වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




අතීත කලා ලෝකයේ රස තොරතුරු සොයා යන ලිපි පෙළක්

අතීත කලා ලෝකයේ රස තොරතුරු සොයා යන ලිපි පෙළක්

‘සාරවිටේ’ - නෙරංජනා ‘විශාඛාවේ’ නැටුම් ගුරුවරිය වෙයි

‘වෙසක් කැකුළු අතු අග හිඳ නටන විලාසේ

ඉරෙන් හඳෙන් සිරි විඳ විඳ රඟන විලාසේ

පියලි සලා - ලා - රේණු හළා - ලා

සුවඳ උරා සිසිල් සුළං හමන්නේ

ලො මැ අවදි වෙමින් අමුතු පණක් ලබන්නේ’

මේ ගීතය ඔබට මතකද? ‘රේඛාව‘ චිත්‍රපටයේ ඉන්ද්‍රානි විජේබණ්ඩාරගේ ගී හඬ පසුබිමින් ඇසෙද්දී එහි තාලයට නර්තන විලාසය දක්වන හය හැවිරිදි දැරිය කවුදැයි හරිහැටි දැනගන්න නැවත රූපවාහිනියෙන් ‘රේඛාව‘ විකාශනය වන විට හොඳට බලන්න. නැතිනම් ‘රේඛාවේ’ සංගත තැටිය නරඹන්න. එපමණක් නෙවෙයි ‘රේඛාවේ’ මේ ගීතයත් මතකදැයි බලන්න.

‘සුදු සඳ එළියේ නල මත පොපියන

හිරි මල් කැකුළෙක රොන් කෙමියේ

මුළු මල් වන ලොවැ ඉරණම සැතපේ

කුළුගැන්වෙන තුරු හිමිදිරියේ

ඉන්ද්‍රානි විජේබණ්ඩාර ගයන මේ ගීතයේ ද නර්තනයේ යෙදෙන පුංචි දැරියත් ඇයමය.

ඇය සුනිලා ශිරානි ජයන්තිය. එහෙත් සිනමා ලෝකය ඇය හඳුනන්නේ ‘සුනිලා ජයන්ති’ කියාය. චිත්‍රපට නිළියක් මෙන්ම ඇය නර්තන ශිල්පිනියක්, නර්තන ආචාර්යවරියක් වූවාය. සුනිලා 1948 ජනවාරි 21 වෙනිදා බොරැල්ලේ දී උපත ලැබුවාය. ඇගේ පියා වැල්ලවත්තේ රොක්සි සිනමාහලේ කළමනාකරු ලෙස සේවය කළ අතර එහි තිරගත වූ චිත්‍රපට නැරඹීමේදී ඇගේ කුඩා සිත ඇදී ගියේ එහි වූ නැටුම් දර්ශනවලටය. ඇය හය දෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමලා වූවාය. ඇයට බාල සුමේධ (මිය ගියා), සුබේව, සුදන්ත මල්ලිලා හා සුරම්‍යා, ශ්‍යාමනි නංගිලා වූහ.

‘මම මුලින්ම ඉගෙන ගන්න ගියේ කොල්ලුපිටියේ ශාන්ත මරියා කන්‍යාරාමයේ. ඊට ඉස්සර වෙලා මම මොන්ටිසෝරි පන්තියේ ඉගෙන ගන්න කොට ඉදිරිපත් කරන ලද නැටුමක් බලා සිටි සිස්ටර් කොපමණ සතුටට පත් වුණා ද කීවොත් මා ළඟට අඬ ගසා, හිස අත ගා ‘සුනිලා හෙට එනකොට අම්මව හරි තාත්තව හරි එක්ක එන්න’ කිව්වා. මම තාත්තාව එක්ක ගියා.

‘සුනිලාට ඩාන්සින් පැත්තෙන් හොඳ ටැලන්ට් ඒකක් තියෙනවා. හොඳ ඩාන්සින් ටීචර් කෙනෙක් ළඟට යවන්න. ඒ පැත්තෙන් හොඳ අනාගතයක් තියෙනවා. ගෝඩ් බ්ලෙස්.’

