|
වැලිකතර කාගේද?
මෙරට බිහි වූ විශිෂ්ටතම සිනමා කෘතියක් ලෙසට ආචාර්ය ඩී. බී. නිහාල්සිංහ අධ්‍යක්ෂණය කළ වැලිකතර හඳුන්වාදිය හැකියි. එදා මෙදාතර සිංහල සිනමාවේ වැලිකතර යනු තවත් එන් සංධිස්ථානයක් කිව්වොත් වැරැදි නැහැ. මේ වැලිකතර තව නොබෝ දිනකින් ඩිජිටල් තාක්ෂණය හා මුසු වූ නව පිටපතකින් යළිත් තිරගතවීමට නියමිතයි. වැලිකතර ගැන මතක් කරගෙන ආවෙ වැලිකතර ගැන අප තවත් සම්මානවේදී සිනමා අධ්‍යක්ෂවරයකුගේ මතකයක් ගැන කියන්නයි. ඔහු තමයි තන්හා රති රඟා අධ්‍යක්ෂණය කළ නිලේන්ද්‍ර දේශප්‍රිය. ඔහු ළඟ ඇති වැලිකතර ගැන මුල්ම මතකය හරි අපූරු එකක්. එවකට ඔහු පුංචි කොලු ගැටයෙක්. මේ කියන්නේ වැලිකතර තිරගත වූ අලුත මොරටුව ප්‍රින්ස් ඔෆ් වේල්ස් විදුහලේ තාප්පය අසල එක්තරා ළමයකු වැලිකතරේ ගාමිණී රඟපෑ විදිහට රඟපානවා. ඇරපු අතක් නැහැ, ඔහුගේ ඇක්ෂන් සේරම ගාමිණීගේ වගේ. කතා කරන්නේ ගාමිණීගේ ශෛලියට. ඒ වගේම වැලිකතරේ ගාමිණීගේ දෙබස් එකක් නෑර ඔහුට කට පාඩම්. මෙහෙම ගාමිණීව අනුකරණය කරපු කෙනා පසුකාලීනව කැමරාව ඉදිරියේදී ගාමිණීව මෙහෙයවන්නට තරම් වාසනාවන්ත වුණා. ඒ වෙනින් කවුරුවත් නෙවෙයි දිනේෂ් ප්‍රියසාද්. නාඹර දිනේෂ් රඟපාපු විදිහ අත්පොලසන් දෙමින් නිලේන්ද්‍ර සමඟ බලා සිටියා තව දෙදෙනෙක් ඔවුන් තමයි ටෙනිසන් කුරේ සහ චිත්‍රපට නිෂ්පාදක, අධ්‍යක්ෂක නිශාන්ත ප්‍රදීප් (වර්තමානයේ ගල්කිස්ස සිටි සිනමා අධිපති) මේ හතර දෙනා අද ක්ෂේත්‍රයේ සැලකිය යුතු චරිතයන්. ඉතින් ඔවුන්ගේ එදා මතකයක් නිලේන්ද්‍ර අවදි කළේ වැලිකතර යළිත් පෙන්වන ලද ආරංචියෙන් සතුටු වූ දිනකයි. අනිවාර්ය නිවාඩු
නමක් ගමක් සේයාරුවක් නැති කතාවක් කියන්න හදන්නේ. මෙයට අදාළ තැනැත්තාගේ නම කිව්වොත් ඔහු ඇවිත් මගේ බෙල්ල මිරිකනවා ෂුවර්. මං ගැලවුණත් අපේ කර්තෘතුමන්ට නම් ගැලවෙන්න බැරි වෙනවා. මොකද ඔහු අපේ කර්තෘතුමන්ගේ ගජ යාළුවෙක්. ඒක නිසා කාගෙ කාගෙත් සුබසිද්ධිය තකා නම නොකියා කතාව කියනවා. මේ කතාවට වස්තු බීජය වන තැනැත්තා අපට සිටින විශිෂ්ට සිනමාවේදියෙක්. ආයෙ ඉතින් මොකද ඔහු හදපු සෑම චිත්‍රපටයකටම සම්මාන පිට සම්මාන ලැබුණා. ඒ වගේම ඔහු වෙලාවට