වර්ෂ 2016 ක්වූ  ජූලි 13 වැනිදා බ්‍රහස්පතින්දා




මට කවදාවත් තාත්තා වගේ වෙන්න බැහැ

මට කවදාවත් තාත්තා වගේ වෙන්න බැහැ

මෙවර ග්‍රේෂන් සම්මානලාභී චාරුලතා අබේසේකර

මට මේ නම ලැබුණේ සත්‍යජිත් රායිගේ චාරුලතා නිසා. තාත්තා අපි සේරටම නම් දාලා තියෙන්නේ විවිධ හේතු අනුව තමයි. චාරුලතා චරිතයට තාත්තාගේ පුදුමාකාර කැමැත්තක් තිබුණේ. තාත්තා මාව දැක්කේ එයාගේ අම්මාගෙයි සත්‍යජිත් රායිගේ චාරුලතාගෙයි සංකලනයක් විදියට. ඒ වගේම මම ඒ චරිතයට සාධාරණයක් ඉටු කරයි කියලත් තාත්තා හිතුවා.

මෙරට ඉංග්‍රිසි මාධ්‍යයෙන් ලේඛනයේ යෙදෙන කලාකරුවන් උදෙසා පිරිනමන ග්‍රේෂන් සම්මානය 2016 වසර වෙනුවෙන් පිරිනැමුණේ Stories කෘතිය රචනා කළ චාරුලතා අබේසේකර වෙතයි. මොරටුව විශ්වවිද්‍යාලයෙන් ඉංජිනේරු උපාධිය ලබා තමා වඩාත් ප්‍රිය කළ ගුරු වෘත්තියට පිවිසි චාරුලතා ප්‍රවීණ සිනමාකරුවකු වූ ආචාර්ය තිස්ස අබේසේකරගේ දියණියකි. ඇය සිය පියාගෙන් ලද ආභාෂය මෙන්ම ලේඛිකාවක වන මවගේද (පුෂ්පා මීවැල්ල) මඟ පෙන්වීම යටතේ ලේඛන කලාවට පිවිස සිටින්නීය. දන්නා කෙනෙකු ගැන නොදන්නා දේ සොයා යන ගමනේදී අද අප හමු වුණේ ඇය යි.

"ග්‍රේෂන් සම්මානය මට හිමි වීම ගැන ලොකු සතුටක් තියෙනවා. නමුත් එය මට ලැබෙයි කියලා මම හිතුවේ නැහැ. නිර්දේශ වී තිබුණු අනිත් නම් හතර මෙරට ඉංග්‍රීසි සාහිත්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයන්. මේ පොත මං සම්මාන බලාගෙන රචනා කළ එකක් වත් පළ කරන්න හිතාගෙන රචනා කළ එකකුත් නෙවෙයි. මං අද වෙනකල් කිසිම පොතක් එළිදක්වලත් නැහැ. Stories කෘතිය තමයි මුලින්ම එළිදක්වන්නේ."

ග්‍රේෂන් සම්මානය ලැබීම ඔබේ ජීවිතයට තවත් අයුරකින් සුවිශේෂි වෙනවා නේද?

මගේ තාත්තාටත් මීට අවුරුදු විස්සකට පෙර ග්‍රේෂන් සම්මානය ලැබුණා. ඒ Bringing Tony Home කෘතිය වෙනුවෙන්. මං හිතන්නේ තාත්තයි දුවයි දෙදෙනාම ග්‍රේෂන් සම්මානයකින් පිදුම් ලද පළමු අවස්ථාව මෙය යි. තාත්තා හිටියා නම් ගොඩක් සතුටු වෙනවා. අම්මා හරිම සන්තෝෂයෙන් ඉන්නේ. මගේ අම්මට මං විතරක් වුණාට තාත්තාට තව දරුවෝ හතර දෙනෙක් ඉන්නවානේ. ඒ හතර දෙනාමත් මේ ගැන ගොඩක් සතුටු වෙනවා. ඒ වුණත් මං තාත්තා වගේ කියලා එයින් කොහෙත්ම කියවෙන්නේ නැහැ. මොකද මට ජීවිත කාල කිහිපයක් ගත කළත් තාත්තා වගේ වෙන්න බැහැ.

