|
පාළුව දෙවනත් කරලා නාඬන් ‘උලලේනි’
සිහින් සිරිපොද වර්ෂාව මොර සූරන්නට පටන් ගත්තේ කන් පුපුරුවන තරමට අකුණු ගසනා ගමන්ය. සුවිශාල නිවෙසක හුදකලා වූ රූත් කවුළුවෙන් එපිට සිදු වන මේ දේවල් පිළිබඳ බලා සිටියාය. ඇගේ හදවතහි රාවය වැස්සේ හඬ පරයා කනට ඇසෙනා තරම්ය.
මේ අතර රූත් සිය නිවසේ හී දොරට කිසියම් කෙනෙකු තට්ටු කරනු ඇසෙයි. ඇයගේ හදවතහි ගැස්ම දෙගුණ තෙගුණ වේ. නිවසෙහි පිටත නාඳුනන තරුණයෙකි. රූත්ට ක්ෂණිකව එකී ප්‍රවෘත්තිය මතක් විය. පිටත සිටින තරුණයා ආයාචනය කරන්නේ තමන්ව නිවස තුළට ගන්නා ලෙසටය. ඒ වෙනුවෙන් ඔහු සාධාරණ හේතු කිහිපයක් ද රූත්ට ඉදිරිපත් කරන්නේය. මේ අතරවාරයේ නිවසෙහි උඩු මහලෙන් වීදුරුවක් බිඳෙන හඬක් ඇසෙයි. රූත් තවත් බියපත් වෙයි. නිවෙසට වෙනත් පුද්ගලයකු ඇතුළු වී ඇති වග ඇයට දැනෙයි. එහෙයින් රූත් වහාම නිවසේ දෙර විවෘත කොට තරුණයාව ඇතුළට ගන්නේ ආරක්ෂාව පතාය. එහෙත් ඇයගේ එම විශ්වාසය බිඳී යන්නේ පෙර වීදුරුව බිඳී ගිය ශබ්දයට හේතුව තමන් විසි කළ ගලක් නිසා ඇති වූවක් බව තරුණයා සිනාසී පැවසීමත් සමඟය. කිසිවක් සිතා ගත නොහැකි තැනට පත්වන රූත් මේ තරුණයා මිනීමරුවා යැයි සිතා නිවසෙන් පලා යාමට සිතා ගනියි.
එකී අද්භූත කතා පුවත ඇතුළත් වනුයේ හේමන්ත ප්‍රසාද් අධ්‍යක්ෂණය කළ උලලේනි සිනමාපටයටයි. ඔහුගේ කුලුඳුල් අධ්‍යක්ෂණය එයයි. එහි තිර රචනය සහ නිෂ්පාදනය ද හේමන්තගෙනි. ගයනි ගිසන්තිකා, සංජීව උපේන්ද්‍ර සහ චමීර ලියනගේ චරිත මවන උලලේනි පී 2 බොඩි ඇන්ඩ් මයින්ඩ් ආයතනයේ ඉදිරිපත් කිරීමකි.
උලලේනි නිෂ්පාදන කණ්ඩායම: කැමරා අධ්‍යක්ෂණය - මයුර කෞශල්‍ය සහාය අධ්‍යක්ෂණය - ප්‍රගීත් ද සිල්වා අංග රචනය - ඔෂාන් අමරසිංහ කලා අධ්‍යක්ෂණය - දිනේශ් ජයශාන්ත සංගීතය - චාමර නුගලියද්ද සංස්කරණය සහ දෘශ්‍ය ප්‍රයෝග - තාරක බැද්දගේ නිශ්චල ඡායාරූප - උදේනි අල්විස්
|