වර්ෂ 2016 ක්වූ ජනවාරි 26 වැනිදා බ්‍රහස්පතින්දා




“Dolby Atmos” හැදුවත් ශාලා නැත්නම් “Mono”

“Dolby Atmos” හැදුවත් ශාලා නැත්නම් “Mono

හොඳම ශබ්ද පරිපාලක අරුණ ප්‍රියන්ත කළුආරච්චි

චිත්‍රපටයේ ආරම්භයේ සිට කූටප්‍රාප්තිය තෙක් සියුම් සේ දිවෙන ශ්‍රව්‍ය සංකලනයෙහි සමබරතාව මැනවින් හසුරුවා ගැනීම උදෙසා 2016 සරසවිය සම්මාන උලෙළේ හොඳම ශබ්ද සැලසුම් ශිල්පියාට හිමි සම්මානය පිරිනැමෙන්නේ මහරජ ගැමුණු චිත්‍රපටයේ ශබ්ද සැලසුම් ශිල්පී අරුණ ප්‍රියන්ත කළුආරච්චි යනුවෙන් හේතු පාඨය කියැවිණි. තිස් තුන් වැනි සරසවිය සම්මාන උලෙළේ ඔහු හොඳම ශබ්ද සැලසුම් ශිල්පියා ලෙසින් සම්මානයට පාත්‍ර වූයේ එපරිද්දෙනි. හෝගානා පොකුණ ශෂික රුවන් මාරසිංහ, ඔබ නැතුව ඔබ එක්ක ටපාස් නායක් හා සම්මාන උලෙළේ නිර්දේශිත නාමයන් අතරට එක් වූ මහරජ ගැමුණු චිත්‍රපටයේ අරුණ ප්‍රියන්ත කළුආරච්චි ජූරියේ නිගමනයන් පරිද්දෙන් හොඳම ශබ්ද සැලසුම් ශිල්පියා ලෙසින් තිස්තුන් වෙනි සරසවිය සම්මාන උලෙළේ ඉතිහාසයට එක් විය. මේ ඔහු සමඟ කෙරෙන සංවාදාත්මක කතාබහකි.

* ශබ්ද පරිපාලකයෙක් ලෙසින් ඔබ සිනමා කෂේත්‍රයට අවතීර්ණ වන්නේ?

1993 මුලින්ම මම ස්විඩිෂ් ට්‍රේඩින් ආයතනයේ වසර හතරක් පුරා ඕඩියෝ ශිල්පියෙක් ලෙස වැඩ කළා. ඊට පස්සේ ටී වී ටී ආයතනයට මම සහය ඩිජිටල් ශබ්ද පරිපාලකයෙක් ලෙසින් සම්බන්ධ වුණා. ඒ තමයි මගේ මේ ගමන් මඟේ ඇරැඹුම.

* මේ වෙන කොට ඔබේ දායකත්වය එක් වූ චිත්‍රපට කොපමණ ප්‍රමාණයක් ඇද්ද?

චිත්‍රපට හතළිහක් විතර. ඉනි අවන්, සිරි පැරකුම්, සිරි රජ සිරි, විසි අට, මාතා, කුසපබා, මහරජ ගැමුණු, බඹර වලල්ල, සමනල සංධ්වනිය, ප්‍රවේගය, දළදාගමනය, මහින්දාගමනය ආදී චිත්‍රපට විශාල ප්‍රමාණයක් ඒ අතර ප්‍රධාන වෙනවා.

* සම්මානනීය ඇගැයුම් ලැබූ ශබ්ද පරිපාලකයෙක් ලෙසින් මේ තාක් ගමනක් එන්නට ඔබට මාර්ගය සැකසෙන්නේ කොහොමද?

