වර්ෂ 2016 ක්වූ මාර්තු 30 වැනිදා බ්‍රහස්පතින්දා




උලෙළ ඇරැඹෙන්නේ සිනමා කලාකරුවන් ඇගයීමට රජය දරන උනන්දුව නිසයි

උලෙළ ඇරැඹෙන්නේ සිනමා කලාකරුවන් ඇගයීමට රජය දරන උනන්දුව නිසයි

18 වැනි ජනාධිපති සම්මාන උලෙළ හෙට

ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති නීතිඥ දීපාල් චන්ද්‍රරත්න සමඟ සංවාදයක්

ශ්‍රී ලාංකේය සිනමා වංශ කතාවේ හැත්තෑව දශකය සුවිශේෂී වැදගත්කමක් හිමිකර ගනී. ඒ 1972 වසරේ ආරම්භ වූ ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව විසින් 1979 වසරේදී සම්මාන උලෙළවල් අතරින් විශේෂිත සම්මාන උලෙළක් වූ ජනාධිපති සිනමා සම්මාන උලෙළ ආරම්භ කිරීමයි. එවකට ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති ධුරය හෙබ වූ ඇන්ටන් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව මේ උත්කර්ෂවත් මහෝත්සවය පළ දැරුණු අතර මෙවර එය පැවැත්වෙන්නේ වසර අටකට පමණ පසුව ය. ඒ ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති ධුරය හොබවන නීතිඥ දීපාල් චන්ද්‍රරත්න මහතා සභාපතිත්වය දරන වර්තමාන කාලයේ ය. එනම් ජනාධිපති සම්මාන උලෙළ හෙට දින (31 වැනිදා) රාත්‍රි 6.30ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙයි. මේ ඉඩකඩ වෙන්වන්නේ ජනාධිපති සම්මාන උලෙළ පැවැත්වෙන ආකාරයත්, චිත්‍රපට ක්ෂේත්‍රයේ විවිධ කරුණු කාරණා පිළිබඳත් ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති නීතිඥ දීපාල් චන්ද්‍රරත්න සමඟ සරසවිය කළ සාකච්ඡාවක් සඳහායි.

* මෙවර ජනාධිපති සම්මාන උලෙළ පැවැත්වෙන්නේ වසර අටකට පසුවයි. ඒ පැවැත්වෙන්නේ කුමන වසරක ජනාධිපති සම්මාන උලෙළක් ද?

මෙවර පැවැත්වෙන්නේ 2015 වසර සඳහා වන ජනාධිපති සම්මාන උලෙළයි. කවුරුත් දන්න කාරණයක් වන්නේ ජනාධිපති සම්මාන උලෙළ කියන්නේ ශ්‍රී ලංකාවේ සිනමා කලා ශිල්පීන්ට හා ශීල්පිනියන්ට ඉහළ ම ආකාරයෙන් සම්මාන දක්වන උපහාර උලෙළයි. පසුගිය කාලයේ වරින්වර ජනාධිපති සම්මාන උලෙළ පැවතුණත්, දීර්ඝතම කාලයක් නොපැවැත්වුණු කාල පරිච්ඡේදය ලෙස ගැනෙන්නේ පසුගිය වසර අටක කාලයයි. ඒ කාලය වෙනසකට ලක්කරමින් මේ කටයුත්ත සිදුවන්නේ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ කටයුතු හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ මූලිකත්වයෙන්.

* මෙලෙස ක්‍රියාවට නැඟෙන්නේ පසුගිය කාලයේ ජනාධිපති සම්මාන උළෙල තබන බවට පැවසූ අදහස ද?

