|
||
අවලෝකනයට පසු ලියා තබන වග නම්
2016 වසර ගෙවී ගියේය. කලින් අවුරුදු මෙන්ම සුපුරුදු පරිදි අපූරු මතක සටහන් රාශියක් අපට ඉතුරු කර ඇත. පණ්ඩිත් අමරදේව ඇතුලු ඉතා විශිෂ්ටයන් රැසක් සදහටම අප අත හැර ගියේය. අලුත් සිංහල චිත්‍රපට විසි පහක් තිරයට ආවේය.එයින් චිත්‍රපට දහයක්ම අලුත් අධ්‍යක්ෂවරුන්ගේය.අලුතින් එකතු වූ නිෂ්පාදකවරුන් ගේ නැතහොත් ආයෝජකයන් ගේ සංඛ්‍යාව දහය ඉක්මවයි.එය බැලූ බැල්මට නම් යහපත් ප්‍රවණතාවකි.එහෙත් තිර ගත වූ චිත්‍රපට අතරින් ප්‍රේක්ෂකයා ගේ මනසෙහි තැන්පත් වූයේ චිත්‍රපට කීයද ? නැවත නැවත නරඹන්නට තරම් ආකර්ෂණයක් ගෙන දුන්නේ කවර නම් චිත්‍රපට ද ? සමහර චිත්‍රපට තිර ගත වූවා දැයි සිනමාව පිළිබඳ නිරන්තර අවධානයෙන් සිටියකු වුව දන්නේ නැත.මුල්ම සිංහල කතානාද චිත්‍රපටය තිර ගත කොට හැත්තෑව වසර සපිරෙන්නේ 2017 ටය.අපේ සිනමාවේ අර්බුද කතාන්දර උපන්ගෙයි දෝෂයකි. ඒ පිළිබඳ නාහෙන් ඇඬිල්ලේ කෙළවරක් නැත.ඒ හැඬුම් අසන සිහියක් ඇති එකෙක් මෙපමණ කාලයක් චිත්‍රපට වලට සල්ලි දානවා යැයි සිතීම පුදුමය.ඒ කතා අසන සමහරුන්ට හිතෙන්නේ ලංකාවේ අමාරුම බිස්නස් එක සිනමාව යනුවෙනි.එපමන අඬෝවැඩියාවක් සහිතව දුක් විඳ චිත්‍රපට නිපදවන්නට මුදල් වැය කරන්නේ මක් නිසාදැයි සොයා බැලිය යුතුය. චිත්‍රපට කර්මාන්තය යනු සුරබි දෙනක නොවේ. එහි ගැටළු නැති වගක් මෙයින් අදහස් කරන්නේ නැත. පසුගිය වසරේ තැණුනු චිත්‍රපට සියල්ලම පාහේ පැරණි නෙගටිව් ක්‍රමය බැහැර කර නූතන ඩිජිටල් තාක්ෂණය යොදා ගෙන තැනුන චිත්‍රපට බව ඇත්තය.ලෝකය පැරණි නෙගටිව් පටය වෙනුවට නූතන ඩිජිටල් තාක්ෂණය යොදා ගත්තේ ලාබයට හෝ පහසුවට පමණක් නොවේ.වඩා අලංකෘත හා දැවැන්ත චිත්‍රපට නිපදවා එමඟින් වෙළද පොළ ප්‍රසාරණය කර ගැනීමේ අරමුණත් ඇතිවය.පසුගිය වකවානුවේ මා අලුත් චිත්‍රපටයක් නැරඹීමට මත්තෙන් සොයා බැලුවේ සිනමාහල නව ඩිජිටල් සිනමාහලක් ද යන්නය. කලකට ඉහත අප ගෘහස්ථ සිනමාව නරඹන්නට ආරම්භ කරන ලද්දේ වී.එච්.එස් පට මගිනි.සමහර විට එම කැසට් පට වල පිටපත් පිළිබඳ අපට සෑහීමකට පත් වන්නට පුළුවන් කමක් තිබුණේ නැත.