මීට පෙරත් ඔබේ අත්පිටපතක් ග්‍රේෂන් සම්මානයට නිර්දේශ වුණා?

ඒක වුණේ 2009 වසරේදී තාත්තා නැති වුණාට පස්සේ. තාත්තායි මමයි නිතරම ජීවිතය ගැන සාහිත්‍ය ගැන සමාජය ගැන ගොඩක් දේවල් කතා කරනවා. නිතර මුණ ගැහුණේ නැතත් පැය ගණන් දුරකතනයෙන් කතා කළා. තාත්තා ලියන පිටපත් මට ගෙනත් පෙන්වනවා. කියවලා හොඳ නරක කියන්න කියනවා. ඒක එයා ආසාවට කරන්නේ. ඒ මමත් එක්ක සාකච්ඡාවකට ආරම්භයක් විදියට. එයින් මම වටිනා අධ්‍යාපනයක් ලැබුවා. තාත්තා නැති වුණු කම්පනය මට දරාගන්න බැරි වුණා. ඒ නිසා තාත්තාගෙයි මගෙයි සම්බන්ධය තුළ තිබූ හැඟිම් ලියන්න පටන් ගත්තා. ඒක ලියාගෙන යනකොට කතන්දරයක් වුණා. මට ගොඩක් හිතවත් කිහිප දෙනෙකුගේ බලකිරීමට තමයි එය ග්‍රේෂන් සම්මානයට ඉදිරිපත් කළේ. එහි හැඟීම් විතරයි සත්‍ය. ඒ හැර සියයට අනූපහක් ගෙතූ කතන්දර. Autumh Leaves නම් වූ ඒ පොත තමයි 2011 වසරේදී ග්‍රේෂන් සම්මානය වෙනුවෙන් අවසන් වටයට නිර්දේශ වුණේ. මගේ පළමු නවකතාව එය යි.

චාරුලතා සිංහල මාධ්‍යයෙන් මොකුත් ලියන්නේ නැතිද?

මම වැඩියෙන්ම ලියන්නේ සිංහල මාධ්‍යයෙන්. පුංචි කාලේ පටන් පුංචි පුංචි කතන්දර නිසඳැස් එහෙම ලියලා තිබුණා. මගේ යාළුවන්ට මම ලියූ කවි එහෙම අදටත් එයාලා කටපාඩමින් කියනවා. මේ ළඟදි සිංහලෙන් ලියපු මොනවත් මං ළඟ නැහැ කිව්වාම එක යෙහෙළියක් මතකයෙන් මං එයාට නවය පන්තියේදී ලියපු කවි ටිකක් ආයෙමත් මට ලියලා එව්වා. සිංහලෙන් වගේම ඉංග්‍රිසියෙන් මං ලියූ කවි සී සීකඩ ගිහින් ඉතුරු වෙලා තියෙන්නේ මගේ මහත්තයාට ඉස්කෝලේ යන කාලේ ලියපු කවි විතරයි. එයා ඒවා ෆයිල් කරලා තියාගෙන ඉන්නවා.

මගේ මහත්තයාගේ රැකියාව සමඟින් අපට විවිධ රටවල්වලට යන්න සිදු වෙනවා. එවිට මමයි මහත්තය යි ළමයි හතර දෙනයි අපි දෙන්නාගේ අම්මලා දෙන්නයි ගෙදර බල්ලයි සේරම යනවා. මේ අහිගුණ්ටක ජීවිතයත් එක්ක අත්දැකීම් රැසක් එකතු වෙනවා. එක තැනක දෙයක් තව තැනක දෙයක් එක්ක සසඳන විටදී කොහේවත් අහක දාන්න දෙයක් නැති බව තේරෙනවා. හැම තැනක්ම, හැම දෙයක්ම, හැම සංස්කෘතියක්ම වටිනවා. ඒ විදියට මම මුරුසියේ ඉන්න කාලෙ ලංකාව ගැනත් ලංකාවේදි මුරුසිය ගැනත් ලියන්න පටන් ගත් සිංහල නවකතාවක් තියෙනවා.

