වර්ෂ 2018 ක්වූ  ජනවාරි 04 වැනිදා බ්‍රහස්පතින්දා




එදත් අදත් A Level ඒ ලේවල්මයි

‘ඒ ලෙවල්’ කියන්නේ යෞවන ප්‍රේමය ගැන කතා කරන නිර්මාණයක් නොවෙයි

එදත් අදත් A Level ඒ ලේවල්මයි

ඒ ලෙවල් චිත්‍රපටයේ අධ්‍යක්ෂ රොහාන් පෙරේරා

මේ දිනවල ඊ.ඒ.පී. මණ්ඩලයේ සිනමා ශාලාවල තිරගත වන ‘ඒ ලෙවල්’ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වන්නේ රොහාන් පෙරේරායි. රොහාන් පෙරේරා අපට පළමුව මුණ ගැසෙන්නේ ‘හීන හොයන සමනල්ලු’ චිත්‍රපටය හරහායි. ඉන් අනතුරුව ‘ඒලෙවල්’ නිර්මාණය කරමින් සිනමා ප්‍රේක්ෂකයා හමුවට පිවිසෙන ඔහුගේ නිර්මාණ හරහා කතාබහට ලක්කරන්නේ එක් එක් මිනිසුන්ගේ ගති ස්වභාවයන් හා මානුෂීය බැඳීම්වල ගති ස්වභාවය කුමන ආකාරයක් ගත යුතුද යන්නයි. සමාජයට අපූර්ව පණිවුඩයක් ගෙනෙන ඔහුගේ නවතම සිනමාපටය ‘ඒ ලෙවල්’ පාසල් යෞවන - යෞවනියන්ගේ සොඳුරු පාසල් සමයේ චමත්කාරයත්, ජීවිතයේ අත්විඳීන්නට වන විවිධ ගැටලු පිළිබඳ අපට සිහිපත් කරන කවියක් වැන්න. මේ පෙළගැසෙන්නේ ඔහුගේ ‘ඒ ලෙවල්’ සිනමා නිර්මාණය පිළිබඳත්, සමාජයේ කතාබහට ලක්විය යුතු විවිධ කාරාණා පිළිබඳත් සරසවියට රොහාන් පෙරේරා සමඟ කළ කතාබහකි.

* පාසල් යෞවන - යෞවනියන්ගේ ක්‍රියාකාරකම් මූලික කරගත් ‘ඒ ලෙවල්’ චිත්‍රපටය නිර්මාණය වන්නේ කෙසේද?

වැඩිහිටි පරම්පරාව යළිත් පාසලට රැගෙන යන්නට හොඳ තැනක් ගැනයි මා පසුගිය කාලයේ සිත සිතා සිටියේ. ඊට සුදුසු ම කතාව කුමක්දැයි මා තව තවත් සිතුවා. ඒ අනුව අපි සියල්ලන් ම පාසල් කාලයට යන්නට කැමැති බවයි මට හැඟුණේ. ඒ පාසල් කාලය අතරිනුත් අප යන්නටම වඩාත් කැමැති සාමාන්‍ය පෙළ පන්තියටද, හයේ පන්තියටද, පහේ පන්තියටද, ඒලෙවල් පන්තියටද යන්න දැයි මා සිතා බැලුවා. එවිට බොහෝදෙනෙක් වඩාත් කැමැත්තක් දක්වන්නේ ඒලෙවල් පන්තියටයි. ඒ නිසා මට හැඟුණු කාරණය නම් ආපස්සට යන්නට හොඳම තැන ඒ ලෙවල් පන්තිය බවයි. ඉන් පස්සේ එතැනට කොහොමද යන්නේ කියන කාරණය ගැන සිතන විටයි වස්තුබීජය මගේ සිතේ පහළ වන්නේ.

* ඒ ඔබගේ සිතේ පහළ වූ වස්තුබීජය සිනමා සිත්තමකට උචිත ආකාරයෙන් වර්ධනය වීම සිදුවන්නේ කුමන ආකාරයෙන්ද?

