වර්ෂ 2016 ක්වූ  මැයි 25 වැනිදා බ්‍රහස්පතින්දා




විමලවීර නවත්තපු තැනින් මම පටන් ගන්නවා

විමලවීර නවත්තපු තැනින් මම පටන් ගන්නවා

මෙවර සරසවිය හොඳම නළුවා

ජැක්සන් ඇන්තනීඅපි එළඹෙමින් සිටින්නේ 2018 වර්ෂයටය. 1818 සිට 2018 දක්වා වසර 200 ක කාලයක් ගෙවී හමාර වී ඇත. 2018 සිට ආපසු හැරෙත්දී 1818 අපට වැදගත් වන්නේ ඇයිදැයි යන්න අප ශ්‍රී ලාංකිකයන් වශයෙන් දැනගෙන සිටිය යුතුය. එහෙත් ඒ පිළිබඳ පර්යේෂණයෙන්, අධ්‍යයනයෙන්, විමර්ශනයෙන් සැලකිලිමත් වන්නේ කවරහුද? එසේ වන්නට නම් ඉතිහාසය යන විෂය ඉතා උනන්දුවෙන් හදාරමින් අධ්‍යයනය කරමින් යන්මෝ විය යුතුය. එහෙත් ශ්‍රි ලාංකිකයන් වශයෙන් අපි සියලු දෙනාම අපේ රටේ ඉතිහාසය ඉගෙන ගන්නට දැන කියා ගන්නට බැඳී සිටින්මෝ වෙමු. ඛේදජනක තත්ත්වය වන්නේ වත්මන් පරපුර ඉන් බොහෝ ඈතක සිටීමය. එහෙත් අතීතයක් නැති මිනිසෙකුගෙන් වර්තමානයට හෝ අනාගතයට පලක් තිබේවිද? අපේ අතීතය අපටම දිග හැරෙන 1818 පිළිබඳ අප සැලකිලිමත් වූයේ ඒ නිසාවෙනි.

1818 දිග හැරෙනුයේ රිදී තිරයෙනි. ඒ 2018 වසරේදීය. එහෙත් දැන් එහි පූර්ව සැලසුම් සහ රූගත කිරීම් සඳහා අවස්ථාවන් ලහි ලහියේ නිම වෙනු දක්නට ලැබේ. 1818 අධ්‍යක්ෂණය කරනු ලබන්නේ ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී විසිනි. ඔහු මෙවර සරසවිය සම්මාන උලෙළේ හොඳම නළුවා ලෙසින් ද සම්මානයට පාත්‍ර වූයේය. පසුගිය දිනක අප ඔහු හමු වූයේ මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අපේක්ෂාවෙනි.

1818 - ඔබේ නවතම සිනමා නිර්මාණය. මේ චිත්‍රපටයත් ඓතිහාසික කතන්දරයක්. ඔබේ අරමුණ මොකක්ද?

චිත්‍රපට කලාව කියන්නේ හොඳම සන්නිවේදන මාධ්‍යයක්නේ. විවිධ අරමුණු මත මේ සන්නිවේදනය සකස් වෙනවා. මම මේ වැඩේට ලෑස්ති වුණේ සෑහෙන කාලෙක ඉඳලයි. 1818 දී අපේ රටේ සිද්ධියක් ඇති වුණානේ. අද මේ වෙනකොට ඉතිහාසය කියන දේ අපේ රටේ ඒ තරම් අවධානයට ගන්නේ නැතුව සෑහෙන කාලයක් ගත වූ නිසා අපට මේවා විෂය වෙන්නේ නෑ. අපි එංගලන්තයේ හරි ඉන්දියාවේ හරි අතීත පුරාවෘත්ත ගැන ඕනෑවට වඩා දන්නවා. ලංකාවටත් වඩා දන්නවා. ලංකාව ගැන අපි කිසිම දෙයක් දන්නේ නෑ. හේතුව අපට උගන්වන්නේ නෑනේ. 1972 තරම් කාලේ ඉතිහාසය තහනම් කරනු ලැබුවාණේ. ඒ තහනම හේතුකොට ගෙන වර්තමානිකයන්ට එතරම් විෂය වෙන්නේ නෑ ඉතිහාසය කියන විෂය.

