|
සීතල වතුර ප්‍රධාන චරිතයට ස්වර්ණාට ඇරැයුම්
ගුණදාස අමරසේකරගේ 'ගන්ධබ්බ අපදානය' නම් අලුත්ම නවකතාව නිකුත් වී ඇති බව 'දිනමිණ' පත්‍රයේ දැන්වීමක් පළ කර තිබුණි. එහි මිල මගේ මතකය හරි නම් රු. 5.50 කි. අඩු මිලකට අලුත් පොත් මිලදි ගන්නා අපට එය දරිය නොහැකි මිලකි. 'අපි එඩ්මන් මාමට කියමු මේ පොත අපට විභාගයට ඕනෑමයි කියලා' ස්වර්ණා යෝජනා කළාය. එවැනි යෝජනා ඉදිරිපත් කිරීමට ඇයට සුවශේෂී ඥානයක් තිබුණාය. එඩ්මන් මාමා' යැයි කීවේ මගේ පියාටය. මගේ පියා සාහිත්‍යයට, කලාවට ප්‍රිය කළ සහෘදයෙකි. තාත්තාටම අයත් මුද්‍රණාලයක් ගෙදරම තිබුණි. කොළඹ යුගයේ කවීන්ගේ පොතපත මුද්‍රණය වී ඇත්තේ අපේ මුද්‍රණාලයෙනි. තාත්තා ස්වර්ණාටත්, මර්සිටත් දැක්වූයේ තම දියණියනට මෙන්ම ආදරයකි. 'එඩ්මන් මාමේ! 'සිකුරු තරුව' කියලා හොඳ චිත්‍රපටයක් ඇවිත් තියෙනවා' ස්වර්ණා කියන්නේ මර්සිගේ ඉගෙනුම් බහටය. 'එහෙනං සෙනසුරාදා අපේ ළමයි එක්ක යන්න ලෑස්ති වෙනවා. ඒක නෙවෙයි දැන් කෑම කන වෙලාව බත් ටිකක් කාල ඉම්මු' ගේ තුළින් බැදපු කරවල සුවඳක් එයි. මිතුරියෝ ඒවාට ඉව අල්ලති. 'බැහැ මාමේ ගෙදර කෑම ඇති' මර්සි බොරුවට අදිමදි කරන්නීය. තාත්තාගේ බල කිරීම මැද ඔවුන් කෑම මේසයට ඉඳගනිති. මගේ මිතුරන් මෙන්ම මිතුරු මිතුරියන් ද මට වඩා තාත්තාගේ හිතවතුන් වූහ. ආනන්දයේ පන්ති මිතුරු කුලරත්න ආරියවංශ (ප්‍රවීණ ගීත රචක), ප්‍රේමකීර්ති ද අල්විස් (ප්‍රවීණ ගීත රචක) තාත්තාගේ පුංචි මිත්‍රයන්ය. තාත්තාගේ කෑම මේසය මගේ මිතුරියන්ට මිතුරන්ට සැමදා විවෘතය. ස්වර්ණා කෑම මේසයේදී 'විජයබා කොල්ලය' ඇද ගත්තාය. 'එඩ්මන් මාමාගෙන් අපි අහන්නම හිටියේ විජයබා කොල්ලය 'පිසාරෝ' කියන නාට්‍යයේ කොපියක්ද?' 'මොන බොරුද? කවුද කියන්නේ?' 'සරච්චන්ද්‍රගේ 'සිංහල නවකතා' කියන පොතේ ලියලා තියෙනවා' මම කීවෙමි. ඩබ්ලිව්. ඒ. සිල්වාගේ සියලුම පොත් කිහිප වරක්ම කිය වූ පාඨකයෙකු වූ තාත්තාට නූතන සාහිත්‍යය ගැන ද දැනුමක් තිබුණි. 'හොඳයි තමුසෙලා ලබන සඳුදා හවස මෙහෙ එනවකෝ. ඕව ගැන මගේ යාළුවෙක් ඉන්නවා කේ. බී. සුගතදාස කියලා. එයා ආපුහාම ඕක ගැන හොඳට තේරුම් කරල දේවි' තාත්තා කීවේය. 