සිස්ටර්ගේ ඉල්ලීමට තාත්තා කැමති වුණා. ඒ කාලේ හිටිය දක්ෂ නැටුම් ගුරුවරයකු වූ ශේෂා පලිහක්කාර මහත්තයා ගැන කවුදෝ තාත්තාට කියලා තියෙනවා. ක්ලැරිස් ද සිල්වා, ලීනා ද සිල්වා යන ජනප්‍රිය නිළියන්ට නැටුම් උගන්වලා තියෙන්නෙත් ඒ සර්ලු. මට ඒ ගුරුතුමාගේ පන්තියට යන්න අවස්ථාව සැලසීම මගේ කලා ජීවිතයේ අඩිතාලම තබන්න ලොකු රුකුලක් වුණා. විශ්වාස කරන්න මම එතුමා ළඟට නැටුම් ඉගෙන ගන්න යනකොට අවුරුදු 4 ක් විතර ඇති.

දවසක් ශේෂා සර් මගේ දෙමව්පියන්ට මෙහෙම කිව්වා.

‘සුනිලා දක්ෂ ලෙස නැටුම් ඉගෙන ගන්නවා. ලංකාවේ අමුතු විදිහේ, සිංහලකම රැකගෙන කරන චිත්‍රපටයක් හැදෙනවා. ඒකේ පොඩි ළමයින්ගේ සින්දු දෙකක් තියෙනවා. මම සුනිලාව රෙකමන්ඩ් කළා.’

‘සර්ගෙ කැමැත්තක්’

‘රේඛාව කියන මේ චිත්‍රපටයේ මමත් රඟපානවා’ සර් කිව්වා.

‘සර් ඉන්නවා නම් අපට ලොකු ශක්තියක්’ තාත්තා කිව්වා.

දවසක් අම්මත් එක්ක කිරිබත්ගොඩ පැත්තේ හිස් ඉඩමකට ගියා මට යාන්තමට මතකයි. එදා ඒ පරිසරය පාට පාට බැලුම් බෝලවලින් පිරිලා තිබුණා. ලස්සන දර්ශනයක්. එතැන ඉඳලයි මමත් මගේ නැටුම් පන්තියේ යාළුවොයි නැටුවේ. ගීතය පසුබිමින් ගැයුවේ මම. චිත්‍රපටයේ අධ්‍යක්ෂ ලෙස්ටර් සර්ටත් එදා හරි සතුටු දවසක්. කට්ට අව්වේ එළිමහනේ කට්ට කාගෙන අපි රඟපෑවා. මේක අපිට අලුත් අත්දැකීමක් වගේම හරිම සතුටක්. අපි දර්ශනය ඉවර වෙලා ගෙදර යනකොට අපිට පාට පාට බැලුම් බෝල පෙට්ටිය බැඟින් තෑගි ලැබුණා’ සුනිලා සිය මුල්ම අත්දැකීම අපට විස්තර කළාය.

සුනිලා ජීවිතයේ කෙදිනක හෝ නැටුම් ගුරුවරියක් වීමට සිතා කුඩා කල සිටම අවට සිටි සම වයසේ ළමුන් ගෙදරට කැඳවා, සාරියක් හැඳගෙන නැටුම් උගන්වා ඇත. මේ අතර රජයේ ලලිතා කලායතනයට වයස අවුරුදු 10 ක්ව සිටියදී ඇතුළත් වූ එකම ශිෂ්‍යාව ඇය කීවොත් ඔබ පිළිගන්නවාද?

