|
ඔයා මගෙන් ඈත් වුණොත් ලොකු දුකක් දැනේවි
කිරිබත් සමඟ මිරිසට මාළුවක් හා ලුණු මිරිසක් උදේ ආහාරය ලෙස මිහිරිගේ මව සකස් කර තිබුණි. ඊට අමතරව පාන් පෙති කිහිපයක් හා කෙසෙල් ඇවරියක් ද මේසය මත විය. කෑම මේසයට එරංග ද පැමිණ සිටියේය. ඔහු පාන් පෙත්තක් ගෙන එහි මැද කෑලි කඩමින් ඒවා දෙස මහත් ඕනෑකමින් බලමින් වරින් වර මුව තුළ රුවා ගන්නට විය.
මෙතෙක් කතාව සන්දේශ් හා මිහිරි යනු විවාහ ගිවිස ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින පෙම්වතුන් යුවලකි. මිහිරිට 'ඩවුන් සින්ඩ්‍රෝම්' නැමැති බුද්ධි හීන ආබාධයෙන් පෙලෙන සොහොයුරෙකු සිටි. ඔහුගේ දඩබ්බර ක්‍රියාකාරකම් දකින සන්දේශ්ගේ දෙමව්පියෝ ඔවුන්ගේ විවාහයට එතරම් කැමැත්තක් නොදක්වති. එහෙත් සන්දේශ් දෙමව්පියන්ගේ කැමැත්ත නොසලකා ඇය හා විවාහවීමට තීරණය කරයි. මිහිරි දිනක් සන්දේශ්ට නොදන්වාම සන්දේශ්ගේ පියා හමුවීමට ඔහුගේ කාර්යාලයට යන්නේ මෙම ප්‍රශ්නයට විසඳුම සොයා ගැනීමටය. ඇය පියාට පවසන්නේ විවාහයෙන් පසුව ආබාධිත සොහොයුරා තමන් සමඟ සිටිය යුතු බවකි. සොහොයුරා වෙනත් නිවසක නතර කරන ලෙස සන්දේශ්ගේ පියා කරන ඉල්ලීමටත් ඇය එකඟ නොවෙයි. සන්දේශ්ගේ දෙමව්පියන් තුළ තම එකම පුතා කෙරෙහි ඇති ආදරය හා සෙනෙහසත් මිහිරි තුළ තම එකම සොහොයුරා කෙරෙහි ඇති ආදරය හා සෙනෙහසත් අතර වැඩි වෙනසක් නොවීය. (අද එතැන් සිට)
* * * "අක්කෙ, අක්කෙ...... " තම කාමරයේ ඇඳේ ඇලවී දෙනෙත් පියාගෙන සිතුවිලි සයුරක ගැලී සිටි මිහිරි අවදි වූයේ එරංගගේ පැමිණීමත් සමඟය. පොතකුත් රැගෙන පැමිණි ඔහු මිහිරි අසලින්ම ඇඳ මත දිගා විය. ඉන්පසු ඔහු අක්කාගේ මුහුණ දෙස ඕනෑකමින් බැලුවේය. "ඇයි අක්කෙ? අක්කා ඇඬුවද? " එරංග එසේ ඇසුවේ තමා පැමිණි කාරණය මොහොතකට පසෙක තබාය. සවස සන්දේශ්ගේ පියා හමුවීමට යාමෙන් ගතට දැනුණු විඩාබර සිතුවිලි, හැඬුම්බර ලෙසින් මුහුණේ ස්වරූපය වෙනස් කර ඇති බවක් ඇයට සිතුණාය. "නෑ මල්ලි" මිහිරි කීවේ අතකින් දෑස් පිස දමමිනි. ඉන්පසු ඇය මල්ලී අත තිබූ පොත දෙසට නෙත් යොමු කළාය. "මොකක්ද ඔය පොත? " "අක්කා මට අර කතාවෙ ඉතුරු හරිය කියල දෙනවද? " "මොන කතාවද? " "අර ගෙම්බගෙයි රාජ කුමාරයගෙයි කතාව" මෙවෙලේ ඇඳ අසල කුඩා මේසය මත තිබුණු මිහිරිගේ දුරකතනය නාද විය. ඒ දෙසට නෙත් හෙළූ විට එහි මුහුණතේ 'සන්දේශ්' ලෙස නම සටහන් වී ඇති බවත් ඇය දුටුවාය. මොහොතක් කල්පනා කළ ඇය අනතුරුව එය විසන්ධි කර යළිත් එරංග දෙසට හැරුණාය. "කතාව නැවැත්තුවෙ කොතනද කියල මට මතකත් නෑ. කෝ බලන්න" මිහිරි එසේ කියමින් එරංග පෙරළමින් සිටි පොත තම අතට ගත්තාය.