'සුගතදාස මාමා' යැයි අප අමතන කේ. බි. සුගතදාස තාත්තාගේ හොඳම මිත්‍රයෙකි. ඔහු ලේඛකයකු මෙන්ම දක්ෂ පරිවර්තකයෙකි. සඳුදා මිතුරියන් දෙදෙනා අපගේ ගෙදර ආවේය. සුගතදාස මාමා විජයබා කොල්ලයත්, පිසාරොත් ගැන කළ කතාව අසා සිටියේ කුතුහලයෙනි. 'ළමයිනේ, විජයබා කොල්ලය වගේ පොතක් ලියන්න 'පිසාරෝ' ලිව්ව ෂෙරිඩන් ආත්ම හතක් ඉපදෙන්න ඕනෑ' සුගතදාස මාමා කීවේය. 'සුගතදාස මාමා හොඳ ලේඛකයෙක්. එයා පරිවර්තනය කළ 'දේව හස්තය' හරිම රසවත්. එයා ඩබ්ලිව්. ඒ. සිල්වාගේ යාළුවෙක් වෙන්න ඇති. කියන ඒවත් ඇත්ත ඇති. අපි සරච්චන්ද්‍රගේ මතය නොලිව්වොත් විභාගයෙන් ෆේල් වෙනවා' මම කීවෙමි. තාත්තා පොරෙන්දු වූ විදිහට ස්වර්ණාත්, මර්සිත්, මාත්, මගේ නංගිත් 'සිකුරු තරුව' බැලීමට රැගෙන ගියේය. අපි විවේක කාලයේ අයිස් චොක්ස් කෑවෙමු. චිත්‍රපටය බලා එන අතර ස්වර්ණා 'ගන්ධබ්බ අපදානය' ගැන මා සමඟ කතා කළේ තාත්තාට ඇහෙන්නටය. 'අපිට අලුත් පොතක් පිට වෙලා තියනෙවා. ඒක ගත්තොත් ප්‍රයෝජනවත් වෙයි නේද රංජිත්' ස්වර්ණා කීවාය. 'මට හෙට පිටකොටුවට යනවා. මට ලියලා දෙන්න ඒ පොතේ නම' තාත්තා කීවේය. පසුවදා තාත්තා 'ගන්ධබ්බ අපදානය' රැගෙන ආවේය. සවස ස්වර්ණා හා මර්සි පාඩම් කරන තැනට මම 'ගන්ධබ්බ අපදානය' රැගෙන ගියෙමි. ස්වර්ණා එකවරම පොත උදුරා ගත්තාය. 'මමයි එඩ්මන් මාමට කිව්වේ. මම කියවලයි උඹලට බලන්න දෙන්නෙ' කි ස්වර්ණා පාඩම් කළා ඇති. දැන්ම මම මේක බලන්න ගෙදර යන්න ඕනෑ' කියා පාඩම් පොත් රැගෙන යන හැටි අපි මවිතයෙන් බලා සිටියෙමු. අපේ 'පාඩම් සමාජයට' කොස්ගස් හන්දියේම සිටි ස්වර්ණාගේ පන්තියේම කාන්ති කල්‍යාණි අටුගොඩ ද එක් වූවාය. ඇය කොළඹ විශාඛාවේ ශිෂ්‍යාවකි. විශ්වවිද්‍යාලයට ගිය ඇය පසුව විශාඛාවේ ඉගැන්නුවාය. කොස්ගස් හන්දියේ ලොකු යූ. ඇන්. පී අනුගාමිකයා, නායකයා වූ විලියොම් සිංඤෝ (විලියොම් මාමා) දියණියකි. යසවතී, බන්දුල, පියදාස, එම්. එල්. සහබන්දු, ඇම්. ඩී. ඉන්ද්‍රා විජයබා විද්‍යාලයේ ස්වර්ණාගේත්, මර්සිගේත් එකම පන්තියේ මිතුරු මිතුරියන්ය. කමලා යශෝධරා විද්‍යාලයේ ඉගෙන ගත් යුවතියකි. අපි පාඩම් කරන්නේ පොතපත හුවමාරු කරමිනි. විටෙක අපි ගී ගයන්නෙමු. උපන් දිනයකදී අප සැමට ලැබෙන රස කැවිලි ලේන්සු පෙට්ටියක් හෝ කොට්ට උරයක දයාව, කරුණාව, බලාපොරොත්තුව දවටා ගොතා ඇති සොඳුුරු රටාවන් මෙන් අප හද නොකිලිටි හැඟීමෙන් පුරවාලයි. එකල අපි සියලු දෙනාම 'හඳපාන' චිත්‍රපටය බැලිමට අසෝක සිනමාහලට ගියෙමු. ඒ චිත්‍රපටයේ ගීත අපි විටින් විට ගැයුවෙමු. 