වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 23 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රවෘත්ති නිවේදනයෙන් ප්‍රමිලා බිසවට...

ප්‍රවෘත්ති නිවේදනයෙන් ප්‍රමිලා බිසවට...

අනුෂ්කා නිලාංජනී

අනුෂ්කා නිලාංජනීව අප වඩාත් හඳුනන්නේ ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙසිනි. ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙස ඔබ හමුවට පිවිසෙන ඈ මේ සැරැසෙන්නේ ඊට හාත්පසින් ම වෙනස් වූ නිර්මාණ කටයුත්තක නියැළෙන්නට ය. ඒ පිළිබඳ අපි අනුෂ්කා සමඟ සොඳුරු කතාබහක නිරත වීමු.

* ‘දස්කොන් ප්‍රමිලා’ නමින් නම් කෙරෙමින් කරන මේ කටයුත්ත කුමක්ද?

කථක් නෘත්‍ය නාටකයයි මේ ‘දස්කොන් ප්‍රමිලා’ නමින් නම් කර ඇත්තේ. එලෙස අපේ රටේ කථක් නෘත්‍ය නාටකයක් සිදු වන්නේ පළමු වරටයි. ඒ වගේ ම ‘දස්කොන් ප්‍රමිලා’ වගේ ‍ඵෙතිහාසික ප්‍රේම වෘත්තාන්තයක් කථක් නර්තන ශෛලියෙන් නෘත්‍ය නාටකයක් විදියට ගෙනෙන්නෙත් පළමු වරටයි.

* ‘දස්කොන් ප්‍රමිලා’ නෘත්‍ය නාටකය වේදිකා ගතවන්නේ කොහේදී ද?

මේ මාසයේ 24 වැනිදා සවස 6.30ට බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදයි මේ නෘත්‍ය නාටකය වේදිකා ගතවන්නේ.

* ඔබව නරඹන්නන් හඳුනන්නේ නිවේදිකාවක ලෙසයි. එහෙමත් නැත්නම් නර්තන ශිල්පිනියක ලෙස නොවෙයි නේද?

රූපවාහිනි නරඹන්නන් නොදන්නවා වුණත් මා ගැන දන්න අය මා නර්තන ශිල්පිනියක් වග දන්නවා. මා නියැළෙන වෘත්තියත් සමඟ මා නර්තන ශිල්පිනියක ලෙස පෙනී සිටින්නේ නැහැ. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් සේවිකාවක් විදියට කටයුතු කිරීමේදී වෙනත් කටයුතුවල නියැළීමට මට ලැබෙන කාලය බොහොම සීමිතයි. ඒ සීමිත කාලය ඇතුළෙයි මා ජාතික රූපවාහිනියේ කටයුතු කරගෙන යන්නේ.

* ඒ කියන්නේ ඔබට නර්තන කටයුතුවල යෙදීමට කාලය ලැබෙන්නේ නැහැ කියන එක ද?

කාලයක් තිස්සේ මගේ අතින් එවැනි නිර්මාණ කාර්යයක් සිදු නොවුණ නිසයි මෙවැනි නිර්මාණයක් කිරීමට මා සිතුවේ.

* මේ නෘත්‍ය නාටකයක් කිරීමට ඔබට අදහස පහල වන්නේ කෙසේ ද?

විශේෂයෙන් ම ලංකාවේ කථක් ශෛලිය දකින්නට ලැබෙන්නේ නැහැ. ඉන්දියාවේදී ඉගෙන ගන්න කාලයේදීයි මා එවැනි නිර්මාණයක් කිරීමට සිතුවේ. කාලයක පටන් මගේ සිතේ තිබුණු අදහසයි මේ සඵල වන්නේ.

* ඒ සඳහා ‘දස්කොන් ප්‍රමිලා’ ආදර කතාව ම තෝරා ගන්නේ ඇයි?

‘දස්කොන් ප්‍රමිලා’ කතාව ඇහුවාට පස්සේ ඒ ගැන තව තවත් සොයන්න මට සිතුණා. එතැනදියි මේ කතාව කථක් නෘත්‍ය නාටකයකට වඩාත් සුදුසු නොවේද යන්න මට හැඟෙන්නේ. දීලීප අබේසේකරයි මට මෙහි කතා සාරංශය ලබාදෙන්නේ. ඉන්පසුව ඊට අවශ්‍ය සියලු දේ සංවිධානය කරන්න පටන් ගන්නවා.

