|
දශක හතක් පිරුණු කාන්
ලොව සිනමා උළෙල අතර වඩාත්ම වැදගත් සිනමා උළෙලක් ලෙස ගැනෙන ප්‍රංශයේ කාන් සිනමා උලෙළ හැත්තෑ වැනි සංවත්සරය මේ දින වල සමරනු ලබයි. පසුගිය 18දා ඇරඹු එය 28දා නිමාවෙයි. ලොව විශිෂ්ටතම සිනමා උලෙළ අතර කාන් සිනමා උලෙළ සලකනුයේ වැනිස් සහ බර්ලින් සිනමා උළෙලයන් සලකා ගෙනය.එම සම්මාන උළෙලයන් දෙකම කාන් උලෙළට වඩා පැරණිය. ඉහත සිනමා උත්සව යුගලම ආරම්භ වනුයේ දෙවැනි ලෝක මහා සංග්‍රාම සමයට පෙරාතුවය. එමෙන්ම එම සිනමා උත්සව යුගලෙහි නිර්මාතෘවරුන් වනුයේ එම සංග්‍රාමයට වග කිව යුතුයැයි සෙසු ජාතීන් විසින් සළකනු ලබන ලොව බිහි වූ වඩාත්ම ඒකාධිපති පාලකයන් වූ ඇඩොල්ෆ් හිට්ලර් සහ බෙනිටෝ මුසොලිනි විසිනි.කවර තරමේ ඒකාධිපතිවරුන් වුව ද සිනමා කලාව හරහා සිය දේශපාලන අන්තතේවාසිකයන්ට ලකුණු ලබා නොදුන් ඔවුන් ඒ හරහා විශිෂ්ට සිනමා සම්ප්‍රදායන් ගොඩ නගන්නට සහාය පළ කළහ. එය තුන් වැනි ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදි රටවලට පවා ආදර්ශයක් වන අන්දමටය. යුද්ධයෙන් පසු සුනු විසුනු වී ගිය ඉතාලිය හරහා ගොඩ නැගුනු නව තාත්වික වාදි සිනමාව පසුපස සිටි අදිසි හස්තයක් වනුයේ ද මුසොලිනි ගේ ප්‍රත්‍රයෙකු වන විටිටෝරියෝය. පසුකලක ඉතාලි සිනමාවේ මහා පුරුෂයන් වූ රොබටෝ රොසලිනි, විටිටෝරියො ඩිසිකා ආදීන් විට්ටෝරියෝ මුසොලිනිගේ කර්තෘත්වයෙන් පළ කරන ලද “සිනමා” සඟරාවේ ලේඛකයන් විය. නව තාත්වික වාදය පිළිබද මුල් ලිපි පළවනුයේ ද එම සඟරාවේය.විට්ටෝරියෝ විශිෂ්ට සිනමා විචාරකයකු විය. විට්ටෝරියෝගේ බාල සොහොයුරු රොමානෝ ෆෙඩ්රිකෝ ෆෙලිනි, රොසලිනි, මයිකලාන්ජිලෝ අන්තෝනියෝනි ආදින් වෙනුවෙන් චිත්‍රපට කිහිපයක්ම නිෂ්පාදනය කළ අතර ඔහු විවාහ වූයේද සම්භාවනීය නිළියක ලෙස සැළකෙන සොෆියා ලොරේන් ගේ නැගනිය ඇනා මාරියා සමගය. ජර්මනියේ සහ ඉතාලිය මගින් දෙවැනි ලෝක මහා සංග්‍රාමය හරහා ගොඩ නගන සිනමා උත්සව වලට සාපේක්ෂව කාන් සිනමා උලෙළ ආරම්භ වනුයේ සාමකාමි ලෝකයක් හරහාය.එයට අමෙරිකාව,රුසියාව සහ බ්‍රිතාන්‍ය මුලින් සහාය පළ කරනුයේ යුද්ධයේ මිත්‍ර පාක්ෂික රටකට සහාය පළ කරන්නටය.වැනිස් සහ බර්ලින් අබිබවන්නටය. 1946 වසරේ ආරම්භ කළ කාන් උලෙළ හරිනම් හැත්තැ වැනි සංවක්සරය සැමරිය යුත්තේ ගිය වසරේ ය. එය නිසි ආකාරයෙන් වාර්ෂිකව පවත්වන්නට නොහැකිවූ හෙයින් හැත්තෑව ලෙස හඳුන්වනුයේ මේ වසෙර්ය. පවත්වන්නට නොහැකි වූයේ කාන් බලධාරින්ට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන සොයා ගන්නට නොහැකිවූ නිසාය. දෙවැනි සිනමා උලෙළේ දී දෙනවා යැයි කියන සල්ලි දෙන්නට බ්‍රිතාන්‍ය අදි මදි කළහ.