|
අතීත කලා ලෝකයේ රස තොරතුරු සොයා යන ලිපි පෙළක්
‘සුජාතා’ නරඹා නළුවකු වූ ශාන්ති අබේසේකර
‘හින්දි තිරයේ රඟපෑ සුනිල් දත්ගේ හිස කෙසුත්, දිලිප් කුමාර්ගේ මුහුණත්, දේව් ආනන්ද්ගේ ඇස් දෙකත්, සිංහල තිරයේ රඟපෑ සුමිත් බිබිලේගේ කඩවසමත් එක්වන් කොට සැදුණු ශාන්ති අබේසේකර නළුවකු විය යුතුම විශිෂ්ට පුද්ගලයෙකි’. 1957 අගෝස්තු 01 වෙනි බ්‍රහස්පතින්දා පල වූ ‘ලංකා චලන චිත්‍ර’ සඟරාවේ කර්තෘ සෝමපාල රණවීර, එදා නවක චිත්‍රපට නළුවකු වූ ශාන්ති අබේසේකරයන් ගැන ලියු ලිපියක ඔහු හඳුන්වා දෙමින් ලියා තිබුණි. ශාන්ති අබේසේකර නළුවෙකු, චිත්‍රපට අධ්‍යක්ෂවරයකු මෙන්ම චිත්‍රපට නිෂ්පාදකයකු, දෙබස් හා තිර නාටක රචකයකු ලෙස ද සිනමා ලෝකයේ කැපී පෙනුණ චරිතයකි. ‘මට නළුවකුවීමට සිතුණේ පාසලේ මා සමඟ ඉගෙන ගත් මිතුරන්ගේ බලපෑම හා දිරි ගැන්වීම නිසා. කුඩා කාලයේ සිට මට අවශ්‍ය වුණේ ව්‍යාපාරිකයෙක් වෙන්න. ‘ඔයා කඩවසම් තරුණයෙක්. ඒ නිසා චිත්‍රපට නළුවෙක් වෙන්න හැම සුදුසුකමක්ම තියෙනවා’ මගේ හොඳම මිතුරා කිව්වා. නැවත නැවත කිව්වා. ඔය අතර මම ‘සුජාතා’ චිත්‍රපටය බැලුවා. ඒ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑ ප්‍රේම් ජයන්ත්ගේ රඟපෑම් මට චිත්‍රපට නළුවෙකු වීමට මගේ හිත බල කළා. මගේ ප්‍රියතම නිළිය වුණේ ෆ්ලොරිඩා ජයලත්. ඇය මා උපන් හලාවතට කිට්ටු මාරවිල උපන් නිළියක් වීම මෙයට තදින් බලපාන්නට ඇති. අනාගතයේ මම චිත්‍රපට නළුවෙක් වීමට තිරණය කළේ ‘සුජාතා’ චිත්‍රපටය භාගයක් පමණ බලනකොටයි.’ ශාන්ති අබේසේකර අතීත කතාවක් සිහිපත් කරමින් කීවේය. 1934 මැයි මස 27 වෙනිදා කුරුණෑගල උපන් ශාන්ති මෙන්ඩිස් අබේසේකර හලාවත ආනන්ද විද්‍යාලයේත් මාදම්පේ ශාන්ත සෙබස්තියන් විද්‍යාලයෙත් ඉංග්‍රීසි සිංහල ජ්‍යෙෂ්ඨය දක්වා ඉගෙන ගෙන චිත්‍රපට කලාව ගැන උනන්දුව එහි කාර්මික අංශය ගැන අධ්‍යයනය කිරීමට සිතුවේය. දිනක් ශාන්ති හලාවත සිට කොළඹට පැමිණ කඳාන සුන්දර චිත්‍රාගාරයට ගියේ එහි සිටි ඒ. ඇස්. නාගරාජන් නම් අධ්‍යක්ෂවරයා හමු වී චිත්‍රපටයක රඟපෑමට අවස්ථාවක් ඉල්ලා සිටීමටය. ශාන්ති දෙස විමසිල්ලෙන් බලා සිටි ඔහු මඳක් නතර වී සිට තමා අධ්‍යක්ෂණය කරන ‘පුදුම ලේලි‘ චිත්‍රපටයේ දර්ශන ප්‍රේම් ජයන්ත් හා ධර්ම ශ්‍රී රණතුංග රඟපාන සැටි බලා ඉන්නැයි කිවේය. තම ප්‍රියතම නළුවා වූ ප්‍රේම් ජයන්ත් රඟපාන සැටි ජීවමානව දැක ගත්තේ එදාය. ඒ 1953 වසරය. ‘පුදුම ලේලි‘ චිත්‍රපටයේ ශාන්තිට දොස්තරවරයකුගේ කුඩා චරිතයක් රඟපෑමට අවස්ථාව