වර්ෂ 2016 ක්වූ  ජූලි 13 වැනිදා බ්‍රහස්පතින්දා




අතීත කලා ලෝකයේ රස තොරතුරු සොයා යන ලිපි පෙළක්

අතීත කලා ලෝකයේ රස තොරතුරු සොයා යන ලිපි පෙළක්

ජෝතිපාලගේ සින්දුවකට මිල්ටන් ඩොලැක් ගසයි

මීට වසර 30 කට එපිට කලා ලෝකයෙන් සමුගත් එච්. ආර්. ජෝතිපාල ගායකයාණන් සමීපව ඇසුරු කිරීමට අවස්ථාව ලැබුණේ 70 දශකයේ මා සරසවිය පුවත්පතට සම්බන්ධ වූ පසුය. 1969 වසරේ 'කලා' සිනමා සඟරාවට ලියන අවධියේ දිනක් එහි කර්තෘ ආරියරත්න කහවිට විසින් මට ජෝතිපාල මුල්වරට හඳුන්වා දෙන ලදී. නීල් රූපසිංහ අධ්‍යක්ෂණය කළ 'දැන් මතකද?' හා 'හතර දෙනාම සූරයෝ' චිත්‍රපටවල මංගල දර්ශනවලින් පසු ඔහුගේ වත්තල සමුද්‍රා නිවසේ පැවැත් වු විශේෂ සාදවලදී ජෝති හා මගේ ඇසුර ව්‍යාප්ත විය. ඇතැම් ඉරිදා දිනවල කහවිට, මොරිස් දහනායක සමඟ ශාන්ත ජෝන්ගේ මාළු කඩේට යන මට ඒ සමඟම තිඹිරිගස්යායේ සේරසිංහ මහතාගේ වයින් ස්ටෝරුවට යාමට අවස්ථාව ලැබී තිබුණි. එදිනට ජෝති, කහවිට හා මොරිස් සැර බීම බොන අතර මට බියර් වීදුරුවක් පමණකින් සෑහීමට පත්වන්ට විය. බීර බීමටත් වඩා මා ප්‍රිය කළේ සේරසිංහ මහතාගේ ගෝලයන් පිළියෙළ කර දෙන ඉස්තරම් ඉස්සෝ, දැල්ලෝ හා අලුත් තෝර මාළු බැදුමටය.

මෙවැනි සාද එදා චිත්‍රපට නිෂ්පාදකවරුන්ගේ නිවෙස්වල නිතර පැවැත් වෙයි. සරත් රූපසිංහ, දාස් මොහොමඩ්, ලෙනින් මොරායස්, කහවිට, මොරිස්, සේනාධීර රූපසිංහ, ආනන්ද ජයරත්න, සේන සමරසිංහ, එම්. කේ. රොක්සාමි, ඇන්ටන් ග්‍රෙගරි ආදීන් සමඟ මටත්, සරසවිය කැමරා ශිල්පීන් වන බන්දු එස්. කොඩිකාර, රෙජී බුලත්සිංහල හා ලේඛක කුමාරදාස වාගිස්ට, අර්නස්ට් වඩුගේට ද එම අවස්ථා උදා වෙති.

1976 වසරේ ලංකාවේ පැවැත් වූ නොබැඳි සමුළුවට සමගාමීව ලේක්හවුස් ආයතනය දීප ව්‍යාප්තව සංවිධානය කළ රචනා තරඟයේ ජයග්‍රාහකයන්ට තෑගි පිරිනැමීමත් සරසවිය පුවත්පත සංවිධානය කළ සරසවිය - ජනතා පුවත්පත්වල පළ වූ කූපන මඟින් ප්‍රියතම සිනමා කලාකරුවන් තේරීමේ තරඟයන් ආරම්භ විය. මේ සඳහා විශාල උද්‍යෝගයක් එදා කලා ක්ෂේත්‍රයේ තිබුණි. අති විශාල කූපන් මලු ලේ්ක්හවුසියට ගලා ආහ. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රධානත්වයෙන් රාජකීය විද්‍යාලයීය ශාලාවේ පැවති උත්සවයේදී ජයග්‍රාහකයින්ට සම්මාන පිරිනැමීමට නියමිතව තිබිණ. ජනප්‍රිය නළුවා ලෙස කූපන් දහස් ගණනක් ලැබූ ගාමිණී ෆොන්සේකා උත්සවයට සහභාගි නොවන බවට ආරංචි පැතිර ගිය අතර ඒ සඳහා ඔහු ගෙන්වා ගැනීමට ගත් උත්සාහය නිශ්ඵල විය. එයට හේතුව ගාමිණී තද යූ. ඇන්. පී. කාරයකුව සිටීමය. ජනප්‍රිය ගායකයාට දහස් ගණනින් කූපන් මලු ගලා එන්නට විය.

