|
අතීත කලා ලෝකයේ රස තොරතුරු සොයා යන ලිපි පෙළක්
අදට වැඩිය හෙට හොඳයි, මංගලිකා, සුදෝ සුදු ළමා නළුවා මෙන්න
‘අම්මා ඔබයිනේඅප්පා ඔබයිනේආදරයෙන් අප රකිනාදෙවිඳා ඔබයිනේඅම්මා ඔබයිනේ’1963 ජූලි 26 වෙනිදා තිරගත වූ බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න අධ්‍යක්ෂණය කළ ‘මංගලිකා’ චිත්‍රපටයේ ළමා අනාථ නිවසක ළමුන් ගයන මේ ගීතය ගයන්නේ ඉන්ද්‍රාණි විජයබණ්ඩාර සහ පිරිසය. මේ අවස්ථාවේ චිත්‍රපටයේ ළමුන් සමඟ මූලිකව ගයන්නේ ළමා නළු තිලක් පුෂ්ප කුමාරය. වසර 35 ක් පමණ ප්‍රංශයේත්, එංගලන්තයේත් ගත කළ තිලක් මේ දිනවල මහරගම තම නිවසේ පදිංචිව සිටී. ඔහුගේ මුහුණු පොතේ ගිනුම ඊඩඪතචඬ ර්‍ථභඵඩනචඬභථචපචය. ඔහු සරසවිය වෙනුවෙන් සිය අතීත මතකය අවදි කරමින් කතා කළේ සොම්නසිනි. ‘මගේ තාත්තාගේ නිවස තිබුණේ මීගමුවේ පෙරියම්මුලේ දළුපොත. අපේ ගේ ඉදිරිපිටම අපේ සිනමාවේ පුරෝගාමී කලාකරුවෙකු වූ හියුගෝ ප්‍රනාන්දු මාස්ටර්ගේ ගෙදර තිබුණේ. තාත්තා සංගීතයට කැමති, ඕනෑම වාද්‍ය භාණ්ඩයක් වාදනය කළ හැකි කලාකාරයෙක්. සංගීත අධ්‍යක්ෂවරයෙක් වගේම නාට්‍ය නිෂ්පාදකයෙක්, රචකයෙක්, ගායකයෙක්. මේ නිසා කුඩා කාලයේ අපේ ගෙදර හැමෝටම සින්දු කියන්න පුළුවන්කම තිබුණා. අපේ තාත්තා දළුපොත ගමේ නාට්‍යයක් කළා ‘ශාන්ත අන්තෝනි මුනිතුමාගේ ජීවිත කතාව‘ කියලා. එතුමාගේ ජීවිතයේ වයස් තුනම විකාශනය වන විදිහට. තාත්තා මේ නාට්‍යයේ ගීතයක් ගයමින් රඟපැවා’ තිලක් කී විට ඔහු සමඟ පැමිණි වැඩිමහල් සොහොයුරු නාලන්ද ප්‍රනාන්දු ඒ ගීතය තම පියා සේම අනුකරණය කරමින් රඟපාමින් අපට ඒ ගීතය ගයා පෙන්නුවේය. ‘බක තපස්වරයා,වාද කරලා, බේද කරලා,බේද කරල වාද කරලාඒ තපස්වරයා’නාලන්ද, ධම්ම ජාගොඩගේ ගෝලයකු නිසා ඔහුට තම පියාගේ ප්‍රතිභාව මැනවින් රඟපා පෙන්විය හැකි විය. තිලක් පුෂ්ප කුමාර හෙවත් බුලත්වලගේ ක්ලෝඩ් තිලක් පුෂ්ප කුමාර ප්‍රනාන්දු මීගමුවේ උපත ලැබුවේ 1956 වසරේ අගෝස්තු 12 වෙනිදාය. ඔහුගේ පියා ඩී. ආර්. ප්‍රනාන්දුය. පියාගේ ගම මීගමුවය. රත්මලානේ මාග්‍රට් පෙරේරා සමඟ විවාහ වී සිංගර් සමාගමේ රත්මලානේ ශාඛාවේ කළමනාකරු ලෙස සේවය කළේය. ඔවුන්ට දූ දරුවන් පස් දෙනෙකි. තිලක් පවුලේ බාලයාය. තිලක්ගේ වැඩිමහල් අක්කා රීටා මහනුවර ද, නාලන්ද අයියා මහරගම ද, උපාලි අයියා මොරටුවේ ද, අයිරාංගණී අක්කා කැනඩාවේ ද පදිංචිව සිටිති. තිලක්ගේ පියා කතෝලිකය. තාත්තාගේ ගෙදර