වර්ෂ 2016 ක්වූ ජනවාරි 26 වැනිදා බ්‍රහස්පතින්දා




එම්. ජී. ආර්.ට 100 යි

එම්. ජී. ආර්.ට 100 යි

එම්.ජී.ආර්. එදා විජයට දුන් පොරොන්දුව

දිනේෂ් ප්‍රියසාද්ගේ වැලපිල්ලකින් හෙළිවේ

අතිශය ජනප්‍රියත්වයට පත් වූ දකුණු ඉන්දීය සිනමාවේ මහා නළු ආචාර්ය එම්. ජී. රාමචන්ද්‍රන් පිළිබඳ මෙවන් සටහනක් තැබීමට තරම් සිත් පහළ වූයේ අද ඊයේ නොව, මීට බොහෝ කලකට පෙරය.

2017 ජනවාරි මස 17 වන දිනට යෙදෙන දකුණු ඉන්දීය සිනමාවේ 'මක්කල් තිලකම්' හෙවත් 'ජනතාවගේ තිලකය' නමින් මුද්‍රාව ලත් එම්. ජී. රාමචන්ද්‍රන් ගේ සියවෙනි ජන්ම දිනය වෙනුවෙන් 'MGR 100'යනුවෙන් කෙටි ලිපියක් වශයෙන් හෝ මෙසේ ලියා පළ කිරීමට, සරසවියට දුන් අවකාශයට බෙහෙවින්ම කෘතඥතාවය පළ කරන අතර - හරියටම අවුරුදු හතලිහක මාගේ අති සාර්ථක සිනමා ජීවිතය අභියස ආචාර්ය එම්. ජී. රාමචන්ද්‍රන්ට ආචාරය පුද කරමින් දක්වන ප්‍රත්‍යෝපකාරයයි මේ.

කේරලයේ - වඩාවන්නූර් පලක්කාඩ් දිස්ත්‍රික්කයේ උපන්, මලයාලම් ජාතික මෙලක්කාත් ගෝපලන් මෙනන් (MGM) නැමැත්තා 1903 දී තම රට අතැර ලංකාදීපයට සැපත් වූයේ මෙරට ස්ථිර පදිංචිකරුවෙකු ලෙස වාසය කිරීමටය.

හිරු නොබසින අධිරාජයාට යටත් වූ ලංකාව නැමැති රටේ, කන්ද උඩරට මහනුවර දිස්ත්‍රික්කයට අයත් නාවලපිටිය ග්‍රාමීය පරිසරයේ වතුකරයක පදිංචිව සිටි දෙමළ ජාතික මාරතා සත්‍යභාමා නැමැත්තිය සමඟ මෙලක්කාත් ගෝපලන් මෙනන් විවාහ දිවියට ඇතුළු විය. ඔවුන් දෙපළ ලද පළමු දරු සම්පත අප කතානායක මර්ත්තූර් ගෝපලන් රාමචන්ද්‍රන් හෙවත් MGRය. දෙවෙනි දරුවා ර්.ට්. චක්‍රපානි හෙවත් එම්. ජී. ආර් ගේ එකම සහෝදරයාය.

මෙලක්කාත් ගෝපලන් මෙනන් ඉංග්‍රීසි පාලන සමයේ අධිකරණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී තම ජීවනෝපාය පවත්වා ගනිමින් දරු දෙදෙනා ද බිරිඳ ද රැක බලා ගත්හ.

පුංචි රාමචන්ද්‍රන් හා චක්‍රපානි යන දෙසොහොයුරන්ගේ ළමා විය ඉක්මවා යෑමටත් පෙර තම පියාණන් මෙලොව අතැර ගිය බැවින් කුඩා සොහොයුරන් දෙදෙනාත්, මවත් නොසිතූ විරූ ලෙස අඟ හිඟකම් පිටාර ගලන, කඨෝර ජීවිතයකට ඇද දමන ලදී.