සිතට පැමිණෙන වස්තුබීජය බොහොම පුංචි කාරණවක්. ඒ කාරණාව ‘ඒලෙවල්’ චිත්‍රපටයේදි නම් බොහෝ සංකීර්ණව වර්ධනය වුණා. උදාහරණයක් විදියට මගේ ගෝල් කියන චිත්‍රපටය වර්ධනය වන්නේ ෆුට්බෝල් මැච් එකක් හරහායි. ගමක සිටින කොල්ලෝ ටිකක් කොළඹ තිබෙන ඉහළ පෙළේ පාසලක් සමඟ සෙල්ලම් කරලා චැම්පියන්ස්ලා වීම කියන කාරණය ගත්තොත් ඒ කතාව වර්ධනය කිරීමේදී කියන්න බොහොම පහසුයි. ඔවුන් ටික එකතු කර ගැනීම, පුහුණු කිරීම, පළමු මැච්එක, දෙවැනි මැච් එක, තුන්වැනි මැච් එක සෙල්ලම් කිරීම, කොළඹ පැමිණීම, අවසන් මැච් එක සෙල්ලම් කිරීම දක්වා දිගින් දිගටම කියාගෙන යන්න පහසුයි.

* එහෙත් ‘ඒ ලෙවල්’ චිත්‍රපටය නිර්මාණයේදී එලෙස එක දිගට කියාගෙන යන්නට පහසු විදියට නොවෙයි ඔබ ඒ කතාව වර්ධනය කරන්නේ

‘ඒ ලෙවල්’ චිත්‍රපටයේ කතාව වර්ධනය කිරීමේදී මා අවදානමක් ගත්තා. ඒ ලෙවල් කතාවක පන්තියක් තිබෙන්න ඕනෑ. ළමයි ටිකක් ඉන්න ඕනෑ. ගුරුවරු ටිකක් ඉන්න ඕනෑ. ඒ කියන පොදු සාධක වගේ ම මේ කතාවේ කෙල්ලෙකුත්, කොල්ලෙකුත් ඉන්න වුවමනායි. එහෙම නැත්නම් මේ කතාව හරහා ඒලෙවල් පන්තියේ ළමයකුට සිදුවුණු මොකක් හරි සිද්ධියක් හෝ පහ සමත් වුණු ළමයකුට වුණු කතාවක් වගේ දෙයක් ඒලෙවල් පන්තියක කතාවකට ගේන්න බැහැ. ඒ ලෙවල් කියන්නේ වයස අවුරුදු දහඅට සම්පූර්ණ වුණු ළමයි සිටින ස්ථානයක්. එතැන ඉන්න කෙල්ලෝ කොල්ලන්ගේ ජීවිතය කියන්නේ වෙනම ම කතා කළ යුතු දෙයක්. අපි දැන් වුණත් ඒලෙවල් ගැන මතකයට නඟද්දිි කිසිම දවසක අර ගුරුවරිය බොහොම හොඳයි එයා අපට ආදරයෙන් සැලකුවා කියලා කියන්නේ නැහැ. ඒ අතීතයත් එක්ක අපි මතකයට නඟන්නේ ඒ කාලයේ අප කළ පිස්සු වැඩයි. ඒ පිස්සු වැඩ මතකයට නඟද්දි අනුත්තර හා අහිංසා අනිවාර්යයෙන් ම මවන්නට වෙනවා.

* ඕනෑම සිනමාකරුවකුට ඔවුන්ට ආවේණික ක්‍රමයක් තිබෙනවා නේද?

මගේ ක්‍රමය විදියට මා දකින ඉතා සරල ම ක්‍රමය නම් චිත්‍රපටයේ පළමු විනාඩි දහයේදි විතර බෝම්බයේ බොත්තම ඔබනවා. ඊට පස්සේ ඒක ටික්... ටික්... ටික්... ගාලා ඒක මා උපරිමයට ගෙනෙනවා. එහෙම නැත්නම් මා ඒක අන්තිමයට පුපුරලා දමනවා. එහෙම නැත්නම් ‘හීන හොයන සමනල්ලු’ චිත්‍රපටයේදී කළා වගේ මා ඒක නිෂ්ක්‍රීය කරලා දමනවා. පිපිරෙන්න දේන්නේ නැහැ. මෙන්න මේ දෙයයි සරලව ලෝකයේ බොහෝ සිනමාකරුවන් කරන්නේ. සමහර නිර්මාණකරුවන් අසාර්ථකයැයි පවසන්නේ මා කලින් කියන ලද ටික්...ටික්... ටික්... එක මිනිස්සු පිළි නොගැනීමයි. මේක බෝම්බයක්ද? මේක නිෂ්ක්‍රීය වුණාද? පිපිරුවාද කියන කාරණය ඔවුන් පිළිගන්නේ නැහැ. මෙතැනදි මට තිබුණු අවදානම නම් මා බෝම්බය පත්තු කරන්නේ අහිංසාට සිදුවුණු අපචාරය හරහායි. එහිදි මා අහිංසාට සිදුවුණු ඒ සිදුවීමේ තවත් එහාට ගියා. ඒ හරහා මට කියන්න වුවමනා වුණේ ඒලෙවල් කාලේ කියන්නේ අපට තනිවම තීරණ ගන්න පුළුවන් සමාජ වගකීමක් තිබෙන කාලයක් බවයි. ඒ කාලයේදි අපට ප්‍රශ්නවලින් පැනලා යන්න නොහැකි බවයි.