‘ඔව්. එය ඇත්ත. ඒ කාලේ රජයේ ලලිත කලායතනයට සිසුන් බඳවා ගැනීමේදී අනුගමනය කළේ ලිහිල් ප්‍රතිපත්තියක්. වයස ගැන ඔවුන් සැලකුවේ නැහැ. පරීක්ෂණයකින් මම ඉහළින් සමත් වුණා. පණීභාරත ගුරුතුමා, අල්ගම කිරි ගණිත ගුරුන්නාසේ, ගුණමාලා ගුරුන්නාන්සේ, මංගල තිරිය ගුරුන්නාන්සේලා වෙතින් මම නැටුම් ඉගෙන ගන්න ගමන්ම පොල්ගහවෙල සුරඹා ගුරුන්නාන්සේගෙන් බෙර වාදනයත් පුහුණු වුණා. මගේ අනු විෂයය වුණේ පහත රට නැටුම්. මේ කාලේ වික්ටර් රත්නායක, සනත් නන්දසිරි, සරත් දසනායක, අමරා, දයාරත්න, සුනෙත් ගෝකුල කලායතනයේ හිටියා. මම වයස අවුරදු 16 වන විට ඩිප්ලෝමාව ලබා ගත්තා. මගෙන් පසුව අඩු වයසෙන් බඳවා ගැනීම නතර කළා. මට නැටුම් ගුරු පත්වීමක් ලබා ගන්න වයස අවුරුදු 21 වන තුරු බලා ඉන්න වුණා’ සුනිලා කිවාය. සුනිලාට මේ කාලය තුළ චිත්‍රපටවල රඟපෑමටත්, නැටුම් ඉදිරිපත් කිරීමටත් අවස්ථාව ලැබිණ. ඇය මේ අතරම වේදිකා නාට්‍ය කිහිපයක රඟපෑවාය. කලා පෙළ ඉදිරිපත් කළ ජී. ඩී. එල්. පෙරේරාගේ නාට්‍යවලත්, සුගතපාල සෙනරත් යාපාගේ ‘චණ්ඩාලිකා’ නාට්‍යයේ රඟපෑ ඇය ප්‍රේමසිරි කේමදාස ‘කැලෑමල්’ ගීත නාටකයට තෝරා ගත්තේය.

‘මාස්ටර් මට සින්දු කියන්න බැහැ’ ඇය කේමදාසයන්ට කීවාය.

‘ළමයෝ මේ ගීත නාටකයක් වුණාට රඟපෑමටයි නැටුම් තියෙනවා. ඔයාට මේ දෙකම කරන්න පුළුවන්. සින්දු කියන එක මම පුහුණු කරන්නම්’

සුනිලා කේමදාසයන් යටතේ ගායනය මාස 3 ක් ප්‍රගුණ කොට ‘කැලෑමල්’ ගීත නාට්‍යයේ ජෝ අබේවික්‍රම, ස්ටැන්ලි පෙරේරා, නාලිනී අභයපාල, ධර්ම ශ්‍රී රණතුංග සමඟ රඟපෑවාය. ඊට පස්සේ ‘හිරු උදාව‘ ගීත නාට්‍යයෙත් රඟපෑවා. සුනිලාගේ චරිතය ඊට කලින් ලතා දිසානායක රඟපෑ අතර ඇය විවාහයෙන් පසු රඟපෑමෙන් ඉවත් වී ඇත. හෙන්රි චන්ද්‍රවංශගේ ‘සමාජය’ (1963) ‘සුනිලා’, සමුදායම් (1964), රොබින් තම්පෝගේ ‘සුලලිත ශෝභිනී’ (1965) යන චිත්‍රපටවල රඟපෑ අතර ‘සාරවිට’ චිත්‍රපටයේ ඇයට මුල්වරට චරිතාංගයක් නිරූපණය කිරීමට අවස්ථාව ලැබුණි.

‘සාරවිට’ චිත්‍රපටයට මාව තෝර ගත්තේ ශේෂා පලිහක්කාර සර්. ඒ චිත්‍රපටයේ එන ‘සඳ කිඳුරු’ ගීත නාට්‍යය සඳහා. අධ්‍යක්ෂක තිස්ස ලියනසූරිය එදා මාව දැකලා මෙහෙම කිවා.

