වර්ෂ 2018 ක්වූ  ජනවාරි 04 වැනිදා බ්‍රහස්පතින්දා




Sound Quality

Sound Quality

මේක ටිකක් පරණ කතාවක්. හැබැයි රසවත්. ඒ හින්දමයි අප මෙය සනිටුහන් කරන්නට හිතුණේ. මේ කතාවට පදනම් වෙන්නේ නළුවෙක්, අධ්‍යක්ෂවරු දෙදෙනෙක් සහ ශබ්ද පරිපාලකවරයෙක්. නළුවා තමයි ජීවන් කුමාරතුංග, අධ්‍යක්ෂවරු දෙදෙනා වන්නේ රන්ජිත් සිරිවර්ධන සහ නිශාන්ත ද ප්‍රදීප්. ඒ දවස්වල නිශාන්ත සහාය අධ්‍යක්ෂවරයෙක්. වැඩි හොඳට ශබ්ද පරිපාලකවරයාගේ නම කියන්නේ නැහැ. ඒත් ඔහු තමයි මේකෙ කතානායක. රණබිමේ වීරයෝ චිත්‍රපටය රූගත කරන කාලේ විවේකයක් ලැබුණම එක්තරා රාත්‍රියක මේ හතර දෙනා එළියට බැස්සලු. පොඩ්ඩක් ඇවිදින්න කියලා මයෙ හිතේ. ඔහොම යන ගමන් දැක්කලු කොත්තු කඩයක්. හතර දෙනාම එතනට කිට්ටු කරලා දාන්න කිව්වලු කොත්තු පහක්. ඉතින් අහන්න එපා හතර දෙනාට කොත්තු පහක් මොකටද කියලා. හතරක් හතර දෙනා කාලා ලොජ් එකේ ඉන්න කාට හරි ගෙනි යන්න ද දන්නෙ නැහැනෙ. අනෙක් කොත්තුව දැම්මෙ. ඒකෙන් වැඩක් නැහැ. දැන් සද්දෙට කොත්තු පහ දානවලු. ඔය අතරතුරදී අර ශබ්ද පරිපාලකවරයා කොත්තු බාස්ගෙන් ඇහැව්වලු කොත්තු පහට බිත්තර කීයක් දැම්මද කියලා. කොත්තු බාස් කිව්වලු එකකට දෙක ගානේ බිත්තර දහයක් දැම්මා කියලා. ශබ්ද පරිපාලකවරයා කිව්වලු බොරු කියන්න එපා. මේකට බිත්තර හතයි නේද දැම්මේ කියලා. කොත්තු බාස් යටැසින් බලලා ශබ්ද පරිපාලකවරයා දිහා.

සර් කොහොමද හරියටම කියන්නේ මේකට දැම්මේ බිත්තර හතයි කියලා.

ළමයා මං සවුන්ඩ් ඉන්ජිනියර් කෙනෙක්. කොත්තු ගහන අස්සේ බිත්තර කැඩුවට මට ඒ පොඩි සද්දෙ පවා ඇහෙනවා. මං හරියටම ගණන් බැලුවා බිත්තර හතක් තමයි කඩනවා ඇහුණේ. මං හරි නේද.