වර්ෂ 2018 ක්වූ  පෙබරවාරි 15 වැනිදා බ්‍රහස්පතින්දා




අද මයික් එකක් ගත්ත පමණින් හෙට නිවේදකයෙක් වෙන්න බැහැ

අද මයික් එකක් ගත්ත පමණින් හෙට නිවේදකයෙක් වෙන්න බැහැ

- ඉන්ද්‍රසිරි සුරවීර

* ඔබට හිතවතුන් වැඩිපුරම අමතන්නේ කොහොමද?

නම ඉන්ද්‍රසිරි සුරවීර තමයි. ගොඩක් මිත්‍රයො කියන්නේ සූරයා කියලා. මල්ලිලා සුරේ අයියා කියල කියනවා. නමේ කෑලි මුකුත්ම නැතුව මචං කියලා අමතන්නොත් ඉන්නවා.

* ඉන්ද්‍රසිරි සුරවීර කියන්නේ අයි. ටී. එන්. එකේ තවත් සලකුණක් වගේ?

එහෙමද. බොහෝ කාලයක් එකම තැන රැඳුණම එහෙම වෙනවා. මාව දැක්කම මම නියෝජනය කරන චැනල්එක මතක් වෙනවා. ඒක ඉතින් සාමාන්‍ය කරුණක්.

* ඔබ අයි. ටී. එන්. එකට නැතුව බැරි පුද්ගලයෙක්ලු?

ඔය නැතිවම බැරි වීම ගැන මං දකින්නේ මෙහෙමයි. යම් කිසි මොහොතකට සහ එම අවශ්‍යතාතවය තමයි පුද්ගලයකුගේ නැතුවම බැරි තත්ත්වයට පත් වන්නේ. මම කරන වැඩ සටහනට මං ඒ මොහොතට නැතුව බැරි කෙනෙක්. අනිත් අයටත් ඒ කාරණාව වලංගුයි.

* ඉන්ද්‍රසිරි සුරවීර වගේ නිවේදකයකු ඔබ ඊළඟ පරපුරේ දැක තිබේද?

ඒකට මං මොන වගේ උත්තරයක්ද දෙන්නේ කියලා කල්පනා කළ යුතුයි. උදාහරණයක් විදිහට ප්‍රේමකීර්ති ද අල්විස් මහත්තයාගෙන් පසුව ඒ වගේ කෙනෙක් බිහි වුණේ නැහැනෙ. මං වගේ කෙනෙක් ආයේ නොයින්න පුළුවන්. මගේ අඩුවට වෙන කෙනෙක් හෙට ඒවි. නමුත් ඒ මං නෙවෙයි.

* මේ දවස්වල ඉදිරිපත් කරන වැඩසටහන් ගැන සඳහන් කළොත්?

සෙනසුරාදා රෑ 10 ට ශනිදා සාදය කරනවා. ඊට අමතරව බදාදා රෑ 9.45 ට නොමියන සිහිනය.

* නොමියන සිහිනය වෙන් වන්නේ අප අතරින් සදහටම නික්ම ගිය සුවිශේෂී කලාකරුවන් වෙනුවෙන්. ඔබ ඒ වැඩසටහනට වාඩි වෙන්නේ ඒ ඒ කලාකරුවන් ගැන මහත් වු දැනුම් සම්භාරයක් එක් රැස් කරගෙන?

ඔව්. ඒක මං දකින්නේ දැනුම සොයා යාමකින් පසුව නිවේදනය කිරීමක් ලෙස නොවෙයි. අවශ්‍ය කරන දත්ත ඒකරාශි කිරීම මං සතියක් තිස්සේ කරනවා. ඇතැම් විට ඒ තොරතුරු ගණනය කිරීමට බැරි තරම් සුවිශාලයි. නමුත් මං ඒවා එකතු කරනවා. ඒ හෙවීම නවතින්නේ බදාදා රෑ අට විතර මං ඒ ප්‍රෝගෑම් එකට වාඩිවන මොහොතේදියි. නිවේදකයකු විදිහට මං කියන දේවල් සමාජයක් අහනවා. ඔවුනට වැරැදි වැටහීම් දෙන්න බැහැනෙ. සත්‍ය තෙරතුරු විශ්ලේෂණය කරමින් මා එම වැඩසටහන ඉදිරිපත් කරනවා.

* ඔබගේ පරම්පරාවේ නිවේදක නිවේදිකාවන් තුළ ඔබ දකින අඩුපාඩු මොනවාද? නිවේදන කලාවේ යම් පිරිහීමක් තිබෙනවා. ඒ ගැන ඔබට කියන්න යමක් ඇති?