‘ශේෂා, සුනිලට අපි චරිතයක් රඟපාන්න දෙමු’

සාරවිටේ මම එහි එන මාකස්ගේ (වොලී නානායක්කාර) පෙම්වතී නේරංජනා ලෙස රඟපෑවා. මගේ මව ලෙස රඟපෑවේ ජෙසිකා වික්‍රමසිංහ. මම චිත්‍රපට කිහිපයක නැටුම් ඉදිරිපත් කළා. බන්දු ගුණසේකරගේ ‘සීගිරි කාශ්‍යප’ (1964), ටී. සෝමසේකරගේ ‘සමාජ සතුරෝ’, ලෙනින් මොරායස්ගේ ‘සූරයන්ගෙත් සූරයා’, ආවා සොයා ආදරේ’ විලී බ්ලේක්ගේ ‘වනරජා’ චන්ද්‍රා පෙරේරාගේ ‘වැහිලිහිණි’ යන චිත්‍රපටවලත් රඟපෑවා.’

කුඩා කාලයේ තිබූ ආශාව මුදුන්පත් කරගත් සුනිලා හාපුරා මාතර ශාන්ත තෝමස් බාලිකා විද්‍යාලයේ නැටුම් ගුරුවරිය ලෙස පත්වීමක් ලැබුණි. මොරටුව චන්ද්‍රසේකර මහා විද්‍යාලය, බම්බලපිටිය ශාන්ත පාවුළු විද්‍යාලය, ලින්ඩ්සේ බාලිකා විද්‍යාලවල නැටුම් ඉගැන් වූ ඇය ඩී. එස්. සේනානායක විද්‍යාලයේ ද සේවය කොට වසර 22 ක් කොළඹ විශාකා විද්‍යාලයේ අඛණ්ඩව නැටුම් ආචාරිනිය වූවාය.

ටී. භවනන්දන් අධ්‍යක්ෂණය කළ ‘මනමාලයෝ’ චිත්‍රපටයේ සුනිලා රඟපානු දුටු අමරනාත් ජයතිලක තමා මුල්වරට අධ්‍යක්ෂණය කළ ‘ආදරවන්තයෝ’ චිත්‍රපටයේ උප ප්‍රධාන චරිතයට තෝරා ගත්තේය. ඇය එහි රඟපෑවේ මයිකල් සුබසිංහ සමඟ ඇගේ බිරිඳ ලෙසය. මාලිනිත්, ටෝනිත් මෙහි රඟපෑවාය.

‘මගේ ජීවිතයේ සුවිශේෂ මං සලකුණ වූයේ ‘ආදරවන්තයෝ’ චිත්‍රපටය. චිත්‍රපට අධ්‍යක්ෂ අමරනාත් ජයතිලක හා මා අතර විවාහය ඇති වුණේ මේ කාලේ. අපිට පුතුන් දෙදෙනකුයි දුවෙකුයි ඉන්නවා. ලොකු පුතා රංජීව අමරජිත් ජයතිලක මිය ගියා. සංගීත් සංජය ජයතිලක ස්පාඤ්ඤයේ පදිංචි. දුව මධුරි අංජනා ගුරුවරියක්. ඒත් අපේ විවාහය වැඩිකල් පැවතියේ නැහැ.

අමරනාත් දක්ෂ චිත්‍රපට විචාරකයෙක්. ලේඛකයෙක්. ඔහු ‘ප්‍රියංගා’ චිත‍්‍රපටය අධ්‍යක්ෂණය කරන කොට එහි ප්‍රධාන චරිතයට විජය කුමාරතුංග ගන්න කියලා යෝජනා කළේ මමයි. සුගතපාල සෙනරත් යාපා හන්තානේ කතාව චිත්‍රපටයට මාව විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් හැටියට තෝරා ගත් පසුයි විජය එක්ක මට රඟපාන්න ලැබුණේ. විජයට පිටු පෑ පෙම්වති ලෙස මම රඟපෑවේ. මේ චිත්‍රපටයේ මා සමඟ ස්වර්ණා මල්ලවාරච්චි, ශෝභනී අමරසිංහත් රඟපෑවා.’ සුනිලා අතීත කතාවක් හෙළි කළාය.