ජෝතිපාල එයින් ඉහළින්ම සිටියේය.ජෝති ද නොම්මර එකේ යූ. ඇන්. පී. කාරයෙකි. ඔහුත් සම්මානය ලබා ගැනීමට නොපැමිණියේ යැයි සැකපහළ කළ සරසවිය කර්තෘ විමලසිරි පෙරේරා මහතා ඒ පිළිබඳ වටින් ගොඩින් දැන ගැනීමට යැව්වේ මාය.

'ජෝති අයියා උත්සවයට එනවා නේද?'

'එනවා මල්ලී, සම්මාන තිබුණත් නැතත් අපි අපේ රසිකයන්ට සලකන්න ඕනෑනේ. ඒ අය වෙනුවෙන් අපි මේ වගේ උලෙළවලට එන්න ඕනෑ'

ජෝති සම්මාන උලෙළේ ජනප්‍රිය ගායකයා වූයේ 'ඔන්න බබෝ බිල්ලෝ එනවා' චිත්‍රපටයට ගැයූ 'මේ ජීවිතයේ' ගීතය සඳහාය.

එක්දහස් නවසිය පණස් ගණන්වල අග භාගයේදී පමණ ජෝතිපාලයන් එදා ඔහු මෙන්ම ජනප්‍රිය ගායකයකුව සිටි ජේ. ඒ. මිල්ටන් පෙරේරා සමඟ ගීත වාදයක පැටළුණු සැටි දොළොස් හැවිරිදි වියේ සිට මට මතකය. එදා ජනප්‍රිය මාධ්‍යය වූයේ ගුවන් විදුලියයි. 'අනංගයා' ගැන ගැයූ මේ ගීත වාදය එකල වැඩිහිටියන් අතර අතිශයින් ජනප්‍රිය වූහ. හැම තරුණයකුගේ හා තරුණියකගේ දෙතොලේ ඒ ගීත රැව්දුණි. මේ ගීතවල පසුබිම පසු කලෙක ගුණරත්න අබේසේකරයන් අපට පැවැසුවේය. ගුණරත්න යනු ජනප්‍රිය ගීත රචක කරුණාරත්න අබේසේකරයන්ගේ බාල සොහොයුරෙකි. ජෝතිපාල හා මිල්ටන් සඳහා දෙපැත්තකට වී ගීත රචනා කර දුන්නේ කරුණාරත්න හා ගුණරත්න දෙසොහොයුරන්ය. මේ ගුණරත්න අබේසේකරයන් මට කියූ කතාවය. එය හැත්තෑව දශකයේ සරසවිය පත්‍රයේ පළ වී ඇත.

1956 කරු අයියා ගුවන් විදුලියේ නිබන්ධ සම්පාදකයකුව සිටි යුගයේ ජෝතිපාල නිතරම අපේ සැලැස්කි පෙදෙසේ සීගිරි නිවසට එනවා. එදා කරු අයියා ගමනක් ගිහිං. මම විතරයි හිටියේ. අයියා එනතුරු ජෝති මේසෙට තට්ටු කරමින් අලුතෙන් හදපු ගීතයක තාලය මුමුණා ගීත ගයනවා. ඇතැම් ගීතවලට හින්දි වචන ඔහු ගායනා කළා. ඒ තාලයට අනුව සිංහල ගීයක් ලියවා ගන්නට අයියා ගෙදර නොසිටි නිසා එදා කෙසේ හෝ ගීතයක් ලියා දෙන්න යයි කියා මගෙන් ඉල්ලා සිටියා. මේ වන විට මා ගීත ලියා තිබුණේ නෑ. ජෝති 'තාන තන නං' යනුවෙන් පටන්ගෙන මිමිණු තාලයට මා 'රොබින් හුඩ් වගේ ලක්දිව පතළ වුණ නමයි - උතුවන්කන්දේ සූර සරදියෙල් මමයි' කියලා පදවැල් කියන විට ඔහු අපූරුවට නළව නළවා ජීවය කවා ගායනය කළා. මේ ගීතය අතිශයින් ජනප්‍රිය වුණා.'