* කථක් යනුවෙන් හඳුන්වන්නේ කුමක් ද?

කතාවක් පැවසීම යන්නයි. එහිදි ඔවුන් නිතරම සිදු කරන්නේ දෙවියන්ගේ නැත්නම් ආදර කතාවක් ඒ මඟින් පැවසීමයි.

* ඒ නර්තන ශෛලියට අනුවයි මේ නෘත්‍ය නාටකය නිර්මාණය වන්නේ?

ඒ නර්තන ශෛලිය ගැන කල්පනා කරලා බලන විටයි මට සිතුණේ මේ නර්තන ශෛලියට අපේ සංස්කෘතියේ එන කතාවක් කියන්න නොහැකි ද යන්න. ඒ අනුව මා හැමෝම දන්න දස්කොන් ප්‍රමිලා ආදර කතාව තෝරා ගන්නේ.

* දස්කොන් ප්‍රමිලා ආදර කතාව නෘත්‍ය නාටකයක් බවට පත්කිරීමේදී ඔබට එල්ල වුණු අභියෝග මොනවා ද?

කථක් කියන්නේ ඉන්දියානු නර්තන ශෛලියක්. ඒ නර්තන ශෛලිය අපේ වේදිකාවට ගෙන ඒම තරමක් අසීරුයි. ඒ නර්තන ශෛලිය සමඟ ලාංකේය පසුබිම, සංස්කෘතියත් රැක ගන්න උවමනායි. ඒ දෙකේ ම සම්මිශ්‍රණයක් ලෙසයි මේ නෘත්‍ය නාටකය නිර්මාණය වන්නේ. එය නිර්මාණය කිරීම මට බොහෝ අභියෝගයක් වුණා.

* මේ නෘත්‍ය නාටකය සඳහා සංගීතයත් භාවිත කරනවා ද?

මෙහිදි සංගීතය යොදා ගන්නේ නව සැකසුමක් ආකාරයෙන්. ඒ වගේ ම දස්කොන් ප්‍රමිලා කතාවේ එන ගායනාත් ඒ ආකාරයෙන් ම මේ නිර්මාණයට මා යොදා ගන්නවා. ප්‍රමිලාගේ චරිතය ඉදිරිපත් කරන්නේ මමයි. එහි කවි ගායනාත් ගැයුවේ මමමයි.

* ඔබ සමඟ තවත් පිරිසක් නෘත්‍ය නාටකයට සහභාගි වෙනවා ද?

දස්කොන්ගේ චරිතය කරන්නේ නුවන් තීක්ෂණ. මගේ ශිෂ්‍ය - ශිෂ්‍යාවන් වගේ ම ශාස්ත්‍රය හදෑරුව නර්තන ශිල්පීන් පහළොස් දෙනෙකු දායකත්වයෙනුයි මේ ප්‍රසංගය ඉදිරිපත් වන්නේ. නරේන්ද්‍රසිංහ රජතුමා ලෙස දුමිත ගුණවර්ධන සහ ඇදුරා ලෙස සංඛ ප්‍රියදේෂ් චරිත නිරූපණය කරනවා.

* ‘දස්කොන් ප්‍රමිලා’ නෘත්‍ය නාටක ප්‍රසංගය හරහා යම් සද් කාර්යයක් සිදු වෙනවා ද?

මේ ප්‍රසංගය සඳහා මුදල්වලින් නර්තන ශිල්පයට විශේෂ දායකත්වයක් ලබාදුන් නර්තන ආචාර්යවරයකුට යම් මූල්‍යමය ආධාරයක් කිරීමටත්, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රජා සත්කාර ඒකකයටත් යම් පරිත්‍යාගයක් කිරීමටත් මා බලාපොරෙත්තු වෙනවා. එහිදි ඒ ප්‍රජා සත්කාර ඒකකයෙන් කෙරෙන්නේ දුප්පත් ළමයින් වෙනුවෙන් වෙන්වුණු ව්‍යාපෘති ගණනාවක්. ඔවුන්ගේ අධ්‍යාපනය, සෞඛ්‍ය, මානසික සංවර්ධනය, සමාජ සංවර්ධනය වෙනුවෙන් කැප කෙරෙන ඒ කටයුත්තට මා මේ ප්‍රසංගය නරඹන සියල්ලන් ම හවුල් කර ගැනීමට සිතුවා. එවිට ඔවුන්ට මේ ප්‍රසංගයෙන් ලැබෙන සතුට පමණක් නොවෙයි සත්කාර්යයක් කළා කියන සතුටත් ලැබේවි.