හැබැයි අපි මතක තියාගන්න ඕනෑ 1818 කියන්නේ ලංකාවේ පැවතිච්ච අවසාන විමුක්ති අරගලය කියලා. දැන් 2018 කියලා වසරකුත් එනවානේ. 2018 කියන්නේ 1818 සිට වසර 200 ක් ගත වෙලා. අපි කිසි කෙනෙකුට එහෙම වසර 200 ක් ගත වෙලා තියෙනවා කියන එක අමතකයි. 1918 ලබත්දි 1818 අරගලයට වසර 100 ක් සපිරුණා. එතකොට මේ රට පාලනය කළේ ඉංග්‍රීසි ජාතීන්. ඉංග්‍රීසින්ට මේ අරගලය ඔවුන්ගේ පැත්තෙන් මතක් වුණා. ඔවුන් 1918 දී ඌව වෙල්ලස්ස ප්‍රදේශයේ ඒ කියන්නේ දැනට ගත්තොතින් බිබිලේ සිට අම්පාර පාරේ ඊතණවත්ත කියන තැන. දැනුත් බස් එකේ යනකොට පේනවා කුළුණක් හිටවලා තියෙනවා. ඒක හිටෙව්වේ ඉංග්‍රීසීන්. ගමේ මිනිස්සු ඒකට කියන්නේ ‘විල්සන් කුළුණ’ කියලා. රෙසිඩන් ඩග්ලස් විල්සන් කියන බදුල්ලේ ඒජන්තවරයා අපේ රටේ මොට්ටෑවේ රටේ රාළගේ ‘හිටිහාමි’ කියන දුණුවායා විසින් ඊතලයෙන් විදලා ඝාතනය කරනවා. ඒක තමයි 1818 අරගලයේ ආරම්භය. ඉංග්‍රිසීන්ගේ පැත්තෙන් හිතලා ඒ අයගේ වීරයා ඝාතනය වී වසර 100 ක් පිරීම නිමිත්තෙන් ඔහු ඝාතනය වූ තැන ඔවුන් ‘විල්සන් කුළුණ’ ඉදි කළා. මම කල්පනා කරනවා අවුරුදු 100 ක් පිරෙන කොට ඉංග්‍රීසීන්ට මතක් වුණු මතකය අපට මතක නෑනේ කියලා. ඒ නිසා 2018 ජනවාරි මාසෙදි මේක මතක් කරලා වැඩක් නැති නිසා මීට අවුරුදු 10 ට විතර ඉඳලා ඒක සිහිපත් කරන්න සූදානම් වුණා.

අද වෙනකොට මානව හිමිකම් පිළිබඳ මුළු ලෝකයම ලොකුවට කතා වෙනවා. හැබැයි මේ ලෝකෙටම අමතකයි 1818 දී බටහිර ජාතීන්, හිරු නොබසින අධිරාජ්‍යයේ, එංගලන්තයේ ඉපදුණයි කියල කියූ ජාතීන් ආසියාකරයට ඇවිල්ලා ඔවුන්ගේ රටවල් බලහත්කාරයෙන් මංකොල්ල කාලා ඒකට විරුද්ධ වෙච්ච දේශීයයන්ව වනසලා මානව හිමිකම් ඉතා ඉහළින් උල්ලංඝනය කළා කියන එක. ඒක අද බටහිරට අමතකයි. මට හිතෙනවා 2018 තමයි මානව හිමිකම් පිළිබඳ ආසියාතික ඛේදවාචකය ලෝකයටම කියන්න තිබෙන හොඳම නිමිත්ත කියලා. ඒ නිසා පුද්ගලිකව අපට මතක් වුණාට අපට කරන්න දෙයක් නෑ කියලා අත හරින්නත් බෑ. මීට පෙර මම එහෙම පුද්ගලිකව ගත්ත තීරණයක් අද සමාජ සංසිද්ධියක් බවට පත්වෙලා තිබෙනවා. 2000 ලබන කොට අපේ රට ගෝලීයකරණය කියන දේ වරදවා තේරුම් අරගෙන, ඇමරිකානුවාදය තමයි ගෝලීයකරණය කියන්නේ අපි ඇමරිකාව සමඟ ජීවත් විය යුතුයි කියලා.