දෛවය අපට සරදම් කරනවා මෙන්ම, දෛවය විසින් යහමඟ පෙන්වා දෙන වාර ද අනන්තය, අප්‍රමාණය. 1929 වසර එවන් වූ කාල පරිච්ඡේදයකි. සර් හර්බට් ජේ. ස්ටැන්ලි නම් ඉංග්‍රීසි රාජ්‍ය පාලකයාගේ පාලන කාලය තුළ වතුකරයේ ද්‍රවිඩ ජාතික අතිරික්තය මෙරටින් පිටිවහල් කිරීමට අණසක පතුරවමින් කටයුතු යෙදීය. එහි අහඹු වාසිය ලබාගත් මාරතා සත්‍යභාමා මහත්මිය තම දරු දෙදෙනා වන 'ලංකා පුත්‍ර' ර්.ට්.රාමචන්ද්‍රන් සහ ර්.ට්.චක්‍රපානි ද කැටුව නැව් නැඟීමට ඉටා ගත්තාය.

තම මවගේත් පියාගේත් ගම - රට බලා පිටත් වීමෙන් නෑදෑයින් හඳුනා ගන්නට ඇත්නම් එය කෙතරම් අගනේදැයි යන්න කුඩා රාමචන්ද්‍රන්ටත් - චක්‍රපානිටත් හිතෙන්නට ඇත. මේ සියල්ල දෛවය විසින් මෙහෙය වූ ආකාරය අතිශයින්ම පුදුම සහගතය.

මාරතා විසින් මදුරාසියේදී පාසල් අධ්‍යාපනයට යොමු කළ කුඩා රාමචන්ද්‍රන් සහ චක්‍රපානි යන දරු දෙදෙනා 'නවාබ් රාජමානික්කම්' නාට්‍ය කණ්ඩායමට ද ඇතුළත් කරනු ලැබුවේ තම දරුවන් තුළ කලාව කෙරෙහි පවතින නිසඟ හැකියාව ඔපමට්ටම් කිරීම මුලික කරුණ බවට ඉලක්ක කරමිනි.

ඉහ-කර ඇදුණු රාමචන්ද්‍රන් තරුණයා වයස අවුරුදු 17 දී තම මවගේ ආශිර්වාදයෙන්ම 1935 තිරගත කරන ලද 'සදී ලීලාවතී' චිත්‍රපටයෙන් ජනතාව අතරට පැමිණියේ ඉතා සුළු චරිතයකට දායකත්වය සපයමිනි.

1936 වසරේ තිරගත වූ 'ඉරු සහෝදරගල්' සිනමාපටයේත් ඉන් අනතුරුව නොකඩවා සිනමා චරිත සඳහා ඔහු ආරාධනා ලැබීමට තරම් වාසනාවන්ත වූයේ ඔහු තුළ පැවති දක්ෂතාවය දුටු - නිෂ්පාදක අධ්‍යක්ෂවරුන් අභියස MGR සල්ලි මවන යන්ත්‍රයක් වූ බැවිනි.

එවන් වූ මුල් යුගයේ චිත්‍රපටවල MGR ගේ පෙම්වතිය ලෙසින් රංගන දායකත්වය සැපයූවේ ජයලලිතා ජයරාම් ඉපදීමටත් පෙර ඇයගේ මව වන සන්ධ්‍යා විසින්ය. 1948 පෙබරවාරි 24 වනදා උපන් ජයලිලතා ජයරාම් කුඩා දැරිවියක් ලෙසින් තම මව සමඟ චිත්‍රාගාරවල සැරිසැරීමෙන් කුඩා ජයලලිතාට සිනමා ලෝකයම තම ජීවිතයේ පාරාදීසයක් ලෙසින් බද්ධ වන්නට ඇති බව පැහැදිලිය. එය ද තවත් දීර්ඝ කතාන්තරයකි.

එම්. ජී. ආර්. ගේ සිනමාගමනය - 50 දශකය ඉක්ම වන්නට පෙර ඉන්දියාව පුරාවටත්, ලංකාවේත් අස්සක් මුල්ලක් නෑර එම්. ජී. ආර්. නාමය අතිශය ජනප්‍රියත්වයට පත් විය.

