|
18-8 A/L සඳහා සැරසෙමුසෞන්දර්ය ඒ කුමක්ද?සෞන්දර්ය (Aesthetics)
ඒ කුමක් ද? 'සෞන්දර්ය' යන පදය ලස්සන, සුන්දරත්වය, රමණීය බව වැනි තේරුම් උදෙසා භාවිතයට ගනියි. ලෝකයේ විවිධ විද්වතුන් ඉදිරිපත් කළ නිර්වචන ඇසුරින් 'සෞන්දර්ය' පිළිබඳ අවබෝධය ලබා ගැනිමට උත්සාහ කරමු. හර්බට් රීඩ් - සෞන්දර්ය යනු මිනිසා යහමඟට යොමු කරවන ප්‍රබල මාධ්‍යයකි. ඔහු තුළ ගුණධර්ම ඇති කළ හැක්කේ ඒ මඟිනි. මම්මට - සෞන්දර්ය සියලු ප්‍රයෝජනයන්ගේම කූටප්‍රාප්තියයි. ඒ කලා කෘති පරිශීලනය හා සමාන්තරව ලැබෙන්නකි. එහිලා රසාස්වාදය නිසා පහළ වු සියලු වේදිත ඇතුළුව හුදු ආනන්දය පමණක් උපයෝගී කරගනු ලැබේ. මහාචාර්ය සුචරිත ගම්ලත් - සෞන්දර්ය පුද්ගලයාගේ රස වින්දනය දියුණු කරයි. කලා කෘතියක් ඉදිරියේ පුද්ගලයකු ලබන කිසියම් මනෝභාවයක් වේ නම් එය සෞන්දර්ය වේ. ඉහත නිර්වචනයන්ට අනුව සෞන්දර්ය රසය ජනිත කරවන මාධ්‍යයක්, හදවත් පෝෂණය කරන මිනුම් දණ්ඩක්, විශ්ව මාධ්‍යයක් සහ විශ්ව භාෂාවක් ලෙස හඳුනා ගත හැකිය. සෞන්දර්ය කොටස් දෙකක් ලෙස වර්ගීකරණය කළ හැකිය. 1. ස්වාභාවික සෞන්දර්ය (ඉර, හඳ, ගහ කොළ, සතුන්) 2. නිර්මිත සෞන්දර්ය (සාහිත්‍ය, චිත්‍ර, සංගීතය, නර්තනය, නාට්‍ය) මෙම දෙකොටසෙහි සුන්දර හා අසුන්දර ලෙස ගුණාගුණ සෙවීම සෞන්දර්ය ලෙස සංක්ෂිප්තව සහ සරලව අර්ථකථනය කළ හැක. කලාව (ART)කලාව පිළිබඳව ද ලෝකයේ විවිධ විද්වතුන් ඉදිරිපත් කළ නිර්වචන ඇසුරින් අවබෝධය ලබා ගැනීමට උත්සාහ කරමු. * කාම සූත්‍රය - ගීත වාද්‍ය ආදී බාහිර ක්‍රියා සහ වැලඳ ගැනීම් සහ සිප ගැනීම් * ෆ්‍රෑන්ක් ලොයිඩ් රයිට් - මානව පරිශීලනයට යෝග්‍ය වන ආකාරයෙන් සොබා දහමේ මූල ධර්මයන් අනාවරණය, සංවර්ධනය සහ පරිවර්තනය කර ගැනීමයි. * වෙරොන් - කලාව වූ කලී වර්ණ, රේඛා, චලන, ශබ්ද හෝ වචන මඟින් මිනිසා තුළ පහළ වන භාවයන්ගේ බාහිර ප්‍රකාශනයයි. * ඇන්ඩ්‍රි ගිඩී - කලාවේ ආරම්භය බාධකවලින් පිරී ඇත. එහෙත් නියමිත මොහොත පැමිණි වහාම ඒ සියලු බාධක ජයගනු ඇත. උපරිම කැප කිරීමකින් තොරව කිසිදු විශිෂ්ට කෘතියක් බිහි වී නැත. * ලියෝ තෝල්ස්තෝයි - එකම වේදිතයක් තුළින් මිනිසුන් එකට සුසංයෝග කරන මාධ්‍යයක් පමණක් නොව මිනිසා සහ මිනිස් සංහතියේ අභිවෘද්ධිය සඳහා අත්‍යාවශ්‍ය මාධ්‍යයක් ද වේ. කලාව පිළිබඳව යථෝක්ත නිර්වචනවලින් ප්‍රථමයෙන් දක්වා ඇති කාම සූත්‍රයේ නිර්වචනය ප්‍රාථමික අවධියේ නිර්වචනයකි. නමුත් පසුව දක්වා ඇති නිර්වචන