* * *
පසුදින උදයේ නවයට පමණ සන්දේශ්ගේ රිය මිහිරිගේ නිවසේ ගෙවත්තට ඇතුළු විය. "ගුඩ් මෝනිං ආන්ටි" රියක ශබ්දය ඇසී පෑන්ට්‍රි කොටසේ සිට ඉදිරියට පැමිණෙන මිහිරිගේ මව දැකීමත් සමඟ ඇයට සුභ පතමින් සන්දේශ් නිවසට ඇතුළු විය. "ආ පුතා, මෝනිං" "උදෙන්ම වැඩ වගෙයි" "මොන උදේ ද, දැන් නමයත් පහුවෙලා මං හිතන්නෙ" "කෝ මිහිරි? " "ඔය කාමරේ ඉන්නෙ, .......මිහිරි". ඇය මිහිරිට කතා කරන්නට සූදානම් වූවාය. "නෑ ආන්ටි ඉන්න, මං බලන්නං" සන්දේශ් මිහිරිගේ කාමරයට ඇතුළු වන විට ඇයට සිටියේ කන්නාඩි මේසය අසල කිසියම් වැඩක නිරත වෙමිනි. "ගුඩ් මෝනිං, අද ලෙක්චර්ස් නැද්ද? " සන්දේශ් එසේ ඇසුවේ දොර අසල සිටගෙනමය. අම්මා හා ඔහු අතර ඇති වූ කතා බහ ඒ වනවිටත් මිහිරිට යාන්තමින් ඇසී තිබුණි. "හවස තියෙන්නෙ" "මං ඔයාට ඊයෙ ඉඳන් කෝල්ස් කීයක් දුන්නද? ඇයි ආන්සර් කරේ නැත්තෙ?" සන්දේශ් එසේ ඇසුවේ මඳක් ඉදිරියට එමිනි. මිහිරි හුස්මක් හෙළුවා මිසක් එක්වරම එයට පිළිතුරක් දුන්නේ නැත. මෙවෙලේ මව කාමරයට අසලට පැමිණියාය. "උදේට මොනවහරි කමුද පුතා. මං කෑම ටිකක් ලෑස්ති කරන්නං" "හා" මිහිරිගේ මව කාමරය අසලින් ඉවත් වූයේ කෑම ගැන සිතමින්ම නොවේ. කාමරය තුළට පැමිණි සන්දේශ් ඉදිරියේ සුහදබවකින් තොර අයුරින් දියණිය හැසිරෙන අයුරු එතරම් ඇගේ සිත් ගත්තේ නැත. කිසියම් ප්‍රශ්ණයක්දැ'යි යන සැකයකුත් ඇගේ සිතට නොනැගුණා නොවේ. කිරිබත් සමඟ මිරිසට මාළුවක් හා ලුණු මිරිසක් උදේ ආහාරය ලෙස මිහිරිගේ මව සකස් කර තිබුණි. ඊට අමතරව පාන් පෙති කිහිපයක් හා කෙසෙල් ඇවරියක් ද මේසය මත විය. කෑම මේසයට එරංග ද පැමිණ සිටියේය. ඔහු පාන් පෙත්තක් ගෙන එහි මැද කෑලි කඩමින් ඒවා දෙස මහත් ඕනෑකමින් බලමින් වරින් වර මුව තුළ රුවා ගන්නට විය. සන්දේශ් ආහාර ගන්නා අතරේ මඳ සිනා රැඳී මුවින් යුතුව එරංගගේ ක්‍රියාකාරකම් දෙස බලා සිටියත් මිහිරි බොහෝ විට සිටියේ ආහාර පිගාන දෙසට නැඹුරු කරගත් දෙනෙතින් යුතුවය. මේනකා ආහාර මේසයේ අඩුපාඩු සකස් කරන්නට වූවාය. "පුතා මේක තාත්තට දෙන්න, කළුදොදොල් වගයක්. පුතා ආපු දවසක තාත්තට දෙන්න කියල මං මේක ගෙදරට ගෙනැල්ල තියාගත්තා" එසේ කියමින් මේසය අසලට පැමිණි මිහිරිගේ මව කළුදොදොල් පාර්සලය සන්දේශ් අසලම මේසය මත තැබුවාය.
