වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




මං ඔයාව බලන්න පොලීසියටත් ආවා

මං ඔයාව බලන්න පොලීසියටත් ආවා

සරෝජා ඉතාලියට යන්නට කළ ආරාධනාව බිනරි ගේ සිතේ තැන්පත් විණ. යෙහෙළිය එය කවර අරමුණකින් පැවසුවාද යන්නට වඩා ඇයට අවශ්‍ය වූයේ මේ පරිසරයෙන් මිදෙන්නටය. ලක්ෂ්මන් හා විනොද් අරගලය ගැන ඇය විස්තර දැන ගත්තේ කනින් කොනිනි. විනෝද් ලක්ෂ්මන්ගේ දත් ගැලවෙන්න ගැසූ වගක් ඇයට අසන්නට ලැබුණේ ඕපාදූපයක් හැටියටය. බිංදුවෙන් පටන් ගත් ලක්ෂ්මන්ට පලාතේ බොහෝ දෙනෙක් ණය වී සිටියහ. ඔවුන් යටි සිතින් ලක්ෂ්මන්ගේ බිඳ වැටීමක් අපේක්ෂා කළා වැන්න.

‘ලක්ෂ්මනයට එළියට බහින්න බැහැය කියන්නේ. ඔක්කොටම වඩා ලැජ්ජාවනේ. මේ හුජ්ජ කොල්ලෙකුගෙන් ගුටි කෑවාය කියන්නේ. දැක්කනේ දේසබන්දු ද මොකක්ද පට්ටමක් හම්බ වෙලා නටපු නාඩගම’

ඕපාදුපය සමග එක් කරමින් පත්තරයක දැම්මා වැනිව අල්ලපු ගෙදර සිටි ස්වර්ණා කියා ගෙන අයරු බිනරි අසා ගෙන සිටියායය.මැදට පැන විස්තරය අසන්නට සිතින් උපන් ආසාව මැඩලන්නට බිනරි ගේ යටි සිත උපදෙස් දී තිබුනාය.

ඉන් දවස් දෙකකට පසු තවත් ඕපාදූපයක් ද කණ වැටිණ.ඒ ලක්ෂ්මන්ගේ ගෝලයා කෝසල අතුරුදන් ව ඇති පුවතයි.

‘නිකම් නෙවෙයි.මිනිහා ලක්ෂ්මන්ගේ ගෑණිවත් අරගෙනයි ගිහිල්ලා තියෙන්නේ.’

ස්වර්ණා දෙසන්නට පටන් ගත්තාය.

‘මම නම් දැන ගත්තා ඕකි ආපු දවස්වලම පුදුම දඟරයක්නේ තිබුණෙ’

තවත් ගැහැනියක් ලක්ෂ්මන්ට අනුකම්පා කරන්නට පටන් ගත්තාය. ඉස්සර ලක්ෂ්මන්ගේත් ඇයගේත් ඇයි හොඳයියක් තිබුණ වග වටේ පිටේ කතා වෙයි.

‘ඇයි පොලියට දුන්න එවුන්ගේ සල්ලි එකතු කර ගෙන තියෙන්නෙත් මිනිහා.’

කතා බහ ඇති වන්නේ ගෙයි සාලයේය. එයට අල්ලපු ගෙදර පිරිසක් ද එකතුව සිටිති.ලක්ෂ්මන් ද කලකට ඉහත මේ පිරිස සමග දුව පැන ඇවිද ගිය මිනිසෙකි. කලින් සතුරු සිතුවිලි පහල ව තිබුනත් ඒ මොහොතින් අනුකම්පාව පහළ වීම මිනිස් සිතේ ස්වරූපයයි.

‘පව්.ලකියා ආය කොහොම ඔළුව උස්සන්ඩද ?’

කිසිවකු කියනු බිනරි අසා සිටියාය.

ඒ කතා බහට විනෝද් ගේ නම නො ගෑවීම ගැන බිනරි සතුටු වූවාය. විනෝද් කොහේ ගියාදැයි කිසිවකු දැන සිටි වගක් පළ වූයේ නැත. එබන්දෙකු මේ සමාජයේ ජීවත්වූයේ දැයි දින කිහිපයකදී අමතකව ගිය හැටිය.

සරෝජා ඒ දවස්වල නිතරම ආගිය එක ගැන බිනරි ගේ සිතට ඇති තිබුණේ සතුටකි.

‘මම හෙට උදේ නවය වෙන කොට එනවා.උඹ ලෑස්ති වෙලා ඉඳපං’

සරෝජා පැවසුවේ දුරකතනයෙනි.ඒ වන විට රෑ බෝවී තිබිණ. කොහේ යන්නට දැයි අසන්නට කලින් සරෝජා දුරකතනය විසංධි කළාය. පසුගිය දවස් වල සරෝජා සමග දියනිය යන ගමන් ගැන විමසන්නට බිනරි ගේ අම්මා කල්පනා නොකළාය. කුඩා කළ යෙහෙළිය දැන් පිළිවෙළක් වි සිටීම දුටු විට තම දියනිය ගැන ඇයට සිතුණේ කනගාටුවකි.