ආශ්‍රයෙන් කලාව පිළිබඳව අපට යම් අවබෝධයක් ලබාගත හැක. ඒ අනුව ස්වභාව ධර්මයේ ඇති වස්තූන් සහ සංසිද්ධීන් කලා නිර්මාණ නොවේ. ඒවා මිනිසා විසින් ප්‍රතිනිර්මාණය කළ පසු කලා නිර්මාණ බිහි වේ. සරලව ගතහොත් අප ලබන අත්දැකීම්වල හැඩයක් නැත. කලාවේදී සිදු වන්නේ 'අත්දැකීම්වලට හැඩයක්' ලබාදීමයි. එය වචන නාද, වර්ණ, රේඛා, ශාරීරික චලන ආදී විවිධ මාධ්‍ය හා ශිල්ප ක්‍රම මාර්ගයෙන් ප්‍රකාශ වේ. කලාව ඉංග්‍රීසි භාෂාවෙන් ඒඅඊ ලෙස ද, ලතින් භාෂාවෙන් ඒඅඉ ලෙස ද ජර්මන් භාෂාවෙන් ම්උව්ඉඊ ලෙස ද අර්ථ ගැන්වෙයි. මෙම භාෂා ත්‍රිත්වයේම වචනවලින් ලබා දෙන මූලික අර්ථය 'යම් කිසි කාර්යයක කුසලතාවයක් ලබන්නා ශිල්පියකු නැතහොත් කලාකරුවෙකු' ලෙස හඳුනාගත හැකිය. මෙහි කලාව සහ ශිල්ප අතර වෙනසක් දක්නට නොලැබෙයි. නමුදු කලාව සහ ශිල්ප එකිනෙකින් වෙනස් වෙයි. ඒ අනුව භෞතික උපකරණ සමඟ කෙරෙන ගනුදෙනු ශිල්ප ලෙස හඳුනා ගත හැකිය. උදා: වඩු ශිල්පය, පෙදරේරු ශිල්පය. නමුත් මිනිස් සිත සම්බන්ධ වන නිර්මාණාත්මක කාර්යයන් කලාව ලෙස හඳුනාගත හැක. උදා: චිත්‍ර, නැටුම්, සංගීිතය, නාට්‍ය. නමුත් අප නිවෙසේ ඇති අල්මාරිය අලංකාර කිරීම සඳහා යොදා ඇති මෝස්තරය කලා නිර්මාණයක් නොවේ. එයට හේතුව එම මෝස්තරය යොදා ඇත්තේ රස විඳීම සඳහා නොව අලංකාරය සඳහා පමණක් වන බැවිනි. ඒ අනුව කලා නිර්මාණවලදී රස වින්දනය අතිශය වැදගත් වේ. ලියනාඩෝ ඩාවින්චි නිර්මාණය කළ සුප්‍රකට 'මොනාලිසා' චිත්‍රය කලා නිර්මාණයකි. අපි එම චිත්‍රය දෙස බලමින්, එය නැවත එම ආකාරයටම අනුකරණය කරමින් චිත්‍රයක් නිර්මාණය කළ විට එය කලා නිර්මාණයක් නොවේ. එය හුදු අනුකරණයක් පමණි. කලාකරුවා සාමාන්‍ය මිනිසාගෙන් වෙනස් වන්නේ ඇඳුම් පැලඳුම්වලින්, කොණ්ඩයෙන්, හැසිරීමෙන්, කථා බහෙන් නොවේ. සාමාන්‍ය මිනිසා දකින ආකාරයට වඩා වෙනස් ආකාරයකට අර්ථාන්විතව, දැක්මක් සහිතව ලෝකය දෙස බලන නිසාවෙනි. ඒ අනුව කලාකරුවෙකු තුළ හඳුනාගත හැකි ලක්ෂණ කිහිපයකි. * ප්‍රතිභාව - අපූර්ව නිර්මාණ බිහිකිරිමේ ශක්‍යතාවය * පරිකල්පනය - නැවත නැවත සිතමින් නව නිර්මාණ බිහි කිරීම * ව්‍යුත්පත්තිය - පොතපතින් සහ සමාජයෙන් ලබා ගන්නා දැනුම * සතත අභ්‍යාසය - නිරන්තර අභ්‍යාසකරණයේ නිරත වීම සෞන්දර්ය සහ කලාවයථෝක්ත කරුණු අනුව සෞන්දර්ය සහ කලාව අතර වෙනස්කම් අවබෝධ කරගත හැක. කලාව නිර්මාණාත්මක චින්තනයෙන් මානව ක්‍රියාවලියක ප්‍රතිඵලයක් වශයෙන් බිහි වේ. සෞන්දර්ය