|
‘මෙච්චර දුරක් තනියෙන් ඇවිත්
මැදියම ගෙවී හෝරාවක් යන්නට ඇත.දවල් කලිකලහයෙන් ඝෝෂාවෙන් පිරුණු පාර දැන් නිහඩය.ඉඳහිට වේගයෙන් ගමන් කරන නිශාචර රථයක් පමණක් එහි ඇති පාළුව බිඳ හෙළමින් පවතියි. කිසිවකු දොරට හීන් සීරුවේ තට්ටු කරන හඩ චිත්‍රාට ඇසුණේ යාන්තමිනි.ඒ වන විට ඇය සිටියේ තද නින්දේය. පසුගිය දවස් කිහිපය ඇතුළත ඇය හීන රාශියක් දැක්කාය.ඒ සියල්ල කිසිවක් තේරුම් බේරුම් කර ගත හැකි ඒවා නොවේ.එබැවින් ඇය සිටියේ දෙගිඩියාවෙනි.කිසියම් වූ අකටයුත්තකට මුල පිරෙනු ඇතැයි ඇයගේ සිත කියන්නට පටන් ගෙනය.දියණිය බිනරි විවාහ වී අවුරුදු පහක් ගත විණ.ඔවුන් ලංකාවට ආවේ එක් වතාවකි.දියණිය පිළිබඳ සිතන විට ඇයට කදුළු උපදියි.කාටවත් නොකියන කිසියම් දුක් ගිනි රාශියක් ඇය තනිවම උසුලන්නීයැයි චිත්‍රාගේ ගැහැනු ඉවට දැනී තිබිණ.ඇය එය හාරා අවුස්සන්නට නොගියේ ඇතුළත ගිනි පිටතට නොදෙව යනුවෙන් අසා තිබුණ හින්දාය.මනෝජ් කිසිදු නෑයෙකුට හිතවතෙකුට සිය දියණිය හා ඇසුරකට ඉඩ නොදෙන්නේ යැයි ඉතාලියේ උන් සරෝජා ලංකාවට පැමිණ විටක පවසන විට චිත්‍රා තනිවම සුසුම් ලෑවාය.නිය පොත්තකින් වත් පහරක් නොගසා මලක් වන් හැදූ දියනියට සුදුසු සැමියෙක් සොයා දුන්නේ තමාත් හා සැමියාත්ය.මිනිසුන් අඳුනා ගන්නට කොයි විධියකින් වත් නොහැක.ඇරත් දියනියත් මනෝජ් හා විවාහ වන්නට විරුද්ධවූයේ නැත. අනුරාධපුරයේ ඉඩමක් ගත් සැමියා චුට්ටං මුදලාලි කොළඹ ව්‍යාපාරය බද්දට දුන්නේය.හැමදාම වෙහෙසන්නට බැරියැයි පැවසූ ඔහු අනුරුධපුරයේ ඉඩම වගා කරන්නට පටන් ගත්තේය.එහි කුඩා නවාතැනක් සැදූ ඔහු එය කුලියට දීමෙන් ද ආදායමක් උපයන්නට සමත් විය. සෑම සති අන්තයේම අනුරාධපුරයේ නවාතැන්පොළ සංචාරකයන්ගෙන් සහ වන්දනාකරුවන්ගෙන් පිරෙති.කොළඹ චුට්ටං දන්නා ව්‍යාපාරිකයන් ද එහි නවාතැන් ගනිති.මුලදී සුළුවට ඇරඹුන නවාතැන් පොළට පසුව අලුතින් කාමර කිහිපයක් එකතු විය.සමහර සති අන්ක වල එන පවුල් වලට එහි කාමර වෙන් කර ගත යුත්තේ සතියකට දෙකකට කලිනි. අනුරාධපුරයට ගිය චුට්ටං මුදලාලි කොළඹ ආවේ එහෙමත් දවසකය.කොළඹ මෙන් නොව එහේ හොර හතුරන්ය.දන්නා අඳුනන කවුරුවත් නැත.නවාතැන් පොළට නම් දැම්මේ ද බිනරි ගේ නමය.චුට්ටං මුදලාලි ට හරි ගියේ බිනරි උපන් පසුය.අත් උදව්වට අනුරාධපුරයේ ඉඩම මිල දී ගන්නට උපකාර කළ රාළහාමි එහි ආවතේව කටයුතු සදහා අසල පවුලක් ද පංගාර්තු කළේය.චිත්‍රා කවදාවත් ව්‍යාපාර වල දී සැමියාගේ තීරණ වලට එරෙහිව නොගියාය.ඇය සැමියා උපයන දෙයින් සතුටුව ජීවත් වූවාය.බිනරි ට දරුවකු ලද කල තමා මිත්තනියක් වනු ඇත.ඇය ඇඟිලි ගැණුවේ ඒ ගැනය. චිත්‍රා නැවතත් දොරට ගසන හඩ ඇසෙන තුරු බලා සිටියාය.