ඒ අතින් බැලුවාම එහෙත් මෙහි වාගේම මුහුණ දෙන්නේ එකම ගැටළුවටය. ඒ මුදල් හිඟකමය.කෙසේ වෙතත් කාන් උලෙළ ට එම සන්තෑසිය මුහුණ දුන්නේ එහි මුල් අවරුදු දෙකෙහිදීය. ඉන් පසු එය වාර්ෂික සිනමා මංගල්‍යයක් පරිද්දෙන් පැවැත්වෙයි. දැන් ලෝක සිනමා දින දර්ශනයට අනුව එය පැවැත්වනුයේ මැයි මාසයේ තුන් වැනි සතියේ ය. කාන් යනු ප්‍රංශයේ ඇති සුන්දරතම මුහුදු වෙරළකි. ඉතාලිය, රෝමය පසෙකලා සංචාරකයන් ඇද බැඳ ගත හැකි ජලයෙන් යට වූ වැනිසියේ සිනමා උලෙළ පැවැත්වූ ආකාරයටම ප්‍රංශය ද පැරීසිය පැත්තක තිබිය දී කාන් වෙත සිය සිනමා උලෙළ පවත්වන්නට තීරණය කළේ එහි ඇති මනරම් වෙරළ නිසාවෙනි.ලෝකයේ බොහෝරටවල ජාත්‍යන්තර සිනමා උත්සව පවත්වනුයේ සංචාරක ව්‍යාපාරය වැනි වෙනත් අරමුනු කේන්ද්‍ර කොට ගනිමිනි. ඉන්දියාව ද නවදිල්ලි සිනමා උළෙළ ගෝවේ ප්‍රාන්තයට සින්න කරදුන්නේ එය අනුගමනය කරමිනි. ලොව සියලු සිනමා උත්සව අබිබවා කාන් සිනමා උලෙළට ඇති අවධානය ඉහල එකකි. එයට වඩාත්ම හේතු වන කාරණාවක් නම් ඒ සමග මතුවන සිනමා මතවාදයන්ගේ ඇති ප්‍රබලත්වයයි. විශේෂයෙන් හැටේ දශකයේ දී පමණ ප්‍රංශයේ දේශපාලන අරගල ලෝකයට කියාපෑමට තරුණ සිනමාකරුවන් වඩාත් හොඳ ස්ථානයක් කර ගත්තේ කාන් සිනමා උලෙළයි. එවකට ප්‍රංශයේ පාලකයාව සිටි චාල්ස් ඩිගෝල් ට එරෙහිව තරුණයන් ගෙන ගිය අරගලය මූර්තිමත් කළ ප්‍රංශ නවරුල්ලේ සිනමාකරුවන් සිය දේශපාලන වේදිකාව බවට පරිවර්තනය කර ගත්තේ කාන් සිනමා උලෙළයි. එය එක් අතකින් ලෝකයේ තරුණ දේශපාලන දිසානිතිය පෙන්වන උලෙළක් ලෙස ද එකල සැළකිල්ලට ගැනිණ. හැටේ දශකයේ ලොව පුරා පැතිර ගිය තරුණයන්ගේ පිබිදීමට කාන් සිනමා බිම වඩා හොඳ උද්දීපනයක් සැපයුවේය. වම් ඉවුරේ කණ්ඩායම නමින් ප්‍රචලිත ප්‍රංශ නවරැල්ල ( ඔවුන් ට වම් ඉවුර යැයි පැවසුවේ සම්ප්‍රදායික වාමාංශික ඇසින් සළකා නොවේ. ඔවුන් සිය මතවාද පිලිබඳ වාද කරන ලද්දේ ප්‍රංශයේ සෙයින් නදීයේ වම් ඉවුරේ ඇති අවන්හල් වල සෙට් වීමෙන් අනතුරුව බැවිනි) එවකට සම්මත සිනමාකරුවන්ට අප්පච්චිලාගේ සිනමාව යනුවෙන් බැණ වදිමින් අරගල කරන ලද්දේ ද කාන් සිනමා උලෙළ කේන්ද්‍ර කොට ගෙනය. 1968 වසරේ දී ප්‍රංශ යටත් විජිත නිදහස පිළිබඳ ප්‍රංශ තරුණයන් සංවිධානය කළ ප්‍රංශයේ සුප්‍රකට වසන්ත අරගලය සමයේ කාන් උලෙළ හොඳ දේශපාලන කතිකාවේ තෝතැන්න විය. ඉතා මෑතක සිනමාවේ වත්මන් රටාව පුබුදුවාලනු වස් බොලිවුඩ් සිනමා ආනර්ෂණයට ද එහි ඉඩ කඩ ලබා දෙයි.