සොබා දහමේ වස්තූන් හෝ කලා නිර්මාණ පාදක කරගෙන මිනිස් සිතේ පහළ වන රස වින්දනාත්මක හැඟීමකි. පළමුව කලාව බිහිවේ. දෙවනුව සෞන්දර්ය සිතේ පහළ වේ. කලාව සහ සුන්දරත්වය අතර පවත්නා සම්බන්ධය දාර්ශනිකව විමසා බලන්නේ සෞන්දර්ය විද්‍යාව මඟිනි. මිනිස් සිත සහ භාවයන් ආශ්‍රිත රමණියත් සංකල්පය අධ්‍යනය කරන්නේ සෞන්දර්ය මඟිනි. සෞන්දර්ය කලා කෘතියක වටිනාකම තීරණය කරන මිනුම් දණ්ඩක් ලෙස ද සලකනු ලබයි. එමඟින් යම් නිර්මාණයක උසස් පහත් බව තක්සේරු කරයි. කලාව සහ විද්‍යාව(ART AND SCIENCE)කලාව සහ විද්‍යාව යථාර්ථය ගවේෂනය කිරීම උදෙසා මිනිසා විසින් නිර්මාණය කරගෙන ඇත. නමුත් කලාව සහ විද්‍යාව අතර දක්නට ලැබෙන වෙනස්කම් රැසකි. කලාව බිහි වන්නේ මිනිස් සිත ප්‍රමුඛ කරගෙනයි. විද්‍යාව බිහි වන්නේ මිනිස් බුද්ධිය ප්‍රමුඛ කරගෙනයි. එනිසා කලා නිර්මාණ බිහි කිරීම උදෙසා මිනිස් බුද්ධිය අවශ්‍ය වනවා සේම විද්‍යාව උදෙසා මිනිස් සිත අත්‍යවශ්‍ය වේ. කලාවේ රීතිය සංයෝජනයයි. එනම් කලාකරුවාට යම් අත්දැකීමක් හමු වූ විට ඔහු එම අත්දැකීමට තවත් බොහෝ දෑ එකතු කරයි. නිදසුනක් ලෙස සුනිල් දයානන්ද කෝනාර රචනා කළ කරුණාරත්න දිවුල්ගනේ ගායනා කරන පහත ගීතය ගෙන බලමු. ගමට කලින් හිරු මුලුතැන් ගෙට වඩිනා ඒ හිරු එළියේ නැණ මල් පොඩි පිපුණා ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා කලා වැවේ නිල් දියවර අපෙ අම්මා ඒ අනුව 'අම්මා' වර්ණනා කිරීම උදෙසා හිරු, කලා වැවේ නිල් දියවර පසු පේළිවල දක්නට ලැබෙන මහමායා, විශාඛාව, ඇත් රැජිණිය ආදී උපමා එකතු කර ගනියි. නමුත් විද්‍යාඥයාට යම් වස්තුවක් ලැබුණු විට විද්‍යාඥයා එම වස්තුව කුඩා කොටස්වලට කඩා වෙන් කරයි. කලාවේ ක්‍රමවේදය සහ විද්‍යාවේ ක්‍රමවේදය එකිිනෙකින් වෙනස් වේ. කලාකරුවා අත්දැකීමක් ලද විට එය තම ප්‍රතිභාව ඔස්සේ පරිකල්පනය කරමින්, ව්‍යුත්පත්තය සහ සතත අභ්‍යාසය භාවිතා කොට නිර්මාණයක් බවට පත් කරයි. විද්‍යාඥයා වස්තුවන් ලද විට පරීක්ෂණ, නිරීක්ෂණ ඔස්සේ නිගමනවලට එළඹෙයි. කලාකරුවා භාව මූලික ලෝකයක ජීවය ලබන අතර විද්‍යාඥයා ජීවය ලබන්නේ විෂය මූලික ලෝකයකයි. කලාව සහ විද්‍යාව යන විෂයන් ද්විත්වයෙන්ම උත්සාහ කරන්නේ ලෝකය වඩාත් යහපත් තැනක් බවට පත් කිරීමටයි. නමුත් කලාව සහ විද්‍යාව වැරැදි ආකාරයකට භාවිත කිරීම මඟින් ලෝකය විනාශ වී, බිඳී යා හැකිය. උදා - * කලාව - වාණිජ පරමාර්ථය පමණක් මූලික