සිංගප්පූරු ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේ ආසියාවේ විශිෂ්ටතම නළුවා වීමය.ප්‍රසන්න තම හැව අත හැර ප්‍රසන්නම වී ආයේ "පුරසද කළුවර " තුළිනි. එතැන් සිට ඔහු "බ්‍රෑන්ඩඩ්" විය. "ප්‍රසන්න ලාංජනය" අපට ලැබුනේ මේ හරහාය. රණවිරුවන්ගේ මානසිකත්වය පහතට දැමීම,හා, යුද්ධ හමුදාව හැල්ලුවට ලක්වීම වැනි බොළද ප්‍රලාප වලට අධිකරණය දුන්නේ පැහැදිලි තීරණයකි.

ප්‍රසන්න යනු සිනමාකරුවෙකි. ඔහුගේ චින්තනය තුළ ,අධ්‍යනයෙන් හැදුණු දෑ තමන්ගේ ප්‍රකාශනය හරහා එළිදැක්වීමේ නිදහස ඔහුට තිබිය යුතුය. "පුරසද කළුවර " තුළින් ප්‍රසන්න එදා තිබු යථාර්ථය පෙන්වීය. ඇතැමුන් කෙතරම් දුෂ්කර පළාතක සිටියද අධ්‍යාපනයෙන් හා ජීවන රටාවෙන් පහත් තත්වයක් සිටියද, යථාර්ථයත් - මායාවත් අතර වෙනස ඔවුන්ටද වැටහෙන්නට විය. ප්‍රසන්න වන්නිහාමි හරහා නියෝජනය කළේ එකී යථාර්ථයයි.

(ලබන සතියේ තව කොටසක්)