එහෙත් වෙන කරන්නට දෙයක් නැති තැන අපි එම චිත්‍රපට නැරඹුවෙමු. කල් යත්ම එය ලේසර් ඩිස්ක් එක ටද අනතුරුව වී.සී.ඩී යට ද පසුව ඩී.වී.ඩි. ය ට ද මාරු වී ගිය චිත්‍රපටය දැන් බ්ලූ රේ තාක්ෂණයට අනුවර්තනය ව ඇත්තේය.එහි ප්‍රතිඵලය නම් ලංකාවේ ඇතැම් සිනමාහල් වලට වඩා හොඳ ප්‍රක්ෂේපණයක් නිවස ඇතුළත දී නරඹන්නට හැකි වීමය. දැන් කිසිවකු හෝ පැරණි වී.එච්.එස් තාක්ෂණය මඟින් චිත්‍රපට නරඹන්නේ නැත. ඒ වඩා හොඳ වින්දනය සොයා යෑමේ ප්‍රතිඵලයක් හැටියටය. අවාසනාව නම් අපේ සිනමාව ආරම්භයේ සිටම මෙරට බහුල වශයෙන් චිත්‍රපට ආයෝජකයන් කරන ලද්දේ මොකක් හෝ අටවා චිත්‍රපට නාමයෙන් සිනමා වෙළඳ පොලට ඇතුළත් කිරීමය. සිනමාව හැර වෙනත් විනෝදාංශයක් නැති කාලයේ නම් එය ජාම බේරා ගන්නට හේතු වුව ද වර්තමානයේ එම න්‍යාය වළංගු නැත. සිනමා හල් හිමියන් පවා යාවත්කාලින නොවන්නේ නම් එම සිනමාහල් සඳහා ප්‍රේක්ෂකයා ඇදී නොඑන වග අප පෙන්වා දුන්නේ අද ඊයේ නොවේ. පසුගිය වසර කිහිපය ඇතුළත ලාංකික චිත්‍රපට ලැබූ ආදායම පෙර වසර හා සසඳද්දී අඩු බැව් අමුතුවෙන් කිවයුතු නැත. එහෙත් දක්ෂ සිනමාකරුවන් අලුත් වෙළද පොල කරා යති. පසුගිය දශකයේ සිනමාවේ ආදායම ගණනය කරන ලද්දේ සිනමා හල් හරහාය.ගෘහස්ථ සිනමාව යනු අමතර ආදායමකි.දැන් එය වෙනස් ව ඇත.අද සමහර චිත්‍රපට වැඩිම ආදායම උපයනු ලබන්නේ ගෘහස්ථ සිනමාව හරහාය. සිනමා හල යනු අමතර ආදායමකි.අද විදෙස් චිත්‍රපට මෙරටට ගලා එන ආකාරයට අපේ පාසල් අවදියේ චිත්‍රපට ගලා ආවා නම් පාසලක් හතර මායිමකට යන්නට වන්නේ නැත.එහෙත් අද සිනමාවට ඇලුම් කරන දරුවන් සිනමා හලට ගොඩ නොවැදී අලුත්ම චිත්‍රපට නරඹති. පසුගිය වසරේ අප හමුවට පැමිණි අලුත් වෙළඳ පොළ අන්තර්ජාලය සමග බැඳී පවතින්නකි. එය ලෝකයට අලුත් නොවුනත් අප රටට අලුත්ය. අනාගතයේ දවසක ඩී.වී.ඩී වෙළඳ පොල අවලංගු වන ආකාරය දැනටමත් ලෝකයේ ඉඟි පහල කරනුයේ සිනමාව සඳහා ගොඩ නැගෙන ඔන් ලයින් අන්තර්ජාල වෙළඳ පොළ නිසාවෙන්ය. අප කණගාටුවෙන් නමුත් පිළිගත යුත්තේ වර්තමාන සිනමා වෙළඳ පොළ විවෘත එකක් බවය. එහි හැප්පිය හැක්කේ අලුත් අදහස් වලින් පිරි මිනිසුන්ට පමනක් ය. අලුතින් නොසිතන මහා ඩයිනෝසෝරයන් ද වඳ වී යන්නේය. මෙම න්‍යාය සිනමාව