මේ රජය ආරම්භ වුණා ට පස්සේ ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත්, ජනමාධ්‍ය අමාත්‍යතුමාත් සිටි ස්ථාවරය වුණේ විශේෂයෙන් ම චිත්‍රපට සංස්ථාව මූලික කරගෙන කලා ශිල්පීන්ට හා ශිල්පිනියන්ට, අධ්‍යක්ෂවරුන්ට, නිෂ්පාදකවරුන්ට සිනමා ක්ෂේත්‍රයේ සිටින සියලු ම දෙනාට උපහාර දැක්වීමේ උලෙළවල් අතීතයේ පැවැති අයුරින් ම පැවැත්විය යුතු බවයි. ඒ ඔස්සේ ඔවුන්ව ප්‍රශංසාවට, ධෛර්යයට ලක් කළ යුතු බවයි. මේ අනුව එදා පටන් පැවතුණු සම්මාන උලෙළවල් වන්නේ සරසවිය සම්මාන උලෙළ හා ජනාධිපති සම්මාන උලෙළයි. මේ ආණ්ඩුව පැමිණියාට පසුව ජනමාධ්‍ය ඇමතිතුමා පැවසුවේ සරසවිය සම්මාන උලෙළ හා ජනාධිපති සම්මාන උලෙළ තබනා බවයි. පසුගිය කාලයේ සරසවිය සම්මාන උලෙළ පැවැත්වුණා. මේ පැවැත් වෙන්නේ ජනාධිපති සම්මාන උලෙළයි.

* ජනාධිපති සම්මාන උලෙළේ ඉතිහාසය පෙළ ගැසෙන්නේ කුමන ආකාරයෙන් ද?

ජනාධිපති සම්මාන උලෙළ ආරම්භ කරන්නේ 1979 වසරේ. ඒ එවකට සභාපති ලෙස සිටි ඇන්ටන් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුවයි. මේ පවත්වන්නේ 18 වැනි ජනාධිපති සම්මාන උලෙළයි. පළමු වැනි ජනාධිපති සම්මාන උලෙළේදී හොඳම චිත්‍රපටය විදියට ‘බඹරු ඇවිත්’ චිත්‍රපටයත්, හොඳම අධ්‍යක්ෂවරයා විදියට ප්‍රවීණ අධ්‍යක්ෂ ධර්මසේන පතිරාජත්, හොඳම නළුවා විදියට ජෝ අබේවික්‍රමත් තමයි සම්මාන ලබන්නේ. එදා පටන් පැවැතුණු ජනාධිපති සම්මාන උලෙළ බොහොම උත්කර්ෂවත් අයුරින් පැවැත් වුණා. ඒ විතරක් නොවෙයි සම්මාන උලෙළවල් අතරින් විශිෂ්ටත්වය කරා යන්නටත් එයට හැකියාව ලැබුණා. මේ වනවිට ශ්‍රී ලාංකේය සිනමාවේ විශිෂ්ටතා දැක් වූ සියලු ම කලා ශිල්පීන් පසුගිය කාලයේ පැවැත්වූ ජනාධිපති සම්මාන උළෙවලදී ඇගයීමට ලක්වූණා. එහිදි ඇගයීමට ලක් නොවූ කලාකරුවකු නොමැති තරම්.

* 2017 වසරේ පැවැත්වෙන ජනාධිපති සම්මාන උලෙළේ වැඩසටහන ක්‍රියාත්මක වීම ඇරැඹුණේ මීට පෙර ද?

ජනාධිපති සම්මාන උලෙළ මූලික කර ගනිමින් ජනමාධ්‍ය අමාත්‍යාංශය හා චිත්‍රපට සංස්ථාව එකමුතුවෙන් විශේෂ වැඩපිළිවෙලවල් කිහිපයක් ම පසුගිය දවස්වල ක්‍රියාත්මක වුණා. උදාහරණයක් විදියට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වයෙන් සිදුවුණු ‘මනමේ’ හා ‘රේඛාව’ට වසර හැටක් යනුවෙන් සිහිපත් කරමින් කළ වැඩසටහන ගත හැකියි. එමෙන්ම චිත්‍රපට කර්මාන්තයට වසර හැත්තෑවක් පිරීම නිමිත්තෙන් ‘රේඛාව’ හා ‘හංස විලක්’ කියන චිත්‍රපට සංරක්ෂණය කළා. ඒ සඳහා ප්‍රතිෂ්ඨාපනය කිරීමට ඉන්දියාවට යවනු ලැබුවා. ‘රේඛාව’ චිත්‍රපට උලෙළේදී එය නැවත ගෙනැත් තිරගත කිරීමත් සිදු කළා. දිගින් දිගට ම සිනමා නිර්මාණ හා ශිල්පීන් ඇගයීමට ලක් කළ යුතුය කියන මතයේ රජය ඉන්නවා. ඒ නිසාමයි රජයේ මෙවර අය වැය මඟින් චිත්‍රපට සංරක්ෂණය සඳහා රුපියල් මිලියන පනහකුත්, ඉතාම විශිෂ්ට ගණයේ චිත්‍රපට පාසලක් ඉදි කිරීම සඳහා රුපියල් මිලියන පනහකුත් ලබා දී තිබෙන්නේ. රජයක් විසින් එවැනි දෙයක් කර තිබෙන්නේ පළමු වතාවටයි.