මම අකුරුගොඩ සේනානි කණිෂ්ඨ විද්‍යාලයෙන්, මාතර මහාමන්තින්ද පිරිවෙනේත් ඉගෙනුම ලැබුවා. කුඩා කළ පටන් මම ඉලෙක්ට්‍රොනික් ශිල්පයට ලොකු ආශාවක් දැක්වූවා. මේ ආශාව නිසාම මම පාසල් අධ්‍යාපනයෙන් පස්සෙත් මේ ආශාව පස්සේම තව තවත් ඉදිරියට ගියා. මගේ සහෝදරයෙක්ගේ යාළුවෙක් හිටියා රුවන් පතිරණ කියලා. එයත් මගේ හැකියාවන් ගැන හොඳින් දැනගෙන හිටියා. එයා තමයි මාව කොළඹ ගෙනාවේ. ස්විඩිෂ් ට්‍රේඩින් එකේ ඕඩියෝ ශිල්පියෙක් ලෙස වැඩ කරන්න ලැබුණෙත් රවීන්ද්‍ර ගුරුගේ මහත්තයාව හඳුනාගන්න ලැබුණෙත් රුවන් පතිරණ නිසා. රවීන්ද්‍ර ගුරුගේ මහත්තයා සමඟ වැඩ කරන්න ලැබුණාට පස්සේ ඔහු මට ආරාධනා කළා ටී වී ටී ආයතනයට සම්බන්ධ වෙන්න. ඒ අනුව මම මුලින්ම සහය ශබ්ද පරිපාලකයෙක් ලෙසින් ටී වී ටී ආයතනයට එක් වුණා. ඒ වෙන කොට එම ආයතනයේ ප්‍රධාන ශබ්ද පරිපාලක වුණේ කාලිංග ගිහාන් පෙරේරා. ඔහු යටතේ මම කාලයක් සහය ශබ්ද පරිපාලකවරයෙක් ලෙස කටයුතු කළා. කාලිංග මහතා ආයතනයෙන් ඉවත්ව යාමත් සමඟ මට ටී වී ටී ආයතනයේ ප්‍රධාන ශබ්ද පරිපාලකවීමේ භාග්‍යය ලැබුණා.

* සහය ශබ්ද පරිපාලකයෙක් ලෙස ඔබේ මුල්ම සිනමා දායකත්වය?

සුළං කිරිල්ලී චිත්‍රපටය. ඩිජිටල් සහාය ශබ්ද පරිපාලකයෙක් ලෙස මම දායක වන මුල්ම සිනමා කෘතිය ඒ. ඊට පස්සේ චිත්‍රපට දහයක විතර මම සහාය ශිල්පියා ලෙසින් කටයුතු කරනවා.

* ප්‍රධාන ශබ්ද පරිපාලක භුමිකාවට ඔබ උරුම කියන්නේ?

බඹර වලල්ල චිත්‍රපටයත් සමඟ.

* හොඳම ශබ්ද පරිපාලක ලෙසින් සම්මාන දහරාවට ඔබ ප්‍රවිෂ්ට වන්නෙත් බඹර වලල්ල සිනමා කෘතියෙන්?

බඹර වලල්ල මටත් සම්මාන ගේන බඹර වලල්ලක් වුණා කිව්වොත් හරි.

මේ වෙන කොට මම හොඳම ශබ්ද පරිපාලක ලෙසින් සිග්නීස් සම්මාන උලෙළේ තුන් වතාවක් සම්මානයට පාත්‍ර වී තියෙනවා. බඹර වලල්ල, කුස පබා, සමනළ සංධ්වනිය සිනමා කෘති වෙනුවෙන්. ඒ වගේම ස්කයි එන්ටට්‍රේඩ්න් සංවිධානය කළ ලංකා ලයිව් ෆිල්ම් එවෝඩ් සම්මාන උලෙළේ සමනල සංධ්වනිය චිත්‍රපටය සඳහා හොඳම ශබ්ද පරිපාලක ලෙසින් සම්මාන ලැබුවා.

* මේ වන විට ඔබ සම්මානනීය අධ්‍යක්ෂවරුන් බොහොමයකගේ සිනමා කෘති සඳහා දායක වී තිබෙනවා?