යළිත් දොරට ගසන හඩ ඇසුණෙන් ඇය සයනයෙන් නැගිට දොර විවර කරන්නට සැරසුනාය.දන්නා කියන කාලයේ සිට තමාට සොර සතුරන් සිටියේ නැත.එබැවින් මේ රාත්‍රියේ ද එසේ වීමට ඉඩ නැත. දොර විවර කළ සැනින් ඇය දුටුවේ නිවස ඉදිරිපිට නතර කර තිබුණු කුලී රථයයි.එහි සිටියෙක් බිමට බැස ඩිකියෙන් ගමන් බෑගයක් නිවස දෙසට ගෙන ආවාය.ඒ වන විට දොර පසෙකට වී සිටි බිනරි දුටු ඇය ඉහළට ගත් හුස්ම බිම හෙළන්නට අමතක වූ නියායෙන්සිට දියණිය වැලඳ ගත්තාය. ‘මගේ දුවේ’ බිනරි කිසිත් නොකියා ගෙට ආවාය.කුලී රථයේ රියැදුරු ගේ ගමන් වියදම් ගෙවූ බිනරි සාලයට ගොඩ ගැසුණු සිය ගමන් මළු ගෙතුළට තල්ලු කලාය.රෝද සහිත ගමන් මලු පහසුවෙන් ඇතුළට ඇදී ගියේය.ඒවායේ ගුවන් යානාවල මගීන් හදුනා ගන්නා සළකුණු තිබිණ. චිත්‍රා යළිත් ගෙයි එළිය දෙස විපරම් කළාය. ‘එයා ආවේ නෑ අම්මේ’ අම්මා ගේ සිතැඟි තේරුම් ගත් න්‍යායෙන් බිනරි පැවසුවාය.ඇය දියනිය දෙස බැලුවාය.ඇය වෙනදාට වඩා පැහැපත්ය. පිරිපුන්ය.දිගු වරලස කපා හැඩ කොට තිබිණ. ‘ඒ ළමයා ?’ අම්මා යළිත් හාරා අවුස්සන්නට සැරසුනාය. ‘අපි පස්සේ කතා කරමු.මට නිදිමතයි. පසුගිය අවරුදු ගණන තුළ දියණිය දැක ගන්නට තිබුණ ආසාව එකවරම මතුවූයේය.චිත්‍රා දියණියගේ මුහුණ අත ගෑවේ තමා දකින්නේ සිහිනයක්දැයි විමසා බලන්නටය. ‘එනවා කියලා නිකමටවත් කිව්වා නම් එයාපෝට් එකට එවනවනේ.’ ‘කිය කිය ඉඳලා බෑ.’ ‘එහෙම නෙමේ රත්තරනේ.රට රට රාජ්ජවල ඉඳලා තනියම එන කොට‘ ‘මෙච්චර දුරක් තනියෙන් ඇවිත් ඇයි මං අපේ රටේ දී අතරමං වෙයි කියලා හිතුවද ?’ බිනරි සිනාසුණාය. ‘නැහැ දෙයි හාමුදුරුවනේ.අනේ ඔයා දැක ගන්න තිබ්බ ආසාවක්’ අම්මා බලා සිටියේ බිනරි ගේ මුහුණ දෙසය.බිනරි හෙමින් සීරුවේ දොර වැසුවාය.බිනරි හදිසියේම ගෙදර ආවේ ඇයි දැයි විමසා බලන්නට අම්මාට වුවමනා විය. ‘දැන් ඉතින් හැමදාම දැක ගන්න පුළුවන්’ ඇය පැවසුවේ කතාව නවත්වන්නට ඉඩ හරිමිනි..පසුවදා හොදින් එළිය වැටෙනතුරු බිනරි නිදා ගත්තාය.අම්මා දෙතුන් වතාවක්ම කාමරයට එබිකම් කරනු ඇයට හීනෙන් මෙන් පෙනුණත් හිතේ මෙන්ම ගතේ මහන්සිය ද ගෙවෙන තුරු නිදා ගන්නට ඇය කල්පනා කළාය.අවුරුදු පහක් ගත වුන ද ගෙදර එතරම් වෙනසක් නොවිය. පිබිදුන පසු බිනරි මුලින්ම කළේ නාන කාමරයට වැදී හොඳීන් නා ගැනීමය.හිතේ ඇති දුකඛ දෝමනස්සයන් එතරම් පහසුවෙන් පළවා හරින්නට නොහැක.හදිසියේම සැමියාගෙන් තොරව රට රාජ්ජයක සිට ආපසු පැමිණිම නෑ හිතමිතුරන් ගේ දහසක් එකක් ප්‍රශ්න කිරීම් වලට වග උත්තර බඳීන්නට සිදු වන්නකි. කවර තරමේ දුෂ්කර ප්‍රශ්නාවලියකට වුව උත්තර බඳීන්නට හිත හදා ගත් බිනරි ආපසු ආවේ අවරුදු පහක් ඉවසා බැරිම තැනය. ‘මං ආපහු යනවා.’ බිනරි මනෝජ්ට පැවසුවේ උත්තරයක් බලාපොරොත්තුවෙන් නොවේ.එහෙත් එම ප්‍රශ්නයට ඔහු තිගැස්සිණ.තමා වටා තිබුණ ධනය නිකරුනේ අහිමි කර ගන්නට ඔහු අකමැති බව බිනරි දන්නා කරුණක් විය.විවාහයෙන් මුල් වසර ගෙවෙත්ම බිනරිට දැනුණේ තනිකමකි. නන්නාඳුනනා රටක තනිකම යනු ඉහිලිය නොහැකි දෙයක් විය.තනියම ජිවිතය ගෙවන්නට දැන සිටීම පහසුවක් වුවත් මනෝජ් ගේ පැවැත්ම් හා තමන්ගේ හැඟිම් කිසිදිනෙක යා නොවන බව බිනරි ගේ සිත කියන්නට විය.ඇයට සියල්ලට කියන්නට සිටියේ සරෝජා පමණකි.එහෙත් තමා කිසිවකු හමුවනවාට මනෝජ් කෙළින්ම අකමැත්ත පළ කළේය. ‘අපිට තාත්තා දුන්න සල්ලි වලින් හොඳට ජීවත් වෙන්ඩ පුළුවන්’ වෙහෙස මහන්සිය වැඩි දවසක බිනරි ආඩපාලි නැගුවාය. ‘සල්ලි කවදාවත් මදි වෙන්නේ නෑ.මං මේ සල්ලි අර ගෙන ලංකාවට ගිහින් හොඳ බිස්නස් එක්ක කරන්නයි කල්පනාව’ මනෝජ් නිදහසට කරුණු කියන්නට තැත් කළේය.එහෙත් යළි මව්බිමට යෑම කොයි හැටි වෙතත් මසුරෙකු මෙන් මුදල් රැස්කිරීයීම නම් අඩු කළේ නැති වග බිනරිගේ හැඟිම විය.එකම ගෙදරක නාදුනන මිනිසුන් ගොඩ නැගෙමින් සිටියහ.දරුවෙකු හෝ සිටියා නම් ජීවිතය වෙනස් වන්නට ඉඩක් තිබිණ. දරුවෙකු පිළිබඳ මනෝජ් ගේ පිළිවෙත තවත් වෙනස් විය. ‘ඒවා හදාගෙන මේ රටවල ඉන්න පුළුවන් ද ?’ ඔහු ඇසුවේ රකුසු වෙස් ගෙනය.එයින් පසු ඒ ගැන කතා වෙන්නට බිනරි මැලි වූවාය. මහළු කාන්තාවක් බලා ගන්නට බිනරිට ඉඩ ලැබුණේ එය අතරතුරය.ජීවිතය නිදහස් විය යුතුය යවන හැඟිම වඩාත් බලා පවතින්නට පටන් ගත්තේ එහිදීය. විවාහය අතහැර ගෙදර ආ දියනියගෙන් හේතු අසන්නට චිත්‍රා ඉක්මන් නොවූවාය.බිනරි ගෙයින් එළියට පිවිසියේ හතර වට විමසන්නට මෛනි.පසුගිය කාලයේ තමා මෙන්ම අවට ඇති බොහේ දේ වෙනස් ව ගොස් ඇති අයුරු ඇයට වැටහිණ. මුළු ගැන් වී තිබුණ කුඩා නිවහන් දළු ලා වැඩුනාක් මෙන් ඉහලට එසැවී තිබිණ.බොහෝ ගෙවල් හදිසියේ පහළ වූ නිධානයක් ලත් පරිද්දෙන් අහස අල්ලන්ට තැත් කොට තිබිණ.පාරට තාර දමා ඒ අයිනේ සුදු ඉරක් අඳ තිබිණ.පටු පාර තරමක් පළල් ව මෝටර් රථ පෙළක් හදිසියේ සොයා ගත් කෙටි මගක් නියාවෙන් එහි නිතර සැරිසැරනු වග පෙනෙන්ට විය.ගොඩනැගෙමින් තිබුණ තම නිවස පමණක් අතරමග නතර ව තිබිණ.මකුළු දැලක් එහි පලංචි බදිනු බිනරිට පෙනිණ. ‘දැන් වටේම ඉන්නේ අලුත් අය’ පසුපසින් අම්මා පැවසුවේ දියනියගේ කුහුල නිමා කළාය. ‘ඔක්කොම වගේ ඉඩම් කෑලි විකුණලා ගියා.සමහරුන්ට ඔප්පු තිබුණෙත් නෑ’ එය බිනරිට සැනසුමක් ගෙන දුන්නේය. ‘තාත්තා අවේ නැත්ද ?’ අම්මා එයට උත්තර දුන්නේ නැත. ‘අපි මේ සතියේ තාත්තා බලන්න යං’ බිනරි යෝජනා කළාය |