උසස් අධ්‍යාපනය වගේම වෘත්තීය ජීවිතය කලාව සමඟ සම්බන්ධයක් නැහැ නේද ?

මම මොරටුව විශ්වවිද්‍යාලයෙන් ඉංජිනේරු උපාධිය ලබා ගත්තා. නමුත් පුහුණුවීමේ මාස අටක හැරුණු විට ඉංජිනේරුවරියක් විදියට කවදාවත් රැකියාව කරලා නැහැ. මගේ වැඩිමල් දරුවෝ දෙන්නාම ලැබුණේ මම විශ්වවිද්‍යාලයේ සිටින කාලයේදීයි. උපාධිය ගත්තට පොඩි දෙන්නා ගෙදර දාලා රැකියාවට යන්න හිත දුන්නේ නැහැ. මට උගන්වන්න තියෙන ආසාව නිසාම පසුව ගුරු වෘත්තියට බැඳුනා. එයින් මා ලද තෘප්තිය ඉහළයි. මුලින් බ්‍රිතාන්‍ය ජාත්‍යන්තර පාසලේත් පසුව ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේත් වසර අටක සේවයෙන් පසු 2011 වසරේදී ගුරු වෘත්තියට සමු දුන්නා.

පාසල් කාලයේදීත් කලා කටයුතුවලට දායක වුනේ කොහොමද ?

පාසල් කාලයේදී දායක වුණු හැම කලා කටයුත්තක් බැඳුනේ සංගීතය සමඟයි. කොළඹ විශාඛා විද්‍යාලයේ මම සාමාන්‍ය පෙළ දක්වාම පෙරදිග සංගීතය ඉගෙන ගත්තා. කමලානි ගුරුතුමිය, මංජුලා ගුරුතුමිය වගේම නීලා වික්‍රමසිහ ගුරුතුමිය ගෙන් තමයි මම සංගීතය හැදැරුවේ. උසස් පෙළටත් සංගීතය හදාරන්නයි ආසා කළේ. ඩී අටක ප්‍රතිඵල නිසා ඔයාට නම් සංගීතය උගන්වන්නේ නෑ කියලා ඔවුන් කිව්ව නිසා මට ගණිත අංශය තෝරා ගන්න සිදු වුණා.

තාත්තා නිසා කලා අංශයට යොමු වෙන්න අදහසක් ආවේ නැද්ද?

මම කවදා හරි අතනට යනවා මෙතනට යනවා කියලා ලොකු බලාපොරොත්තු සැලසුම් තිබුණු ළමයෙක් නෙවෙයි. මං හරිම සැහැල්ලුවෙන් ජීවත් වුණේ. ලොකු අක්කා අපර්ණා කිව්වේ චූටි නංගි දොස්තර කෙනෙක් වෙනකල් තමයි මං බලාගෙන ඉන්නේ කියලා. ගණන් වලට දක්ෂ නිසා ගණිත අංශය තෝරා ගන්න කියලා අම්මා කිව්වා. තාත්තා කිව්වේ ඔයා කැමැති දෙයක් කරන්න කියලා. ඒ තාත්තාගේ හැටි. මම මොනවා කළත් එයාට ඒක මහමෙරක් වගේ.

තාත්තාගේ නිර්මාණ ඔබේ ජීවිතයට කළේ මොන වගේ බලපෑමක්ද?

තාත්තා එයාගේ හැම නිර්මාණයක්ම මට කියවන්න කියලා දෙනවා. මම ඒවා කියවලා අපි දෙන්නත් එක්ක සාකච්ඡා කරනවා. වාද කරනවා. මගේ සාහිත්‍ය දැනුම වගේම රසඥතාව වැඩි දියුණු කරන්න ගත් උත්සාහයක් විදියට මං ඒක දකිනවා. මං පොඩි දරුවෙක් මට කියන්න දෙයක් නැහැ. මං දන්නවා මම හොඳයි කිව්වාම තාත්තා හරි සතුටුයි. ඒ වෙලාවට එයත් පොඩි ළමයෙක් වගේ. එයාට ගොඩක්ම ඕනි වුණේ පවුලේ අයගේ පිළිගැනීම සහ ප්‍රශංසාවයි. නිකම්ම ලස්සනයි කියන්නත් බැහැ. තැනින් තැන උදාහණ අරගෙන පොඩි විචාරයක් දෙන්න ඕනි. ඒ නිසාම මගේ හැකියාවත් ඉබේම වර්ධනය වුණා.

මගේ රචනා කලාවට තාත්තාගෙන වගේම අම්මා ගෙනුත් ලොකු පිටුබලයක් ලැබුණා. මගේ අම්මාත් ලේඛිකාවක්. අම්මා ගොඩක් ලිව්වේ සිංහලෙන්. තාත්තාගෙන් ඉංග්‍රීසි සාහිත්‍ය පිළිබඳ ලොකු දැනුමක් එකතු වුණා. තාත්තා මං ලියන දේවල් බලලා ලස්සනයි කියලා කියනවා. මම ඊමේල් කරන ඒවා නංගිට කියලා කියවා ගන්නවා. තාත්තා හොඳයි කියනකොට මම දිගටම ලිව්වා.

තාත්තාගේ කලා නිර්මාණ අතරින් වඩාත්ම ඔබේ සිත ගත් නිර්මාණය මොකක්ද?

සිනමාවෙන් නම් විරාගය. එය පිළිගැනුණේ සිනමා නිර්මාණයක් කළ නොහැක්කක් විදියටයි. තාත්තා ඒක ඉදිරිපත් කළ විදියට මං හරි කැමැතියි. සාහිත්‍ය කෘති අතරින් නම් ග්‍රේෂන් සම්මානය ලද Bringing Tony Home කෘතියට ගොඩක් කැමැතියි. ඒක අපි පුංචි කාලේ පටන් අහලා තියෙන එකක්. සීයත් ඒක අපට කියලා තියෙනවා. තාත්තාත් අපට කිව්වා.

කලාව ඔබට දැනෙන අයුරු විස්තර කළොත් ?

කලාව කියන්නේ සමාජ සංස්කෘතිය ගොඩනඟන්න හොඳ ආයුධයක්. එයින් සමාජයක් හදන්නත් පුළුවන්. නැති කරන්නත් පුළුවන්. ඕනෑම කලා කෘතියක් කියන්නේ කතන්දරයක්. පුංචි කාලයේ පටන් ඕනෑම කෙනෙක් කතන්දර අහන්න ආසයි. සමහර කතන්දර අපව මානසිකව වට්ටනවා වගේම මානසිකව ඔසවා තබන කතන්දරත් තියෙනවා. යම් තැනකින් ඉදිරියට යන්න ඉඩක් තියලා මානසිකව වැට්ටුවත් කමක් නැහැ. යම් පරමාර්ථයක් උදෙසා හෝ නිකම් කතාවක් කීමට වුණත් නිර්මාණයක් කිරීමට කලාකරුවකුට සෑහෙන නිදහසක් තියෙනවා. හැබැයි තමන්ගේ නිර්මාණය සමඟින් සමාජය වෙනස්වන බව කලාකරුවෙක් තරයේම සිහියේ තබාගත යුතු දෙයක්. ඒක හරියට දරුවෙක් හදලා සමාජගත කරනවා වගේ දෙයක්. ඒ දරුවාගේ යහපත් අයහපත්කම මත අනාගතයේ සිදුවීම් මාලාවක් රඳාපවතිනවා.

ඔබේ නම චාරුලතා වෙන්නත් විශේෂ හේතුවක් ඇති?

මට මේ නම ලැබුණේ සත්‍යජිත් රායිගේ චාරුලතා නිසා. තාත්තා අපි සේරටම නම් දාලා තියෙන්නේ විවිධ හේතු අනුව තමයි. චාරුලතා චරිතයට තාත්තාගේ පුදුමාකාර කැමැත්තක් තිබුණේ. තාත්තා මාව දැක්කේ එයාගේ අම්මාගෙයි සත්‍යජිත් රායිගේ චාරුලතාගෙයි සංකලනයක් විදියට. ඒ වගේම මම ඒ චරිතයට සාධාරණයක් ඉටු කරයි කියලත් තාත්තා හිතුවා.