ඇතුලු සියලු ව්‍යාපාර සඳහා පොදු සාධකයකි. පසුගිය වසරේ මෙරට සිනමා ප්‍රේක්ෂකයන් මෙන්ම සිනමා කර්මාන්තය බලාපොරොත්තු ව සිටි සරසවිය සිනමා සම්මාන උලෙළ යළි ආරම්භ විය. සම්මාන උලෙළ පිළිබඳ විවිධ කතිතාවන් ඇතිවීම යුක්ති සහගතය. එය පෙන්වා දෙන්නනේ සරසවිය සිනමා උලෙළ යනු අපේ සිනමාවේ ජීවන සාධකය බවය. තිස් තුන් වැනි සරසවිය සිනමා සම්මාන උලෙළ දෙසැම්බර් 15 වැනි දා බ්‍රහස්පතින්දා රාත්‍රියේ හරියටම 9.10 වන විට නිමා විය. එහි කාලය යන්තම් පැය දෙකක් ඉක්ම වා ගියේය. එය ගෙවුණු ජනවාරි පළමු වැනි දින රාත්‍රියේ ජාතික රූපවාහිනිය මගින් ඔබ සැම දැක ගන්නට ඇතැයි මම විශ්වාස කරමි. එහෙත් සිනමා උලෙළ පිළිබඳ කතා බහ තවමත් පවතියි. සැබැවින්ම වර්තමානයේ සිනමා උලෙළ ගණනාවක් මෙරට පැවැතිය ද සරසවිය සිනමා උලෙළ නැති අඩුව ඒ හැම එකක් හා පරයා පැවැති බව අතිශයෝක්තියක් නොවේ. සරසවිය සම්මාන උලෙළ බැලූ බැලුමට සම්මාන පිදෙන රාත්‍රියකින් නිමා වන්නක් වුව ද සංවිධායකයන්ට එලෙස එක් රැයකින් නිමා වන්නක් නොවේ. එහි සැලසුම නිර්මාණය කිරීමේ සිට අවසානය වනුයේ තවත් මාස ගණනක් ගෙවුණ පසුවය. මෙවර සරසවිය සම්මාන උලෙළේ සම්මාන රාත්‍රිය ඉතා ඉක්මන් ක්‍රියාදාමයක ප්‍රතිඵලයකි. එමෙන්ම එය සිනමාවට හිතැති බොහෝ දෙනෙක් ගේ දැවැන්ත උත්සාහයක ප්‍රතිඵලයකි. විෂය භාර ඇමැති තුමන් මෙන්ම නියෝජ්‍ය ඇමැති තුමන් ද ලේක් හවුස් ආයතනයේ සභාපති තුමන් මෙන්ම කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ තුමන් ඇතුලු අධ්‍යක්ෂ මණ්ඩලය ද ඇතුලු සියලු දෙනා මේ මහා කලා මංගල්‍යය නැවත ගොඩ නැංවීම සදහා මහත් කැපවීමක් කළහ. එපමනක් නොව මගේ අත්දැකීමේ අනුව ලේක් හවුස් ආයතනයේ වැඩිම පිරිසකගේ දායකත්වය ලැබූ සරසවිය සම්මාන උලෙළ පැවැත්වූයේ මෙවර ය. එයට දායක වූ සියල්ලම සරසවිය උලෙළ රාජකාරියක් නොව සිදු විය යුතු යුතුකමක් ලෙස සළකා කටයුතු කළහ. එහි සංවිධායකයන් වන අපට සුපුරුදු පරිදි මල් මෙන්ම ගල් ද ලැබෙන්නට පටන් ගෙන ඇත. මල් අප වැනි පෘතග්ජනයන් උත්තේජනයට ලක් කරන්නක් වුව ගල් වඩා අවශ්‍යය. ඒ මීළඟ සිනමා උළෙල වඩාත් විශිෂ්ට සිනමා උලෙළක් බවට