ලැබිණ. සැලකිය යුතු චරිතයක් ඔහුට රඟපෑමට ලබා දුන්නේ ටී. සෝමසේකරන් නම් චිත්‍රපට අධ්‍යක්ෂවරයාය. ඒ සැඩ සුළං චිත්‍රපටයේ නාට්‍ය ආයතනයක අධ්‍යක්ෂවරයා ලෙසය. එහි දී ඔහුට තම ප්‍රියතම නිළිය වූ ෆ්ලොරිඩා ජයලත් සමඟ රඟපෑමට අවස්ථාව ලැබිණ. මේ අවස්ථාව ලැබුණේ ද ෆ්ලොරිඩා නිසා බව ඔහු කෘතඥතා පූර්වකව මතක් කළේය. ‘මම මාරවිලට ගිහින් ෆ්ලොරිඩා හමු වුණා. චිත්‍රපට නළුවකුවීමට තියෙන කැමැත්ත මම ඇයට කීවා. ‘මේ ළමයා අපේ ගමේ ළමයෙක්. මම මිස්ටර් සෝමසේකරන්ට කියලා ඔයාට අවස්ථාවක් ලබා දෙන්නම්’ ෆ්ලොරිඩා කීවා. මා දුටු සෝමසේකරන් ගත් කටටම කිව්වේ ‘ඔයා හොඳ ‘සැඩ සුළං’ ෆිල්ම් එකේ මේන් ඇක්ටර්ට. ඒත් ඔයා තාම යං වැඩියි. මේන් රෝල් එකට ඇක්ටර් කෙනෙක් හම්බ වුණේ නැතිනම් ඔයාව මං තෝරා ගන්නවා.’ සෝමසේකරන්ගේ ඒ කතාවට මම පැහැදුණා. මාගේ ළාබාල පෙනුම නිසා ‘සැඩ සුළං චිත්‍රපටයේ ප්‍රධාන චරිතෙට තෝරා ගත්තේ ප්‍රේම් ජයන්ත්ව. මොකද ඔහු ‘සුජාතා’ චිත්‍රපටයෙන් ජනප්‍රියව සිටියා. මට නැටුම් ගුරුවරයාගේ චරිතය ලැබුණා. මම නැටුම් කලාව ඉගෙන ගෙන තිබීම මට වාසියට හිටියා. ‘සැඩ සුළං’ (1955) චිත්‍රපටය අතිශය ජනප්‍රිය වුණා’ ශාන්ති තම සිනමා ජීවිතයේ මූලාරම්භය කීවේය. 1958 වසරේ තිරගත වූ සිරිසේන විමලවීර අධ්‍යක්ෂණය කළ ‘සිරකරුවා’ චිත්‍රපටයේ ශාන්තිට උප ප්‍රධාන චරිතයක් රඟපෑමට අවස්ථාව ලැබිණ. ඉන් පසු කරුණාරත්න අබේසේකරගේ හඳුන්වා දීමෙන් බර්ට්‍රම් ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ ‘දස්කම’ චිත්‍රපටයේ ඔහුට රඟපෑමට හොඳ අවස්ථාවක් ලැබිණ. රවින්ද්‍ර රූපසේන, දිස්නා රංජනී, ඩඩ්ලි වානගුරු, ශාන්ති සමඟ ප්‍රධාන චරිත රඟපෑහ. චිත්‍රපටවල රඟපාන අතර ශාන්ති දේශපාලනයට යොමු විය. ‘1959 බණ්ඩාරනායක අගමැතිතුමා ඝාතනයට ලක් වී තිබුණ කාලයේම හදිසි මැතිවරණයක් පැවැත්තුවා. මේ කාලයේ මම වෙළඳ ව්‍යාපාරයක් කරගෙන හිටියේ. එවකට අගමැතිව සිටි විජයානන්ද දහනායක මහතා මගේ හිතවතෙක්. එතුමා ඒ කාලේ අලුත් දේශපාලන පක්ෂයක් ආරම්භ කරලා 1960 මාර්තු මහා මැතිවරණයට මුහුණ දුන්නා. පක්ෂයේ නම ලංකා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය. ‘ශාන්ති මගේ පක්ෂයෙන් වාරියපොල ආසනයට ඉල්ලන්න. මම වියදම් කරන්නම්’ දහනායක මහතා මට කිව්වා. මම වයඹ පළාතේ වාරියපොල ආසනයට ලංක ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් තරග කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒ. අධිකාරි වාරියපොල අසුන දිනා ගත්තා. මම පස්වෙනියා. මට