ඒ කාලයේ ජෝති වැඩියෙන්ම ප්‍රිය කළේ ආදර ගීත ගැයීමටය. ඔහුගේ ළයාන්විත හඬ, පෙමින් වෙළුණ තරුණ හදවත්වලට කිඳා බැස තිබුණි. එදා 'රොබින් හුඩ් වගේ' ගීතය ලියූ ගුණරත්න අබේසේකරට ජෝතිගෙන් ගැලවීමක් ලැබී නැත. අතිශයින්ම ප්‍රේම ගීතයක් ලියන්නැයි කළ ඉල්ලීමට ඔහු මේ ගීතය ලියා දුන්නේය.

'අනංගයා මං අනංගයා

ආදරේ ප්‍රේමයේ

සුරලොව තනතුරු දැරූ

අනංගයා මං'

පසුවදා ජෝති මේ ගීතය කරු අයියාට පෙන්මින් සිටින අවස්ථාවේ ජෝතිගේ අඹ යහළුවා වූ ගායක ජේ. ඒ. මිල්ටන් පෙරේරාත් පැමිණියේය. එයට පිළිතුරු ගීතයක් ඒ වේලේම කරු අයියා මිල්ටන්ට ලියා දුන්නේය.

'සුපෙම් ලෙවේ

කුසුම් සරා මල්සරා

ඔය අනංගයා තමයි

මහ පෙම් හොරා'

අනංග වාදයට මුල පිරුණේ ඔය විදිහටය.

'මේකට පිළිතුරක් ලියන්නම ඕනෑ ගුණේ' ජෝති ගුණරත්නට කියා සිටියේය.

ගුණරත්න ජෝතිගේ ඉල්ලිම ඉටු කරමින් ගීතයක් ලියා දුන්නේය.

'පෙම්වතුන්ට සරණේ

අනංගයා මමනේ

පෙම් සටනින් පැරදී

දොස් නැඟීම වැරදී'

මේ වාදය දිගටම ගියේය. සමහරු ජෝති - මිල්ටන් මෙන්ම කරු - ගුණරත්නත් තරහ වී ඇතැයි සිතා ඇත. එහෙත් කට කතා පැතිර යද්දී ගුණරත්න, ජෝති මිල්ටන්ගේ අමිල මිතුදම රටටම කියා දීමටත් අනංග වාදය නිමා කිරීමට මේ ගීතය ලිව්වා. ගීතය ජෝති හා මිල්ටන් ගැයුවේය. ඒ ගීතය අනංග වාදයේ හොඳම ගීතය ලෙස රසිකයෝ කීහ.

මිලටන් - අපි සන්තෝසෙන් ඉන්නේ

දුක ශෝකය නෑ දන්නේ

අයියා මල්ලී වාගේ

අයියා මල්ලී

ජෝතිපාල - එක හැලියේ බත් කන්නේ

එක සෙවනේ නිදි යන්නේ

අයියා මල්ලිී වාගේ

අයියා මල්ලී

මිල්ටන් - අපේ හිත්වල නෑ ක්‍රොධෙ

විහිළුවටයි විවාදේ

ජෝතිපාල - අනුනට නෑ ඔරොවන්නේ

අවිහිංසක ලෙස ඉන්නේ

දෙදෙනාම - සැපතේ විපතේ වේවා

එක් වී එකටම ආවා

මිල්ටන් - අයියා මල්ලී වගේ

අයියා මල්ලී

ගුණරත්න අබේසේකර ජෝතිපාලට ගීත කිහිපයක්ම ලියා ඇත. 'මගේ ආදරීට සම්පත සැප සතුට සදන්නම්', 'කිරි ඉතිරේවා නව වසරේ', මල්ලිකා ද සිල්වා (කහවිට) සමඟ ගැයූ 'සැන්දෑවෙ මං බලා සිටියා සුදා එනකන් කියා' මේ අතර කැපී පෙනෙයි. එහෙත් ජෝති සඳහා වැඩිම ගී ගණනක් ලියා ඇත්තේ කරු අයියාය.