අද මයික් එකක් ගත්ත පමණින් හෙට නිවේදකයකු වෙන්න බැහැ. එහෙම කාටවත් හිතන්නටත් බැහැ. නිවේදන කලාව තුළ පිරිහීමකට වඩා මං දකින්නේ ඔවුන් තමන් නිරතවන ක්ෂේත්‍රය ගැන නොදැන සිටීමක්. නිවේදකයකු පුද්ගල ආමන්ත්‍රණය කිරීම සිදුවනවා. නිවේදකයකුට විවිධාකාරයේ පුද්ගලයින් හමුවනවා. ප්‍රභූවරු, සංඝයා වහන්සේලා, සාමාන්‍ය ජනයා ආදී නොයෙක් සමාජ ස්ථරවල ඉන්න අයව මුණ ගැහෙනවා. අපි දැනගත යුතුයි ඒ ඒ අයට ඒ ඒ විධිවලට අමතන්න. අපි හාමුදුරුනමකට අමතන්නේ බොහොම ගෞරවාන්විතව. කලා ලොවේ කෙනෙකුට තවත් ආකාරයකට. අද බොහෝ නිවේදක නිවේදිකාවෝ කරන්නේ හැමෝටම එකම විදිහට අමතන එක. අන්න එතැන තමයි වරද්ද ගන්නේ.

* වෙනත් ක්ෂේත්‍රවල නියැළෙන්නන් නිවේදනයේ යෙදීම ඔබ දකින්නේ කොහොමද?

සුනිල් එදිරිසිංහයන් ගීයක් ගැයීමට පෙර ඒ සඳහා ලබා ගන්නා ප්‍රවේශය බලන්න. උපමා රූපක ආදිය ගෙනත් බොහොම සුන්දරව ඔහු තමන්ගේ ගීතය ගැන අදහස් පවසනවා. කොච්චර දක්ෂ නිවේදකයකුට වුණත් ඔහු ලබා ගන්නා ඒ ප්‍රවේශය ලබාගන්න බැහැ. ජැක්සන් ඇන්තනි වුණත් බලන්න ඔහු කොතරම් හොඳ නිවේදකයෙක්ද. හැබැයි හැමෝටම එහෙම බැහැ.

* ඔබ ජනප්‍රිය නිවේදකයකු වුණාට බොහොම සාමාන්‍ය කෙනෙක් විදිහට ඉන්න උත්සාහ කරනවා?

ඒ මගේ හැටි. බොහෝ විට මං ඉන්න උත්සාහ කරන්නේ සාමාන්‍ය කෙනෙක් විදිහට. සාමාන්‍ය ජනයාටයි මං ආමන්ත්‍රණය කරන්නේ. ඒ හින්දම ඔවුන් මා සමඟ බෙහෙවින් හිතවත්.

* ඔබ ඉගෙන ගත් පාසල මතක් කළොත්?

ගලහිටියාව මධ්‍ය මහ විදුහලෙන් මං ඉගෙන ගත්තේ. උසස් අධ්‍යාපනය හැදෑරුවේ කොළඹ විශ්ව විද්‍යාලයෙන්.

* ගම් පළාත කෙහෙද?

මං කඩවත.

* පවුලේ විස්තර සඳහන් කළොත්?

මං විවාහකයි. මට දුවෙකුයි පුතෙකුයි ඉන්නවා. දුව හත වසරේ. පුතා දෙක වසරේ.

* අවසන් කොට මොනවද කියන්න තියෙන්නේ?

ඇත්තටම මට පොඩි අදහසක් තියෙනවා කියන්න. ඒ නොමියන සිහිනය වැඩසටහන ගැන. එහි අප මූලිකත්වය ගන්නා සුවිශේෂී කලාකරුවා ගැන කතා කරන්න ආරාධිතයින්ව ගෙන්වනවා. අප ඒ කරන්නේ තවත් කලාකරුවකු වෙනුවෙන් කරන්නා වූ කැප කිරීමක්. එහෙම ගෙන්වන කලාකරුවන් අතරේ මත ගැටුම් ඇති කලාකරුවොත් ඉන්නවා. වැඩ සටහන කරන මං කැමැතියි මත ගැටුම් නැතුව අදාළ කලාකරුවා ගැන ඒ ආරාධිතයින් කතාබහ කළොත් හොඳයි කියලා. ඒක තමයි මට අවසන් කොට කියන්න තියෙන්නේ.