|
ත්‍රාසය, සංවේදීබව කැටි වූ රිතික් රෝෂන්ගේ නවතම චිත්‍රපටය
Kaabil චිත්‍රපටය කියන්නේ මේ ලෝකේ ජීවත් වෙන අනෙකුත් මිනිසුන් වගේම ජීවත් වූ සිනහ වූ තවත් එක් මිනිසෙක් ගැන කතාවක්. එක් දිනයක් වන තෙක් මෙලොව ජීවත් වන අනෙකුත් මිනිසුන් සේම සිනහවෙන් ජීවත් වූ ඔහුට තම ජීවිතයේ බරපතළ ඛේදවාචකයටකට මුහුණ දෙන්නට සිදු වේ. ඒ සමඟින් පළිගැනීමේ ගින්දරෙන් පණ ලැබූ ඔහු වැළැක්වීමට කිසිවෙකුත් සමත් නොවේ. උපන් දා සිට තමා දෑසම නොපෙනෙන්නෙකු වීම පවා ඔහු නැවැත්වීමට හේතුවක් වෙන්නේ නැත.
Kaabil ක්‍රියාදාම, ත්‍රාසය සේම ප්‍රේමය ද රැගෙන එන චිත්‍රපටයක්. සන්ජේ ගුප්තා අධ්‍යක්ෂණය කළ එය නිෂ්පාදනය කර තිබෙන්නේ රාකේෂ් රෝෂන්. රිතික් රෝෂන් සමඟින් යමී ගෞතම් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනවා. Kaabil කතාව සහ තිරරචනය විජේ කුමාර් මිශ්‍රාගේ වන අතර සංගීත අධ්‍යක්ෂණය කර තිබෙන්නේ රාකේෂ්ගේ සොයුරු රාජේෂ් රෝෂන් විසින්. ඉන්දීය රුපියල් මිලියන 350ක වියදමකින් නිර්මාණය කළ Kaabil මිනිත්තු 139ක් පුරා දිවෙයි. එහි රිතික් පණ පොවන්නේ දෑසම නොපෙනෙන තරුණයකුගේ චරිතයකටයි. රෝහන් භාත්නගර් නම් වූ ඔහු විවාහ වී සිටින්නේ, සුප්‍රියා සමඟින්. සුප්‍රියා ඝාතනයට ලක්වීම හමුවේ රෝහන් කටයුතු කරන අයුරු Kaabil චිත්‍රපටයෙන් කියවෙනවා. මෙහිදී යමී පණ දෙන චරිතය ගැන කවුරුත් කතා කරන්න ගත්තේ මෙහි පූර්ව ප්‍රචාරක පටය එළි දුටු දා සිටමයි. එය නැරඹූවන් පැවසුයේ “යමී මිය යන චරිත නිරූපණයට දක්ෂයකු” බවයි. Sanam Re සහ Badlapur එයට කදිම නිදසුන් බවයි ඔවුන්ගෙ අදහසයි. එහෙමත් නැත්නම් Action Jackson චිත්‍රපටයේ කෝමා තත්ත්වය නිරූපණය කළ අයුරු දක්වන්නේ ඇයට අත් වූ දුක්ඛිත ඉරණමක් ලෙසිනි. ඒ අනුව ඇය බොලිවුඩ් සිනමාවේදී Kaabil සමඟින් තෙවන වතාවට මිය යන්නේ නෙත් අඳ තරුණියක ලෙසිනි. යමී ගෞතම් යනු පන්ජාබ් චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන මුඛේෂ් ගෞතම්ගේ වැඩිමල් දියණිය යි. ඇය සිනමාවට පිවිසියේ 210 වසරේදී Ullasa Utsaha නම් කණ්ණඩ චිත්‍රපටයෙන්. ගත වූ වසර හය තුළ ඇයගේ වැඩි දායකත්වයක් ලැබුණේ හින්දි සහ තෙළිඟු චිත්‍රපට වෙනුවෙන්. 2013 වසරේදී ෆිල්ම්ෆෙයාර් හොඳම නැඟි එන නිළියන් අතරේ නිර්දේශ නාම අතරට ඇතුළත් වූ ඇය එම වසරේ අයිෆා සම්මාන උලෙළේ වසරේ නැඟි එන තාරකාව ලෙසින් සම්මානනීය වූවා. Kaabil චිත්‍රපටයේ දෙනෙත් අඳ තරුණියකගේ චරිතය ලැබීම ගැන ඇය සිටින්නේ සතුටින්. මීට පෙර බොලිවුඩයේ ප්‍රධාන චරිත ද්විත්වයම අන්ධ චරිත වූ චිත්‍රපට නිර්මාණය වී නොමැති වීම එයට ප්‍රධානතම හේතුවයි. ඒ නිසා Kaabil බොලිවුඩයේ අනෙකුත් නිර්මාණ අතරේ මතු වී පෙනෙනු ඇති බව යමීගේ විශ්වාසය යි. කොහොම නමුත් මීට පෙර කරීනා කපූර් ඛාන් සහ පරිනීති චොප්රා විසින් මෙම චරිතය ප්‍රතික්ෂේප වී ඇත්තේ චිත්‍රපටය පුරා චරිතයේ දිගුවීම නිසයි.
Kaabil සමඟින් රිතික්ගේ චරිතය ගැනත් විශේෂයෙන් කතා කළ යුතුමයි. රෝහන් භාත්නගර් ලෙසින් ඔහු Kaabil චිත්‍රපටයේ තම චරිතය විවිධ හඬවලින් කියන්නට උත්සාහ ගත් බව කියවෙනවා. මේ වෙනුවෙන් ඔහු බොලිවුඩයේ බිග් බී, අමිතාබ්ගේ හඬත් අනුකරණය කරලා. ඒ විතරක් නෙවෙයි දෑසම නොපෙනෙන මෙම චරිතය නිරූපණය වෙනුවෙන් ඔහු කිසිම සමාජ ආශ්‍රයක් නොමැතිව තෙදිනක් කාමරයකට කාලය ගත කළ බවත් ආරංචියි. රිතික් පවසන්නේ, Kaabil චිත්‍රපටයේදී කතා කිරීම, ඇවිදීම වගේම නර්තනය ඉතාම අපහසු දේවල් බවට පත් වූ බවයි. එහි නර්තනය වෙනුවෙන් වෙනමම දින දහයක පුහුණුවීම්වල නිරත වී දෙදිනක් පුරා රූගත කිරීම් කරන්නට ඔවුන්ට සිදු වෙලා.
|