සිය සැමියා දවස තිස්සේම කඩයට වී ගණුදෙනු බලනවා පමණකි. දියණියගේ අනාගතය ගැන ‍මෙයට වඩා වෙහෙසිය යුතුය. කොයි මොහොතක හෝ දියණියට පිළිවෙලක් වන ආකාරය ගැන සැමියාට කිව යුතුය.

සරෝජා දැන් වෙලාවට වැඩ කරන්නියකි.එබැවින් ඇය පැමිණෙන විට සූදානම්ව සිටීම හොඳය. බිනරි පාන්දරින්ම නාගත්තේ ඒකටත් එක්කය. අම්මා උදයේ කෑම පිලියම් කරමින් උන්නාය. කවුදෝ දොරට තට්ටු කරනු ඇසිණ.

මේ ගෑනි වෙලාවටත් කලින් යැයි සිතමින් බිනරි දොර ඇරියාය.

ඇය දුටු දෙයින් පුදුමට පත් විය. විනෝද් දොරකඩ සිට ගෙන සිටියි.

ඇය කිසිත් නොකිව්වාය. ඔහු ඇය දෙස බලා සිටියේ ඔහු ගේ ඊළඟ ප්‍රතිචාරය කුමක්දැයි දැන ගන්නටය.

‘බිනරි’.

ඔහු කතා කළේ හීන් හඩිනි.එය ඔහුටවත් නෑසුන තරම්ය.බිනරි හිස ඔසවා ඔහුගේ මුහුණ දෙස බැලුවාය. කල්ප කාල ගණනක් ගතවී ඇතැයි ඇයට සිතිණ. ඔහු ගේ මුහුනේ රැවුල කපා ඇත.වෙනදාට වඩා තරුණ පෙනුමක් ඔහු වෙතින් දිස් වන්නේ යැයි ඇයට සිතිණ. කෑ ගසා අඬන්නට සිතුනත් එසේ නොකළ ඇය අම්මායැයි කෑ ගැසාවය. දියනියගේ හඬින් තිගැස්සුනු අම්මා ගෙයින් සාලයට පැමිණියාය.

‘අපොයි එන්න ළමයෝ ගෙට’

කිසිදු වෙනසක් නොපෙන්වා අම්මා විනෝද් ට ගෙට එන්නට කතා කළාය. විනෝද් ගෙට ඇතුලුවූයේ එහි වූ අසුනක වාඩිවිණ.

අම්මා ද අසල පුටුවක වාඩිවිණ.

‘දරුවෝ ලිපේ ඇති බත බැලුවා නම්’

අම්මා පැවසුවේ තමා එතැනින් ඉවත් කරන්නට බව බිනරිට වහා වැටහිණ. ඇය කුස්සිය පැත්තට යන නියායෙන් අසල වූ බිත්තියකට මුවා වුනාය.

‘ඉතින් ළමයෝ කොහොමද ?’

අම්මා විමසුවාය.

‘මං දැන් මෙහෙ නෑ ඇන්ටි.’

‘දැන් කොහෙද ඉන්නේ ?’

‘ඇඹිලිපිටියේ. මං ඔක්කොම අත ඇරියා .මට විපතක් වෙන කොට මං ගාව ඉන්නේ කවුද කියලා මට දැනුණා.’

ඔහු කියන්නට පටන් ගත්තේය.

‘මං යාන්තම් අලු ගහල දැම්මා විතරයි.පත්තර වල මගේ නම ගියේ නළුවෙක් හැටියට. අන්තිමට මම නිදහස්. හැබැයි මගේ නම පත්තරවල.එහෙම්මයි. මම තවමත් හොරා’

ඔහු නොකඩවා කතා කරන්න්ට පටන් ගෙනය.කිසිවක් හෝ හූමිටියක් වත් තියන්නේ නැත.

‘අන්තිමට මං හැමදාම රණ්ඩු වුන තාත්තා විතරයි.මට හිටියේ.මට යාළුවෙක් කතා කළා ගොවිතැන් කරන්න.මම ඇඹිලිපිටියට ගියා’

දැන් මම එහේ. මට ඊයේ ආවේ.මෙහේ වෙච්ච අලකංචි ඔක්කොම මට ආරංචියි.

අම්මා විනෝද් ගේ කතාව අසන්නේ සුරංගනා කතා අසන දැරියක වගේ යැයි බිනරිට සිතිණ.

‘මම ගියා ලක්ෂ්මන් බලන්න’

විනෝද් අලුත් ආරංචියක් පැවසුවේය.

තව දුරටත් බිත්තිය අසලට වී කතාව අසන්නට නොරැඳුන බිනරි සාලයට එන්නට සිත හදා ගත්තාය.