'ඔබ නැති මේ බිම පාළුයි අඳුරුයි' ඉන්ද්‍රාණි විජේබණ්ඩාර ගැයූ ඒ ගීතය ස්වර්ණා අපූරුවට ගැයුවාය. අපි අත්පුඩි තැළුවෙමු. ඇතැම් දිනක කොස්ගස් හන්දියේ 'අජන්තා භවන්' සයිවර් කඩෙන් ගෙනෙන උළුඳු වඩේ උණු උණුවේ කෙසෙල් කොලේ කෑවේ සහෝදරත්වයෙන් එකටය. ඉන් පසු උණු ප්ලේන්ටී වලින් අපේ දැවිල්ල නිවා ගත්තෙමු. 'හා හා . . . කවුරු ගැනද? ඒ' මර්සි වදේ දැම්මාය. 'දැන් රන්ජිත්ගේ වාරේ. ඔයා අපි අතර ඉන්න එකම පිරිමියා. ෆාරුක් රජ්ජුරුවෝ වගේ ස්වර්ණා තමාටම ආවේණික වූ සුපුරුදු හඬින් සිනාසුණාය. 'ජීව වේදනා හදේ නැඟෙන මගේ ඔබේ හදවතටත් දැනෙනවා' මම මිල්ටන් පෙරේරාගේ එකල ජනප්‍රිය ගීත ගැයුවෙමි. 'උඹ කාටද ඔය සන්දේශය දෙන්නේ' ගීත කෙළවර වූ පසු ස්වර්ණා යළිත් සුපුරුදු හඬින් සිනසුණාය. කොතරම් සොඳුරු අතීතයක්ද? අපි නිරතුරව චිත්‍රපට නැරැඹුවෙමු. ජනප්‍රිය චිත්‍රපට මෙන්ම කලාත්මක ධාරාවේ චිත්‍රපට ද නැරැඹීමට අප මිත්‍ර කණ්ඩායමට ගෙදරින් අවසර ලැබිණ. යටගිය දවස, සුජාගේ රහස මෙන්ම ගම්පෙරළිය, සාරවිට, දෙලොවක් අතර ද මේ අතර විය. මේ කිසි දිනෙක ස්වර්ණාට චිත්‍රපටයක රඟපෑමට ආසාවක් නොතිබුණාය. 'සුජාතා' හා 'බන්දනී' හින්දි චිත්‍රපට නැරඹූ දා නූුටාන්ගේ රඟපෑම ඇය අගය කොට කතා කළා මතකය. අපි බැලූ ඉෂාරා, බ්‍රහ්මචාරි, සාති, අර්සු හින්දි චිත්‍රපටවල නිසරුකම ගැන මෙන්ම ඉධභදඤ ධට ර්භඵඪජ හා ච්ධජබධප ඛඩඪමචඨධ බලා ඒවායේ අපූර්වත්වය කතා කළෙමු. ස්වර්ණාගේ වීරයන් වූයේ මාර්ටින් වික්‍රමසිංහ, ගුණදාස අමරසේකර, කේ. ජයතිලක, සිරි ගුණසිංහ, මහගම සේකර සහ සරච්චන්ද්‍රය. ටෝල්ස්ටෝයි, චෙකොෆ්, ඩොස්ටව්ස්කි, පුෂ්කින්, ටර්ගිනිෆ්, ගෝර්කිගේ කතා ඇය අගය කළාය. එකල නිකුත් වූ පද්ම හර්ෂ කුරණගේ පරිවර්තනය කළ 'රුසියන් කෙටි කතා' පොත ඇය වාර ගණනක් කිය වූ බව මම දනිමි. එම පොතේ නිමාව ගැන කතා කළ අපි එයට පිටකවරයක් දමා රැක ගත්තෙමු. තමා ප්‍රිය කළ ලේඛකයන් ජීවමනාව දැකීමට අප සියලු දෙනාම නොතිත් ආසාවෙන් සිටියෙමු. පත්‍ර කලාවේදියකු වූ ධර්ම ශ්‍රී කල්දේරා තම ප්‍රථම චිත්‍රපට තිර නාටකය ලිව්වේ අපේ නිවසේදීය. තාත්තාගේ හා මාමාගේ මිතුරෙකු වූ ඔහු දිනක් ස්වර්ණා අපේ ගෙදර පැමිණි දිනක මෙසේ ඇසුවේය. 'ඔයා කැමති නැද්ද හොඳ චිත්‍රපටයක රඟපාන්න. මම ලියන තිර නාටකයේ ප්‍රධාන චරිතයට?' කල්දේරා ලියමින් සිටියේ 'සීතල වතුර' චිත්‍රපට කතාවය. 'අනේ විහිළු කරන්න එපා, මම නිළියකට ගැළපෙන්නෙ නෑ' 'ඔයා මගේ කතා පිටපත කියවන්කෝ, ඊට පස්සේ හිතන්නකෝ' 'පිටපත කියවන්න නම් ආසයි' පිටපත කිය වූ ස්වර්ණා එය භාර දුන්නේය. 'හොඳම චිත්‍රපට කතාවක්. මේකට හොඳ පුණ්‍යාව' කියමිනි. 'පුණ්‍යා විවාහ වෙන්න යනවලු. මීට පස්සෙ රඟපාන්නේ නෑ කිව්වා. එයාව 'දෙයියන්නේ රටේ' ෆිල්ම් එකට තෝරා ගත්තෙත් මම' කල්දේරා කීවේය. මේ වන විට ඇය ඉගෙනීමට තිබූ දක්ෂතා නිසා උසස් පෙළ කිරීමට කොළඹ කින්සි පාරේ පිහිටි යශෝදරා බාලිකා විද්‍යාලයට ගියාය. එහෙත්, අපේ මිතුරු සමාජය අමතක නොකළාය. සිනමා නිළියක් ලෙස ඇයට මුල්ම අවස්ථාව ලැබුණේ 'සීතල වතුර' චිත්‍රපටයෙනි. 1966 වසරේ බුලර්ස් පාරේ, බෞද්ධ කාන්තා සමිති සම්මේලනයේ පැවති සිනමා සම්මේලනයට ස්වර්ණාත් මමත් සහභාගි වූයේ විශේෂයෙන්ම අප අගය කළ, දැකීමට ප්‍රිය කළ කලාකරුවන් ලේඛකයන් ජීවමානව දැක ගැනීමටය. ලෙස්ටර් ජේම්ස් පීරිස්, පී. කේ. ඩී. සෙනෙවිරත්න, මහගම සේකර, හෙන්රි ජයසේන, ටයිටස් තොටවත්ත, ප්‍රේමසිරි කේමදාස, සුමිත්ත අමරසිංහ, ජයවිලාල් විලේගොඩ එහි දේශන පැවැත් වූහ. එහිදී බෙදා දුන් දේශන පිටපත් අපි මිත්‍ර සමාජයේ කියවීමු. දිනක් 'විසිතුර' පුවත්පතේ දැන්වීමක් පළ කර තිබුණි. සිරි ගුණසිංහ අධ්‍යක්ෂණය කරන චිත්‍රපටයකට නිළියක් අවශ්‍ය බව එයින් කියවිණ. එකල විසිතුර අපේ සිනමාව ගැන දැනුම පුළුල් කළ විශ්වකෝෂයක් විය. සිරිල් බී. පෙරේරා, තිස්ස අබේසේකර, ලෙස්ලි බොතේජු, අමරනාත් ජයතිලක, ඔගස්ටස් විනයාගරත්නම්, සුගතපාල ද සිල්වා ආදීන් ලියූ සිනමා ලිපි විචාර කිය වූ ස්වර්ණාත්, මාත් රැලෙක්ස් රණසිංහගේ අසම්මත ශෛලියේ ඡායාරූප ගැන පැහැදී සිටියෙමු. 'ඔන්න සිරි ගුණසිංහ දැකගන්න අවස්ථාවක් ලැබිල තියෙනවා. මම මේකට ඉල්ලුම් පත්‍රයක් දානවා' ස්වර්ණා පැවසුවාය. 