අමුතු සහස්‍රකයක් ලබනව කියලා ගෝලීයකරණයට අපි පුදුමාකාර විදියට සූදානම් වුණානේ. ඒ කාලේ මට මතක් වෙනවා අපේ රට ගැන කිසිම අදහසක් එතැන නෑනේ කියලා. මේකට හේතුව 1972 දී විෂයමාලා සංවර්ධන මණ්ඩලය ගත් අමනෝඥ තීරණයක් නිසා පාසල් විෂය මාලාවෙන් ඉතිහාසය විෂය අයින් කිරීමයි. අද ඇමරිකාවත් සහස්‍රකය තුළ ඇමරිකානුවාදය ආරක්ෂා කරනවා. ට්‍රම්ප් ඇමරිකානුවාදය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපතිවරයෙක් බවට පත් වෙලා. එතකොට යුරෝපයේ එංගලන්තය, ජර්මනිය, ප්‍රංශය ඇතුළු මේ අය ඒ අයගේ ජාතිකත්වය, ඉතිහාසය, භාෂාව පිළිබඳ ආඩම්බර වෙනවා. අපි හිතනවා අපිත් මේ ආඩම්බරය තුළම ඉන්න ඕනෑ කියලා. ඒකට හේතුව මොකක්ද කියලා මම 2000 දී කල්පනා කරනවා. මට දැනුණ හේතුව තමයි මේ ඉතිහාස විෂය වර්තමානිකයන්ගෙන් තහනම් කිරීම. ඒ වන විට කිසිම රජයක් කිසිම සංවිධානයක් මේකට මැදිහත් වෙලා හිටියේ නෑ.

මම පුද්ගලිකව ඒ වන විට ආයතනයක් සමඟ සම්බන්ධව හිටියා. ස්වර්ණවාහිනී ආයතනයේ පරිපාලන තනතුරක හිටි නිසා ඒ ආයතනය මම මේ සම්බන්ධයෙන් දැනුවත් කළා. විශාල මහන්සියක් දරලා 2002 දී ‘මහා සිංහලේ වංශ කතාව‘ වැඩ සටහන පටන් ගත්තා. අද වෙනකොට කවුරුත් දන්නවා මහා සිංහලේ වංශ කතාවෙන් ආරම්භ වුණු ඒ ඉතිහාස බීජය අද රෝපණය වෙලා තියෙනවා. අද ලංකාව පුරාම ගිහිල්ලා තියෙනවා. ඒ විතරක් නොවෙයි 2006 දී හිටපු අධ්‍යාපන ඇමතිතුමාට සිද්ධ වුණා යළිත් මේ විෂය ඇතුළත් කරන්න. එහිදී එතුමා අපට ඇඟිල්ල දිගුකරලා කිව්වා ඔබතුමන්ලා තමයි අපට මේකට පාර කිව්වේ කියලා. ඒකට මම සතුටු වෙනවා. ඒ නිසා අන්ධකාරෙට බැන බැන ඉන්නේ නැතුව එක පහනක් හරි දැල්වීම හොඳයි කියන එක මට ඔප්පු වෙලා තියෙනවා.

නව සහශ්‍රකයේදී අපේ දරු පරපුර ලොකු අමාරුවක වැටුණනේ. ළමා පරපුර මොඩර්න් විය යුතුයි, අප්ඩේට් විය යුතුයි, රැප් ගායනා කළ යුතුයි, කොට කලිසම් ඇඳිය යුතුයි, ඩෙනිම් ඇඳිය යුතුයි කියලා. ඩෙනිම් කොට කලිසම් ඇඳපු කොල්ලේ කෙල්ලෝ හායි බායි කියමින් මාධ්‍යවල ඉන්න පටන් ගත්තනේ. මෙන්න මේ විනාශයෙන් මේ රට බේරගන්න මම කළේ ‘හපන් පැදුර’. හපන් පැදුරට ආකර්ෂණය වුණු සමස්ත මාධ්‍ය කලාවම ආයෙත් පරණ සිංදු කියන්න පටන් ගත්තා. ඒක නිසා මම සතුටු වෙනවා එක මිනිහෙකුට යමක් කරන්න පුළුවන් කියන එක ඔප්පු කරලා තියෙනවා. මෙතැනදිත් මම ඒ ප්‍රතිපත්තියමයි අනුගමනය කරන්නේ. දේශීය චින්තනය බටහිර ජාතීන් අපව පාගාගෙන සිටීම, නව යටත් විජිතවාදය දැන් හරියට මෝස්තරයක් බවට පත් වෙලා. 2018 දී 1818 මතක් කරලා ඒ වීර වික්‍රමාන්විත පරාජය, අහිමි නිදහස පිළිබඳ චිත්‍රපටයක් නිර්මාණය කළ යුතුයි කියලා මට දැනට අවුරුදු 10 ට විතර කලින් අදහසක් පහළ වුණා.