අශෝක හඳගම, ප්‍රසන්න ජයකොඩි, සෝමරත්න දිසානායක, ජයන්ත චන්ද්‍රසිරි, ඉමෝකා සත්‍යාංගනී වගේම නවක අධ්‍යක්ෂවරුන් වන සමීර නාඔටුන්න, විමුක්ති ජයසුන්දර, ප්‍රියන්ත කළුආරච්චි, චින්තන ධර්මදාස වගේ නවකයන්ගේ සිනමා නිර්මාණයන් වෙනුවෙනුත් මගේ දායකත්වය එක් කරලා තියෙනවා.

* ඔබේ ශබ්ද පරිපාලනයෙන් එක් වූ තවත් සිනමා කෘති ඉදිරියේ තිරගත වෙන්න තියෙනවාද?

ප්‍රසන්න ජයකොඩිගේ 28, සරත් ධර්මසිරිගේ සූවිසි විවරණ, සුමිත්‍රා පීරිස්ගේ වෛෂ්නාවි, නලින් මාපිටියගේ තානාපතිලාගේ නිවස, සංජීව පුෂ්පකුමාරගේ දැවෙන විහඟුන්, සිරස නිෂ්පාදනයක් වු ධර්ම යුද්ධය, බෙනට් රත්නායකගේ නෙලා ඒ අතරින් කීපයක්.

* සරසවිය සම්මානයකට පාත්‍රවීම කලාකරුවකු ලබන දුර්ලභ භාග්‍යයක් කොටයි ක්ෂේත්‍රයේ කා තුළත් මතයක් ගොඩ නැඟී තියෙන්නේ. සම්මාන උලෙළට පෙර පටන් ඔබ තුළ සම්මානයක බලාපොරොත්තුවක් සිත තුළ තිබුණාද?

එහෙම දෙයක් තිබුණා. කොච්චර සම්මාන ලැබුණත් වැඩක් නැහැ. සරසවිය සම්මානයක් නැතුව කියල මා තුළත් අදහසක් තිබුණා. එදා සම්මාන උලෙළට පැමිණියෙත් සම්මානයක් බලාපොරොත්තුව ඇතුව. නිර්දේශිත නාමාවලියට මම කොහොමත් ඉඳියි කියලා මට කල්තියාම හිතිලයි තිබුණේ. විශේෂයෙන් මම මහරජ ගැමුණු චිත්‍රපටයේ අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි මහත්තයාට වගේම රවීන්ද්‍ර ගුරුගේ මහත්තයාට ස්තූතිවන්ත වෙනවා මට මෙවැනි නිර්මාණයක ශබ්ද පරිපාලනය භාර දීම ගැන. මම යම් අයුරකින් ඇගැයීමක් ලැබුව නම් එහි ගෞරවය මේ දෙපලට වගේම මාත් සමඟ මේ කටයුත්තේදී මේ සඳහා දායක වූ සියලු ශිල්පීන්ටත් එය හිමි විය යුතුයි.

* ශබ්ද පරිපාලනයේ ඔබේ භූමිකාව කොයි වගේද?

යම් කිසි රූප රාමුවකට පණ දෙන්නේ ශබ්දය. ඒ ශබ්දය ඒ රූප රාමුවට අනුව සියයට සියයක් ගැලපිය යුතුයි. අපි චිත්‍රපටයට ශබ්දය ඇතුල් කරන්නේ වෙන වෙනම. කොටින්ම කියන්න තියෙන්නේ මගෙ අතට එන්නේ ශබ්දයක් නැති වීඩියෝවක් විතරයි. ඒ ශබ්දය නැති වීඩියෝවට පණ දෙන්නේ මම කිව්වොත් හරි. මට මතකයි උදේ ඉඳලා රෑ දෙගොඩ හරිය වෙනකන් අපි දවස් විස්සක් විතර මහන්සි වුණා මහ රජ ගැමුණුට පණ දෙන්න. ඒ කෘතියට ලැබුණු පණ කෙතරම් ජීවමාන ද කියලා මේ සරසවිය සම්මානය ඔප්පු කරලා පෙන්නුවා.

* ඉදිරියටත් ඔබේ බලාපොරාත්තුව ශබ්ද පරිපාලනයෙන් ඉදිරියට යන්නද?