ඔහු දෙවරක් ශ්‍රී ලංකාවට සැපත් වූයේය. පළමුවර 50 දශකයේ මුල් භාගයේ දීය. එවර රාමචන්ද්‍රන් කෙළින්ම ගියේ නාවලපිටිය ප්‍රදේශයටය. එහි ජනතාව මහත් හරසරින් රාමචන්ද්‍රන් පිළිගනු ලැබුවේ ඒ මොහොතේ එතුමා ජනතාවට හිතැත්තෙකු මෙන්ම නැඟී එන සිනමා වීරයකු ලෙස හැඟුණු බැවින්ය.

එහෙත් එම්. ජී. ආර්.ගේ ලංකා ගමනේ අරමුණ සපුරා වෙනස්ය. කුඩා කල පීඩිත ජීවිතයක් ගත කරමින් ලංකාවේ තමන් පදිංචිව සිටි නිවසේ - නිවැස් හිමියා සොයාගත් ඔහු ලංකාවෙන් පිටමං වන මොහොත වනවිට තම මව විසින් ගෙවීමට හිඟව පැවති සය මසක ගෙවල් කුලී මුදල ගෙහිමියා අත තබනලද්දේ පොලී මුදල ද සහිතවය.

තම නිවසේ කුඩා අවදියේ දී ජීවත් වූ දරුවා - වත්මන් MGR මද යන්න ගෙහිමියා මොහොතකට හෝ සිතන්නට ඇත. එහෙත් එහි අතුරු ඵලය වූයේ ගෙහිමියා එම මුදල් ප්‍රතික්ෂේප කළ බවත් - ප්‍රදේශයේ ජනතාව පල්ලි, පන්සල්, කෝවිල්වල MGR ට සෙත්පතා පුද පූජා පැවැත්වීමයි. ඒ බව අදටත් හැටන් - නාවලපිටිය සහ මහනුවර දෙමළ ජනතාව අතර ජනවහරෙන් පැවත එන ප්‍රචලිත කතාන්තරවලින් කියැවෙයි.

දෙවෙනි වර ඔහු මෙරටට පැමිණියේ 1965 දී අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක මැතිඳුන්ගේ ආරාධනාවක් පරිදිය. ඒ මොහොතේ රාමචන්ද්‍රන් තම උප්පැන්න සහතිකයේ පිටපතක් ද රැගෙන ගිය බව කියැවෙයි.

1935 දී ඇරැඹුණු අති සාර්ථක MGR චරිත මවන සිනමා චාරිකාවේදී චිත්‍රපට 135 ක් වෙනුවෙන් තම රංගන දායකත්වය ලබාදීමෙන් අනතුරුව 1984 න් පසු සිනමා ජීවිතයෙන් පමණක් සමුගත්තේ තමා වෙත දරුණු ලෙස එල්ල වූ වකුගඩු ආබාධය හේතුවෙනි.

ශ්‍රී ලාංකේය පුරවැසියෙකු වශයෙන් ඉපිද, මදුරාසි සිනමාවේ ජයකෙහෙළි නංවා මුළු මහත් ආසියාව තුළ ද රුසියාව, ප්‍රංශය වැනි රටවල ද අතිශය ජනප්‍රියත්වයට පත් වූ ආචාර්ය එම්. ජී. රාමචන්ද්‍රන් තමිල්නාඩු මහ ඇමති ධූරය හොබවින් දේශපාලන ක්ෂේත්‍රය තුළ ද බලසම්පන්න චරිතයක් වූ බව කිසිදා රහසක් නොවනු ඇත.

එතුමා, කෙතරම් මිනිසත් බවට ගරු කළා ද යන්න පෙරළා ඔහු වෙත ආදරය කරන ජනතාවගෙන් මොනවට පැහැදිලි වන්නේය. රාමචන්ද්‍රන් අවසන් හුස්ම හෙළන මොහොත වන විට ද මදුරාසියට අයත් ප්‍රාන්තවල 'නමක් තබා නැති දරුවන්' සිටියහ.