* ‘ඒ ලෙවල්’ චිත්‍රපටයේ ඔබ මවන අහිංසා බොහොම නිදහස්ව තීරණ ගන්නා, නිදහස්ව හැදී වැඩෙන යුවතියකගේ චරිතයක් ලෙසයි සිනමා ප්‍රේක්ෂකයා ඉදිරියට පමුනුවන්නේ

එතැන ලොකු අවදානමක් තිබෙනවා. ඒ ගැන මා දෙතුන් වරක් සිතුවා. සාමාන්‍යයෙන් පාසල් ප්‍රේමයේදී සිදුවන්නේ නිවැසියන් විරුද්ධ වීමයි. එක්කෝ එයාට ගමේ කොල්ලෙක් ඉන්නවා. එහෙමත් නැත්නම් බොහොම සම්ප්‍රදායික විදියට ඒ වනවිටත් නිවෙසෙන් විවාහ යෝජනාවක් අරගෙන ඇවිත්, ඒකට බැහැයි කියන්න බැරි තත්ත්වයක් උද්ගත වෙලා. මේ නිසා එතැනින් එහාට ගිහින් මේ නිර්මාණයේදි මා ඒලෙවල් කෙල්ලෙක් කළ හැකි උපරිම දේ ඉදිරිපත් කළා. එතැනදි ඈ පාසලෙන් ඉවත් වෙලා, ගෙදරින් ඇවිල්ලා, අවසානයේ තමන්ගේ ඥාතියකුට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරනවා. ඈ අන්තිම මොහොතේයි කියලා දමන්නේ උඹ මටත් මෙහෙම කළා කියලා. අවසානයට ඒ මිනිහාට දඬුවම් දෙනවා. මා මේ ආකාරයෙන් නිර්මාණය හරහා පවසන කාරණා මිනිස්සු කොහොම භාර ගනීවිද යන්න ගැන මට තිබෙන්නේ සැකයක්. කොහොම නමුත් මේ ගැන මා දැන් පැවසූ නිසා චිත්‍රපටය නරඹන සිනමා ප්‍රේක්ෂකයන් ඒ ගැන සිතන්නට පෙලඹේවි. එහෙත් ඒ හරහා චිත්‍රපටයේ හැඩතල වෙනස් වෙන්නට ඇතිමුත්, නිර්මාණයට සිදුවීම් බලෙන් එබ්බවූ ගතියක් නම් මට පෙනෙන්නේ නැහැ.

* විවිධ මිනිසුන් සමඟ කටයුතු කිරීමේදී , ඔවුන්ගේ මනෝභාවයන් සමඟ ගැටීමේදී ජීවිතයක රැඳුණු සුන්දර හා අසුන්දර බව යන දෙපැත්තක් තිබෙන බවත් ‘ඒ ලෙවල්’චිත්‍රපටය හරහා ඔබ අපට නොකියා කියන බවකුයි හැඟෙන්නේ