විවිධ රූපවාහිනී වැඩසටහන් වෙනුවෙන් ඉතිහාසය පිළිබඳ ඔබ කළ ගවේෂණාත්මක අධ්‍යයනයන් මේ සඳහා බොහෝ දුරට ඉවහල් වෙන්න ඇති?

අනිවාර්යෙන්ම. මම ස්වර්ණවාහිනිය නව ඉතිහාස වැඩ සටහනක් කළා ‘මහා සිංහලේ යටත් විජිත වංශ කතාව‘ කියලා. වැඩ සටහන් 60 -70 ක් වගේ කළා. ඒකාලෙත් මම පුන පුනා කිව්වා 2018 කියලා වසරක් උදාවෙනවා කියලා. ඊතණවත්ත, බිබිල, අම්පාර පැත්තේ ඇවිදිමින් ස්වාමීන් වහන්සේලා සමඟ සාකච්ඡා කරමින් ජනතාව සමඟ එකතුවෙලා ඒ කලාපය පිළිබඳ අධ්‍යයනය කළා. අපේ ලංකාවේ ඓතිහාසික ස්මාරකයක් බඳින්න හොඳම තැනක් ඊතණවත්ත කියන්නේ. විල්සන් කුළුණට එහායින් අපේ පරාජිත අරගලයේ ස්මාරක කුළුණ මෙතැන බැඳිය යුතුයි කියලා මම හිටපු ආණ්ඩුවත් දැනුවත් කරමින් කාලය ගත කළා.

දැන් ඒ ස්මාරකය බඳින්න හදන්නේ ඔබයි?

මම හිතා ගත්තා මට පුළුවන් දේ කරන්න. මට පුළුවන් සිනමා ස්මාරකයක් බඳින එකයි. මම ඒකට සූදානම් වුණා. පර්යේෂණ කළා. දැන් මේක මම කොහොමද කරන්නේ කියලා හුඟක් කල්පනා කළා. විශේෂ කාරණාව මේක විශාල මුදලක් වැය වීම. අනෙක් එක මෙහි අයිතිය එක් පුද්ගලයෙකුට අයිති නොවීම. මේක ජාතික අරමුණක් විය යුතුයි.

ඒ වෙනුවෙන් ඔබ යොදාගත් ක්‍රමවේදය මොකක්ද?

මේ වෙලාවේ මට මතක් වුණේ 1950 ගණන්වලදී මේ ප්‍රශ්නෙටම මුහුණ දුන්න ජ්‍යෙෂ්ඨ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු, නිෂ්පාදකවරයකු වූ සිරිසේන විමලවීරයන්. ඒ කාලේ ත්‍රි පුද්ගල ඒකාධිකාරිය යැයි අප හඳුන්වපු සිලෝන් තියටර්ස්, සිනමාස්, සිලෝන් එන්ටර්ටේන්මන්ට්ස් කියන මූල සමාගම් තුන දේශීය නිෂ්පාදකයන්ට ඉඩ නොදී ඔවුන්ගේම බෙදා හැරීම සහ නිෂ්පාදනය ඒකාධිකාරයක් ගොඩ නගාගෙන හිටියා. දේශීිය නිෂ්පාදකයන් වෙනුවෙන් ඉදිරිපත් වුණු එකම කෙනා තමයි සිරිසේන විමලවීර. එතුමන්ට හැකියාවක් ලැබුණේම නෑ තමන්ගේ නිෂ්පාදනයක් කරන්න. එතැනදි සිරිසේන විමලවීර කළේ පිටකොටුවේ බෝ ගහ යට පොඩි පෙට්ටි කඩයක් දාගෙන එතැන ඉඳගෙන සන්නිවේදනය කළා පෝස්ටරයක් ගහලා ලංකාවේ සිංහලයන් විසින් සිංහල භාෂාවෙන්, සිංහල තාක්ෂණයෙන්, සිංහල ශක්තියෙන් කරන පළවෙනි සිංහල චිත්‍රපටයට ඔබේ කොටස් එකතු කරන්න කියලා. රු 10 කොටස් තමයි එකතු කළේ.