තිබුණේ මීගමුවේ ශාන්ත ඇන්තනිස් දේවස්ථානය යාබද නිවසේය. අම්මාගේ නිවස තිබුණේ රත්මාලනේ පුෂ්පාරාමයට යාබද නිවසකය. මේ නිසා තිලක් ඇතුළු සහෝදර සහෝදරියෝ බෞද්ධයන් වූහ. ‘මගේ තාත්තා මීගමුවේ ඉන්න කාලයේ සමකාලීන මිතුරන්ව සිටියේ චිත්‍රපට අධ්‍යක්ෂ බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න හා සංගීත අධ්‍යක්ෂවරයකු වූ හියුගෝ ප්‍රනාන්දුයි. තාත්තා මීගමුවේ මාරිස්ටෙලා විද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ බී. ඒ. ඩබ්ලිව්. අන්කල් ඉහළ පන්තියක හිටියලු. දෙන්නාම නාට්‍ය ගැන උනන්දුව දක්වා ඇත්තේ ඒ කාලේ. මම අධ්‍යාපනය ලැබුවේ බම්බලපිටියේ ශාන්ත පීතර විද්‍යාලයේ. පාසල් වේදිකාවේ මම ‘මහදැනමුත්තා’ ලෙස රඟපාලා ජනප්‍රිය වුණා. මට මේ චරිතය රඟපාන්න සරමක් අරන් දුන්නේ එඩී ජයමාන්න අන්කල්. රැවුලක් තියාගෙන මම රඟපෑ ‘මහදැනමුත්තා’ නිසා මම පාසලේ කැපී පෙනුණා. මගේ පන්තියේ හිටිය යාළුවෙක් හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක.’ තිලක් පාසල් ජීවිතය ගැන සඳහන් කරමින් කීවේය. තිලක් මහදැනමුත්තා ලෙස පාසලේ රඟපෑ බව හියුගෝ ප්‍රනාන්දු මාස්ටර් දැන සිටියේය. ඒ වන විට තිලක්ට වයස අවුරුදු 7 ක් පමණ ඇත. හැඳල විජය චිත්‍රාගාරය විවෘත කර 1962 වසරේ ‘අදට වැඩිය හෙට හොඳයි’ චිත්‍රපටයේ වැඩ කටයුතු ආරම්භ කොට එහි රඟපෑ ගාමිණී ෆොන්සේකා, ආනන්ද ජයරත්න, ජීවරාණි කුරුකුලසූරිය හා නෙල්සන් කරුණාගම ආදී ප්‍රධාන චරිතවල කුඩා අවදිය රඟපෑමට ළමා නළු නිළියෝ සෙවූහ. දිනක් හියුගෝ මාස්ටර් තිලක්ගේ පියා සොයා පැමිණියේය. ‘රොගුස්, සිනමාස් කොම්පැණියේ අලුත් චිත්‍රපටයක් පටන් ගන්නවා. ඒකේ පුංචි චරිතෙකට තිලක්ව ගම්මුද?’ හියුගෝ ප්‍රනාන්දු ඇසුවේය. තිලක් රඟපෑමට තිබූ ආසාව නිසා ඒ යෝජනාවට තාත්තා එකඟ විය. පියා සමඟ විජය චිත්‍රාගාරයට ගිය තිලක්ට ලැබුණේ ආනන්ද ජයරත්නගේ ළමා කාලය නිරූපණය කිරීමටය. ජීවරාණිගේ කුඩා කාලයට තෝරා ගෙන තිබුණේ බී. ඒ. ඩබ්ලිව්ගේ සහෝදරියකගේ දියණියක් වූ ශ්‍රියාණිවය. ‘මට මතකයි විජය චිත්‍රාගාරයේ ලොකු ටකරන් මඩුවක හදපු පුංචි ගෙදරකයි අපිට රඟපාන්න තිබුණේ. හියුගෝ මාස්ටර් මට දෙබස් කියලා තිබුණා. අධ්‍යක්ෂවරයා මස්තාන් මට කැමරාවට මුහුණ දෙන හැටි කියලා දුන්නා. මම රඟපෑවේ ඇල්ෆ‍්‍රඩ් එදිරිමාන්න, තලතා ගුණසේකර, ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා එක්ක. මට