පත් කරන්නටය. ගල් පවුරු පදනම් ශක්තිමත් කරන්නක් නිසාවෙනි. සිනමා උලෙළක අභිලාෂයන් අතර වඩාත් වැදගත් වනුයේ එය අනාගත සිනමාව උදෙසා කෙතරම් බලපෑමක් ඇති කරන්නේ ද යන කරුණු විමසීමෙනි. ලොව විවිධ රටවල් ඇති සිනමා උලෙළයන් අතර පරමාර්ථ එකිනෙකා ට වෙනස් ය. සරසවිය සිනමා උලෙළ ආරම්භයේම ඇති ප්‍රධාන පරමාර්ථය එකිනෙකා සතුටු කිරීම නොව යහපත් හෙට දවසක් ගොඩ නැගීමය. සරසවිය මෙවර හඳුන්වා දුන් නව සිනමා සම්මානය පිලිබඳ නිවේදනය කළ සැනින් එයට ඇති වූ ප්‍රතිචාරය වඩා දෙගුණ තෙගුණ වූයේ සිනමා සම්මාන උලෙළ නිමා වූ පසුය. එනම් අදාළ වර්ෂයේ දී තිර ගත කිරීමේ වරම් නො ලද නවක සිනමා කරුවකු වෙනුවෙන් පිදෙන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමා සම්මානය සමග ය. එය නිවේදනය කළ මුල් අවස්ථාවේම තරුණ සිනමාකරුවන් කිහිප දෙනෙකුම ඉල්ලීමක් කළේ එයට පෙර වසරයන්ගේ බිහි වූ තිර ගත කරවිමේ වරම් අහිමි වූ නවක සිනමාකරුවන් ට ද ඉදිරිපත් වන්නට ඉඩ සලසා දෙන ලෙසය. එහෙත් ඒ වන විට අදාළ කොන්දේසි නිවේදනය කළ තිබූ බැවින් එය කාරුණිකව ප්‍රතික්ෂප කරන්නට සිදු විය. මෙවර සම්මාන උලෙළ නිමා වී දවස් දෙක තුනකට පසු දැන ගන්නට ලැබුණේ නවක සිනමාකරුවන් සිව් දෙනෙක්ම ලහි ලහියේ එනම් දෙසැම්බර් තිස් එක් වැනි දිනට පෙර තම චිත්‍රපට රැඟුම් පාලක මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන වගය. එය සිනමාව සම්බන්ධයෙන් අප දැක්වූ ආකල්පයන්ට ලැබුණ ඉතා වැදගත් ප්‍රතිචාරයකි. ඔවුන්ගේ මූලික අභිලාෂය එකී අගනා සම්මානය සඳහා තරග වැදීමය.එය සිනමාවේ යහපත් ප්‍රවණතාවකි. සිනමාව යනු අතීතයට අයත් වන්නක් නොවේ.එය හැම විටම අනාගතයට අයත් වන්නකි. සිනමා උළෙලක සම්මාන මෙන්ම උත්සවාලංකාරය ද අගය කළ යුතුය. උත්සවාලංකාරය අමතක ව යා හැකි නමුත් සිනමාවේ ජීව ගුණය සදා පවතිනුයේ එහි තෝරා ගන්නා සම්මානයන්ට ඉතිහාසය විසින් අත් පත් කර දෙන ස්ථානය මතය. කිසි විටෙකත් සිනමා සම්මන උලෙළක අවසානයේ එහි සියලු සම්මාන කෙරෙහි සියල්ලන්ම එකඟ වන්නේ නැත.