රු 10 ක් කියන්නෙත් ඒ කාලේ ලොකු මුදලක්. අන්තිමේ ඒකට ලොකු මුදලක් එකතු වුණා. විශාල දායකත්වයක් ලැබුණා. ඒකෙන් තමයි ‘පොඩි පුතා’ කියන චිත්‍රපටය හැදුවේ. ‘පොඩි පුතා’ ජනප්‍රිය වුණා. ජනකාන්ත වුණා. සිරිසේන විමලවීර මහත්තයා 10 කොටස් දුන්න කට්ටිය ඔක්කොම කැඳෙව්වා. හැමෝටම ස්තූති කළා. මම එන්න කිව්වේ ලාබය බෙදන්න. මෙච්චර වියදම් කළා. මෙච්චර ලාභයක් ලැබුණා. යොදවපු මුදල්වලට සමානුපාතිකව ආදායමක් ඔබට ලැබෙනවා. මේ ලාභය ඔබට බෙදන්නද? එහෙම නැත්නම් තවමත් සිංහලයින්ට චිත්‍රාගාරයක් නෑ. ඒ නිසා මේකෙන් චිත්‍රාගාරයක් හදන්නද? කියලා ඇසුවා. සියළු දෙනාම කිව්වේ අපිට ලාභ එපා, චිත්‍රාගාරයක් හදන්න කියලයි. කිරිබත්ගොඩ නව ජීවන චිත්‍රාගාරය ආරම්භ වෙන්නේ අන්න ඒ විදියට. ලංකාවේ එවැනි සිද්ධියක් සිද්ධ වෙලා තියෙනවානේ. මේක පළමු සහ අවසාන අවස්ථාව තමයි. ඉන් පස්සේ එතුමාට අර ත්‍රි පුද්ගල ඒකාධිකාරිය නැත්තටම නැතිවෙන්න ගැහුවා. ලොකු ව්‍යාපාරික මාෆියාවකට එතුමා අහු වුණා.

ඔබ හැදුවෙත් සිරිසේන විමලවීර කළා වගේ කරන්නද?

අන්න හරි. මගේ අරමුණ වුණේත් ඒකමයි. මම කල්පනා කරනවා එක වතාවක් හරි මේක ලංකාවේ සිද්ධ වෙලා තියෙනවනේ. දැන් ලාංකික සහ දේශීයත්වය පිළිබඳ ලාංකිකත්වය, ලංකාවේ උරුමය පිළිබඳ ජාත්‍යන්තරයට ඉදිරිපත් කරන නිර්මාණයකට එකඟ වෙන්න සූදානම්. මේක ජාතිවාදී නෑ. ආගම්වාදී නෑ. ශ්‍රී ලාංකික ජාතිය ශ්‍රී ලාංකික වර්ගයා එංගලන්තයත් එක්කයි මේ අරගලය ඇති කර ගත්තේ. ඉංග්‍රීසි යටත් විජිතයෙන් මිදෙන්න. 1948 දී නිදහස හම්බ වෙන්න කලින් කල මේ අරගලය ජනතාව හෙම්බත් කරලා. නැත්තටම නැති කරලා. ඌව වෙල්ලස්ස කියන සශ්‍රීක කලාපය වනසලා, ගිනි තියලා. ඔවුන් අපිව යටත් කර ගත්තා. ඒ යටත් කර ගැනීම තමයි 1948 දී බේර ගන්නේ. 1948 අපි අවුරුදු පතා සැමරුවට 1818 අපි මතක් කරන්නේ නෑ. ඒ හින්දයි 1818 චිත්‍රපටය කරන්න මට හිතුණේ. මේක නිෂ්පාදනය කරන්න මම හිතාගෙන හිටියේ පිටකොටුවේ හන්දියේ පිකට් බෝඩ් එකක් අල්ලගෙන උපවාසයක් කරලා ජනතාව දැනුවත් කරලා, මාධ්‍ය කැඳවලා පටන්ගන්න තමයි හිතුවේ.

