වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




ආචාර්ය අරෝෂ අලුත් චිත්‍රපට බෙදාහැරීමේ මණ්ඩලයක් හදයි?

ආචාර්ය අරෝෂ අලුත් චිත්‍රපට බෙදාහැරීමේ මණ්ඩලයක් හදයි?

නිෂ්පාදනය නතර කරලා නැහැ...

මගේ ඊළඟ පියවර තමයි සිනමාශාලා 60ක් සඳහා ආයෝජනය කිරීම. ඒ ව්‍යාපෘතිය අපි දිවයින පුරාම ගෙනියනවා. ක්‍රමිකව. යම් කාලයක් එක්ක අපිට ඒ ඉලක්කය සපුරා ගන්න පුළුවන්. බොහෝ විට තිර දෙකක් සහිත සිනමා සංකීර්ණ ලෙස ඒවා ඉදිවේවි. එතකොට එක් තිරයක් අපේ චිත්‍රපට සඳහාත් අනෙක් තිරය විදේශීය චිත්‍රපට සඳහාත් වෙන්වෙනවා.

කිලිනොච්චි නගරයේ සිනමාහලක් ස්ථාපිත කරන්න තරම් දියුණු කරන ලද බහු කාර්ය ගොඩනැගිල්ලක් තිබෙනවා. ඒ ඉඩ කොටස සඳහා ටෙන්ඩර් කැඳවීමකුත් කළා. මමත් දැම්මා ඒ සඳහා ලන්සුවක්. මේ ක්ෂේත්‍රයේ බොහෝ තරඟකරුවන් අතරින් ඒ ටෙන්ඩරය ලැබුණේ මට. දැන් මම සුදානම් අති නවීන තිර දෙකක් සහිත සිනමා සංකීර්ණයක් කිලිනොච්චියට ගෙනියන්න. ඒකෙ කාර්යයන් ඉක්මනින්ම අවසන් වේවි. කිලිනොච්චිය කියන්නේ බොහෝ සිනමා ලෝලීන් ඉන්න තැනක්.

ඇත්තටම බැලුවොත් අද ඉන්න අලුත් පරපුරට ටෙලිවිෂන් එක බලන්න වෙලාවක් නැති තරම්. ඔවුන් සියලු දේට භාවිතා කරන්නේ ජංගම දුරකථනය. ප්‍රසිද්ද මාධ්‍ය වෙත නැඹුරු වෙන්නේ නැති පිරිස් වල අද ජනප්‍රියම තේරීම වෙන්නේ ජංගම දුරකථනය හරහා එන විකල්ප මාධ්‍ය. බොහෝ දෙනා මටත් කියනවා ටෙලි නාට්‍ය, චිත්‍රපට දුරකථනය වෙත ආවොත් ඒ ක්ෂේත්‍ර වලින් මිනිස්සු ඈත් වේවි නේද කියලා. ඇත්තෙන්ම එහෙම එකක් වෙන්නේ නැහැ. ලෝකේ කොතරම් මාධ්‍ය දියුණු වුවත් ටෙලිවිෂන් එක අදටත් දියුණු විදිහට පවතිනවා. ලංකාවෙත් ඒක එහෙම්මම තමයි.

