|
භීෂණයේ අලුත් කතාවක් සිනමාවටඋදයකාන්ත වර්ණසූරියගේ නවතම සිනමා නිර්මාණය තාක්ෂණයෙන්
ගොවිතැන ප්‍රධාන ජීවිකාව කර ගත් පහතරට සුන්දර ගම්මානයකි. එගම වෙසෙන මැණික්හාමි හා පුංචිරාළ යනු යන්ත්‍ර මන්ත්‍ර හා ගුරුකම්වලට ප්‍රසිද්ධ ඥාති සොහොයුරන් දෙපළකි. පුංචිරාල යනු මැණික්හාමිගේ බාප්පාගේ පුතාය. පිය පක්ෂයේ දේපල පිළිබඳ ආරවුලක දෙදෙනාම සෑහෙන කාලයක සිට පැටලී සිටිති. මැණික්හාමි පිය පාර්ශවයෙන් පැවත එන සියළු යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් මනාලෙස උගත් කට්ටඩියෙකි. බිරිය ඇලිස් නෝනාය. ඔවුන්ට සිටින්නේ එකම දියණියකි. ඇය නන්දාවතීය. නන්දාවතීගේ සැමියා වන ආරියපාල මැණික්හාමිලාගේ නිවෙසේ බින්න බැස සිටියි. ඔහු ජීවිකාව ගෙන යන්නේ සිය මාමණ්ඩියගේ ගොවිතැන් හා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වලට අත් උදව් දීමෙනි. පුංචිරාල යන්ත්‍ර මන්ත්‍ර පිළිබඳව මැණික්හාමි තරම් උගත් අයෙකු නොවේ. පුංචිරාලට සිටින්නේ දුවෙක් හා පුතෙකි. හැඩි දැඩි අඟපසඟකින් යුතු විමලසිරි වන පුතා තරමක දඩබ්බරයෙකි. දියණිය පියසීලීය. පියසීලීගේ දියණිය වන සුමනා පියකරු, සුකුමාල හත් හැවිරිදි දැරියකි. අට හැවිරිදි පුතා සිරිනිමල්ය. පියසීලිගේ සැමියා හෙවත් සුමනාගේ හා සිරිනිමල්ගේ පියා වනුයේ ජයසෝමය. ඔහු නගරයේ බේකරියක් පවත්වාගෙන යයි. පුංචිරාළගේ මව ද නිවසේ ලැඟුම් ගෙන සිටියි. අනූ වියැති ඇය සෙලෙස්තිනාය. දේපල පිළිබඳ පුංචිරාළ සමඟ නිතර ආරවුල් ඇතිකර ගන්නා මැණික්හාමි තම යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් උපයෝගී කරගෙන පුංචිරාළ පරලොව යැවීමට අවසානයේ තීරණය කරයි. කෙම්මුර දිනක තම බෑණනුවන් වන ආරියපාල සමඟ සොහෙන් පිටියකට පිය නඟන මැණික්හාමි අලුත වලදැමූ මළමිනියක් ගොඩට ගෙන මතුරන්නට පටන් ගනී. මැතිරීම අවසානයේ මළමිනියට කෙමෙන් ප්‍රාණය ලැබෙයි. දිව එළියට දැමීමත් සමඟ දිව කඩුවකින් කපා ගන්නා මැනික්හාමි සිහිමුර්ජා තත්ත්වයකට පත් කළ කළු බළලෙකුට එම දිව කන්නට දෙයි. ඒ පිල්ලියකි. පුංචිරාලට පිල්ලිය හමුවන්නේ කුඹුරකදීය. මැණික්හාමි ආරියපාල සමඟ පුංචිරාලගේ මලගෙදර පැමිණෙන නමුත් පුංචිරාළගේ පුතා වන විමලසිරි ඔවුන් හා දබර කර ගනී. ඉන්පසු මැණික්හාමි මලගෙදරින් පිටවෙන්නේ විමලසිරි ඇතුළු පවුලේ අනෙකුත් අයගෙන් ද කිසියම් දිනෙක පලිගන්නා චේතනාවෙනි. පුංචිරාලගේ මරණයෙන් පසුව වැට මායිම් තම සිතුම් පැතුම් පරිදි වෙනස් කර ගැනීමට මැණික්හාමිට හා ආරියපාලට හැකිවූයේ ඔවුන්ගේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් පිළිබඳව පුංචිරාළගේ පවුලේ පිරිසට තිබූ බිය නිසාය. පියසීලිගේ දියණිය