ඒ චිත්‍රපටයේ අමතක නොවන අවස්ථාවක් හියුගෝ හා ඇන්තනි සී. පෙරේරා රඟපෑවා. හියුගෝ මුදලාලි කෙනෙක්. ඇන්තනි එයාගේ ගෝලයා. ඇන්තනි කුල්ලකට රතුලූණු දාගෙන පොළනවා. එතකොට හියුගෝ මෙහෙම කියනවා. ‘යෝධයේ ඔච්චර ලූණු පොළන්න එපා. එතකොට ලූණුවල බර අඩු වෙනවා’ කියලා. මම රඟපාලා අනික් දර්ශනය එනකන් විජය චිත්‍රාගාරය ළඟ සෙල්ලම් කරනවා. මට මතකයි එහි තිබුණ විශාල ගොරක ගහ. හියුගෝ මාස්ටර් මට ගොරක ගෙඩි කඩලා කන්න දෙනවා. ගොරකා ගෙඩි හරි රසයි. මැන්ගුස්ටින් වගේ. තව මට මතක දෙයක් අදට වැඩිය හෙට හොඳයි චිත්‍රපටය වැල්ලවත්තේ සැෆයර් සිනමාහලේ පෙන්නපු දවස. එදා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිණියේ අමාත්‍යවරයකුව සිටි මෛත්‍රීපාල සේනානායක මහතා සහ මැතිනිය. සේනානායක මහතාට දැමූ මල් මාලාව එතුමා මට පැලැන්දුවා. මම චිත්‍රපටය බලලා ගෙදර යනකන් ඒක ගෙලේ පැලඳගෙන හිටියේ.’ මම රඟපෑ දෙවන චිත්‍රපටය ‘මංගලිකා’. මුල් චිත්‍රපටය බැලූ බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න මාව ‘මංගලිකා’ චිත්‍රපටයට රුක්මණී දේවි හා සේනාධීර කුරුප්පුගේ පුතාගේ චරිතයට තෝරා ගත්තා. බී. ඒ. ඩබ්ලිව්. අන්කල් තාත්තාගේ ගජ යාළුවෙක් නිසා මාව තෝර ගන්න ඇති. මේ චිත්‍රපටයේ මම අනාථ ළමා නිවසක අනික් ළමයි එක්ක ගයන ‘අම්මා ඔබයිිනේ අප්පා ඔබයිනේ’ ගීතය ගයමින් රඟපාන කොට බොහෝ දෙනෙක් ඇඬුවලු. මම ඇත්තටම අඬ අඬ රඟපෑවේ තිලක් කීවේය. තිලක් අපේ පැරණිතම හා ජ්‍යෙෂ්ඨතම නළු නිළියන් සමඟ කුඩා කල සිටම රඟපෑමට ලැබීම භාග්‍යයක් කොටයි සලකන්නේ. ඒ රුක්මණී, එඩී, ලැඩී, හියුගෝ, සේනාධීර, ක්‍රිස්ටි ලෙනාඩ් සමඟය. ඒ අය අද ජීවතුන් අතර නැතිවීම ගැන ඔහු කනගාටු වෙයි. ‘මංගලිකා රඟපෑම අලුත් අත්දැකීමක්. චිත්‍රපටයේ විවේක කාලයෙන් පසු ගොඩාක් දර්ශන රඟපාන්න තිබුණේ. බී. ඒ. ඩබ්ලිව්. අන්කල්ට අපි කතා කළේ ‘ඇලෝ අයියා’ කියලා මට දෙබස් කියලා දුන්නේ සරමක් හා බුෂ් ෂර්ට් එකක් ඇඳ සිට තිමෝතියස් පෙරේරා අන්කල්. ඇලෝ අන්කල් හැමෝටම සැර වැර වෙනවා. කළු, උස මහත සද්ධන්ත පුරුෂයා. පුංචි මම උපරිම ලෙස මගේ හැකියාව පෙන්නලා රඟපෑවා. එක සීන් එකක් කරලා ඉවර වුණාම ඇලෝයි අන්කල් තිමෝතිට කතා කරනවා. ‘තිමෝතියස් අර චොකලට් එකක් අරං වරෙන්’ කියල. තිමෝසියස් අන්කල් පිටරට ලොකු චොකලට් ස්ලැබ් එකක් අරන් එනවා. මේ විදිහට මට චොකලට් 10 ක් විතර මම එකතු කර ගන්නවා. ඇලෝයි