* කලින් පැවැති ජනාධිපති සම්මාන උලෙළවලට වඩා මෙවර ජනාධිපති සම්මාන උලෙළේ සිදුවන වෙනස් වීම් මොනවා ද?

සිනමා ශිල්පීන්ට හා ශිල්පිනියන්ට ගෞරව බහුමානයෙන් යුක්තව ඔවුන් පුද ලබන අතර සිංහ තිළිණ සමඟ පිරිනැමෙන මුදල් ත්‍යාග ද මෙවර වෙනදාට වඩා සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩි වී ඇති බවත් සඳහන් කළ යුතුයි. ඒ සියලුම සම්මාන වෙනුවෙනුයි රු මිලියන 6ක් වෙන්වුණේ. ජනාධිපති සම්මාන උලෙළෙ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී 31 වැනිදා ආරම්භ වන්නේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ඒ සඳහා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන යන මහත්වරුන් ඇතුළු නිලධාරීන්ගේ සහභාගිත්වයෙන්, නළු නිළියන් ඇතුළු කලා ලොවේ සියල්ලන්ගේ ම සහභාගිත්වයෙන් එදින උලෙළ සුන්දර වේවි.

* ජනාධිපති සම්මාන උලෙළේදී සම්මානයට පාත්‍රවන සම්මාන විසිපහක් ඇති බව දැන ගැනීමට හැකියාව ලැබුණා. එමෙන්ම සම්මාන අතරට හඳුන්වා දෙන නව සම්මාන කිහිපයකුත් ඇතුළත් ද?

හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂ, හොඳම තිරරචක, හොඳම නළුවා, හොඳම නිළිය, හොඳම සහය නළුවා, හොඳම සහය නිළීය, හොඳම කැමරා අධ්‍යක්ෂ, හොඳම ගීත රචක, හොඳම සංගීත අධ්‍යක්ෂ, හොඳම චිත්‍රපට ගීතය, හොඳම පසුබිම් ගායකයා, හොඳම පසුබිම් ගායිකාව, හොඳම සංස්කාරක, හොඳම ශබ්ද සැලසුම් ශිල්පී, හොඳම කලා අධ්‍යක්ෂ, හොඳම වේශ නිරූපණ ශිල්පී, හොඳම නැඟී එන නළුවා, හොඳම නැඟී එන නිළිය, ජූරියේ විශේෂ සම්මානය, විශේෂ කුසලතා සම්මාන - 07, උපරිම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලද සිනමා පටය, විශ්ව කීර්ති සම්මානය, ස්වර්ණ සිංහ සම්මානය - 06, පුරෝගාමී සම්මාන - 08 යනදී වශයෙනුයි එදිනට සම්මාන පිදෙන්නේ. මෙහිදි අලුතින් ම හඳුන්වා දෙන සම්මානයක් වන්නේ ‘හොඳම චිත්‍රපට ගීතය’ වෙනුවෙන් පිදෙන සම්මානයයි. විශ්ව කීර්ති සම්මානය හිමිවන්නේ 2015 වසරේදී පිළිගත් විදේශ චිත්‍රපට උලෙළකදී ලබාගත් සම්මානයක් සඳහායි.

* ජනාධිපති සම්මාන උලෙළෙ හෙට දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා සභා ගැබ වර්ණවත් කිරීමට මේ වනවිට සියලු කටයුතු සූදානම් ද?

එදින පැවැත්වෙන ජනාධිපති සම්මාන උලෙළ බොහෝ වර්ණවත් අයුරෙන් පැවැත්වේවි. ඒ සඳහා අදාළ අංශවලින් ඒ කටයුතු සිදුවේවි.

* ජනාධිපති සම්මාන උලෙළේ පිරිනමනු ලබන සම්මානවලට සුදුස්සන් තෝරා ගැනීම සඳහා තෝරාගත් විනිශ්චය මණ්ඩලය සැදුම්ලත් වී ඇත්තේ කුමන පිරිසකගෙන් ද?