මන්ද - ඒ දරුවන්ගේ දෙමාපියන් තම වාසභූමියට - දෙවියෙකු වන් MGR කෙදිනක හෝ එනතුරු මඟ බලා සිටින්නේ තම දරුවාට එතුමන් ලවා 'නමක්' තබා ගැනීමටය. MGR ගෙන් තම දරුවාට නමක් තබා ගැනීම ඔවුන්ට කෙතරම් වටීද? එය මිල කළ නොහැකිය. එයින් පෙනි යන්නේ MGR හෙවත් පීඩිත පන්තියේ එකම ගැලවුම්කරු පිළිබඳ මහජනතාව දක්වන විශ්වාසයත්, ගෞරවයත් නොවේද?

'විජය - එම්. ජී. ආර්.' හොඳම මිතුරන් දෙදෙනෙකි. ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නය මුල්කොට එයට නිසි පිළිතුරු සෙවීමට විජය රාමචන්ද්‍රන් බැහැ දැකීමට තමිල්නාඩුවට ගිය මොහොතේ පැයකට අධික කාලයක් යට කී ප්‍රශ්නය සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඊළඟ පැය වෙන් වූයේ විජයගේ පෞද්ගලික ජීවිත තොරතුරු පිළිබඳ කතාබහටය.

තුන්වෙනි පැයේදී තම වමතින් විජයගේ දකුණත තදින් අල්ලා මල්ලී (තම්බි) යනුවෙන් විජය අමතමින් සිනමා දිවිය පිළිබඳ තතු විමසීය.

තම සහෝදරයකු වන් MGR මිතුරාට කිසි පැකිලීමකින් තොරව, තමා චිත්‍රපටයක් නිෂ්පාදනය කරන බවත්, එම චිත්‍රපටය නිර්මාණය කරනු ලබන්නේ කෝඩුකාර තරුණ අධ්‍යක්ෂවරයකු බවත් මෙය තමාගේ පළමු නිෂ්පාදනය බවත්, අධ්‍යක්ෂවරු සිය ගණනක් සමඟ වැඩ කළ තමන් නවක අධ්‍යක්ෂවරයකුට තම ප්‍රථම චිත්‍රපටයේ නිර්මාණ කටයුත්ත භාරදීමෙන් තමා බලාපොරොත්තු වන්නේ - ඒ අති දක්ෂ නවක අධ්‍යක්ෂවරයාට සිනමා ක්ෂේත්‍රය තුළ දිගින් දිගට රඳවා තබා ගැනීමෙන්, ස්ථාවරත්වයට පත් කිරීමට උත්සාහ ගන්නා බවත්ය. විජය තමාගේ විශේෂිත වූ අභිප්‍රාය එය බව ද එතුමා ඉදිරියේ ගෙනහැර පාන ලදී.

තවද මෙම චිත්‍රපටය තමාගේ දේශපාලන ජීවිතයට යම් ආර්ථික පිටිවහලක් සපයනු ඇතැයි බලාපොරොත්තු තබා සිටින බව ද විජය පැවසූ හෙයින්, එයට හොඳින් සවන් යොමා සිටි තමිල්නාඩු මහ ඇමතිවරයා, තම්බි ලංකාවට ගිය ගමන්ම ඩිරෙක්ටර්ට කියන්න 'වරදට දඬුවම්' (කුට්රක් තුක්කු තන්ඩනෙයිගල්) චිත්‍රපටය වැඩ අවසන් කොට චිත්‍රපටය සමඟ මාව මුණ ගැහෙන්න එන්න කියලා...

මම තම්බිගෙ චිත්‍රපටය දෙමළ භාෂාවෙන් දෙබස් කවා තමිල්නාඩු ප්‍රාන්තයේ සිනමාහල්වල ප්‍රදර්ශනය සඳහා මුදාහැර ආදායම විජය තම්බිට එවන්නම්... යනුවෙන් ස්ථිරසාර වගන්තියක් විජය ඉදිරියේ ප්‍රකාශ කළේ - මා උපන් රටේ අධ්‍යක්ෂවරයාව මා බලාගන්නම් යනුවෙන් ද පොරොන්දුවක් දෙමිනි. මෙම වටිනා කියන කාරණය මා දන්නා පමණින් දන්නේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියත්, චිත්‍රපට නිෂ්පාදක පද්මසිරි කොඩිකාර මහතාත් සහ නැසීගිය හර්මන් වීරසූරිය මහතාත් (විජයගේ පෞද්ගලික ලේකම්) පමණි.

