වර්ෂ 2016 ක්වූ  මැයි 25 වැනිදා බ්‍රහස්පතින්දා




මහ පොළොවේ පය නොගසා හොඳ නිළියක් වෙන්න බැහැ

මහ පොළොවේ පය නොගසා හොඳ නිළියක් වෙන්න බැහැ

චන්ද්‍රා කළුආරච්චි

ඇය සමාජ භාෂාවෙන් රණ්ඩු කෙක්කක්. නිතර කවුරු කවුරු හරි එක්ක සණ්ඩු. එයා ළඟින් ගියත් ඒකත් එයාට පටලැවෙන්න කාරණයක්. ඇයගේ එක ඉරියව්වක් තිබුණා උරහිසෙන් අතගස්සා දමන. ඒ වගේ සැඩ පරුෂ චරිත මවද්දි මට ඇයව නිරීක්ෂණයෙන් ලද යම් යම් අංග වැදගත් වුණා. විශේෂයෙන් 'නිසලගිර' ටෙලියේදී කසිප්පු විකුණන කාන්තාවකගේ චරිතයට එහෙම.

‘ස්වර්ණමය' විරුදාවලී ලද කාල වකවානුවල වේදිකාව, නාට්‍යය, ටෙලි නාට්‍ය සහ සිනමාව පමණක් නොවේ. ගුවන් විදුලියත් දිනා උන්නියකි, චන්ද්‍රා කළුආරච්චි.

දෙනවක හාමිනේලා, ජයලත් මමෝරත්නලා මෙන්ම අදටත් අලුත් පරපුරේ නළු නිළියන් සමඟත් කරට කර රංගනයේ යෙදෙන චන්ද්‍රාට සම්මාන ඇගයුම්වල නම් අමුත්තක් නොවනු ඇති.

කරළියේ දි හොඳම නිළිය,හොඳම සහාය නිළිය ආදී සම්මාන රැසකින්ම පිදුම්ලත් චන්ද්‍රා සිනමාවේ පෑ රඟ පෙළහරට සරසවිය ඇතුළු සම්මාන රැසක්ම තුරුලු කරගත් ප්‍රවීණ රංගන ශිල්පිනියකි. එවන් ඈ රංගනයෙන් දායක වූ චිත‍්‍රපට පනහටත් වැඩි බව චන්ද්‍රා අද නිහතමානීව සිහි කරන්නීය. ඒ ටෙලි නාට්‍යවලට අමතරවය.

රූපණයෙන් දිනූ එවන් ලොවට නොදෙවැනි ජනප්‍රියත්වයක් ගුවනින් ද ලද ඈ මුවන් පැලැස්සේ කදිරාගේ කුලුඳුල් පෙම්වතී 'මුතූ'ට හඬ කැව්වාය. ඉනිකිත්බිතිවත් මොනරතැන්නේ 'බිසෝ' ආදි අදටත් කතාබහට ලක්වන හඬ නළුවනට උරුමකම් කියන චන්ද්‍රා පසුගිය ජනාධිපති සිනමා සම්මාන උලෙළේදී විශේෂ ඇගයීම් සම්මානයෙන් පිදුම් ලැබුවාය. ඒ නිමිති කොටගෙන චන්ද්‍රා මෙසේ ඇයගේ අදහස් උදහස් සිතුම් - පැතුම් එකෙල මෙකෙල කරන්නීය.

ඔබේ කලා ජීවිතය අඩ සියවස අබියස නේද?

රංගන ජීවිතයේදී ඒක එහෙම වුණත් ගුවන් විදුලියේ ළමා පිටියේ ගෙවූ කාලයත් සැලකුවාම දැන් පනස් අවුරුද්දකටත් වැඩියි.

ඒ ගමනේදී පසුගියදා ඔබ සතු වූ ජනාධිපති සම්මානය ඔබට ගෙනාවේ කොහොම හැඟීමක්ද?

සතුටක්. සාධාරණ විදියට මං සෙමෙන් පැමිණි දිර්ඝ ගමනට ලැබිච්ච ඇගයීමක් ඒක. මොනම විදියකින්වත් බලපෑමක් කරලා ලබා ගත්ත සම්මානයක් නොවන නිසා බාරගත්තා.