අයියා ‘මංගලිකා’ චිත්‍රපටය හැදුවේ ‘කල්ලතූර් කණ්ණම්මා’ කියන දෙමළ චිත්‍රපටය ඇසුරෙන්. මේ චිත්‍රපටයම අනුකරණය කරලා සිනමාස් සමාගම ‘උඩරට මැණිකේ’ චිත්‍රපටයත් හැදුවා. මේ චිත්‍රපටයේ ජීවරාණි කුරුකුලසූරියගේ හා ආනන්ද ජයරත්නගේ පුතා ලෙස මාව තෝර ගන්න එන කොට ඇලෝයි අන්කල් මාව ‘මංගලිකා’ චිත්‍රපටයට තෝරගෙන ඉවරයි. පසුව මගේ චරිතයට ඉඳුනිල් වීරසිංහව ගත්තේ. ඇලෝයි අන්කල් ලෙහෙසියෙන් පරදින්න කැමති කෙනෙක් නොවන බව මගේ තාත්තා කිව්වා. උඩරට මැණිකෙයි, මංගලිකායි මුලින්ම තිරගත කරන්න ලොකු තරඟයක් තිබුණු බව මට තාත්තා කීවේ බොහෝ කල් ගිහිල්ලා. ඇලෝයි අන්කල් දිවා රෑ නොබලා චිත්‍රපටය නිම කළා. තිමෝතියස් අන්කල් නිතරම ඇලෝයි අන්කල්ට තැඹිලි ගෙඩියක් බොන්න ගේනවා. ඒකේ තැඹිලිවලට විස්කි කලවම් කරලා තිබුණා කියලා තාත්තා කිව්වා. අපි කිරුළපනේ ලංකා චිත්‍රාගාරය වටේ සෙල්ලම් කළා ඊළඟ සීන් එක එනකල්. ඒ කාලේ ඒ චිත්‍රාගාරයේ ‘දස්කොන්’ චිත්‍රපටයේ රජ මාළිගාවක් හදලා තිබුණා. අපි ඒකෙත් සෙල්ලම් කළා. ‘මංගලිකා’ චිත්‍රපටයේ රඟපාන්න යන්න වෑන් එකක් සෙන්ට් පීටර්ස් එක ළඟට එනවා. ඉස්කෝලේ ඇරුණාම ළමයි දුවල එනවා වෑන් එක ළඟට නළු නිළියෝ බලන්න’ තිලක් කීවේය. කෙසේ වුවද මුලින්ම තිරගත වුණේ ‘මංගලිකා’ චිත්‍රපටයයි. ඒ 1963 ජූලි 26 වෙනිදා. උඩරට මැණිකේ තිරගත වුණේ 1963 ජූලි 27 වෙනිදා දවසකට පසුවය. බී ඒ. ඩබ්ලිව්. ට එදා තරම් සතුටුදායක දිනයක් නොතිබූ බව තම පියා තිලක්ට කියා ඇත. තිලක් ඊළඟට රඟපෑවේ පී. නිලකන්තන් අධ්‍යක්ෂණය කළ 1964 දෙසැම්බර් 24 තිරගත කළ ‘සුජාගේ රහස’ චිත්‍රපටයේය. ‘මංගලිකා’ නැරඹූ කතා රචක සිරිල් පී. අබේරත්න තිලක්ව මේ චිත්‍රපටයේ ජීවරාණිගේ හා රවීන්ද්‍ර රූපසේනගේ පුතා ලෙස තෝරගෙන ඇත. මෙහි තිලක් ‘අම්මේ පෙම්බරා’ කවිය ගායනා කළ බව කීවේය. ‘මම කැමැතිම චරිතය රඟපෑවේ ‘සුදෝ සුදු’ චිත්‍රපටයේ අන්ධ දරුවාගේ චරිතය. බොනිෆස් ප්‍රනාන්දු අන්කල් මාව තෝරා ගත්තේ. මේ චිත්‍රපටයේ මම ගාමිණී ෆොන්සේකා, සුවිනීතා වීරසිංහ හා බොනිෆස් පෙරේරා සමඟ රඟපෑවේ. මේ චිත්‍රපටයේ මම රඟපෑ අන්ධ දරුවාගේ චරිතයට මම කැමැතියි. එක දර්ශනයක මම කවියක් කියමින් සුවිනිීතා ඇන්ටි හා බොනිෆස් අන්කල් එක්ක ඉන්න කොට ගාමිණී අන්කල් ජනේලයෙන් බලනවා. කවිය කියා අවසන් වන විට මට ගෙනෙන ලද සෙල්ලම් බඩුත් තියලා එයා ගිහිල්ලා. මේ අවස්ථාව ඉතාම දුක්බර අවස්ථාවක්.’ තමාගේ ජීවිතයේ සංවේදී දර්ශනය ලෙස තිලක් සඳහන් කරන්නේ බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න මහතාගේ අභාවය වූ දිනය බව තිලක් කියයි. එදා මීගමුවේ නිවසට තමා අවසන් ගෞරවය දැක්වීමට ගිය විට මේ මහා පුරුෂයා ළඟ යාඥා කරමින් සිටි ඔහුගේ බිරිඳ ග්‍රේස් ජයමාන්න සොවින් සිටි ආකාරය ඔහුට මතකය. තිලක් පසු කලෙක සහාය අධ්‍යක්ෂවරයා ලෙස සුනිල් ආරියරත්නයන්ගේ ‘පොඩි මල්ලී’ චිත්‍රපටයට සම්බන්ධ වූ අවස්ථාවක එහි චරිතයක් රඟපෑ රුක්මණී දේවි ද පැමිණ සිටියාය. අධ්‍යක්ෂවරයා තිලක්ව කැටුව රුක්මණී අසලට ගියේය. ‘ඩේසි අක්කා, මෙයාව දැකලා තියෙනවාදැයි’ ඇසීය. ‘කවුද?’ ‘ඇයි ඇන්ටි මම මංගලිකා ෆිල්ම් එකේ ඔයාගෙ පුතා’ තිලක් කියා ඇත. ‘ආනේ මේ තිලක් පුතා නේදැයි’ ඇසූ රුක්මණී තිලක් වැලඳගෙන සිපගත්තාය. ‘එදා පොඩි මල්ලි චිත්‍රපටයේ ෂූටිං තිබුණේ කිංසි පාරේ චිත්‍රපට නිෂ්පාදකවරයකුව සිටි සංඝදාස සිල්වා මහතාගේ නිවසේ. මට හොඳටම මතක සිද්ධිය තමයි සුනිල් ආරියරත්න අයියාගේ ඉල්ලීමට රුක්මණී ‘මෝරනවා ප්‍රේ්මේ හදේ’ ගීතය ගැයීම. එහෙම මිහිරි ගායනයක් මම ජීවමානව දැක නෑ. එහෙම නිහතමානි කාන්තාවකුත් මම ජීවිතේට දැක නෑ’ තිලක් කිවේය. ඒ. එම්. සංඝදාසගේ ‘කාංචනා’ චිත්‍රපටයේ ද රඟපෑ තිලක් ප්‍රංශ භාෂාව හදාරා ප්‍රංශ සංස්කෘතික මධ්‍යස්ථානයේ චිත්‍රපට අංශයේ කාර්මික නිලධාරියකු ලෙස කටයුතු කොට ප්‍රංශයට ගියේය. ප්‍රංශයේ වසර 17 ක්ද, එංගලන්තයේ වසර 17 ක් ද ගත කළ ඔහු දැන් ලන්ඩනයේ තම බිරිඳ මායා ද දරුවන් තිදෙනා ද සමඟ වෙසෙයි. ලොකු පුතා අකිල උපාධිධාරියෙකි. ලන්ඩනයේ ආහාර සමාගමක විධායක නිලධාරියෙකි. දියණිය අමන්දා උපාධිධාරි ගුරුවරියකි. බාල පුතා අශාන් නොටිංහැම් විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර උපාධියක් හදාරයි. ලන්ඩන් ජීවිතයේ තමාට අමතක නොවන චරිතයකි ‘සිරිබෝ අයියා’ චිත්‍රපටයේ නිෂ්පාදක අභාවප්‍රාප්ත රංජිත් පළන්සූරිය. ඔහු හා බිරිඳ නාලි තිලකගේ පවුලේ සමීප හිතවතුන් වී සිටියහ. දයා ආනන්ද රණසිංහ හා කීර්ති පතිරගේ (ගීතා කාන්තිගේ සැමියා හා පබෝධා සංදීපනීගේ පියා) තමාගේ සමීප මිතුරන් බව කියයි. තිලක් දැන් ගායකයකු ලෙස ද ලන්ඩන් ශ්‍රී ලාංකිකයන් අතර ප්‍රකටය. මෑතදී ශ්‍රී ලංකා කලාකරුවකු ලෙස තිලක් හා ගායන ශිල්පී එන්. කරුණාරත්න (‘ආදර නාවේ ‘ඇයි’ ගීතය ගැයූ ඔහු මෑතකදී මිය ගියේය) සම්මානයට පාත්‍ර වූහ.
|