නමුත් මම මේ දවස්වල දරණාගම කුසලධම්ම හාමුදුරුවන් සමඟ බෞද්ධයා නාළිකාවේ වැඩ කරනවා. මහා සිංහලේ බෞද්ධ ඉතිහාසය කියන වැඩසටහන සතිපතා කරනවා. ඒ නිසා උන් වහන්සේ මට නිතරම මුණ ගැසෙනවා. මම උන්වහන්සේට මම කරන්න ඉන්න වැඩේ ගැන කිව්වා. උන් වහන්සේගේ උදව්වත් මම ඉල්ලා සිටියා. ඒ වෙලාවේ උන් වහන්සේ මට කිව්වා මහත්තයෝ එහෙම කරන්න එපා. පාරට බහින්න එපා. ජනතාව බොහෝම කැමැත්තෙන් ඉන්නවා මේකට මැදිහත් වෙන්න කියලා. මමත් හිතුවා සිරිසේන විමලවීර කරපු දේම කරලා හරියන්නේ නෑනේ. අප්ඩේට් කරන්න ඕනනේ 2018 ට. ඒ නිසා මේක ව්‍යාපාරික ප්‍රජාවත් සමග විධිමත් ව්‍යාපාරික පිළිවෙතකින් නිර්මාණය කරමු කියලා ස්වාමීන් වහන්සේ කිව්වා. ඒකට මම එකඟ වුණා. මටත් හිතුණා ගෞරවාන්විතව මේ වැඩේ කරන්න පුළුවන් කියලා. ඒ අනුව අපි බෞද්ධයා නාලිකා භූමියේ ආරම්භක උත්සවයක් පැවැත්වූවා. දින 2 - 3 ක් ගත වුණේ නෑ ලාංකීය ව්‍යාපාරික ප්‍රජාව ඒ වෙනුවෙන් තමන්ගේ දායකත්වය දැක්වූවා.

කොච්චර විතර වියදමක් යනවද මේ චිත්‍රපටයට?

මිලියන 100 ට වඩා වියදම් වෙයි කියලා හිතනවා. මීට පෙරත් එවැනි චිත්‍රපට නිර්මාණය වෙලා තියෙනවා. නමුත් මේක අපට විශාල මුදලක්. මිලියන 100 ක් චිත්‍රපට කලාව වෙනුවෙන් වියදම් කළ හැකි ආයෝජකයෙක් හොයා ගන්නත් තිබුණා. නමුත් මේක ඉන් එහා වැඩි දෙනා සම්බන්ධ කරගෙන කරන එක හොඳයි කියලා මට හිතුණා. කොටස් වෙළෙඳපොල ක්‍රියාත්මක වෙන විදියට අපි 1818 - වෙල්ලස්ස නමින් සීමාසහිත පුද්ගලික සමාගමක් හදමින් යනවා. නිෂ්පාදක පිරිස මෙහි අධ්‍යක්ෂවරුන් ලෙස සම්බන්ධ වෙනවා. මේ නිර්මාණයට විශාල නළු නිළි පිරිසක් සහභාගි වෙනවා. ඉංග්‍රීසි ජාතිකයින් රැසක් රංගනයේ යෙදෙනවා. මහනුවර යුගය, කන්ද උඩරට රාජධානිය, දළදා මාළිගාව වැනි විශාල පසුතල භාවිත කරන්න වෙනවා. මම හිතනවා මිලියන 100 න් පමණ නිර්මාණය කරන්න හැකිවේවි කියලා.