එහෙත්, මාගේ සියලු බලාපොරොත්තු බිඳ දමමින් මාස 03 ක් ගතවීමට මත්තෙන් වකුගඩු රෝගයෙන් පීඩා විඳි ආචාර්ය එම්. ජී. රාමචන්ද්‍රන් මහතා 1987 දෙසැම්බර් 24 වන දින ජීවිත සිනමාවෙන් සදහටම සමු ගන්නා ලදී. ඉන් අනතුරුව දින 54 ක් ගතවීමේදි අධමයකුගේ ඊ56 ට අප මානව හිතවාදී විජය සොයුරා ගොදුරු විය.

දකුණු ඉන්දීය සිනමා උද්‍යානයට මට අවතීර්ණ වීමට තිබූ හොඳම මාර්ගය අවහිර කොට දෛවය විසින් ගේට්ටුව වසා දමන ලදී.

මා අවුරුදු 12 ක කොලු ගැටයකු වන්නේ 1969 දීය. එවකට අප රටේ සිනමාකරුවන් ද මහත්වරු මෙන් පෙනී සිටින නින්දිතයින් ද MGR විරෝධීන් බවට ආරූඪ වී MGR ගේ චිත්‍රපට තහනමට ලක්කරන ලෙස උද්ඝෝෂණ පැවැත්වූහ.

තමන්ගේ නොහැකියාව නොපෙන්වන ඊනියා චිත්‍රපටකරුවෝ MGR ට නිර්ධය ලෙස පහර දීමට පසුබට නොවුණු ආකාරය දුටු මම කනස්සල්ලටත් - කෝපයටත් පත් විමි. ඔවුහු තාප්ප වැනසූහ. සිනමාහල්වලින් අලවන ලද MGR ගේ සියවන චිත්‍රපටය වන 'ඔලිවිලක්කු' පෝස්ටරයට තාරගෑහ.

ජනතාව පිරී ඉතිරී යද්දී සිනමාහල් - MGR අකුරු තුන තිරයේ පතිත වෙද්දී - ප්‍රේක්ෂක ජනතාව නගන ඔල්වරසන් හඬට කුහකයිනට කන් දී බලා සිටිය නොහැකි විය.

එවන් වූ MGR විරෝධීන්ට එරෙහිව විරෝධය පෑමට හෝ සටන් කිරීම හෝ මා වැනි කුඩා ළමයකුට උගටය. එහෙත් රිදී තිරය ඔස්සේ මා සැනසූ එම්. ජී. ආර්. වෙනුවෙන් එදා මා නිහඬ සටනකට පැටලුණි.

එනම් MGR විරෝධී නින්දිතයින් ඉදිරියේ මා MGR ගේ සිනමාපටවල මෙන් අත් කොට කමිසයේ 'අත්' දෙවරක් හෝ තුන්වරක් නවා ඇඳීමට පටන් ගත්තේ ඔහුට ගෞරවය ගෙන දීමටත්, සෙස්සන්ට විරෝධය පෑමටත්ය. එම අත් නැවීම් අදට ද එලෙසම නෙවෙනස්ව පවතී. එම නිහඬ සටන් සංකේය තුළින් පිදුම් ලබන්නේ අපට අහිමි වූ ශ්‍රී ලාංකේය විශිෂ්ටයා වන එම්. ජී. රාමචන්ද්‍රන්ය.

මෙහි පළවන 'MGR - විජය' වැළඳ ගෙන සිටින පින්තුරය, ඉන්දියාවේ සිට එදා විජය නිවසට පැමිණි මොහොතේ මා අත තබමින් 'අන්න මිස්ටර් රාමචන්ද්‍රන් කිව්වා ෆිල්ම් එක අරං එන්න කියලා . . . ඉක්මනට වැඩ ඉවර කරලා ඉන්දියාවට යන්න ලෑස්ති වෙන්න' යනුවෙන් විජය සහෝදරයා පැවසූ ඒ මීපැණි මෙන් රසවත් වචන පෙළ අදටත් මා සංවේදිත්වයට පත් කරවයි.