* ඔබ නර්තනය හදාරන්නේ කුඩා කාලයේ පටන්ම ද?

ඔව්. ඒත් මා ඒ ලෙවල් කරන්නේ සංගීත විෂයයෙන්. මොන දේ කළත් නර්තනය සම්බන්ධයෙන් උපාධියක් කිරීමටයි ඒ දවස්වල පටන් ම මගේ ආසාව තිබුණේ. ඒ අනුව මා ඉන්දියාවේදී වසර පහක් ශාස්ත්‍රපති උපාධිය දක්වා ම කථක් නර්තන ශෛලිය හදාරනවා. ඒ භාත්ඛණ්ඩේ විශ්වවිද්‍යාලයේ. එහිදි ශාස්ත්‍රවේදී, ශාස්ත්‍රපති උපාධිවලට අමතරව සංගීත නිපුන් කියන උපාධියත් සම්පූර්ණ කරනවා. මගේ බාහිර ගුරුතුමා වුණේ පණ්ඩිත් අර්ජුන් මිශ්‍රායි. ඊට අමතරව මා සංගීතයත් හැදෑරුවා.

* කුඩා කාලයේ දැක්ක හීනය සැබෑ වුණා ද?

කුඩා කාලයේ මගේ සිහිනය වුණේ නර්තනය සම්බන්ධයෙන් කථීකාචාර්යවරියක වීමටයි. ඒ කාරණය මේ වනවිටත් සම්පූර්ණ කරගෙන අවසානයි. මේ වනවිට මා බාහිර කථීකාචාර්යවරියක ලෙසත් ළමයින්ට මගේ දැනුම බෙදා දෙනවා.

* මේ තරම් වෙනත් නර්තන ශෛලි තිබෙද්දි ඔබ කථක් නර්තනය ම තෝරා ගැනීමට විශේෂ හේතුවක් තිබෙනවා ද?

ඒකට හේතුව මගේ පියායි. ඔහු ඉන්දියාවට ගිහින් ගිටාර් වාදනය ඉගෙන ගත්ත කෙනෙක්. කාලයක් ඔහු කථක් නර්තනය දැකලා, හදාරලා තිබුණ කෙනෙක්. තාත්තාට උවමනා වුණා ඔහුට අවසන් කිරීමට නොහැකි වූ දෙය මා ලවා කරවන්න. ඒ අනුව ඔහුයි මාව කථක් නර්තනයට යොමු කරන්නේ.

* මේ සෑම කටයුත්තක් අතරතුර ම ඔබ නිවේදිකාවක බවටත් පත් වෙනවා?

ඕ ලෙවල් කරලා අවසන් කළාට පස්සෙයි මා ජාතික රූපවාහිනියට නිවේදිකාවක ලෙස පිවිසෙන්නේ. ජාතික රූපවාහිනියේ එවකට නිෂ්පාදකවරයකුව සිටියේ දර්ශන පියරත්න මහත්තයායි. ඔහුයි මා මගේ මාධ්‍ය ගුරුවරයා ලෙස සලකන්නේ. ඔහුගේ මග පෙන්වීම යටතේ නුග සෙවණ, ආයුබෝවන්, රූපණ ඇතුළු වැඩසටහන් රාශිකට මා නිවේදනයෙන් සහභාගි වෙනවා. ප්‍රවෘත්ති නිවේදිකාවක බවට පත් වන්නේ 2007 වසරේදියි. එතැන් පටන් අද දක්වා ම මා ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙසයි සේවය කරන්නේ. ඒ වගේම මගේ පියාගේ වැඩිමහල් සොහොයුරා ප්‍රවීණ සිනමාවේදී අමරනාත් ජයතිලකයි.

* ගුවන් සේවා වෘත්තියත් සමඟ ප්‍රවෘත්ති නිවේදන කටයුතු සමබර කර ගන්නේ කුමන ආකාරයෙන් ද?

මූලිකත්වය දී තිබෙන්නේ මගේ වෘත්තියටයි. එහි නිවාඩු ලැබෙන ආකාරයට පැමිණ ප්‍රවෘත්ති නිවේදන කටයුතුවලට මා සහභාගි වෙනවා.