මේක විශාල ආදායම් ලබන ව්‍යාපෘතියක් බවට පත් වෙනවා. මාත් සමඟ එක්වෙන්න කියලා මම ආරාධනා කරන්නේ ආධාරයක්, උපකාරයක්, දානයක් දෙන්න නොවෙයි. ප්‍රතිලාභ ලැබෙන කර්මාන්තයක් නිසා. චිත්‍රපට කර්මාන්තයක් ගත්තත් මේ ක්‍රමය ලෝකේ සැම තැනම භාවිත වෙනවා. වෙළෙඳපොල ක්‍රමය චිත්‍රපට නිෂ්පාදනය කිරීම. එක නිෂ්පාදකයෙකුට විශාල මුදලක් වැය වෙන්නේ නැහැ. හැබැයි මේ ක්‍රමයට කවුරුත් තවම අත ගහලා නෑ. 2018 සමාජ ව්‍යායාමයකට ආදර්ශයක් වෙනවා වගේම සිනමා කර්මාන්තයටත් ආදර්ශයක් වේවි. සිනමාවේ අර්බුදයට තාම කිසිම පිළියමක් කවුරුත් යෝජනා කරලා නෑ. ගමේ පොළටත් යම් කිසි වැඩ පිළිවෙළක් තියෙනවානේ. නමුත් එහෙම පිළිවෙළක් සිනමාවට නෑ. අපි විසෙන් විස නසන්න ඕනෑ. මේ අවිධිමත් ක්‍රමය විධිමත් ආර්ථික නිෂ්පාදන ක්‍රියාවලියක් බවට පත් කරන්න තමයි මේ එකමුතුව සකස් වෙලා තියෙන්නේ. මේ රටේ ඉන්න ව්‍යාපාරික ප්‍රජාවට තවමත් මම ආරාධනා කරනවා මෙයට එකතු වෙන්න කියලා. මේ ව්‍යාපෘතියෙන් ලාභ ලබනවා වගේම ගෞරවාන්විත සේවාවක් කළා කියන අභිමානයත් ලැබෙනවා.

මේ නිර්මාණයට දායක වන නළු නිළියන් කවුද?

ප්‍රේක්ෂක ආකර්ෂණය සඳහා ඉතාම නිර්මාණශිලීව තමයි මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නේ. ඒ නිසා මේ රටේ සිටින ඉතාම ජනකාන්ත ජනප්‍රිය නළු නිළි කණ්ඩායමකගේ නම් ලිස්ට් එකක් මා සතුව පවතිනවා. ඉදිරියේදී ඒ ගැන වෙනම කියන්න බලාපොරොත්තු වෙනවා.

ඔබ රඟපාමින් අධ්‍යක්ෂණයේ යෙදෙනවාද?

මම මේ චිත්‍රපටයේ තිර රචකයා සහ අධ්‍යක්ෂවරයා පමණයි. රඟපාන්නේ නෑ කියන දැඩි තිරණයක මම ඉන්නවා. මේක ඉතාම විශාල ව්‍යාපෘතියක්. ඒක මම රඟපාන ගමන්ම කරන්න අසීරුයි. 2018 දී අපි මේක ප්‍රදර්ශනය කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වන විට තිර පිටපත නිම කරලා අනෙකුත් මූලික නිෂ්පාදන කටයුතු කරමින් පවතිනවා. ඉදිරියේදී මමත් දරණාගම කුසලධම්ම ස්වාමීන් වහන්සේත් විදේශීය සංචාරයකට සූදානම් වෙනවා. ඒකට හේතුව පිටරට වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව කැමති වෙලා සිටිනවා මේ ව්‍යාපෘතියට එකතු වෙන්න. ඒ නිසා ඒ අය ආරාධනා කරලා තිබෙනවා ඒ පිළිබඳ සාකච්ඡා කරන්න.

මේ කටයුතු නිසා වෙනත් නිර්මාණවලට ඔබ සහභාගි වෙන්නේ නැත්ද?

මම කවදත් කාලය කළමනාකරණය කරගෙන වැඩ කරපු කෙනෙක්. මේ අතරතුරම ජයන්ත චන්ද්‍රසිරිගේ නවතම චිත්‍රපටයටත්, ආචාර්ය ආරියරත්න ඇතුගල කරන මහ සමයම වැනි වූ නවතම නාට්‍ය නිර්මාණයටත් මම සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා.