වර්ෂ 2016 ක්වූ  ජූලි 13 වැනිදා බ්‍රහස්පතින්දා




පූනේ විස්තර මේවා
බොම්බාය මඟහැර සිනමාව සොයා ගියෙමි - 2

පූනේ විස්තර මේවා

පූනේ නගරය අතිශයින්ම කලබලකාරී එකකි. එහි වරක් හෝ මහමඟ යන්නෙකුට කැපී පෙනෙන විශේෂිතයක් දක්නට හැකිය. එය නගරය කලබලකාරීවීමට බලපාන හේතුවකි. එය නම් පූනේ නගරය අධ්‍යාපනයේ විශාල කේන්ද්‍රයක් වන බවය. මා මෙහි අධ්‍යාපන කේන්ද්‍රයක් යන්නෙන් අදහස් කළේ උසස් අධ්‍යාපනය සඳහා පිහිටුවා ඇති ආයතන සංඛ්‍යාව අති විශාල එකක් බව වටපිට බලන්නෙකුට පසක් වන හෙයිනි. මෙම ආයතනවලට දිනපතා යන එන ශිෂ්‍ය සංඛ්‍යාව ලක්ෂ ගණනකි. ඒ අනුව නිස්කලංක පරිසරයක පිහිටන පූනේ විශ්ව විද්‍යාලයත් චිත්‍රපට හා රූපවාහිනී ආයතනයත් පූනේ නගරයේ විශාල වැදගත්කමක් උසුලයි. චිත්‍රපට ආයතනය පිහිටා තිබෙන නීති විද්‍යාල මාවතත් පැරැණි නීති විද්‍යාලයක් වෙත යන මාවතකි.

නිදහස ලැබීමෙන් පසු ඉන්දියාව පාලනය කළ ශ්‍රී ජවහර්ලාල් නේරුතුමාගේ රජය විසින් ගන්නා ලද ඉතා වටිනා තිරණයක් වූයේ චිත්‍රපට පරීක්ෂණ කමිටුවක් තොරතුරු අමාත්‍යාංශය යටතේ 1951 වසරේදී ස්ථාපිත කිරීමයි. වසර කිහිපයක් ඇවෑමෙන් ඉන්දියානු චිත්‍රපට කර්මාන්තය පිළිබඳ සමස්ත චිත්‍රයක් ලබාගන්නා මෙම කමිටුව කර්මාන්තයේ අනාගත දියුණුව වෙනුවෙන් ගත යුතු පියවර රාශියක් යෝජනා කළේය. මෙම කමිටුවේ සභාපති වූයේ එවකට බොම්බායේ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයකු වූ එස්. කේ. පටිල්ය.

පටිල් විසින් කරන ලද යෝජනාවලින් වැදගත්ම යෝජනාව වූයේ චිත්‍රපටකරුවන් වැඩි වැඩියෙන් දිරි ගන්වනු වස් චිත්‍රපට මුල්‍ය සංස්ථාවක් පිහිටුවා එයින් නව කර්මාන්තයක් වෙනුවෙන් මූල්‍ය ශක්තියක් ලබාදීමයි. දෙවැනිව වැදගත් යෝජනාවක් වනුයේ අනාගත කර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් සිනමාවේ සෑම අධ්‍යාපනයක්ම ලබාදීමට හැකිවන ලෙස චිත්‍රපට ඇකඩමියක් පිහිටුවීමයි. මෙම යෝජනා දෙක බරපතල ලෙස බාරගන්නා නේරු රජය 50 දශකය අග වනවිට මෙම ආයතනයන් පිහිටුවීමට උත්සුක විය. ඒ අනුව 'චිත්‍රපට මූල්‍ය සංස්ථාව' නමින් නව ආයතනයකුත්, 'ඉන්දියානු චිත්‍රපට ආයතනනය' යනුවෙන් අධ්‍යාපන ආයතනයකුත් බිහි වන්නේ 1960 වසෙර්ය.

ඉන්දියානු චිත්‍රපට ආයතනය පූනේ හි පිහිටුවීම පසුපස ඇත්තේත් සිනමාවේ 'මහා' කතන්දරයකි. 1930 දශකයෙන් ඇරැඹි සිනමාවේ චිත්‍රාගාර අවධියේ වර්ධනීය අවධියේ කේන්ද්‍රයක් බඳු වූයේ පූනේ නගරයයි. ඒ වෙන කිසිවක් නිසා නොව 'ප්‍රභාත්' චිත්‍රාගාරය පූනේ හි පිහිටුවීමත් මරාති සිනමාව බොහෝ විට එහි සිටම ක්‍රියාත්මක වීමත් නිසාය. මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ දෙවැනි විශාලතම නගරය වන පූනේ මරාති භාෂාවේ කේන්ද්‍රස්ථානයයි. ප්‍රභාත් චිත්‍රාගාරය ඇරැඹුවේ එවකට මරාති භාෂා සිනමාවේ පතාකයකු වූ වී. ශාන්තාරාම් හා විෂ්ණුපන්ත් දම්ලේ යන දෙදෙනාය. 1929 දි වී. ශාන්තිරාම් මුලික වී ඇරැඹි ප්‍රභාත් චිත්‍රාගාගරය එවකට හැදී වැඩී සිනමාවෙන් පෝෂණය වන විටත් බොම්බාය සිනමාව එතරම් වර්ධනීය අවධියකට පැමිණ නොතිබිණි. ඒ කෙසේ වෙතත් 50 දශකය වන විට සමස්ත ජනප්‍රිය චිත්‍රපට කර්මාන්තය බොම්බාය කේන්ද්‍රගත වූ අතර වී. ශාන්තාරාම් ද ප්‍රභාත් වෙතින් නික්ම ගියේය.