අද තියෙන්නේ ඩිජිටල් යුගයක්. මගේ ආරම්භය මැනුවල් යුගය. අද විශාල තාක්ෂණික පරිවර්තනයක් මේ ක්ෂේත්‍රයේ සිදු වෙලා තියෙනවා. අපට ඉගෙන ගෙන අවසන් කරන්න පුළුවන් දෙයක් නොවෙයි. 5.1, 7.1 දක්වා ශබ්ද පත නවීකරණය වන විට අද ලෝකය ඩොල්බි ඇට්මොස් නැමැති සුපිරි ශබ්ද තාක්ෂණයේ ප්‍රතිපල අත්විඳින්න පටන් අරන්.

* ඔබ කියනවා මේ ලබන සම්මාන ඔබේ ඉදිරි ගමනට ලොකු ශක්තියක් කියලා?

අපි මේ ක්ෂේත්‍රයේ දැනුම ලබන්නේ අත්දැකීම් සමඟ. යම් නිර්මාණයක් කරන්න කරන්න අපිට අත්දැකීම් ලැබෙනවා. ඒ අත්දැකීම් සමඟ අපිත් දිනෙන් දින අප්ඩේට් වෙනවා. ඒ ලබන අත්දැකීම දැනුම මේ අයුරින් සම්මානයකින් ඇගැයීම අපිව තව තවත් දිරිමත් කරනවා. විශේෂයෙන් මේ වෙලාවේ කියන්න ඕනෑ මගේ සහාය ශබ්ද පරිපාලක වශයෙන් කටයුතු කරන පුබුදු ධනංජය වගේම ස්වභාවික ශබ්ද කෘතිමව අපිට නිර්මාණය කොට දෙන ඩබ්ලිව්. ඩී. පොඩිරත්න මට මේ ලබන ජයග්‍රහණවලට යෝධ ශක්තියක් වී තියෙනවා කියන එක.

* ශබ්ද පරිපාලනයෙන් ඔබ සිනමා කෘතියට ජීවයක් එක් කළත් එය තිරගතවීමේදී ඒ ජීව ගුණය ප්‍රේක්ෂකයාට අත්විඳින්න ලැබෙනවාද කියලා ප්‍රශ්නයක් තියෙනවා නේද?

අපි කොච්චර හොඳ ශබ්ද පටයක් හදලා කෘතිය නිර්මාණය කළත් වැඩක් නැහැ. චිත්‍රපටය පෙන්වන හෝල්වල තාක්ෂණය දියුණු නැත්නම්. අපි දියුණු තාක්ෂණයෙන් නිර්මාණයට පණ දුන්න නම් ඒ පණ දිගටම නිර්මාණයේ රැඳිලා ප්‍රේක්ෂකයාට ආශ්වාදයක් එක් කරන්න නම් අනිවාර්යෙන්ම අපේ චිත්‍රපට හෝල් සියල්ල අද කාලයේ තාක්ෂණයට නවීකරණය විය යුතුමයි. යල් පැනගිය තාක්ෂණය තුළ අපේ සිනමා ශාලා හිමියන් තවදුරටත් රැඳිලා හිටියොත් අපි කරන නිර්මාණවලින් වැඩකුත් නැහැ. ප්‍රේක්ෂකයාට අත්වන වින්දනයේ වැඩකුත් නැහැ.

* අරුණ කොහොමද ඔබේ ගම් බිම් වගේම පවුලේ තොරතුරුත්?

මම දකුණු පළාතේ මාතර ජීවත්වන පුද්ගලයෙක්. කොළඹ නවාතැන් ගෙන තමයි රැකියාව කරන්නේ. මගේ බිරිය චම්පිකා කෝරලගොඩගේ. දුව විහස්නා සනුත්මි, පුතා සනුල් මින්සර. දරුවෝ තාම පාසල් යනවා.

* ලිපිනය වගේම දුරකථන අංකයත් මතක් කළොත්?

පිය සෙවන, අකුරුගොඩ , සුල්තානගොඩ, මාතර.

දු: අ: 071-1945324.