ලැබුණේ ඡන්ද 271 යි. අපේ පක්ෂයෙන් වයඹ පළාතට ඉල්ලපු සේරම පරාදයි. ඒ කෙසේ වෙතත් මැතිවරණයට ඉදිරිපත් වූ දෙවැනි නළුවා මම. පළමුවැනියා ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා’ ශාන්ති කිවේය. දේශපාලනය අතහැර නැවත ව්‍යාපාර ලෝකයට එක් වී ශාන්තිගේ සිත තිබුණේ චිත්‍රපටයක් නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කිරීමටය. ඒ අතරේ චිත්‍රපටවල රඟපෑමෙන් කාර්මික අංශය හැදෑරීමට වගබලා ගත්තේය. රෝලන්ඩ් අමරසිංහ අධ්‍යක්ෂණය කළ ‘කොළඹ හාදයෝ’ හා ‘ගිිජුලිහිණියෝ’ චිත්‍රපටවල රඟපෑ ඔහු තමා විසින් අධ්‍යක්ෂණය කරන චිත්‍රපටය (1968) සැලසුම් කළේය. අඩු වියදමින් තම චිත්‍රපටය කිරීමට සිතූ ඔහු කිරිබත්ගොඩ නවජීවන චිත්‍රාගාරයේ පහසුකම් අඩු වියදමින් ලබා ගැනීමට සමත් විය. චිත්‍රාගාරය භාරව සිටි හෙන්රි මාස්ටර් හා කැමරා ශිල්පී ඩබ්ලිව්. ඒ. බී. ද සිල්වාගේ උදව් ඔහුට ලැබිණ. ඔහු චිත්‍රපටය සඳහා වස්තු බීජය ලබා ගත්තේ ‘සිළුමිණ’ පුවත්පතේ පළ වූ කරවල වාඩියක සිර වී සිටි තරුණයන් ගැන පළ වූ විශේෂාංග පෙළකිනි. ඒ ඇසුරෙන් තැනූ ‘වහල් දූපත’ චිත්‍රපටය සඳහා චන්ද්‍රලේඛා, ඔස්ටින් අබේසේකර, රැල්ප් විජේසේකර, පියදාස විජේකෝන්, ක්ලෙමන්ට් විජේසිංහ, සුසිලා පෙරේරා, සුනිල් සෝම පීරිස් තෝරා ගත් අතර ශාන්ති ප්‍රධාන චරිතය රඟපෑවේය. මේ චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් චන්ද්‍රකලාට 1969 සරසවිය සම්මාන උලෙළේදී කුසලතා සම්මානයක් හිමි විය. ශාන්ති අබේසේකරට අනාගත බිරිඳ හමුවන්නේ දිනක් මංගල්‍ය උත්සවයක ගීත ගැයීමට එවකට ප්‍රකට ගායිකාවක ලෙස ප්‍රකටව සිටි ඇගේ මව වූ වසන්තා සන්දනායකට ආරාධනා කිරීමට පැමිණි අවස්ථාවේදීය. ඇගේ දියණියගේ නම දයා හේමන්තා සන්දනායකය. ඇගේ සහෝදරයා වූ සරත් සන්දනායක මෙන්ම දයා ද චිත්‍රපට පසුබිම් ගායිකාවකි. විශේෂය නම් ඔවුන්ගේ මව වසන්තා සන්දනායක ද චිත්‍රපට පසුබිම් ගායිකාවක් වීමය. ‘බණ්ඩා නගරයට පැමිණීම’, ‘සරදියෙල්’, ‘සුනිලා’ චිත්‍රපටවල ගී ගැයූ ඇය ‘දොළ ළඟ දිය පාර දිගේ’, ‘මහවැලි නදියේ’ යන ගීත ගයමින් අතිශයින්ම ජනප්‍රියව සිටියාය. එදා ශාන්තිගේ සිත දයා කෙරෙහි බැඳුණේය. ශාන්ති හා දයා විවාහ වුයේ 1962 වසරේදීය. ශාන්ති චිත්‍රපට ගත කිරීමට සූදානම්ව සිටි චිත්‍රපට දෙකකි. සෝමවීර චන්ද්‍රසිරි නිෂ්පාදනය කිරීමට සැලසුම් කර තිබූ ‘ජන ශක්ති’ හා චාල්ස් පෙරේරා නිපදවීමට සිටි ‘හිඟන කෙල්ල’. එසේම ශාන්ති ‘කලා රැජින’ (1961) හා ‘සීගිරි ලාලනී’ (1962) නමින් චිත්‍රපට සඟරා දෙකක් ද ආරම්භ කොට ඇත. මේ සඟරා සංස්කරණය කර ඇත්තේ ඩීමන් ආනන්ද, මනාභරණ ඩී. මහවල හා ඩී. බී. ඒ. සූරසේන බව වාර්තා වී ඇත. 1970 වසරේ ශාන්ති අධ්‍යක්ෂණය කළ ‘සිදාදියෙන් හයක්’ චිත්‍රපටය තිරගත විය. එහි නිෂ්පාදනය ගුණදාස රාජපක්ෂ හා ශාන්තිය. මේ චිත්‍රපටයේ ශාන්ති සමඟ පද්මා සිරිවර්ධන, රැල්ප් විජේසේකර, අසෝක හේවාවිතාරණ, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, එම්. පී. ගැමුණු, ජෝ ලිවේරා, ක්ලෙමන්ට් විජේසිංහ, නීලා ලියනගෙදර, සරණපාල සූරියආරච්චි, ජෝ මයිකල් රඟපෑහ. ශාන්ති අබේසේකර ‘කොළඹ හාදයෝ’ චිත්‍රපටයේ ගැමි තරුණයන් පිරිවරාගෙන ගිටාරයක් වයමින් ගැයු මේ ගීතය එදා රසිකයන්ට නම් අමතක නැත. ගීතය පසුබිමින් ගැයුවේ ධර්මදාස වල්පොලය. සංගීතය ආර්. ඒ. චන්ද්‍රසේන ගෙනි. ගීත රචනය කරුණාරත්න අබේසේකරගෙනි. දර්ශනයට පෙනී සිටි නිළිය කුමාරි ලක්ෂ්මී අත්තනායකය. මේ ඒ ගීතයයි. ජීවිතේ පිී‍්‍රති සංචාරෙකි ලොවේගමන මිහිරියි රසයි විනෝදයිසිත දිවා රෑ රැඳී තියේශාන්ති අබේසේකර මුලින්ම අධ්‍යක්ෂණය කළ ‘වහල් දූපත’ චිත්‍රපටයේ සරත් සන්දනායක හා දයා හේමන්ත ගැයූ එක් ගීතයක් සංගීත ලෝලයින් අතර තවමත් අග්‍ර ස්ථානයේ රැඳී ඇත. ආර් මුත්තුසාමි සංගීතවත් කළ මේ ගීතයේ රචනය තිහාරියේ මානෙල් පෙරේරාගෙනි. (මාධ්‍යවේදී අසංක දේවමිත්‍ර පෙරේරාගේ පියා). ‘මඳ සීත නල රැල්ල දැඟලිල්ල පාකැලඹිල්ල වී දසත විසිරී ගියාසැනසිල්ල ඉතිරී දුක කැල්ම නැති වීපෙම් ලෝකයේ සුවඳ විසිරී ගියා’වහල් දූපත චිත්‍රපටයේ සෙසු ගීත වූයේ ‘නිදහස ළං වුණා’, ‘කොහේදෝ මා උපන්නේ’, ‘අපේ දෑස හමුවේ’ හා ‘මිනිසා මිනිසාට ඇයි දෝ ගරහන්නේ’. ශාන්තිගේ දයාබර බිරිඳ දයා හේමන්තා දක්ෂ ගායිකාවකි. ඇගේ දස්කම්වලින් හා ප්‍රතිභාවෙන් විපුල ප්‍රතිඵල ලබා නොගැනීම අප දකින්නේ අභාග්‍යක් ලෙසය. ඇය හෙන්රි චන්ද්‍රවංකගේ ‘සුනිලා’ (1963) මි. මී. 16 චිත්‍රපටය සඳහා මොරිස් දහනායක සමඟ ගැයූ මේ ගීතයේ රචනය විමලදාස පෙරේරාගෙනි. තිලක් කරුණාතිලක සංගීත අධ්‍යක්ෂවරයාය. ‘රස මිහිරි කතා සිඟිති සිනාසුදාගේ මූණේඅද නම් හොඳටම පාට වැටීපුන්සඳ වාගේ’ශාන්ති හා දයා හේමන්තාට දූ දරුවන් හත් දෙනෙකි. ස්‍රප්‍රියා අද ජනප්‍රිය ගායිකාවකි. සංගීත් නිපුන් සධානා රණතුංග, ෂර්මිලා, සුදේව්, සංජය, සජනා, සජිනි සෙසු දරුවන්ය. මුනුබුරු මිනිබිරියන්ගේ ආදරය ලබමින් ශාන්ති හා දයා හේමන්තා පන්නිපිටියේ කලල්ගොඩ ග්‍රාමෝදය මාවතේ අංක 73/33 දරන නිවසේ විවේකීව පසු වෙති.
|