විනිශ්චය මණ්ඩලය හෙළි කරනු ලබන්නේ උලෙළ දිනයටයි. ඒ නිසා මේ සම්මාන උලෙළට සුදුස්සන් තෝරා ගනු ලබන්නේ සිනමා ක්ෂේත්‍රයට සම්බන්ධ, පිළිගත්, ප්‍රවීණ පුද්ගලයන් පස්දෙනෙකුගෙන් යුත් විනිශ්චය මණ්ඩලයක් මඟින්. ඔවුන්ගේ තීරණය අවසන් තීරණය වේවි. ඒ සියලු සම්මාන සඳහා හිමිකරුවන් හෙළි කිරීම සිදුවන්නේත් සම්මාන උලෙළ පැවැත්වෙන දවසටමයි. මේ උලෙළේ තිබෙන විශේෂත්වය වන්නේ එයයි.

* මේ සම්මාන තෝරා ගැනීම සිදුවන්නේ චිත්‍රපට කොපමණ ප්‍රමාණයක් අතරින්ද?

සම්මාන ලබාදීම සඳහා ඉදිරිපත් වුණේ 2015 වසරේ තිරගත වූ චිත්‍රපට විසි හතරක්. ඒ සඳහා මසක කාලයක් ඇතුළත තරංගනී ශාලාවේ ඒ චිත්‍රපට නැරැඹීම සිදුවුණා. අවශ්‍ය අවස්ථාවලදී රැස්වෙමින්, තීරණ ගනිමින් ඔවුන්ගේ විනිශ්චයට ලක්වූ විනිශ්චය උලෙළ දිනට ඉදිරිපත් වේවි.

* අපේ රටේ මේ වනවිට සම්මාන උලෙළවල් රැසක් ම පැවැත්වෙනවා. ඒ සම්මාන උලෙළවල් අතරින් ජනාධිපති සම්මාන උලෙළ වෙනස් වන්නේ කෙසේ ද?

මේ වනවිට අපේ රටේ රජය මඟින් හා පෞද්ගලික අංශවලින් විවිධ සම්මාන උළෙලවල් පවත්වනවා. ඒ අතර දෙරණ, හිරු, ඕ.සී.අයි.සී, සරසවිය යන සම්මාන උලෙළවල් විශේෂිතයි. මේවා අතරින් ජනාධිපති සම්මාන උලෙළ වෙනස් වන්නේ මෙය කෙරෙන්නේ රජය මූලික කරගෙන වීම නිසයි. ඒ මඟින් කෙරෙන ඉහළ ම සම්මාන උලෙළ වන්නේ ද ජනාධිපති සම්මාන උලෙළයි. එදා පටන් ම ඒ සම්මාන උලෙළට ජනතාව මෙන්ම කලාකරුවන් අතර තිබුණු පිළිගැනීම කිසිම සම්මාන උලෙළකට ඇත්තේ නැහැ. ඒ පිළිබඳ තබා තිබෙන විශ්වාසය අන් කිසිම සම්මාන උලෙළකට ඇත්තේ නැහැ. එය ඇති වී තිබෙන්නේ ජනාධිපති සම්මාන උලෙළ සඳහා පමණයි. මා මෙලෙස පැවසුවේ අනෙක් සම්මාන උලෙළවල් පහළ දැමීමේ අරමුණෙන් නොවන බවත් අවසාන වශයෙන් සඳහන් කළ යුතුයි. ඒ වගේ ම රජයකට පැවැරුණු යුතුකමක් වන්නේ කලාව ප්‍රවර්ධනය කිරීමයි. එය සාහිත්‍ය වේවා, නාට්‍ය වේවා, සංගීතය වේවා, සිනමාව වේවා යන කුමන අංශයකට වුවද අදාළයි. රජයට පැවරුණු ඒ සංස්කෘතිය පෝෂණය කිරීමේ වගකීමේ එක් අංශයක් විදියටයි මෙවැනි සම්මාන උලෙළක් පැවැත් වෙන්නේ.

* රජයේ මෙවර අය වැය මඟින් චිත්‍රපට සංරක්ෂණය සඳහා රුපියල් මිලියන පනහකුත්, ඉතාම විශිෂ්ට ගණයේ චිත්‍රපට පාසලක් ඉදි කිරීම සඳහා රුපියල් මිලියන පනහකුත් ලබා දී තිබෙන බවක් මීට පෙර ඔබගෙන් පැවසුණා. පසුගිය කාලයෙත් මෙවැනි කාරණා ගැන හැමදාම කතාබහ කළත් මෙවරවත් එය ප්‍රායෝගික වැඩපිළිවෙළක් බවට පත්වෙවි ද?