වැඩ කරනවා. අට නම් අට. අටයි එකවත් හතයි පනස් නවයවත් නෙවෙයි. මේ බව ඔහුගේ රියදුරාත් දැනගෙන හිටියා. ඒ හින්දා ඔහු පවා අධ්‍යක්ෂවරයාට පෙර ගමනක් යද්දී ලැහැස්ති වෙනවා. මේ රියැදුරාත් එසේ මෙසේ කෙනෙක් නොවේ. චිත්‍රපට ඉතිහාසයේ අති ජනප්‍රිය චරිතයක්. රඟපාලත් තියෙනවා. ඔන්න මේ අධ්‍යක්ෂවරයා මේ ළඟදී දිනෙක තම සිනමාපටයේ දර්ශන තල සෙවීම සඳහා යාපනයේ යන්න පිටත් වෙලා. ඒ ගමනට සහාය අධ්‍යක්ෂත් එකතුවීමට නියමිතව තිබුණලු. ඔන්න එදා උදේ පාන්දරින්ම මේ අධ්‍යක්ෂවරයා ඇහැරිලා. එදා ඔහුගේ බිරිය ගෙදර ඉඳලා නැහැ. ඒ හින්දා තමන් විසින්ම ඇඳුම් බෑග් එකත් ලැහැස්ති කරගෙන ගමන යන්න සූදානම් වුණාලු. රියදුරා වාහනයට නැගලා ඒක ස්ටාට් කරගෙන පාරට දැම්මලු. අධ්‍යක්ෂවරයා ගෙදර දොර වහලා යතුර සහ තම ගමන් බෑගය වාහනයේ දොර ඇරලා එහි තියලා දොර වැහැව්වලු. ඊට පස්සේ ඔහු ගේට්ටුව වහන්න හැරුණලු. මෙන්න වැඩක් රියදුරා කාර් එක රැගෙන සිං ගාලා ඉගිල්ලුණාලු. ඔහු හිතලා තියෙන්නේ අර දොර ඇරලා වහපු වෙලාවේ අධ්‍යක්ෂවරයා වාහනයට ගොඩ වුණා කියලා. අධ්‍යක්ෂවරයාට තරු පෙනුණලු. වට පිට බලද්දී වත්තේ බෝලයක් තිබුණලු. ඔහු එය රැගෙන කාර් එකට ගැහැව්වලු. ඒත් වාහනය නවත්වලා නැහැ. ඒක හැටට හැටේ යනවලු. බැරිම තැන කෑගහමින් මේ අධ්‍යක්ෂවරයා වාහනය පස්සේ සෑහෙන දුරක් දුවගෙන ගියාලු. ඒත් වාහනය නවත්තවලා නැහැ. කරුමෙ කියන්නේ ඊට පෙරදා බිමට වැටිලා මේ අධ්‍යක්ෂවරයගේ ජංගම දුරකතනය කුඩු වෙලා. ඒ හින්දා කාටවත් දුරකකතන ඇමතුමක් දෙන්න විදිහක්වත් නැහැ. ඔහු යළි ගෙදරට ඇවිත් ගෙදරට වෙලා ඉන්නම් කියලා හිතලා. එතකොටලු මතක වුණේ යතුරත් වාහනේ කියලා. මෙන්න මේ වගේ අකරතැබ්බ රැසකට මුහුණ දීලා ගෙදර ඉස්තෝප්පුවට වෙලා ඉද්දී ටික වෙලාවකින් වාහනය ආයෙත් ආවලු. ඒකෙ සහාය අධ්‍යක්ෂක ඉන්නවලු. ඔහු තමයි රියදුරුගෙන් අහලා තියෙන්නේ අධ්‍යක්ෂවරයා කෝ කියලා. දෙලෝ රත් වූ රියදුරු සහාය අධ්‍යක්ෂක ද රැගෙන ගෙදර ඇවිත්. හිමින් සීරුවේ වාහනයේ තිබුණු තම ඇඳුම් බෑගය රියදුරා එලියට අරගෙන අධ්‍යක්ෂවරයා එක්ක වචනයකවත් කතා කරලා නැහැ. දැන් රියදුරා පඩි සහිත අනිවාර්ය නිවාඩු. |