ජෝතිපාල හා මිල්ටන් අවසන් වරට එකට ගැයූ යුග ගීතය පටිගත කරන අවස්ථාව මට දැකගන්ට ලැබිණි. ඒ අසූව දසකයේ මුලය. චිත්‍රපටයේ නම 'ධීවර සම්පත්'ය. චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වූයේ අජාසත්ත හා සිරිල් මල්ලී නම් බොක්ස් ඔෆිස් වාර්තා තැබූ චිත්‍රපට අධ්‍යක්ෂණය කළ ජෝ මයිකල්ය. එදා ඒ ගීතයට අමතරව ජෝතිපාල හා මගේ බිරිඳ දමයන්ති ජයසූරිය ගයන යුග ගීතයක් ද පටිගත වුහ. සංගීත අධ්‍යක්ෂ වූයේ මිල්ටන් පෙරේරා හා ශ්‍රීමතී තිලකරත්න ගැයූ 'සන්සුන් රුවන් හද මන්දිරේ' ගීතය ඇතුළත් 'කේසර සිංහයෝ' චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂ ප්‍රේමදාස අතුකෝරාළ නම් විශිෂ්ට සංගීත අධ්‍යක්ෂවරයාය. එදා මේ ගීත දෙක රචනා කළේ ජෝර්ජ් ලෙස්ලි රණසිංහ හා සිරිල් ඒ. සීලවිමලය. මුලින් ජෝති හා මිල්ටන්ගේ යුග ගීතය පටිගත විය. දෙවනුව ජෝති හා දමයන්තිගේ ගීය පටිගත කිරීමට පටන් ගත්තේය. මිල්ටන් අතරමග ජෝතිගේ ගීත ගායනය නතර කළේය. ඔහු ජෝතිගේ කනට කොඳුරා යමක් කිවේය.

'උඹ ප්‍රේමදාස මාස්ටර්ට කියල බලපං' ජෝති කිවේය.

මිල්ටන් සංගීත අධ්‍යක්ස ප්‍රේමදාස අතුකෝරල ළඟට ගියේය.

'මාස්ටර් මේකට ඩොලැක් පාර ආව නං තවත් නැගලා යනවා' මිල්ටන් කීය.

'ඩොලැක් එකක් හොයා ගත හැකියි, කවුද ගහන්නේ'

'ඇයි මම ඉන්නේ මම ගහන්නම් මාස්ටර්'

ජෝති හා දමයන්ති ගීත ගයන අතර ිමිල්ටන් ඩොලැක් එක වාදනය කළේය.

'මචං නැගල ගියා' පටිගත කිරීම් අවසානයේ ජෝති මිල්ටන්ට කීවේය.

මිල්ටන්ගේ ඩොලැක් වාදනය ඒ ගීතය ප්‍රාණවත් කළේය. කෙසේ වුවද මේ ගීත දෙක ඇතුළත් 'ධීවර සම්පත්' චිත්‍රපටය එතැනින්ම නතර විය. අද ජෝති මිල්ටන් මෙන්ම චිත්‍රපටයේ ගීත රචකයින් වූ ජෝර්ජ් ලෙස්ලි හා සීලවිමල ද අධ්‍යක්ෂ ජෝ මයිකල් ද සංගීත අධ්‍යක්ෂ ප්‍රේමදාස අතුකෝරළ ද ජීවතුන් අතර නැත. මේ ගීත දෙක සංගීත අධ්‍යක්ෂවරයාගේ පුතා සතුව ඇත.

අනංග වාදයට ගීත ලියූ කරුණාරත්න හා ගුණරත්න දෙසොහොයුරන් ද ජීවිතයෙන් සමුගෙනය. එදා ගුණරත්න අබ්සේකරයන් ජෝතිපාල නම් විශිෂ්ට ගායකයා ගැන මා සමඟ කී වදනක් මට නිබඳ සිහි වේ.

'ලෝං ෆෙලෝ නමැති ඉංග්‍රීසි කවියා විසින් ලියන ලද ගායකයෝ (ද සිංගර්ස්) නමැති පද්‍ය පන්තියේ ගායකයන්ගේ මෙහෙවර ගැන මෙසේ සඳහන් කර තිබෙනවා.

'ශෝකය හා ප්‍රීති ප්‍රමෝදය පිළිබඳ ගායනා සහිතව ගායන ශිල්පීන් දෙවියන් වහන්සේ විසින් මනු ලොවට එවනු ලබන්නේ මිනිස් හදවත් පිරිමැද ඔවුන් යළිත් ස්වර්ගයට ගෙන්වා ගැනීම පිණිසය.'

මේ පාඨය වෙනත් කවරෙකුටවත් වඩා එච්. ආර්. ජෝතිපාල නමැති ගායක ශිල්පියාට සෑම අතින්ම උචිතය.