කරගත් ගීත, නාට්‍ය, ටෙලි නාට්‍ය, චිත්‍රපට * විද්‍යාව - න්‍යෂ්ටික අවි ආයුධ, පරමාණු බෝම්බ ගැමි කලා සහ ලලිත කලාගැමි කලාගැමි කලා යනු දේශීය සංස්කෘතිය හා බැඳි සාම්ප්‍රදායික ජීවන වෘත්තීන්ගෙන් යැපුන ආදි මුතුන් මිත්තන් විසින් පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන ආ නිර්මාණ සමූහයකි. උදා - ජන කතා, ජන කවි, ජන ගායනා, ගැමි චිත්‍ර, බලි ඇඹුම්, ශාන්ති කර්ම, ගැමි නාටක, සැරසිලි කලාව මෙම ගැමි කලාවන් හි දැකිය හැකි පොදු ලක්ෂණ පහත සඳහන් පරිදි හඳුනා ගත හැකිය. * මටසිළුටු බවක් දක්නට නොලැබීම (රළු බව) * පුළුල් ක්ෂේත්‍රයක පැතිරී නොයාම * රසිකයාගේ දැනුම් මට්ටම පුළුල් නොකිරීම උදා - ජන ගයනා වෙල් යායක ගොන් දෙන්නෙක් කකා වුනී ඉන් එක ගෙනොක් වලිගය නැතුව වැනි වැනී වලිගය ඇති එකා මැස්සන්ට බැට දුනී දුප්පත්කමත් වලිගය නැති ගොනා වැනී මෙම ජන ගායනාවේ භාෂා භාවිතයේ රළු ස්වභාවයක් දක්නට ලැබෙයි. එසේම ඉතා පටු වපසරියකට සීමා වෙයි. රසිකයාගේ බුද්ධියට වඩාත් ප්‍රබල ලෙස ආමන්ත්‍රණය නොකරයි. ලලිත කලා (FINE ARTS)ලාලිත්‍යයක් උපදින කලා ලලිත කලා ලෙස හඳුන්වා දිය හැක. නමුත් ලලිතා කලා ගැමි කලාවලට වඩා වෙනස් වේ. ලලිත කලාවල දක්නට ලැබෙන පොදු ලක්ෂණ පහත සඳහන් පරිදි හඳුනා ගත හැකිය. 1. මටසිලිටු බවක් දක්නට ලැබිම 2. පුළුල් ක්ෂේත්‍රයක පැතිරී යාම 3. රසිකයාගේ දැනුම් මට්ටම පුළුල් කිරීම ලිත කලා සඳහා නිදසුනක් ලෙස පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි රචනා කර, ආචාර්ය ප්‍රේමසිරි කේමදාස තනු නිර්මාණය කළ ටී. එම්. ජයරත්න ගායනා කරන පහත ගීතය පෙන්වා දිය හැකිය. අව්වට වැස්සට හුරු මිනිසුන්ගේ දැත වීරියෙනි රටවල් නැඟුණේ ඒ මිනිසුන්ගේ මලගම වෙනුවෙන් මොන රජ මැදුරෙද සුදු කොඩි නැඟුණේ ජන ගායනාවේ දක්නට ලැබුණු රළු භාෂා භාවිතය මෙම ගීතයේ නැත. එසේම මෙම ගීතය පුළුල් පරාසයක විහිද ඇති අතර එමඟින් රසිකයාගේ ජීවිත පරිඥානය පුළුල් කරයි. ලලිත කලා සංකල්පයක් ලෙස භාවිතයට පැමිණියේ 18 වන සියවසේ ප්‍රංශයේදීය. එහිදී මුලිකත්වය දෙනු ලැබුවේ සාහිත්‍ය, සංගීතය, චිත්‍ර, මූර්ති, ගෘහ නිර්මාණ ශිල්පය වැනි විෂයන්වලට පමණි. මෙම වර්ගීකරණයේ අඩුපාඩු කිහිපයක්ම ඇත. එනම් නාට්‍ය සහ නැටුම් ඇතුළත් නොවීමයි. එසේම 19 වන සියවසේ හඳුන්වා දෙන ඡායාරූප සහ චිත්‍රපට කලාව ද මෙම වර්ගීකරණයේ නැත. ඒ අනුව එම සියලුම කලාවන් ලලිත කලා සේ සලකනු ලබයි. |