ආ පස්සට ඒ ගමන දිහා හැරී බලද්දී මොකද හිතෙන්නේ?

ඒක මට වගේම මගේ පවුලේ අයටත් එක්තරා විදියකට පුදුමයට කාරණයක් . කොහොමද එච්චරම වැඩ කන්දරාවක් ගේ දොර වැඩ කටයුතුත් කර කර කළේ කියලා එයාලා මගෙන් අහනවා. එත් අදටත් වෙලාවක් නැහැයි කියලා සිතන සිතිවිල්ලක් නෙවෙයි මට තියන්නේ. වේදිකාවේ ප්‍රවීණයන්ගේ ගුරුහරුකම් මැදයි මං කලා ලෝකේ එළිය බැලුවේ. මං ප්‍රිය කරන නිර්මාණයක පිටපතක් අතට ගත්තාම ඇතිවෙන රංගන ආවේශයම අනෙත් සියලු කටයුතු කළමනාකරණය කරවාගෙනම මාව නිර්මාණය දිහාවට ඇදගන්නවා වගේ.

ආවේශය ගොඩ නැඟෙන්නේ දැවැන්ත කැප කිරීම් මත?

ඒ විතරක් නෙවෙයි නිරන්තරයෙන් අභ්‍යාස කරන්න ඕනෑ. නිවැරැදි උපදෙස් ගුරුහරුකම් නොලැබෙන ආධුනිකයකුට කෙතරම් කැපකිරීම් කළත් ලැබෙන ප්‍රතිඵලය අඩුවෙන්න පුළුවන්. මං ඒ වාසනාව ලද්දියක්. ගුවන් විදුලියට පය තිබ්බාම ළමා පිටියෙන් පස්සේ වුණත් ප්‍රේමකීර්ති ද අල්විස්ලා විශාරද නන්දා මාලිනිලා මුණගැසෙන්නේ. වේදිකාවේදී දයානන්ද ගුණවර්ධන, ආර්. ආර්. සමරකෝන්, හෙන්රි ජයසේන, ආර්මෝල්ඩ් වික්‍රමසිංහ, ධර්මසිරි වික්‍රමරත්න වගේ ප්‍රවීණයන් සමඟයි මං වැඩ කළේ.

එයින් දයානන්ද ගුණවර්ධන පමණක් වෙන්කර කතා කළොත් බොහෝ විට ඔහුමයි පිටපත ලියාගෙන නාට්‍ය අධ්‍යක්ෂණය කළේ. රංගනය ඇතුළුව ඔහු සතු දක්ෂතා නිසා කාටවත් ඔහුට බොරු කරන්න ඉඩක් තිබුණේත් නෑ. ඔහුත් එක්ක වැඩ කිරීමත් ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. ඉතින් ලැබූ ඒ අත්දැකීම් අපිට මහමෙරක් තරම් වුණා.

ඔබ යෝග ව්‍යායාම් සහ භාවනා ක්‍රමවලට යොමු වුණේ?

චරිතයට අධ්‍යාත්මිකවත් සූදානමක් තියෙන්නම ඕනෑ. රංග කාර්යයකට කලින් එහෙම සූදානම් කරවීමක් නාට්‍ය ලෝකේ බොහොම ප්‍රවීණයන් ඇසුරේදී මා අත්දුටු දෙයක්.

ඒ පිළිබඳ තව ටිකක් විස්තර කළොත්?

කෙටියෙන්ම කිව්වොත් මේක්-අප් එකක් දාගෙන පිටපතේ තියෙන දේ කරන එකම නෙවෙයිනේ රංගනය කියන්නේ. පිටපත අතට ගත් වෙලාවෙ ඉඳන්ම කල්පනා ලෝකෙන් ඒ අඩවියට පිවිසෙන්න පුළුවන් වෙන්න ඕනෑ. ඒ කටයුත්ත බැරෑරුම්. ආවාට ගියාට ඒ හැකියාව ලැබෙන්නෙත් නැහැ. විශේෂයෙන් නිරන්තරයෙන් පොත්පත් කියවීමට මං ඇතිකර ගත්ත පුරුද්ද මට ඒ මඟේදී විශාල රුකුලක් වුණා. කටහඬ හැසිරවීමේදී ගුවන් විදුලියෙන් ලද පන්නරය කියා නිම කළ නොහැකි තරම්.