ඔහුට මතක ඇති කාලෙක ඔහු සිනමාවට ලොල් වුණේ ඉතා කුඩා සන්දියේදීය. පාසල් නිවාඩු සමයන් වල සිය මුත්තණුවන් සමඟ අත් පටලාගෙන ඔහු ගියේ අම්බලන්ගොඩ අනුර සිනමාශාලවටයි. අම්බලන්ගොඩ අනුර ඔහුගේ මුත්තණුවන්ට අයිති සිනමා ශාලාවකි. ප්‍රක්ෂේපණ කාමරයෙහි තිබෙන සෙලියුලොයිඩ් පටි අත පත ගෑමත් ඒවා එළියට අල්ලා බැලීමත් ඔහු ඉතා ප්‍රිය කළ විනෝදාංශයකි. යන්තම් ඉලන්දාරි සමයේ ඔහු දරන්නේ කොළඹ ආනන්ද විද්‍යාලයේ චිත්‍රපට සංගමයේ සභාපති ධූරයයි. එතැන් පටන් ඔහු විද්‍යාලයේ පන්තියෙන් එපිට කටයුතු වලට දක්වන්නේ ඉමහත් උනන්දුවකි. විද්‍යාලයේ කටයුතු වලට ආධාර පිණිසත් සාමාන්‍ය පාසල් චිත්‍රපට දර්ශනත් බොහෝ විට සංවිධානය වෙන්නේ අරෝෂ ප්‍රනාන්දු අතිනි. ඒ ඔහු සිනමාව සමඟ ගනුදෙනු කරන පළමු වතාවයි. එමෙන්ම ඔහුට යම් ඉහළ මට්ටමකින් චිත්‍රපට සංස්ථාව හා ගනුදෙනු කිරීමට ලැබෙන ප්‍රථම අවස්ථාවත් එයයි. එනම් ඔහුට සිනමාව ප්‍රදර්ශන පසින් අත්දැකීම් පරිචයන් ලැබෙන විට අරෝෂ ප්‍රනාන්දු යන්තම් රැවුල් ගස් වැවුණු ආනන්දයේ ශිෂ්‍යයෙකි.

උසස් පෙළින් පසු ඔහු යන්නේ ඔස්ට්‍රේලියාවටය. පසු කලෙක ඔහු මෙල්බර්න් නුවර ස්වින්බර්න් විශ්වවිද්‍යාලයෙන් දර්ශන සූරී උපාධිය ලබා ගත් විට කවුරුත් ඔහු හැඳීන්වූයේ ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු නමිනි. ව්‍යාපාර කළමනාකරණයේ හසල දැනුමක් තිබූ ඔහුට ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඉහළටම නැගීමට එතරම් කාලයක් ගත වූයේ නැත. අද වන විට මිලියනපති ආයෝජකයෙක් දක්වා පැමිණි ගමනේදී ඔහු ක්ෂේත්‍රය තුල කළ දේ විශාලය. මේ මොහොතේත් ඔහු වෙහෙස වන්නේ රට තුළට බිලියන ගණනින් විදේශ ආයෝජන කැන්දා ගැනීමේ ව්‍යාපෘතියකටය. ඕස්ට්‍රේලියාවේ සිට මෙහි පැමිණ වසර 10ක් තුළ සිනමාව ගැන යළි මතක් වීම එක අතකට මෙහි නිර්මාණකරුවන්ගේ වාසනාවක් විය හැකිය. මෙතෙක් ඔහු නිෂ්පාදනය කළ චිත්‍රපට 16කි. වේදිකා නාට්‍ය 2කි. ටෙලිනාට්‍ය 6කි.

ආචාර්ය අරෝෂ ප්‍රනාන්දුගේ රැවුල් ගස් නොපැසුණත් ඔහු ස්වල්ප කාලයක් තුළ සිනමාව ඇතුළු කලාවට කළ දේ විශාලය. ඔහුගේ ඒ පුළුල් වීමත් තව තවත් පුළුල් වීමට යාමත් ගැන අලුත් ආරංචි ලද හෙයින් අපි ඔහු හමුවන්නට තීරණය කළෙමු. කොළඹ එක්තරා දහවලක ඔහු හා මම කතා කළ දේ පහතින් ඇත.

මම මුලින්ම ඔබෙන් අහන්නම්, බහු මිලියන ආයෝජකයෙක් හැටියට ඔබ සිනමාවට අත ගසන්නේ ඇයි?

මුලින්ම කියන්න ඕනෑ මම සියල්ලටම වඩා සිනමා ලෝලියෙක් කියන එක. මට ඒකත් එක්ක ලොකු බැඳීමක් තියෙනවා. ඒ සම්බන්ධව මට වටපිටාවකුත් තියෙනවා. මගේ මාමා තමයි ඒ දවස් වල ‘සිකුරු දසාව’ චිත්‍රපටය නිෂ්පාදනය කළේ. මගේ සීයාටත් ඒ දවස්වල සිනමා ශාලා රාශියක් තිබුණා.