'සමහර විට විහිළුවට කරන වැඩෙන් ඔයාව තේරෙන්නත් පුළුවන්' මම කීවෙමි. අසවල් දිනයේ අසවල් වේලාවට එන්න යැයි ස්වර්ණා නමට ලිපියක් ලැබිණ. 'හොඳයි මං යනවා සිරි ගුණසිංහ බලන්න. මම ගිහින් අහනවා එයගේ හෙවනැල්ලේ දෙවන කොටස ලියන්නේ නැත්තේ ඇයි කියලා' ස්වර්ණා නව පණක් ලැබුවා සේ නැගිට්ටාය. සිරි ගුණසිංහගේ 'මස් ලේ නැති ඇට', 'අබිනික්මන' නිසදැස් සංග්‍රහවල ඇතැම් කවි ඇයට කට පාඩම්ය. ස්වර්ණාට ඉගෙනීමට තිබූ සුවිශේෂ හැකියාව තේරුම් ගෙන තිබූ විජයබා විද්‍යාලයේ විදුහල්පති කේ. පී. වික්‍රමාරච්චි මහතාට ලැබුණු ආරංචියක් නිසා ඇය කාර්යාලයට කැඳ වීය. 'මේ දරුවට තවම වයස 17 යි. චිත්‍රපටයක රඟපාන්න යනවා කියලා මට තොරතුරු ලැබුණා. ඉගෙනීම කඩාකප්පල් කරගන්න එපා' 'නෑ ලොකු සර්, මම යන්නේ මගේ ප්‍රියතම ලේඛකයා දැකගන්න විතරයි' 'එහෙනං කමක් නෑ' නියමිත දිනට වෝඩ් පෙදෙසේ අංක 50/1 ස්ථානයට ගිය ස්වර්ණා, නියමිත වේලාවට සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් වූවාය. එහිදී ඇයට සිරි ගුණසිංහ හා නිහාල්සිංහ දැකගගන්ට ලැබිණ. පුදුමය නම් කොස්ගස් හන්දියේ අපේ මිතුරිය සියලු අයැදුම්කාරියන් පරදා මුල්තැන ගැනීමය. මේ කාලයේ ආනන්දයේ සිසුන් 'යළිත් වසන්තය' නමින් වෘත්තාන්ත චිත්‍රපටයක් නිර්මාණය කිරීමට සැලසුම් කළේය. එහි ප්‍රධාන චරිතය සඳහා මම ස්වර්ණාගේ නම යෝජනා කළෙමි. ඒ වන විට 'සත් සමුදුර' වැඩ ආරම්භ කළා පමණි. මා කලා අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ 'යළිත් වසන්තය' චිත්‍රපටයේ නම 'නිම්වළල්ල' නමින් නම වෙනස් කොට අපි වැඩ පටන් ගතිමු. ශ්‍රී ලංකාවේ පාසල් සිසුන් තැනූ ප්‍රථම වෘත්තාන්ත චිත්‍රපටය වූ 'නිම්වළල්ල' ප්‍රධාන නළු නිළි යුවළ (ස්වර්ණා හා නිශ්ශංක අමරසිංහ) තෝරා ගත්තේ මගේ යෝජනාවක් පරිදිය. ස්වර්ණා මෙන්ම නිශ්ශංක ද කොස්ගස් හන්දියේම නිෂ්පාදනයකි. අපේ මිත්‍රත්වයට දැන් පනස් හතර වසරක ඉතිහාසයක් ඇත. මා සිනමා පුවත්පත් කලාවට යොමු වී වසර 50 ති. එදා මෙදාතුර ප්‍රතිභාපූර්ණ නිළියන් රැසකගේ විශිෂ්ට රංගන ලීලාවන් මා දැක ඇත. එහෙත්, මා අගය කරන නිළිය නම් අපේ ගමේ කොස්ගස් හන්දියේ අපේ ස්වර්ණාම මිස වෙන කවුරුන්ද? |