ඇකඩමි සම්මාන ඉතිහාසය මේ සම්බන්ධව බලවත් සාක්කි සපයයි. ඩැනී පෙයරි විසින් රචනා කරන ලද ඕලටනේටිව් ඔස්කාර් නම් ග්‍රන්ථය මේ සම්බන්ධයෙන් අපූරුඑකකි. එමගින් කියා පාන්නේ ඉතිහාසය පුරා ඇකඩම් සම්මාන සම්බන්ධයෙන් සිදු වූ මතභේදාත්මක තීන්දු කෙරෙහිය. එහි ඇති ඇතැම් කරුණු සම්බන්ධයෙන් විවාදයක් නැති තරම්ය. උදාහරණයක් වශයෙන් ගත් කළ 1941 වසරේ ඇකඩමි සම්මාන උලෙළේ තීන්දු ගැනය. එවර හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වන්නේ ජෝන් ෆෝඩ් ගේ හව් ග්‍රීන් වෝස් මයි වැලි චිත්‍රපටයයි. ලොව බිහි වූ විශිෂ්ට චිත්‍රපටය ලෙස සැළකෙන සිටිසන් කේන් චිත්‍රපටය නාම යෝජනා දිනූව ද සම්මානය පිරි නැමුනේ නැත. එසේ වුව ද සිටිසන් කේන් අගය අඩු වූයේ ද නැත . හව් ග්‍රීන් වෝස් මයි වැලි ද අද මට්ටමෙන් බලන කළ ද විශිෂ්ට චිත්‍රපටයක් බැව් සැබෑය. ලොව විශිෂ්ටතම චිත්‍රපටය නිර්මාණය කළ ද සිටිසන් කේන් තැනූ ඕසන් වේල්ස් හා ජෝන් ෆෝඩ් සසඳද්දී ෆෝඩ් යනු සිනමාකරුවන්ගේත් සිනමාකරුවකු බැව් අවිවාදාත්මකය. සරසවිය සම්මාන සම්බන්ධයෙන් වුව ද එය පොදු කරුණකි. සරසවිය සම්බන්ධයෙන් පත් කළ විනිශ්චය මණ්ඩලයන් ගේ තීරණ පිළිබඳ මතවාද කාට වුව තිබිය හැක. සම්මාන පිළිබඳ එකඟ වීම නොවීම තමතමන්ට ආවේණික කාරණයකි. එහෙත් විනිශ්චය මන්ඩලයන් ගේ තීන්දු ඔවුන්ගේ ස්වාධීනත්වය කියා පාන වග පැහැදිළිය. මෙවර සරසවිය සම්මාන උලෙළ සදහා විනිශ්චය මණ්ඩලයන් යුගලක් සහභාගි වූයේ මුල් වතාවටය. එයින් එක් විනිශ්චය මණ්ඩලයක් සරසවිය ප්‍රධාන විනිශ්චයන් හි කටයතු කළේය. එනම් 2015 වසරේ තිර ගත වූ චිත්‍රපට සඳහා විනිශ්චයේ යෙදුණාහ. දෙවැන්න සිනමාකරුවන් ගෙන් සමන්විත ජූරියක් වූ අතර එය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමා සම්මානය පිළිබඳ තීන්දු ගත්හ. පසුව දැන ගන්නට ලැබුන පරිද්දෙන් නව සිනමාකරුවා පිලිබඳ විනිශ්චය ඒකමතික තීන්දුවක් විය. විවිධ ඝනයේ මතවාද වලින් පිරි සිනමාව අතැඹුලක් සේ දත් සිනමාකරුවන් පිරිසක් චිත්‍රපට රාශියක් අතරින් ඒකමතික තීන්දුවක් ගැනීම ඉතා කලාතරකින් සිදුවන්නකි. විශේෂයෙන් නවක සිනමාකරුවකු ගේ අනාගතය සැලකීමේ දී එය වඩා වැදගත්ය. සරසවිය ඒ පිළිබඳ ආඩම්බර වන්නේය. ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා |
||