ඔබට පවුල් පරිසරයේදීම තවත් විශිෂ්්ටයකුගේ ගුරුහරුකම් ලැබී ඇතැයි අප අසා තිබෙනවා?

ඔව්. ඔහු මහාචාර්ය නන්දසේන රත්නපාල. මහා පඬිවරයෙක් විදියටයි මා ඔහුව සලකන්නේ. අපේ පවුලේ හිතවතකු විදියට ආගිය ඔහුගෙන් ජීවිතය සම්බන්ධයෙන් මා ලද ගුරුහරුකම් දැනමුතුකම් බොහොමයි. ආශා චිත්‍රපටයේ තිර රචකයා වුණෙත් ඔහු.

ඒ හැරෙන්නට නව පරපුරේ තරුණ සිනමාකරුවකුත් පැටි කාලේ පටන් ඔබේ ආදර සැලකිලි ලැබුවා?

ඔව්. ඒ සත්‍යා (සත්‍යජිත් මාඉටිපේ). ඔහු හෙදියක් වන මගේ නැගණියගේ මිතුරියකගේ පුතෙක්. පුංචි සන්දියේ පටන්ම ඔහු මට හමුවන්නේ අපේ පවුල් පරිසරයේදී, ඥාති හමුවිම්වලදී.

සත්‍යාගේ බොරදිය පොකුණ මා අගය කරන සිනමා කෘතියක්. ඒ චිත්‍රපටයේ කෞශල්‍යා ප්‍රනාන්දුගේ රංගනයත් විශිෂ්ටයි. සත්‍යා දක්ෂ සිනමාකරුවෙක්. ඒ වුණත් ඒ වගේ අයට නිෂ්පාදකවරු හමුවෙන්නෙ හරි අඩුවෙන්නේ.

ඔබ උප්පලවණ්ණා චිත්‍රපටයේ මැවූ සුමනාවතීගේ චරිතයත් කතාබහට ලක්වූවක්. එහි අධ්‍යක්ෂවරයාත් ඔබට අමුත්තෙක් නෙවෙයි?

ඔව්. මට ඒ රංගනයට සම්මානෙකුත් ලැබුණානේ. මහාචාර්ය සුනිල් ආරියරත්නගේම වජිරා චිත්‍රපටයේ මං රඟපෑවා. ඔහුගේ සොහොයුරු නිමල් 'එරබදු මල් පොට්ටු' නිර්මාණයේ මගේ මුනුබුරකුට රඟපෑවා.

දශකයකට පමණ කලින් වතාවක් ඔබ කියා තිබුණා සමාජ සංවාදවලට ඉඩහසර පාදන්නේ නැති නාට්‍ය වෙළෙඳාමක් බිහි වෙමින් එන බවක් පේනවා කියලා. අදටත් එය එසේමද?

නැහැ. අද එහෙමමයි කියන්න බැහැ. අඩු පහසුකම් යටතේ වුණත් හොඳ මට්ටමක තියෙන නාට්‍ය නිර්මාණය වෙනවා. විශේෂයෙන් රටේ බලධාරීන් ස්වතන්ත්‍ර නාට්‍ය නිර්මාණවලට දිරි දෙනවා නම් ඒක ලොකු දෙයක්. ඒත් එදා අපිට ලැබිච්ච තරම් පහසුකම් අද නාට්‍යකරුවන්ට නැහැ. කුඩම්මාගේ සැලිකිලි තමයි වැඩි. නාට්‍ය උලෙළ නරඹන්න ගියාම දැකලා අනේ එන්න පොල් තෙල් පහන පත්තු කරන්න කියලා අපිට අඬගහන තරමට ඒ උලෙළේ සංවිධාන කටයුතු පහත වැටිලා ද කියලා මට හිිතිච්ච වෙලාවල් තියෙනවා. එහෙම අපි නොගියා නම් මොකද කරන්නේ කියලා මං විමසලාත් තියෙනවා.