ඔබ අද අපිත් එක්ක සම්මුඛ වෙන්නේ අලුත් ඔබේ අලුත් ආයෝජන ආරංචි කිහිපයක් එක්ක. මොකක්ද මේ එම්. පී. අයි චිත්‍රපට ප්‍රදර්ශන මණ්ඩලයත් එක්ක කරපු ගනුදෙනුව?

ඔව් ඒක සැලකිය යුතු තරමේ ගනුදෙනුවක්. ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක සුනිල් සෝම පීරිස් මහත්මයාට තිබුණ එම්. පී . අයි මණ්ඩලයේ කොටස් අයිතියක්. මම ඒ කොටස් අයිතිය මිලදී ගත්තා සුනිල් සෝම පීරිස් මහත්මයාගෙන්. ඒ නිසා එම්. පී. අයි මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලයටත් මම පත් වුණා. දැන් මම එහි අධ්‍යක්ෂවරයෙක් වගේම කොටස්කරුවෙක්.

ඒ කියන්නේ මින් මත්තට එම්. පී. අයි මණ්ඩලයේ වැඩ සැලසුම් වෙනස් වෙනවාද?

මට ඒ ගැන හරියටම කියන්න බැහැ. මොකද මණ්ඩලයේ ඉදිරි වැඩ සැලසුම් ගැන අපි තාම එකඟත්වයකට ඇවිත් නැහැ. නමුත් හොඳ සැලසුම්කරණයකට අපි යාවි.

ලංකාවේ ප්‍රකට ටෙලි නාට්‍ය නිෂ්පාදන ආයතනයක් වන ‘සිනෙලින්ක්’ ආයතනයේත් බහුතර කොටස් ඔබ මිලදී ගත්තා නේද?

ඔව්. මම සූදානම් සිනෙලින්ක් වෙනුවෙනුත් අලුත් සැලසුමකට යන්න. ඊළඟ අවුරුද්ද තුළ මම බලාපොරොත්තු වෙනවා අංග සම්පූර්ණ නිෂ්පාදන ආයතනයක් වශයෙන් සිනෙලින්ක් ආයතනය ස්ථාපිත කරන්න. එතකොට අපිට පුළුවන් අලුත් වැඩ රාශියක් සිනෙලින්ක් හරහා පටන් ගන්න.

ඔබ සිනමාහලක් උතුරු පළාතට ගෙනියන්න වෑයම් කරනවා නේද?

කිලිනොච්චි නගරයේ සිනමාහලක් ස්ථාපිත කරන්න තරම් දියුණු කරන ලද බහු කාර්ය ගොඩනැගිල්ලක් තිබෙනවා. ඒ ඉඩ කොටස සඳහා ටෙන්ඩර් කැඳවීමකුත් කළා. මමත් දැම්මා ඒ සඳහා ලන්සුවක්. මේ ක්ෂේත්‍රයේ බොහෝ තරඟකරුවන් අතරින් ඒ ටෙන්ඩරය ලැබුණේ මට. දැන් මම සුදානම් අති නවීන තිර දෙකක් සහිත සිනමා සංකීර්ණයක් කිලිනොච්චියට ගෙනියන්න. ඒකෙ කාර්යයන් ඉක්මනින්ම අවසන් වේවි. කිලිනොච්චිය කියන්නේ බොහෝ සිනමා ලෝලීන් ඉන්න තැනක්.

සිනමාහල් සඳහා එවන් ආයෝජන දීර්ඝකාලීනව කරන්න සුදානම් නැතිද?

මොකද නැත්තේ. මම සූදානම්. මගේ ඊළඟ පියවර තමයි සිනමාශාලා 60ක් සඳහා ආයෝජනය කිරීම. ඒ ව්‍යාපෘතිය අපි දිවයින පුරාම ගෙනියනවා. ක්‍රමිකව. යම් කාලයක් එක්ක අපිට ඒ ඉලක්කය සපුරා ගන්න පුළුවන්. බොහෝ විට තිර දෙකක් සහිත සිනමා සංකීර්ණ ලෙස ඒවා ඉදිවේවි. එතකොට එක් තිරයක් අපේ චිත්‍රපට සඳහාත් අනෙක් තිරය විදේශීය චිත්‍රපට සඳහාත් වෙන්වෙනවා. මේ කටයුත්ත සඳහා දැනටමත් සිංගප්පූරු සමාගමක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා සම ආයෝජකයන් හැටියට.

එවිට ඒ සිනමාහල් ජාලය ඔබේ එම්. පී. අයි මණ්ඩලයත් එක්ක එකතු වේවිද?

එහෙම කියන්න අමාරුයි. චිත්‍රපට බෙදාහැරීමත් මේ දේට සම්බන්ධ නිසා අනෙක් මණ්ඩලවල චිත්‍රපටත් මේ ශාලාවල තිරගත වේවි. කෙසේවෙතත් ඒ කටයුත්ත සිදුවෙනවානම් චිත්‍රපට සංස්ථාව සමඟ සාකච්ඡා කොට ඔවුන්ගේ අනුමැතිය ඇතිවයි සිද්ධ වෙන්නේ.

මේ සිනමාහල් ව්‍යාපෘතිය නිසා ඔබ චිත්‍රපට ප්‍රදර්ශන වෙළඳපලේ සෑහෙන්න කොටසක් සන්තක කරගන්න සැලසුම් සකසලා ඉවරයි?

ඒ සමගම මම සුදානම් මේ සිනමාශාලා ව්‍යාපෘතිය අවසන් වූ පසු සියලුම ශාලා එකතු කොට වෙනම බෙදාහැරීමේ මණ්ඩලයක් ලෙස ක්‍රියාත්මක කිරීමට. ඒ පිළිබඳව අපි කටයුතු කරන්නෙත් චිත්‍රපට සංස්ථාවේ අනුමැතිය හා එකඟත්වය ඇතිව.

හොඳයි. මේ වෙද්දී ඔබ චිත්‍රපට නිෂ්පාදනයෙන් ඈත් වෙලාද?

කොහෙත්ම නැහැ. මම මේ වෙද්දී චිත්‍රපට 16ක් නිෂ්පාදනය කරලා ඉවරයි. ඒ වගේම වේදිකා නාට්‍ය 2ක් හා ටෙලිනාට්‍ය 6ක් අපි ප්‍රේක්ෂකයෝ වෙත දීලා ඉවරයි. ඒ වගේම චිත්‍රපට 4ක් ප්‍රදර්ශනය වෙලා තවත් චිත්‍රපට12ක් එන්න තියෙනවා ශාලා වලට. ඒ නිසා මම හිතාමතාම චිත්‍රපට නිෂ්පාදනය කරන වේගය අඩාළ කළා. නැතුව නතර කළා නෙවෙයි.

ලංකාවේ චිත්‍රපට පෙන්වීමේ මාධ්‍ය මේ වෙද්දී ක්‍රමක්‍රමයෙන් ලෝකයේ පවතින ක්‍රම සමඟ අනුගත වෙමින් යනවා. ඔබත් පහුගිය දිනවල ඒ සම්බන්ධයෙන් නිෂ්පාදන කටයුතු කළා?

ඔව් අද වෙද්දී අන්තර්ජාල මාධ්‍ය ඉතා දියුණු තැනක තිබෙන්නේ. ඒ නිසා ලෝකයේ අද චිත්‍රපට පෙන්වන මාධ්‍යයක් බවට අන්තර්ජාලය පත් වෙලා. ලෝකයේ ‘ව්ඡ්ඊජ්ඹ්ධ්ඔ’ වගේ අන්තර්ජාල ඇප්ලිකේෂන් මේ වෙද්දී ඉතා ජනප්‍රියයි. ලංකාවෙත් ඒවා ජනප්‍රියයි. ඒ නිසා ඒවාටම වෙන්වුණු වෙනම චිත්‍රපට ලෝකයේ නිපදවෙනවා. ඒවා කොහෙත්ම ශාලා වලට එන චිත්‍රපට නෙවෙයි. ඉතින් එහෙම තත්වයක් උඩ ඩයලොග් ආයතනය පටන් ගත්තා ‘විනෝදේ’ නමින් අන්තර්ජාල ඇප්ලිකේෂන් සේවාවක්. මම හිතනවා ඒක ඉතාම හොඳ කටයුත්තක් කියලා. මමත් නිෂ්පාදනයක් කළා අන්තර්ජාල චිත්‍රපටයක් වෙනුවෙන්.

මොකක්ද ඒ නිෂ්පාදනය?

මගේ නිෂ්පාදනයෙන් අනුරුද්ධ ජයසිංහ අධ්‍යක්ෂණය කළා ‘එක දවසක අපි’ කියලා චිත්‍රපටයක්. ඒ චිත්‍රපටය දැන් ‘විනෝදේ’ ඇප්ලිකේෂන් එක තුළින් වගේම සිනමා ශාලවලදිත් සමගාමීව එලි දක්වනවා. ඒ වගේම මම ටෙලිනාට්‍යයක් නිෂ්පාදනය කළා ‘සන්නාසි ප්‍රේමය’ කියලා. ඒක අධ්‍යක්ෂණය කළේ ලකී ඩයස්. එයත් ‘විනෝදේ’ ඇප්ලිකේෂන් එක වෙනුවෙන් කළේ. ලබන වසරේ ජනවාරි මාසයේදී මේ නිර්මාණ දෙකම එලි දක්වනවා.

මේ ප්‍රවණතාව කොතරම් දුරට ලංකාවේ වැඩ කරයිද?

ඇත්තටම බැලුවොත් අද ඉන්න අලුත් පරපුරට ටෙලිවිෂන් එක බලන්න වෙලාවක් නැති තරම්. ඔවුන් සියලු දේට භාවිතා කරන්නේ ජංගම දුරකථනය. ප්‍රසිද්ද මාධ්‍ය වෙත නැඹුරු වෙන්නේ නැති පිරිස් වල අද ජනප්‍රියම තේරීම වෙන්නේ ජංගම දුරකථනය හරහා එන විකල්ප මාධ්‍ය. බොහෝ දෙනා මටත් කියනවා ටෙලි නාට්‍ය, චිත්‍රපට දුරකථනය වෙත ආවොත් ඒ ක්ෂේත්‍ර වලින් මිනිස්සු ඈත් වේවි නේද කියලා. ඇත්තෙන්ම එහෙම එකක් වෙන්නේ නැහැ. ලෝකේ කොතරම් මාධ්‍ය දියුණු වුවත් ටෙලිවිෂන් එක අදටත් දියුණු විදිහට පවතිනවා. ලංකාවෙත් ඒක එහෙම්මම තමයි.

ඔබ ඩී. වී. ඩී චිත්‍රපට කර්මාන්තය ගැන දක්වන අදහස මොකක්ද? මොකද බොහෝ දෙනාට මේ කර්මාන්තය ගැන තිබෙන්නේ යහපත් චිත්‍රයක් නෙවෙයි.

මට පේන විදිහට මේ කර්මාන්තයේ සිදු වන බොහෝ දේ ඉතා අඩු වියදමින් වෙන දේවල්. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ හොඳ දෙයක් අඩු වියදමින් කරන්න බැහැ කියලා. නමුත් ඒ දේ මේ කර්මාන්තය ඇතුළේ සිද්ධ වෙන්නේ නැහැ. බොහෝ වැඩ වල ප්‍රමිතියක් නැහැ. ඒ වගේම මම තවත් අනතුරක් දකිනවා මේ ඩී. වී. ඩී කර්මාන්තය හරහා එන්න පුළුවන්. මේ වන විටත් පිටරටින් එන චිත්‍රපට සිංහලෙන් හඬ කවා වෙළඳපළට එනවා. ඒක සිංහල සිනමාවට විශාල තර්ජනයක් නෙවෙයිද?