‘මිනිහාට පිස්සු වගේ. මාව දැකලා වැන්දේ නැතුව විතරයි’

බිනරි පිළිබඳ තඹ දොයිතුවකට නොසළකා විනෝද් කියා ගෙන යයි. බිනරි අම්මා අසලින් වාඩිවුණාය.

‘මිනිහාගේ ගෙට රිංගලා ඔක්කොම අර ගෙන තියෙන්නේ කෝසල කියන හාදයා ය කියන්නේ’

විනෝද් පැවසුවේය.

‘අපටත් ඒ ගැන පස්සේ ආරංචිවුණා’

අම්මා කතාවට එක්වූවාය.

‘මිනිහා ගිහින් තියෙන්නේ ලක්ෂ්මන්ගේ ගෑනිත් එක්කය කියන්නේ’

අම්මා නැවතත් පැවසුවාය.

‘ඔච්චර පණ දී ගෙන හිටියත් කව්ද ඇන්ටි විස්වාස කරන්න පුළුවන්.’

විනෝද් පැවසුවේ ඉවත බලාගෙනය.එය තමන්ට කළ ඇණුම් පදයක් වැනියැයි බිනරිට සිතිණ.

‘අන්තිමට ඔය ළමයාට කොහේද යන කරුමයක් පළ දුන්නා වගේ නේ’

විනෝද් එබසට හිනා වෙන්නට පටන් ගත්තේය.’

‘මොකෝ ළමයෝ හිනාවෙන්නේ. මං කිව්වේ බොරුද ?’

‘මොන කරුමයක්ද ඇන්ටි.මං දැන් හිතන්නේ සේරම වෙන්නේ හොඳට කියලයි.’

‘එහෙම හිතනව නම් හොඳයි.ඒ වුනත්’

‘ඒ වුනත් මොනවද ඇන්ටි.? මං ගාව පණට පණ දී ගෙන ඉන්නේ කවුද කියලා දැන ගත්තු එකම මදෑ. සමහරු පොලීසියටත් කලින් මාව හොරා කරලා.වචනෙකින් හරි උදව්වක් නැති මිනිස්සු මොකටද?’

විනෝද් ගේ ඇනුම බිනරි එවර සෘජුව බාර ගත්තාය

‘මං ඔයාව බලන්න පොලිසියට ආවා’

ඇය පැවසුවේ හැඬුම් ස්වරයෙනි.

‘නෑ. බිනරි ඔයා ගෑනු ළමයෙක්.ඔයා කරපු ටික ඇති. මම දන්නවා.එතැනින් එහාට ඔයාට බෑ. මිනිහෙක් රිමාන්ඩ් කරාම කොච්චර නිවැරැදියි කිව්වත් හැම මිනිහම බලන්නේ සැකෙන්. අපි ඉස්කෝලේ දී මනුතාපය කියෙව්වා නේ. අර ජනවර්ධන වාගේ. හංවඩුව තියෙනවා.’

විනෝද් නැගී සිටියේය.

‘මං ගත්තු ණය ටිකක් තියෙනවා. අර මළ උලව් නාට්‍ය හින්දා. මේ ගමන ගිහින් ආවාම ඒ ටිකත් ගෙවලා දානවා.’

ඔහු ගෙයින් එළියට බැස්සේය.

‘ඔය ළමයාට තේ එකක් වත්’

අම්මා පැවසුවේ හදිසියේ මතක් වූ හැටියටය.

‘නෑ ඇන්ටි. මට මෙහේ තේ බීලා පුරුදුයිනේ. මං ඒ හින්දයි කියලා යන්න ආවේ. මම ආයේ ආවම පුළුවන් වුනොත් එන්නම්.’

බිනරි ද ඔහුත් සමග එළියට බැස්සාය. ඔහු ඇයට සමීප විය.

‘ඉස්සර ඉදන්ම පික්චර් වලට ආසයිනේ. හැබැයි ඉතින් දැන් මම ඒවාට යන්නේ නෑ. ඔයා වුනත් තනියම ඕවට යන්ඩ හොඳ නෑ කියලයි මට හිතෙන්නේ’

විනොද් ගේ මුහුණේ තිබුණේ කවදාවත් නොදුටු සිනහවකි.ඔහු සියලු වේදනා වසන් කරන්නට සැරසෙන ආකාරයකි.

‘කවදා හරි දවසක ඔයාට ෆිල්ම් එකක ඇට් කරන්ඩ නොලැබුනොත් මම ඔයාට පිච්චර් එකක් හදන්ඩ සල්ලි හොයලා දෙන්නම්’

ඔහු මුහුණට නගා ගත්තේ සිනහවකි.

අනතුරුව ඔහු ආපසු හැරී යන්නටගියේය. ඔහු නොපෙනී යන තුරු බලා නොසිටි බිනරි ආපසු කාමරයට වැද ඉකි ගසමින් අඩන්නට වූවාය.