ඒ අදහස් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම සඳහායි මෙපමණ මුදල් ප්‍රමාණයක් වෙන්කර ඇත්තේ. ඒ කටයුතු සඳහා මුදල් ප්‍රමාණවත් නොවන්නේ නම් ඒ වග දන්වන්න යැයි රජය අපට දන්වා තිබෙනවා. රජයක් මඟින් මෙවැනි කාර්යයක් සඳහා ප්‍රතිපාදන වෙන්වන්නේත් පළමු වරට බවත් කිව යුතුයි.

* චිත්‍රපට පාසලක් ඉදි කිරීමේ වැඩපිළිවෙළ මේ වනවිට පවතින්නේ කුමන මට්ටමක ද?

සිනමාවේ ප්‍රවීණ නිර්මාණකරුවන්ගෙන් සැදුම්ලත් මණ්ඩලයක් සමඟ පසුගිය දිනවල සාකච්ඡාවක් පැවැත්වූවා. ඒ ගැන ඔවුන්ට මා වාර්තාවක් නිර්මාණය කර දෙන්නැයි කියලා පැවසුවා. ඔවුන්ගේ වාර්තාව පිළිබඳ සලකා බලමින් සිනමා පාසල හා චිත්‍රපට සංරක්ෂණය කිරීම සඳහා ප්‍රතිෂ්ඨාපනය වන කාරණයත් සලකා බලමින් ඒ වාර්තාව මා අමාත්‍යාංශයට ඉදිරිපත් කිරීමටයි බලාපොරොත්තු වන්නේ.

 

සාමාන්‍යාධිකාරි
නිමල් අබේවර්ධන

* අපේ රටේ සිනමා ශාලා පවතින්නේ බොහොම ප්‍රාථමික තත්ත්වයේයි. වර්තමානය වනවිට තාක්ෂණික අංශයෙන් අපේ සිනමාව තිබෙන්නේත් පසුගාමී අස්ථානයකයි. මෙවැනි කාරණාවලට චිත්‍රපට සංස්ථාවෙන් ලැබෙන දායකත්වය මොන වගේ ද?

ඔය කියන කාරණා සිනමාව සම්බන්ධයෙන් වැදගත් කාරණායි. එකක් මේ මෑතකදි ජනමාධ්‍ය ඇමතිතුමාගේ මූලිකත්වයෙන් චිත්‍රපට සංස්ථාව ඩිජිටල්කරණය වීමේ තාක්ෂණයට සහය දැක්වීමක් වශයෙන් අදාළව ප්‍රමිතිය පිළිගත්තා. ඩී. බී. නිහාල් සිංහයන් සිනමාවේ 2ඬ හෝ ඊට ඉහළ ප්‍රමිතියක් යැයි තිබෙන්න ඕන කියලා වාර්තා ඉදිරිපත් කරලා තිබුණත් ඒක ගැසට් කරලා තිබුණේ නැහැ. ඒ සඳහා බලය ලැබෙන්නේ රජයේ ගැසට් එකකින්. මුල්වරට ජනමාධ්‍ය ඇමතිතුමා එය ගැසට් කරනු ලැබුවා. ඉන් එකක් වන්නේ අප 2ඬ සිනමාව පිළිගන්නා බවයි. ඉන් කියැවෙන්නේ ඊ සිනමාව නැති වන බව නොවෙයි. ඊ සිනමාවත් තිබෙනවා. ඔවුන්ටත් අලුත් සිනමා තාක්ෂණයට පරිවර්තනය වීමට යම් කාලයක් ලබාදිය යුතුයි.

* පසුගිය කාලයේ පත්කරන ලද කමිටුවට යම් ඉදිරිපත් කිරීම් ඔබගේ ආයතනය විසින් කරනු ලැබුවා ද?