ඒ අනුව ප්‍රභාත් වැඩ හිඟ වී වැසුණු අතර ඉන්දීය රජයේ අවධානය ප්‍රභාත් වෙත යොමු වන්නේ මේ අවධියේය. අතහැර දැමුණු ප්‍රභාත් පරිශ්‍රය ඉන්දීය රජය විසින් මිලදී ගන්නා අතර ඔවුන් ඉන් මතු දායාද කරන්නේ සිනමාවට මිල කළ නොහැකි සම්පතක් වන ඉන්දීය චිත්‍රපට ආයතනයයි. අදටත් ප්‍රභාත් චිත්‍රාගාරය එලෙසින්ම පවතින අතර චිත්‍රපට ආයතන භාරයේ සංරක්ෂණය වෙමින් අදටත් යෙහෙන් වැජඹේ. එනමුත් එය විශ්‍රාම යවා නැත. එදා ලංකාවේ සිනමා සක්විති දොරට වැඩි පළමු චිත්‍රපටය දෛවයෝගය චිත්‍රපටය තැනීමට තකහනියක් පැමිණියේ පූනේ හි ප්‍රභාත් චිත්‍රාගාරයටයි. අදටත් චිත්‍රපට තැනෙන මෙහි මා සිටින වකවානුවෙහි නන්දිතා දාස් අධ්‍යක්ෂණය කරන ආන්දෝලනාත්මක චිත්‍රපටයක් වන 'මන්තෝ' එහි රූපගත විය.

ඒ අනුව දැන් ප්‍රභාත් පරිශ්‍රය හෙවත් ඉන්දීය චිත්‍රපට හා රූපවාහිනී ආයතනය කෙල්ලන්ගේ කොල්ලන්ගේ පාරාදීසයකි. චිත්‍රපට ආයතනයට සේම තවත් ඉතිහාසයක් ඇති අනෙක් ස්ථානය වනුයේ ඉන්දියානු ජාතික චිත්‍රපට සංරක්ෂණාගාරයයි. අතිශය සිනමා ප්‍රේමියකු වන පී. කේ. නායර් මහතා ඉන්දීය චිත්‍රපට ආයතනයට එන්නේ 1961 වසරේදීය. එතැන් පටන් ගුරවරයෙක් ලෙස සේවය කරන ඔහු අඩි ගණන් දිග සෙලියුලොයිඩ් පට ආම්බාම් කරමින් එක් රැස් කරමින් සමස්ථ ඉන්දියාවටම මිල කළ නොහැකි සේවයක් කළ දැවැන්තයෙකි. ඔහු කළ එකතුවට පින් සිදුවන්නට සංරක්ෂණාගාරයක අවශ්‍යතාව මතු වූ අතර 1964 දී ක්‍රමවත් සංරක්ෂණාගාරයක් චිත්‍රපට ආයතනය අසලම අරඹන ලදී. චිත්‍රපට ඉතිහාසඥයකු ලෙස මහා නාමයක් ඇති ඔහු ඉන්දියාවට 'සෙලියුලොයිඩ්' මිනිසෙකි. සංරක්ෂණාගාරයේ පළමු අදියර චිත්‍රපට ආයතනයට නුදුරු මිනිත්තු 5 ක පයින් ගමන් කරන දුරකින් පිහිටන අතර එහි දෙවැනි අදියර කිලෝ මීටර් 4 ක පමණ දුරකින් පිහිටා තිබේ. චිත්‍රපට ක්‍රමවත්ව ගබඩා කොට ආරක්ෂණය, ප්‍රතිෂ්ඨාපනය, සංරක්ෂණය යන ක්‍රියාවලීන්ට යොමු කරන්නේ අදියර 2 තුළය.

සංරක්ෂණාගාරය යනු අප නිතරම යන එන තැනක් විය. සෑම සන්ධ්‍යාවකම අප චිත්‍රපට නරඹන්නට යන්නේ සංරක්ෂණාගාරයේ ශ්‍රවණාගාරය වෙතටයි. චිත්‍රපට ආයතනයට පැමිණෙන්නන් පමණක් නොව පූනේ හි සිනමාලෝලීන් ඉතාම ගරු කරන තැනක් වනුයේ මෙහි ශ්‍රවණාගාරයයි. මෙහි චිත්‍රපට බලන්නත් කොන්දේසි 2 ක යටත් විය යුතුය. එනම් කිසිම ආහාරයක් ඇතුළට නොගෙන ආ යුතු අතර, ඇතුළට යන්නන් පයලූ පාවහන් ගලවා ඇතුළට යා යුතුය. එම නීතිය ඉන්දියාවේ අගමැතිටත් විදේශික මා හටත් එකය.