වන සුමනාට සර්පයකු දෂ්ඨ කරන්නේ මේ අතරය. පියසීලී දැරිය රැගෙන දිව යන්නේ ගමේ සිටින එක සර්ප වෙදැදුරු වන මැණික්හාමි වෙතය. මෙම අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්නා මැණික්හාමි සිහිමුර්ජා තත්ත්වයෙන් පසුවන සුමනා දැරියගේ ශරිරය තුළට යක්ෂ ආත්මයක් ඇතුළු කර හිසට කටුවක් ද ගසයි. ඒ සමඟම ඔහු පියසීලීට පවසන්නේ තුන් මසක් ගෙවීයනතුරු ඇගේ හිසකෙස් නොපිරිමදින ලෙසත් හිසකෙස් නොකපන ලෙසත්ය. සුමනා දැරිය සුපුරුදු පරිදි නිවසේ ගත කළත් ඇයට කතා කරන්නට නොහැකි වෙයි. අසාමාන්‍ය ගති ලක්ෂණ වරින්වර ඇය තුළින් මතුවන්නට පටන්ගනී. මැණික්හාමිගේ අභිලාෂය වූයේ සුමනා දැරිය තුළ සිටින යක්ෂාත්මය විසින් බියවැද්දීමෙන් තුන් මසක් තුළදී නිවසේ සිටින සියල්ලන්ම විනාශ වනු දැකීමය. දිනක් දැරිය මරා දමන ලද හාවෙකු ලේ පෙරමින් කන අයුරු දැකීමෙන් බියට පත්වන විමලසිරි ඇය සමීපයට ගොස් බලයි. ඇගේ මුහුණ තුළින් ඔහු දකින්නේ භයංකර යක්ෂයකුගේ මුහුණුවරකි. ඒ අතරම ඇය යක්ෂාවේෂ පිරිමි කටහඬකින් ඇය විමලසිරිට බැන වදියි. මහත් කැලඹීමකට පත්වන විමලසිරි ඒ පිළිබඳව නිවසේ අයට පවසන මුත් ඔවුන් කිසිවකු එය නොපිළිගනී. පසුව විමලසිරි ආරණ්‍යයක වෙසෙන යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් දන්නා ස්වාමීන් වහන්සේ නමක් හමුවේ. ස්වාමීන් වහන්සේ බන්ධනය බිඳ දමන්නට පෙර බලාපොරොත්තු නොවූ මොහොතක යක්ෂ ආත්මය සුමනාගෙන් ගතින් ඉවත්වී දැඩි විනාශයක් කිරීමට මුල පුරයි. ලබන 7 වැනි දින සිට තිරයට එන බන්ධන මේ පුවතේ අවසානය ඔබට පවසයි.
අධ්‍යක්ෂණය, තිර රචනය, නිෂ්පාදනය – උදයකාන්ත වර්ණසූරිය කැමරා අධ්‍යක්ෂණය - කේ. ඩී. දයානන්ද සංස්කරණය හා ශබ්ද මිශ්‍රණය - ප්‍රවීන් ජයරත්න සංගීතය - නදුන් රත්නායක කලා අධ්‍යක්ෂණය – අරුණ ඩයස් සහාය අධ්‍යක්ෂණය - ඩොනල්ඩ් ජයන්ත නිෂ්පාදන කළමනාකරු – අශෝක ආරියරත්න නිශ්චල ඡායාරූප – මහේෂ් නිශාන්ත ඇඳුම් නිර්මාණය - ශාන්ති වර්ණසූරිය නිෂ්පාදන සහාය – ලතා කුලරත්න,නදුන් රත්නායක, කුමාර වඳුරැස්ස පිටපත් සම්බන්ධීකරණය හා ප්‍රචාරක කටයුතු – නිහාල් සංජය සෙල් ඉදිරිපත් කිරීමක් රංගනය - සිරිල් වික්‍රමගේ, හේමාල්රණසිංහ, සුවිනීතා වීරසිංහ, දුලානි අනුරාධා, සහේලි සමරසිංහ, නිල්මිණි තෙන්නකෝන්, රවීන්ද්‍ර යසස්, ලියෝනි කොතලාවල, ප්‍රියංකර රත්නායක, විල්මන් සිරිමාන්න, සෝමවීර ගමගේ, සුදම් කටුකිතුලේ, උදයකුමාරි රණසිංහ, ආරියරත්න ගමගේ, රන්ජිත් සිල්වා, කුමාර වඳුරැස්ස, අසංක දේවමිත්‍ර පෙරේරා, නන්ද වික්‍රමගේ, ජයතිස්ස අතුලසිරි, සෝමසිරි කොළඹගේ, රංජිත් රූබසිංහ, සුනෙත් මැල්සිරිපුර, ජානක හාල්පන්දෙනිය, හිමාෂා ද සිල්වා |