සුනිලා දෙවන වර විවාහ වූයේ ලක්ෂ්මන් ලොකුමාන සමඟය. ලෝටස් ප්‍රෙසෙස් මුද්‍රණාලය හිමිව තිබූ ඔහු ‘තිරය’ (1965) නම් සිනමා සඟරාව සංස්කරණය කළේය. හින්දි භාෂා විශාරද රවිලාල් විමලධර්මගේ සොහොයුරා වූ ලක්ෂ්මන් කවියෙකි. ගාමිණී ෆොන්සේකාගේ ඥාතියෙකු වූ ඔහු ‘හෙළ සිනමාවේ සක්විති’ නම් මා විසින් සංස්කරණය කරන ලද කෘතියේ ප්‍රකාශකයා ද විය. ලක්ෂ්මන් හා සුනිලාගේ විවාහයෙන් ලැබුණු පුතු පූර්ණ සාරංග ලොකුමාන අද කැනඩාවේ වෙසෙයි.

‘ලක්ෂ්මන් අපේ පවුලේ හිතවතෙක්. පුංචි කාලේ ඉඳලාම මම දන්නවා. කොටින්ම ඔහු මාව වඩාගෙනත් තියෙනවා පුංචි කාලේ. අපි දෙන්නගේ වයස පරතරය අවුරුදු 15 ක්. ඔහු දක්ෂ කවියෙක්. මට කවි ලියන්න පුරුදු කළෙත් ඔහු. ඒ විතරක් නෙවෙයි මාව දහම් පාසල්වල කවි තරගවලටත් යොමු කළා’ සුනිලා කියන්නීය.

දැන් සුනිලා චිත්ත විවේකයෙන් ගත කරන්නේ ආගමික ජීවිතයකි. ඇය අනුරාධපුරයේ ගල්වල පාරේ බසවක්කුලම පේන මානයේ ආරණ්‍ය සේනාසනයක ධර්ම ශාලාවක්, කුටියක් සාදා පූජා කර ඇත. සුනිලා විවේක ඇති හැම විටම අනුරාධපුර යන්නීය. ඇයගේ මූලිකත්වයෙන් කඨින පින්කමක් පැවැත් විය. කොළඹ සම්බෝධි විහාරවාසී නාරද හිමියන්ගේ අනුශාසනා පරිදි මේ ආරණ්‍ය සේනාසනය පේන තෙක් මානයේ ඇය තවත් චිත්ත විවේකාශ්‍රමයක් සාදා එහි නතර වෙමින් ආගමික කටයුතුවල නියැළෙන්නීය.

‘මම විශාඛාවේ උගන්වන කාලයේ සිසුවියන් සමඟ ‘විශාඛා ගීත නාටකය’ නිෂ්පාදනය කළා. එය රචනා කළේ කේ. බී. හේරත්. විශාඛා මහෝපාසිකාව ගැන මා තුළ තිබුණේ අසීත භක්තියක්. විශාඛාවන් විසිනුයි පූර්වාරාමය ඉදි කරන්නේ. මම මේ අවස්ථාව විශාඛා සිසුවියන් ලවා අභිනයෙන් ඉදිරිපත් කළා. මේ ගීත නාටකයට මට ප්‍රශංසා ලැබුණා. මම අනුරාධපුරයෙන් ඉඩමක් අරං විශ්‍රාම ශාලාවක් හැදුවා. දැන් මම කොළඹ එන්න කැමති නෑ. ස්වර්ණමාලි චිත්ත විවේකාශ්‍රමය තුළින් මම අසීමිත සතුටක් ලබනවා.’

සුනිලා ජයන්තිගේ ලිපිනය මෙසේය. 57-ඒ, පරණ පාර, නාවල, රාජගිරිය.