අගමැතිතුමාගේ කමිටු වාර්තාවට අනුව පත් කරන ලද කමිටුවට අනුව නම් සිනමා ශාලා දියුණු කිරීම සම්බන්ධයෙන් විවිධ දේ ක්‍රියාත්මක කිරීමට නියමිතයි. උදාහරණයක් වශයෙන් ඒ කමිටුවට සිනමා ශාලාවල ආසනවලට පනවන බද්ධ ඉවත් කළ යුතු යැයි අප යෝජනාවක් කර තිබෙනවා. ඔවුන්ගෙන් පසුව අයකර ගැනීමේ අදහස ඇතිවයි, සිනමා ශාලාවලට අදාළ ප්‍රක්ෂේපණ යන්ත්‍ර ගැනීම සඳහා හා සිනමා ශාලා අලුත්වැඩියාව සඳහා ඔවුන්ට සහන ණය මුදලක් ලබා දෙන්න යැයි ද ඉල්ලීමක් කළා. ඉදිරියේදී ඒවා ක්‍රියාත්මක වේවි.

* චිත්‍රපට සංස්ථාවට අයත් මණ්ඩලයේ තිරගත කිරීම සඳහා පවතින චිත්‍රපට පෝලිමට යම් ක්‍රියාමාර්ගයක් ඉදිරිපත් කළ යුතුයි නේද?

චිත්‍රපට බෙදා හැරීමේ අසමතුලිතතාවක් තිබෙනවා. පෞද්ගලිකව ක්‍රියාත්මක වන මණ්ඩල සෑම චිත්‍රපටයක් ම තිරගත කරන්නේ නැහැ. ඔවුන් ලාභ ලැබිය හැකි නිර්මාණ පමණයි තිරගත කරන්නේ. ඒ නිසා අපේ මණ්ඩලයේ චිත්‍රපට පෝලිම දුර වැඩියි. අපේ මණ්ඩලයේ වසරකට තිරගත කළ හැකි චිත්‍රපට ප්‍රමාණය වන්නේ හයයි. ඒ ප්‍රමාණයෙනුත් අපට ලැබෙන්නේ චිත්‍රපට තුනයි. අනෙක් ඒවා අප ගනුදෙනු කරන සෙල් මණ්ඩලයෙයි තිරගත වන්නේ. ඒ නිසා බෙදා හැරීමේදී නිෂ්පාදකවරුන්ට දිගු කාලයක් තමන්ගේ සිනමා පටය ප්‍රදර්ශනය කර ගැනීම සඳහා බලාගෙන සිටීමට සිදුවෙනවා. බෙදා හැරීමේදී සිදුවන ගැටලුව විසඳා ගැනීම සඳහා අවශ්‍ය විසඳුම් කමිටුව විසින් යෝජනා කර තිබෙනවා. ඒවා ඉදිරියේදි ක්‍රියාත්මක වේවි. ඒ වගේ ම සිනමාවේ තිබෙන මේ ගැටලු සම්බන්ධයෙන් අධ්‍යක්ෂවරුන්ගේ සංගමයෙන් මෑතකදි මට යෝජනා වලියක් එවා තිබුණා. ඒ ගැන ඔවුන් ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත් දන්වා තිබෙනවා. ඒ සියල්ල සලකා බලමින් චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමේ ක්‍රමවේදයේ තිබෙන ගැටලුවලට පිළිතුරක් ලබා ගැනීමට චිත්‍රපට සංස්ථාව වශයෙන් අපේ දායකත්වය දක්වන්න සිටින්නේ බොහොම කැමැත්තෙන්. මේ සියල්ල ඉදිරියේදි විසඳේවි.

* චිත්‍රපට සංස්ථාව හරහා කලාකරුවන්ට ලබාදෙන්නේ ප්‍රමාණවත් නොවන මුදලක්. ඔබගේ රජය යටතේ එය වර්ධනය කිරීමට අදහසක් තිබෙනවා ද?

රුපියල් දෙදහසක මුදල ඔවුන්ට ප්‍රමාණවත් නොවන බව සත්‍යයක්. එය පන්දහසක් දක්වාත් වර්ධනය විය යුතුයි. එහෙත් සිදු වී ඇත්තේ ඔවුන්ට ඒ මුදල් ලබාදෙන අරමුදලේ මුදල් නොමැති වීම නිසයි. මේ කාරණය පිළිබඳ චිත්‍රපට සංස්ථාව ලෙස අප රජය දැනුම්වත් කළා. ඒ කාරණය රජය සලකා බලමිනුයි සිටින්නේ.