* * * සවස දේශනවලින් පසුව නිදහස් තැනෙක හමුවීමට මිහිරි කැමැත්ත පළ කිරීම සන්දේශ්ගේ සිතට කිසියම් සැනසුමක් ගෙන දුන් කාරණාවක් විය. විශ්ව විද්‍යාලය අසලින් ඇයව රියට නංවාගත් සන්දේශ් පාර්ලිමේන්තුව අසබඩ තිබූ දැකුම්කළු පෙදෙසක් ළඟ රිය නතර කළේය. රිය තුළම මොහොතක් නිහඬව ගෙවී ගියේය. කවදාවත් නොතිබුණු දැඩි හැඟුම්බරබවකින් ඇගේ මුහුණ පිරී ඇති බවක් සන්දේශ්ට පෙනුණේය. "මොකද මේ? බුම්මගෙන ඉන්නද ආවෙ? " ඔහු එසේ ඇසුවේ ඇගේ පැහැපත් ගෙල අසල වැටී තිබූ කෙස් රොදක් තම ඇඟිලි අතර දවටා ගනිමිනි. නොයෙකුත් සුන්දර වදන් පවසමින් ඇගේ සිත සැහැල්ලු කරන්නට ඔහු කොතෙක් උත්සාහ ගත්තත් ඇගේ සිතේ තිබූ බර සම්පූර්ණයෙන්ම ඉවත් කර දමන්නට ඔහු සමත් වූයේ නැත. "අවුරුදු ගාණක් තිස්සෙ දුක් මහන්සි වෙලා, හදපු දරුවෙක් කසාද බැන්දට පස්සෙත් හොඳීන් ඉන්නව දකින්න තමයි ඕන අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කැමති වෙන්නෙ. ඔයාගෙ අම්මා තාත්තා වුණත් එහෙමයි සන්දේශ්. මගේ ප්‍රශ්නයක් හින්ද ඔයාගෙ අම්මලගෙ තාත්තලගෙ හිත් රිදෙනව දකින්න මං ආස නෑ" මිහිරිගේ කතාවට හොඳීන් සවන් දුන් සන්දේශ් ඉන්පසු ඇගේ කෙහෙරැල්ල වෙතින් අත ඉවතට ගෙන හුස්මක් පිට කළේය. ඊළඟට ඔහු කතා කළේ රියේ වින්ඩ්ස්ක්‍රීනයෙන් පිටත බලාගෙනය. "ඔහොම හිතනව නං ඔයාට කවදාවත් කසාදයක් බැඳගන්න පුළුවන් වෙන එකක් නෑනෙ මිහිරි" "ඒක ඉතිං මගෙ දෛවය තීරණය කරයි. ඒ කොහොම වුණත් යුනිවසිටි ජීවිතෙත් එක්ක තව අවුරුදු දෙකක් හිත හදාගෙන හොඳීන් ජීවත් වෙන්න මට කොහොමටවත් පුළුවන්" "මං නැතුව? " මිහිරි සන්දේශ්ගේ මුහුණ දෙස බැලුවා නොවේ, ඇයට බැලුණේය. ඔහුගේ මුහුණ දෙස තත්පර කිහිපයක් බලා සිටි ඇය ඉන්පසු උරහිස ගෑවෙන නොගෑවෙන තරම් තම හිස ඔහුගේ පැත්තට බර කළාය. "පහුගිය කාලෙ ඔයා මගේ ජීවිතේට ඇතුල් වෙලා ඔයා මාව ගොඩක් සන්තෝසෙන් තිබ්බා සන්දේශ්. ඒකට ඔයාට ගොඩාක් පිං. ආයෙත් ඔයා මගෙන් ඈත් වුණොත් මට ලොකු දුකක් දැනෙයි. ඒ දුක නැති කරගන්නත් මට සෑහෙන කාලයක් යයි" "මං ඔයාගෙන් ඈත් වෙන්න යන්නෙ නෑනෙ. ඔයානෙ මගෙන් ඈත් වෙන්න හදන්නෙ" "ආයෙත් ප්‍රශ්නෙ මුලට එන එකේ තේරුමක් නෑ සන්දේශ්" සන්දේශ්ගේ මුවින් යළිත් සුසුමක් පිට විය. මිහිරිගෙ දඩබ්බර සිතුවිලි සමඟ තවදුරටත් ගැටෙන්නට ඕනෑකමක් ඔහුට නොසිතෙයි. තමන් කියා කොතෙක් ඇයව අස්වසන්නද? සන්දේශ්, ඉදිරියේ ඇති තණ බිම් තීරුව මත දුව පනින දඟකාර, හැඩකාර දරු පැටවුන් දෙස සෙනෙහසින් යුතුව මොහොතක් බලා සිටියේය. |