මේ කතාව හරහා නිර්මාණය මා දෙපැත්තකට ගෙනෙනවා. මේ එක් පැත්තකින් පැමිණ මා සිනමා ප්‍රේක්ෂාගාරය අඬවනවා. එහිදි මා ඔවුන්ට පවසන්නේ ඇවිත් පුංචි ගැහැනු ළමයාව අපචාරයට ලක්කළ අයුරු නරඹපන් යනුවෙන්. එවිට පාරමිත් සමඟ සිනමා ප්‍රේක්ෂකයන් අඬනවා. ඒත් එක්කම මා අනෙක් පැත්තෙන් සිනමා ප්‍රේක්ෂකයන්ව රැගෙන එන්නේ පාසල් කාලයටයි. ඒ හරහා හෙළිකරන්නේ අප එලෙස ඇඬුවත් අපේ ජීවිතවල සුන්දර පැත්තක් තිබෙන බවයි. මේ නිර්මාණය හරහා මා කියන්නට තනන්නේ අහිංසාගේ චරිතය හරහා මිනිස්සු තේරුම් ගතයුතු දෙයක් ගැනයි. අප සමාජයේදී ලේබල් ගහලා එළියට දමන මේ කළු යැයි පවසන චරිත ගැනයි. විශේෂයෙන් ගැහැනු ළමයි පිළිබඳයි. ඔවුන්ට කොල්ලෙක් එක්ක යාළුවෙලා සිටියා, මේක වුණා, අරක වුණා. ගෙදරින් පැනලා ගියා වැනි ලේබල් ගැසීම් තවදුරටත් ලේබල් නොවන බවයි. ඒ ලේබල් ගසන මිනිස්සුයි ලේබල් බවට පත්වන්නේ. තමන් තවමත් ඉන්නේ කුණු ගොඩේ නම් වැටෙන්න එතැනට. ඒත් එවැනි කාරණා අනුත්තරට වැඩකුත් නැහැ. සිනමාකරුවාට වැඩකුත් නැහැ. ඒවා පොදුවේ සාමාන්‍ය ප්‍රේක්ෂකයාට වැඩකුත් නැහැ. මේ චිත්‍රපටය නරඹලා ‘ඒ ලෙවල්’ හොඳයි කියනවා නම් ඔවුන් ඉන්නේ ලේබල් නොගසන කණ්ඩායමේයි. ඔවුන්ටයි මා මේ නිර්මාණය කළේ. ඒ නිර්මාණය ඔවුන් වැලඳ ගනීවි.

* අපේ රටේ බිහිවන නිර්මාණ අතර යෞවනයන්ගේ හැඟීම්, ක්‍රියාකාරකම්වලට අමතන නිර්මාණ ඇත්තේ ම නැතිතරම්. එවැනි කාලයකයි ඔබ ‘ඒ ලෙවල්’ චිත්‍රපටය රැගෙන එන්නේ

‘ඒ ලෙවල්’ කියන්නේ යෞවන ප්‍රේමය ගැන කතා කරන නිර්මාණයක් නොවෙයි. ඒ හරහා යෞවන ප්‍රේමයට යම් ඉඟියක් දී තිබෙන බවක් පෙනෙනවා නම් එය ඇත්තක්. මේ නිර්මාණය හරහා යෞවන ප්‍රේමය ගැන මා කතා කළා නම් පාසලේදි අනුත්තරගේ බැජ්එක ගලවා ගන්න තැනෙන් නතර වන්නේ නැහැ. ඒ වගේම අහිංසාට තවදුරටත් පාසල් එන්නට එපා යැයි කියන තැනදි ඒ සිදුවීම මා සාධරණීකරණය කරන්නේත් නැහැ. එහෙත් මා ඒ අවස්ථාවට විරුද්ධව ක්‍රියා කරන්නේත් නැහැ. අනෙක් කාරණය නම් ඒ සිදුවීම සම්බන්ධයෙන් සිනමා ප්‍රේක්ෂකයාට ප්‍රශ්න කිරීමේ ඉඩක් මා මේ නිර්මාණයේ නිර්මාණය කරලාත් නැහැ. ඒ නිසා මා මෙතැනදි යෞවන ප්‍රේමය ගැන කතා කරනවාටත් වඩා කතා කළේ ඒලෙවල් පන්තිය ගැනයි. එහි තිබුණු අහුමුලුයි මා පෙන්වා දුන්නේ. ඒ නිසා යෞවන ප්‍රේමයට කතා කරන නිර්මාණයක් ඉදිරියේදි මා නිර්මාණය කරනවා. එහිදි යෞවන ප්‍රේමය ගැන මීට වඩා විවෘතව කතා කරාවි යැයි මා සිතනවා.

* මීට වසර තිහ, හතළිහකට පෙර ඔවුන්ගේ ක්‍රියාකාරකම් හා හැඟීම් පෙළ ගැසී තිබුණු ආකාරයේ මෙන්ම වර්තමානයේ සිටින යෞවන - යෞවනියන්ගේ ක්‍රියාකාරකම් හා හැඟීම් පෙළ ගැසී තිබෙන ආකාරයේ යම් වෙනස්කමක් තිබෙනවාද?