චිත්‍රපට ආයතනයට රිසි සේ වැඩෙන්නට අත හිතදුන් චරිතයකි ඉන්දිරා ගාන්ධි. ඇය 1964 දී මධ්‍යම රජයේ තොරතුරු අමාත්‍ය පදවිය දැරූ අතර ඇය ද තදබල සිනමා මාන්දමෙන් පෙළුණු තැනැත්තියකි. චිත්‍රපට මූල්‍ය සංස්ථාවේ සභාපති ධුරය සමකාලීනව දැරුවේ ප්‍රකට චිත්‍රපට විචාරකයෙක්, අධ්‍යක්ෂවරයෙක්, ෆිල්ම් ෆොයාර් සඟරාවේ කර්තෘ වූ ද බී. කේ. කරන්ජියා මහතාය.

ඒ කෙසේ වෙතත් ඉන්දීය චිත්‍රපට ආයතන අනෙක් අධ්‍යාපන ආයතනවලින් සපුරා වෙනස් ආයතනයකි. එයට හේතු කිහිපයකි. මෙහි කිසි අයෙක් ඔළුව අත ගසා පාඩම් නොකරති. නිබන්ධන, ඇගයීම් වාර්තා නොහඳුනති. ප්‍රධාන ගේට්ටුව පසුකර ඉදිරියට යන කෙනෙකුට 'ඝටක් පවුර' දකුණු පසින් හමුවන අතර ඊට ඉදිරියෙන් ඇත්තේ 'ප්‍රඥා වෘක්ෂයයි'. එහි ශිෂ්‍යයන්ට වඩා වැදගත් වන්නේ කතාබහයි. ඒ කතාබහවල් සඳහා ඔවුන්ට නිශ්චිත ස්ථාන නැත. නිශ්චිත වේලාවල් නැත. විටෙක රෑ බෝවී පටන් ගන්නා සංවාද අහවර වෙන්නේ පාන්දර 5 ට විය හැකිය. යමෙකුට නිර්මාණයක් ගැන ගැඹුරින් සිතීමට අවශ්‍ය නම්, සිත ව්‍යාකූල නම් හෙතෙම යන්නේ 'ප්‍රඥා වෘක්ෂය' මුලටය. එයට එම නම ලැබී ඇත්තේත් ගැටළුකාරී අවස්ථාවක එම ගස මුලට ගොස් කල්පනාවක් ඇරැඹූ විට ප්‍රඥාව පහළ වනවායි යන විශ්වාසය නිසාය. හොඳ කල්පනාවක් කෙනෙකු කළා නම් ඒ අසල නම් බීර බෙලෙක්ක එකක් දෙකක් වැටී තිබෙනවා නොඅනුමානය.

ආයතන පාලනාධිකාරිය පවසන අන්දමට එහි නවක වදය තහනම්ය. නමුත් පූර්ණකාලීනයන්ට එය ගැටලුවක් නැත. සෙරෙප්පුවට සපත්තුවට මෙන්ම කොට කලිසමට, දිගු කලිසමට, සරමට, වේට්ටියට, කමිසයට, ටී ෂර්ට් එකට එහි ඉඩක් ඇත. එය ගැහැනු පිරිමි භේදයක් නැත. අතිශය සම්ප්‍රදායික ඉන්දීය ගැහැනුන් එහි නැත. එමෙන්ම සිගරට් එකට, බීඩියට, බීර බෝතලේට, අරක්කු බෝතලයට එහි ලොකු ඉඩක් ඇත. බාධා කරන්මෝ නොම වෙති. ආයතනයේ ගුප්තම සිසිල්ම තැන වන්නේ ශාන්තරාම් පොකුණයි. සංවාද සාකච්ඡා, රූපගත කිරිම්, පෙර පුහුණුවිම්, මධු සාද වැඩි හරියක් සිද්ධ වන්නේ ශාන්තරාම් පොකුණ අවටය. පොකුණට ඉහළින් ඇත්තේ අතහැර දමා ඇති විශාල පිහිනුම් තටාකයකි. එය එසේ මෙසේ තටාකයක් නොව දිය යට රූගත කිරීම් සඳහා ද භාවිත කළ හැකි වර්ගයේ එකකි. නමුත් කලකදී සිදු වූ හදිසි අනතුරක් නිසා තටාකය භාවිතයෙන් ඉවත් කර ඇත. ඒ අනිසි බිය නිසාවෙනි. ඒ බිය පිටත උනා තබා මීට වසර 2 කට පෙර එම දිය කඳේ ජබු ගැසුවෝ ද ශ්‍රී ලාංකියෝ වෙති. අද නම් එහි වතුර පොදක්වත් නැත.

අප කියවූ චිත්‍රපට ලබන සතියේ