ඔබ බොරුව පෙන්නන්න බැරි කාටවත්ම බයත් නැති නිළියක් විදියටයි ප්‍රකට?

ඔව්, මං වැරැද්දක් දැක්ක ගමන් ඒක පෙන්නලා දෙනවා. එහෙම නැතිනම් කොහොමද වැරැදි හදන්නේ. අපිත් සමහර වකවානුවල ඉවසලා ඉඳලා වැරදි පෙන්වා නොදී හිටියා වැඩි ද කියලත් වෙලාවකට හිතෙන්නේ අද ඔඩු දිව්ව කලාවේ ප්‍රශ්න දිහා බලද්දී.

නිළියක් මහ පොළොවේ පය නොගසා ඉන්න තාක්කල් හොඳ රංගනයක් එළි දකින එකක් නැහැයි ඔබ කියා තියෙනවා. ඇත්තටම චරිතාංග නිළියක් වීම පහසු නැහැ නේද?

ඊට මං මීට කලින් මතක් කළ කරුණු කාරණාත් ඇතුළත්ව සමාජයේ හොඳ විපරම් ඇසකින් යුතුව ජීවත්වීම වැදගත් වෙනවා. මං එක උදාහරණයක් කියන්නම්. අපි නාරාහේන්පිට ජීවත්වන කාලේ මං නිතර දකින කාන්තාවක් හිටියා ඇසිලින් කියලා.

ඇය සමාජ භාෂාවෙන් රණ්ඩු කෙක්කක්. නිතර කවුරු කවුරු හරි එක්ක සණ්ඩු. එයා ළඟින් ගියත් ඒකත් එයාට පටලැවෙන්න කාරණයක්. ඇයගේ එක ඉරියව්වක් තිබුණා උරහිසෙන් අතගස්සා දමන. ඒ වගේ සැඩ පරුෂ චරිත මවද්දි මට ඇයව නිරීක්ෂණයෙන් ලද යම් යම් අංග වැදගත් වුණා. විශේෂයෙන් 'නිසලගිර' ටෙලියේදී කසිප්පු විකුණන කාන්තාවකගේ චරිතයට එහෙම.

අපි දැන් ඔබේ එක්තරා මැසිවිල්ලක් ළඟට ඇවිත් නේද?

ඔව්. මට රූපවාහිනියේ - සිනමාවේ වැඩිපුරම ලැබුණේ වියපත් නැතිනම් සැඬපරුෂ චරිත. ඒත් වේදිකාවේ නම් එහෙම නැහැ. ඒ නිසා අදටත් මං නිවිච්ච සන්සුන් චරිතයක් කරන්න හරි ආසයි.

මං වියපත් චරිත බොහොමයක් කරනවා දැකලා ප්‍රේක්ෂකයෝ හිතනවා මං හුඟක් වයසයි කියලා. මඟ තොටේ යන එනකොට පාර පනිද්දී එහෙම පොලීසියේ නිලධාරීන් පවා මාව දැකලා මට බැහැයි කියලා හිතලා මගේ උදව්වට පැමිණි වාර එමටයි.

පරසතු මල් ඔබේ කැමැතිම චිත‍්‍රපටයක්ලු නේද?

ඔව්. මට ඒ චිත්‍රපටය තවමත් නැවුම්. 'බක්මහ දීගයත්' මට එහෙමමයි.

ඔබ අයිරාංගනී සේරසිංහව නිතර අගය කරන කෙනෙක්?

ඒ මනුස්සකම කියනදේ අතින් ඇය ඉතා ඉහළින් සිටින නිසා. 'වෙස් මුහුණු', ' දූ දරුවෝ' වගේ නිර්මාණවලදී අපි එකට වැඩ කළේ. සමහරු කුහකයොනේ. අයිරංගනී සේරසිංහ එහෙම ගති ගෑවිලාත් නැති ප්‍රවීණ රංගන ශිල්පිනියක්.