මීට වසර කිහිපයකට පෙර සිටි අයකුගෙන් ඒ කාලයේ අපි විමසුවා නම් ඊට වසර කිහිපයකට ඉහත ඒ ලෙවල් පන්තිය කොහොමද කියලා එවිට ඔය ප්‍රශ්නයත් නැවතම පැමිණේවි. දැන් ඉන්න ඒ ලෙවල් පන්තියේ ඉන්න අය වැඩිහිටියන් බවට පත් වූ පසුව ඔවුන්ගේ ළමයි ඒ ලෙවල් පන්තියේ ඉදිද්දි ඒ අයට මොනවා හරි කියමින් බණිනවා කියලා සිතන්න. එවිට ඔවුන් ළඟ වෙනම ගැජට්බැජට් ටිකක් තියේවි. ඔවුන්ගේ වැඩිහිටියන් කතා කරාවි අපේ කාලයේ තිබුණු ඒ ලෙවල් පන්තිය කොයිතරම් සුන්දරද? අපි කළ දේවල් එක්ක උඹලා මොනවාද මේ කරන්නේ? කියමින්. ඒ නිසා මේ පන්තියේදි සිදුවන සියල්ලම සාපේක්ෂයි. මේ නිසා මා පවසන්නේ එදා ඒ ලෙවල් පන්තියත්, දැන් ඒ ලේවල් පන්තියත් සියල්ල ඒ ලෙවල් පන්ති බවයි.

* ඔබ ඒ පවසන්නේ මේ කුමන කාලයක තිබෙන ඒ ලෙවල් පන්තිවලත් වෙනස්කමක් නොමැති බවද?

ඒ පන්තිවල තිබෙන මොන මොන වෙනස්කම් ගැන විවේචනය කළත් ඒලෙවල් පන්තිය ඒ ලෙවල් පන්තියමයි. ඒ කාලයේදියි අපට අවුරුදු දහඅට ලබන්නේ. ඒ කලායේදියි අපට තනියම තීරණයක් ගන්න පුළුවන් වන්නේ. නහයෙන් අඬන්නේ නැතිව කීයක් හරි ඉල්ලා ගන්න පුළුවන් වන්නේ. අම්මලා, තාත්තාලා නැතිව රැයක් කොහේහරි යන්න ලැබෙන්නේ ඒ කාලයේදියි. එහෙම නැතිව ඒ කාලයේදි තිබුණු හා අද පවතින දේවල්වල අඩුමකුඩුම ටිකේ වෙනස පමණයි පවතින්නේ. ඒ කාලයේ තිබුණු සිතුම්-පැතුම්, ඒ තිබුණු ජවය ඒක එහෙමමයි. ඒ කාලයේ සිටි කෙල්ලෝ කොල්ලෝමයි තවමත් ඒ ලෙවල් පන්තියේ සිටින්නේ. නිතරම වෛද්‍යවරයෙක් හරි, ව්‍යාපාරිකයෙක් හරි ආදී කුමන කෙනෙක් හරි ඔවුන්ගේ ලෙවල් එකත් එක්කයි අප ගැවසෙන්න උත්සාහ කරන්නේ. ඒක පහසුයි. ඒත් ඒ ලෙවල් වගේ පන්තියකදි ඒක අදාළ නැහැ. ඔහු එන්නේ කොහොන්ද? මොනවාද කරන්නේ කියන කාරණා අදාළ නැහැ. අදාළ එකම දේ නම් ඒ ලෙවල් පන්තියේද ඉන්නේ කියන කාරණය පමණයි. ඒ කාරණය අදත් එහෙමයි. හෙටත් එහෙමයි.

* ‘ඒ ලෙවල්’ චිත්‍රපටයේ අපට හමුවන චරිත නිර්මාණය වන්නේ ඔබගේ සැබෑ ජීවිතයේ ජීවත්වුණු චරිත ආශ්‍රයෙන්ද?

මෙහි එන චරිත සැබෑ චරිතයි. ඒ චරිත අපට පාසලේදි හෝ වේවා, විශ්වවිද්‍යාලයේදී හෝ වේවා හමුවන සැබෑ චරිතයි. කිසිම දවසක ඉපදිලා නැති චරිතයක් ගැන කිසිවකුටත් ලියන්නට බැහැ. සමහර චරිත විරල ගණයේ චරිත විය හැකියි. ඒ චරිත ගැන සොයාගෙන ගියොත් එවැනි චරිත ඕනෑතරම් අප අතර ජීවත් වී තිබෙනවා. සමහර විට කිසිවකු මගෙන් අහිංසා වගේ කෙනෙක් ඒලෙවල් පන්තියේ සිටියාදැයි විමසුවොත් සීයයට සීයක් අහිංසා එහි සිටියේ නැහැ. එහෙම එකිනෙක චරිත අරගෙන ම මේ මේ චරිතය යැයි හඳුන්වා දෙන්නට නොහැකියි. ඒ චරිත අතර සැබෑ චරිත වගේම මා මැවූ චරිතත් තිබෙනවා. ඒ මගේ සිතෙන් ප්‍රතිනිර්මාණය වූ චරිත ගැන කවුරු හෝ කෙනෙකු එවැනි චරිතයක් ජීවත්වනවාදැයි විමසුවොත් ඒ අය ජීවත්වන බව කිව හැකියි.

* ‘ඒ ලෙවල්’ චිත්‍රපටය සඳහා රංගනයෙන් සහභාගි වන නළු නිළියන් තෝරා ගැනීම සිදු කරන්නේ වෙනස් ම ආකාරයෙන්ද?

ඒ සඳහා මට බොහොම වෙහෙසක් ගැනීමට සිදුවුණා. ළමයින් නවදහසක් සම්මුඛ පරීක්ෂණයට ලක්කිරීමෙන් පසුවයි මේ පිරිස තෝරා ගත්තේ. ඒ සඳහා අපේ රටේ පාසල් හතළිස් පහකට වඩා වැඩි සංඛ්‍යාවක අප සංචාරයේ යෙදුණා. ළමයින් ගත්තොත් අනුත්තරගේ චරිතය රඟපාන පිරිමි ළමයා වන සචිර සොයා ගත්තේ නුවරින්. වත්සල අනුරාධපුරයෙන්. රවිඳු කැබිතිගොල්ලෑවේ. කේෂානි ගම්පහෙන්. රශ්මි ත්‍රිකුණාමලයෙන්. අහිංසාව මුණ ගැසෙන්නේ මාතලෙන්.

* අහිංසාගේ චරිතයට හා අනුත්තරගේ චරිතයට නළු නිළියන් සොයාගැනීම දුෂ්කර වුණාද?

ඇගේ චරිතය සඳහා මා සෙව්වේ රංගනය ගැන හැඳෑරුව කෙනෙකු නොවෙයි. ඒ චරිතයට අවසානය වනතුරුම අපට ළමයකු මුණ ගැසුණේ නැහැ. මේ නිසා මේ චිත්‍රපටය රූගත කිරීම් කල්දමන්නයි මමත්, දමින්ද මඩවලත් තීරණය කරගෙන සිටියේ. ඊට පසුව දමින්දගේ කමල් අලහකෝන් කියන හිතවතාටත් මේ ගැන පවසනවා. එවිටයි ඔහු මෙහෙම ගැහැනු ළමයෙක් සිටින බව පවසන්නේ. එවෙලෙහි ඈ ඒ චරිතයට ගැළපේවි යැයි මට විශ්වාසයක් තිබුණේත් නැහැ. මම ලහිරුකා බලන්න යනවිටත් ඈ මිදුල අතුගාමිනුයි සිටියේ. මා ගොඩක් දුරට සොයමින් සිටි චරිතය ලහිරුකායි. අනුත්තර නම් සියයට සියයක්ම මා සෙවූ කෙනාමයි. ඒ චරිතය සඳහා රඟපෑමට සම්බන්ධ කෙනෙක් නොවෙයි මා ගන්නට සිටියේ. ඒ අදහස ඒ අයුරින්ම ඉටුවුණා. ඒ වගේම ඔහුව මා දැක්කේ අහම්බයෙන්. පසුව බලෙන්ම වගෙයි ඔහුව එක්කගෙන ආවේ. මා සමඟ කතා කළාට පසුව ඔහු චරිතය කරන්නට එකඟ වුණා. ඒ වනවිටත් ඔහුගේ චරිතයට පන්දහසක් පමණ පිරිසක් බලලයි තිබුණේ.

* මෙහි රඟපාන සෙසු චරිත සඳහා නළු නිළියන් තෝරාගැනීමටත් වෙහෙසක් ගැනීමට සිදු වුණාද?