එබැවින් එය වඩා ආකර්ෂනය ලැබෙන පරිදි සිනමාවට ආවේනික තරු දිදුලන රාත්‍රියක් ලෙස ගොඩ නංවා ඇත. මුල්ම කාන් උලෙළේ දී සම්මාන දිනා ගත්තේ ප්‍රංශයේ ම ද පැස්ටෝරල් සිම්පනි නම් චිත්‍රපටයයි. කාන් සිනමා උලෙළ අංශ ගණනාවකින් සමන්විතය. එහි බොහෝ අංග එක්කාසු වනුයේ කාලානුරූපවය. එහි ප්‍රධාන අංගය තරගකාරි අංශයයි.පැල්ම ඩියෝ සම්මානය පිරිනැමෙනුයේ එහිය. එයට අමතරව එම අංශයේ දී පළමු ත්‍යාගය,ජූරි සම්මානය,කෙටි චිත්‍රපටය,නළුවා නිළිය.අධ්‍යක්ෂක සහ තිර රචක සඳහා සම්මාන පිරිනැමෙනු ඇත. අන් සර්ටන් ර්ගාර්ඩ් අංශය සදහා චිත්‍රපට විස්සකි.හොඳම තරුණ සිනමාකරුවා ට සම්මාන පිරිනැමෙන කැමරා ඩියෝසම්මානය පිරිනැමෙනුයේ තවත් අංගයකිනි. නම් දැරූ සිනමාකරුවන්ට වෙන්වුන ඩිරෙක්ටර්ස් ෆොට්නයිට් තවත් අංගයකි. අන්තර්ජාතික විචාරක චිත්‍රපට දැක්ම තවත් අංගයකි. ඉතිහාසයටම කාන් සිනමාඋලෙළ නියෝජනය කරන්නට ලංකාවේ චිත්‍රපට සදහා ඉඩ කඩ ලැබුනේ අවස්ථා ගණන අතැඟිලි වලින් ගිනිය හැක. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් නිර්මාණය කරන ලද රේඛාව එහි මුල්ම අවස්ථාවයි. එය 1957 වසරේ දී කාන් උලෙළේ තරගකාරි අංශය නියෝජනය කළේය. එයින් පසු කාන් උලෙළ ට තරග වැදුණේ විමුක්ති ජයසුන්දරගේ සුළඟ ගිනි අරන් චිත්‍රපටයයි. එය එවර කැමරා ඩියෝ සම්මානය දිනා ගත්තේය. කාන් උලෙළ සම්බන්ධව සිනමාකරුවන්ගේ හා සිනමා ලෝලින්ගේ අගය කිරීම ඉහළ එකකි. එහෙත් ඉතිහාසයේ කාන් උලෙළ ද කුණු කතා අසාගත් අවස්ථා එමටය. වරක් කාන් සිනමා උලෙළේ හොඳම චිත්‍රපටය ලෙස සම්මාන දිනුවේ ෆ්‍රැන්සිස් ෆෝඩ් කොපලා ගේ අපකලිප්සේ නව් චිත්‍රපටයයි. එයින් වසර ගණනාවකට පසු කාන් සංවිධායකවරුන් සමග මොකක්දෝ ආරවුලක් දිග හැර ගත් කොපලා කියා සිටියේ ඇපකලිප්සේ නව් චිත්‍රපටය තනා නිම කරන්නටත් පෙරාතුව ඔවුන් එය ඉල්ලා සිටි වගය. ඒ සිනමා උලෙළට ආකර්ශණය දිය හැකි බැවිනි. එවර තමා ගේ කොන්දේසිය චිත්‍රපටය දෙන්නේ සම්මානයක් දෙන්නේ නම් පමණක් යැයි කියා සිටි බවත්ය. කෙසේ වෙතත් ඉතා මෑත කාලයේ ඇතැම් අන්තර්ජාතික සිනමා විනිශ්චය මණ්ඩල වෙත නැගෙන චෝදනාවක් නම් ඔවුන් සම්පූර්ණ තරගකාරි චිත්‍රපට නරඹන්නේ නැතිව අදාල සිනමා උලෙළට ලැමිණි පසු සාප්පු සවාරි යන විත්තියයි. ඒ හැටි ඉදිරියේ දී ලියන්නට සිතා සිටින නමුත් කාන් උලෙළේ හොඳම චිත්‍රපටය කුමක් දැයි සොයා නරඹන්නට ඇත්තේ ඉමහත් බලාපොරොත්තුවකි. |