යොමාල්ගේ චරිත වුණත් මා සිතූ චරිතයමයි තෝරා ගැනුණේ. මේ පන්තියේ අන්තිම ඉඳන් චුයින්ගම් කන කොල්ලත් මේ චිත්‍රපටයේ චරිතයක්. මෙහි සිටින සෑම කෙනෙක්ම මේ නිර්මාණයේ චරිතයක්. සාමාන්‍යයෙන් පන්තියේ පළමු පේළියේ ඉන්නේ ඉගෙන ගන්නත් බැහැ, ඒත් විශ්වවිද්‍යාලයට යන්න සිතාගෙන සිටින පිරිසක්. දෙවැනි පේළියේ ඉන්නේ මේ දෙපැත්තම සමබර කරගත් පිරිසක්. තුන්වැනි පේළියේ ඉන්නේ පැණියෝ ටික. ඔවුනුයි කටකනේ සිටින තරමට සිනාවෙන්නේ. සිව්වැනි පේළියේ ඉන්නේ අයියලා ටික. එහෙම සිනාවීමට අනුත්තරට බැහැ. සුභා වගේ ළමයෙක් සෑම පන්තියක ඉන්නවා. ඈ ඉන්නේ නිතරම කොල්ලොත් එක්කමයි. ඒත් ඈ නිතරම උන්ගෙන් බැණුම් අහනවා. මේ වගේ ලස්සන චරිත ටිකකුයි මා සෙව්වේ. ඔවුන් මට මුණ ගැසුණා. චාන්දනී, ජයලත් මනෝරත්න, ජයනි, උමාලි, තුමිඳු ඇතුළු කැමරා අධ්‍යක්ෂ පාලිත පෙරේරා ඇතුළු සියලුදෙනාම නිර්මාණය කිරීමට මට සහයෝගය දුන්නා.

* අපේ සමාජයේ ළමයින් ඇතුළුව බොහෝදෙනා විවිධ හිරිහැරවලට, අපචාරවලට ලක්වන්නේ සිය පවුල් පරිසරය ඇතුළේමයි. එහෙත් කිසිවකුත් ඒ ගැන එළිපිට කතාබහ කරන්නේ නැහැ. එවැනි අනාරක්ෂිත බවක් නිවෙසේ ගොඩනැඟෙන්නේ ඇයි?

හේතුව ඇත්තටම එළියේදී අපි ආරක්ෂිතයි. කාන්තාවන් ගැන ගන්න, එළියේ තිබෙන නීතිය යටතේදී ඔවුන් ආරක්ෂිතයි. මේ වකවානුවේ තිබෙන නීතිය අනුව පුරුෂයකුට බැහැ ඔවුන්ගේ ඇඟේ හැප්පෙන්න. කනට ගහන්න. එහෙම වුණු ගමන්ම ප්‍රතිඵලය අනෙක් පැත්තෙන් ලැබෙනවා. එහෙම ඉඳලා හිටලා ගැහුවොත් තමයි අපි ඒක දිගටම කතා කරන්නේ. ඒත් නිවෙස ඇතුළේ ඒ සියලු දේවල් සිදුවෙනවා. ඒ නිසා නිවෙස කියන්නේ අනාරක්ෂිත ස්ථානයක්. නිවෙස කියන්නේ ආරක්ෂිත ස්ථානයක් නොවෙයි නම් ආරක්ෂිත ස්ථානය වන්නේ සුන්දර නිවෙසයි. ඒ නිවෙසේ ජීවත්වන්නේ සුන්දර මිනිස්සු නම් ඒ නිවෙසේ වෙසෙන මව, කාන්තාවෝ, දරුවන් යන සියලු දෙනාම ආරක්ෂිත වේවි. එහෙම නොවුණොත් එතැන අනාරක්ෂිතයි. එහෙත් අද මේ ලෝකයේ තිබෙන තත්ත්වය අනුව ඒ කාරණය කවදා හෝ වෙනසකට ලක්වේවි. සමාජ මාධ්‍ය දියුණු වෙලා, සීසීටී කැමරා පද්ධතියක් දැම්ම ගමන් ඔය කියන තත්ත්වය වෙනස් වෙනවා.

* අපේ රටේ අපචාර සම්බන්ධයෙන් තිබෙන නීතිමය රාමුවේ හිඩැස් නිර්මාණය වී තිබෙන බවක් නේද පෙනෙන්නේ?

නීතියේ හිඩැස නොවෙයි තිබෙන ප්‍රශ්නය වන්නේ. එංගලන්තයට නීතියක් නැහැ. ලිඛිත නීතියක් නැහැ. සම්ප්‍රදායක් නේ තිබෙන්නේ. උදාහරණයක් විදියට පසුගියදා සිදුවුණු සිදුවීමක් ගන්න. රත්නපුරයේදී පොලිස් නිලධාරියෙක් කාන්තාවකට පහරදෙනවා. ඒ පහරදෙන්නේ ගණිකාවකට යැයි දැන ගත් ගමන්ම මිනිස්සු ඊට ප්‍රතිචාර දක්වන්නේ “හොඳ වැඩේ” යැයි පවසමින්. එහෙමනම් නීතියේ නොවෙයි ප්‍රශ්නය තිබෙන්නේ. නීතිය අනුව ඔහුට එලෙස කිරීමට නොහැකියි. ඈ ගණිකාවක් නම්, නීතියට එකඟ නැති යම් සිදුවීමක් වෙනවා නම් ඊට පියවර ගත හැකි නීතියේ යම් ඉඩ පහසුකම් තිබෙන බව පැහැදිලි කාරණයක්. එහෙම තියෙද්දිත් පොලිස් නිලධාරියා කරන දෙය අන්තිම නීතිවිරෝධියි. හැබැයි එයාට නීතියෙන් දඬුවම් දිය යුතු වෙලාවේ අපේ සම්ප්‍රදාය කියන්නේ ගණිකාවට ගහපු එක හොඳ බවයි. එහෙමනම් නීතියේ නොවෙයි, අපේ සම්ප්‍රදායේයි ප්‍රශ්නය තිබෙන්නේ. ඒක ඒ තරම්ම දියුණු ස්ථානයක නොවෙයි තිබෙන්නේ. අපේ සමාජය ඒ කාරණා සම්බන්ධයෙන් සංවර්ධනය නොවූ ස්ථානයකයි පසුවන්නේ. එහෙත් එවැනි සංවර්ධනය වූ ස්ථානයකට මේ සමාජය රැගෙන පැමිණිය යුතුයි. එවැනි සමාජයක් නිර්මාණය කිරීමට නිර්මාණකරුවන්ට, හා මාධ්‍යවේදීන්ට පැවරුණු විශාල කර්තව්‍යයක් තිබෙනවා. අපට පැවරුණු විශාල වගකීමක් තිබෙනවා.

* ඔබ ‘ඒ ලෙවල්’ චිත්‍රපටය හරහා ළමයින්ට තමන් ආරක්ෂා විය යුත්තේ කෙසේදැයි ඉදිරිපත් කරන්නේ බොහොම සුන්දර ආකාරයෙන්. එවැනි අධ්‍යාපනයකුයි කුඩාකල සිට අපේ ළමයින්ට දිය යුත්තේ

ළමා ලේකම් කාර්යාලයෙනුයි ළමයින්ට ඒ ආරක්ෂා වීමේ අධ්‍යාපන ක්‍රමය ගැන මා අර ගත්තේ. ඔවුන් විසිනුයි සමාජය දැනුවත් කළ යුත්තේ. නිර්මාණකරුවන් විදියට හා මාධ්‍යකරුවන් විදියට සමාජයේ කුඩා ළමුන් හා වැඩිහිටියන් දැනුවත් කිරීම අපට පැවරුණු වගකීමක්. ඒ දැනුවත් කිරීම මා අදාළ ආකාරයෙන් චිත්‍රපටයට ගෙනෙනවා. ‘ඒලෙවල්’ චිත්‍රපටය බොහෝදෙනෙක් නැරැඹුව හොත් ඒ අය මේ පිළිබඳව දැනුවත් වේවි. මගේ නිර්මාණය හරහා මොකක් හෝ දෙයක් සමාජයට ඉතිරි කර යෑමයි මගේ බලාපොරොත්තුව වන්නේ. මා නිර්මාණයක් කිරීම හරහා යම් පණිවුඩයක් සමාජ ගත කිරීමයි බලාපොරොත්තු වන්නේ. ‘ඒලෙවල්’ නැරැඹුවොත් ඔවුන්ට ඒ පණිවුඩය ලැබේවි.