|
ඉහළම සම්මානය සරසවියයි එය ලැබිය යුතුමයිරවීන්ද්ර ගුරුගේ
සිනමා නිර්මාණයක් යනු භාරදූර කටයුත්තකි. සංස්කරණය යනු එහි ඇති අතිශය භාරදූර කටයුත්ත යැයි කීවොත් නිවැරදිය. කෙතරම් හරඹ කළද අවසානයේ සිනමා නිර්මාණයේ රූප පෙළ නිසියාකාරව හැඩ ගැසෙන්නේ සංස්කරණ ශිල්පියා අතිනි. පසුගිය සරසවිය සම්මාන උලෙළේ හොඳම සංස්කරණයට හිමි සම්මානය පිරිනැමුණේ, 'මහරජ ගැමුණු' චිත්‍රපටයේ සංස්කරණ කටයුත්ත ඉටු කළ ප්‍රවීණ සංස්කරණ ශිල්පී රවීන්ද්‍ර ගුරුගේ වෙතය. මෙවර 33 වැනි සරසවිය සම්මාන උලෙළේදී ඔහු විසින් දිනා ගත්තේ සිය නිර්මාණ දිවියේ පස්වැනි සරසවිය සම්මානය යි. මීට පෙර ඔහු 'සුළං කිරිල්ලී' (2004), 'මිල්ලෙ සොයා' (2005), 'උඩුගංයාමය' (2007) සහ 'සංකාරා' (2007) චිත්‍රපටයන්හි සංස්කරණය වෙනුවෙන් ඔහු සරසවිය සම්මානයෙන් පිදුම් ලැබීය. රවීන්ද්‍ර ගුරුගේ යනු මෙරට සංස්කරණ ක්ෂේත්‍රයේ කැපී පෙනෙන චරිතයකි. අපේ රටට ඩිජිටල් තාක්ෂණය හඳුන්වා දෙමින් නව පරපුරක් ඒ වෙනුවෙන් පෙළගස්වමින් යන පුරෝගාමියෙකි.
ඔබේ සම්මාන ගොන්නේ සරසවිය සම්මාන අතරට තවත් සරසවිය සම්මානයක් එකතු වුණා නේද? 'මහරජ ගැමුණු' චිත්‍රපටයේ සංස්කරණය වෙනුවෙන් මට සරසවිය සම්මාන උලෙළේදී හොඳම සංස්කරණයට හිමි සම්මානය ලැබීම ඇත්තෙන්ම අතිශය ප්‍රීතිජනකයි. මේ දක්වා සරසවිය සම්මාන පහකින්ම පිදුම් ලබන්නට හැකිවීම ගැනත් තියෙන්නේ වචනයෙන් විස්තර කරන්න බැරි සතුටක්. සරසවිය සම්මානය කියන්නේ සිංහල සිනමාවේ සම්මාන අතරේ ඉහළම සම්මානය යි. එය කලාකරුවකු විසින් ලැබිය යුතුම සම්මානයක්. අනෙකුත් නිර්මාණකරුවන් අතරේ විශේෂ නිර්මාණකරුවකු ලෙසින් ඇගයීම වගේම එය සරසවිය සම්මානයක් වීම නිර්මාණාත්මක සංස්කරණ ශිල්පියකු ලෙසින් මා සිනමාවට දැක්වූ දායකත්වය පෙන්වනවා. ඒ නිසා සරසවිය සම්මානයකින් ඇගයීමට ලක්වීම මගේ නිර්මාණ දිවියට සුවිශාල ශක්තියක් නව පණක් ලැබුණා හා සමානයි.
හොඳම සංස්කරණයට හිමි සරසවිය සම්මානය ලබන්නට 'මහරජ ගැමුණු' චිත්‍රපටයේ සංස්කරණ කටයුත්ත සිදුකෙරුණු ආකාරය ගැනත් කියමු? 'මහරජ ගැමුණු' චිත්‍රපටය මේ කාලයේ අපේ රටේ නිර්මාණය කෙරුණු දැවැන්ත සිනමා නිර්මාණයක්. එය දැවැන්ත දර්ශන තල රැසක විශාල පිරිසකගේ දායකත්වයෙන් නිර්මාණය කෙරුණු චිත්‍රපටයක්. පැය හැටක් පුරා එහි රූගත කිරීම් යෙදී තිබුණා. ඉතින් ඒ පැය හැටක රූප රාමු පෙළ පැය දෙකයි විනාඩ් දහයත් විස්සත් අතර ප්‍රමාණයකට ලඝු කළ යුතු වුණා. ඒ වගේම එහි යෙදුණු දෘශ්‍ය ප්‍රයෝග පිළිබඳවත් දැඩි අවධානයක් යොමු කළ යුතු වුණා. මොකද ඒවා ප්‍රයෝග ලෙස නොපෙනෙන අයුරින් නිසි ලෙස සම්බන්ධ කරගනිමින් නිර්මාණය පිළිබඳ අවධානය යොමු කළ යුතු වුණා. මට සංස්කරණ කටයුත්ත පමණක් භාර වුණත් සිනමා නිර්මාණයේ අනෙකුත් කටයුතු ගැනත් මගේ අවධානය යොමු වෙනවා. එහිදී සංගීතය යෙදෙන්නේ කෙසේද? ශබ්ද පරිපාලනය කෙරෙන්නේ කොහෙමද? යන්න ආදිය ගැනත් මම නිරන්තර සෙවිල්ලෙන් ඉන්නවා. සංස්කරණ කටයුත්ත තුළ ඒ දේවල් ඉතාම වැදගත්. ඒ සමඟින් මාස හයක පමණ කාලයක් පුරා 'මහරජ ගැමුණු' චිත්‍රපටයේ සංස්කරණ කටයුත්ත බොහොම සාර්ථකව කරගන්න අවකාශය ලැබුණා. එය ප්‍රේක්ෂකයන් ඉහළින් වැළඳ ගත්තා පමණක් නොව, මෙලෙස විශේෂ පූරි සභිකයන් පිරිසකගේ ඇගයීමට ලක්වීමෙනුත් එය මනාව ඔප්පු වුණා.
අපේ රටේ සංස්කරණය නව මාවතකට යොමු කළ ඔබ 'මහරජ ගැමුණු' චිත්‍රපටයේදී නව තාක්ෂණයෙන් කළ අලුත් දේ මොනවාද? මෙතැනදී මම සමඟින් පැමිණි අනිත් අය ගැන සතුටුයි. එදා සරසවිය සම්මාන උලෙළේදී හොඳම ශබ්ද පරිපාලනය වෙනුවෙන් අරුණ ප්‍රියන්ත කළුආරච්චි සම්මානයට පාත්‍ර වුණා. මේ අය මෙතැනට ගෙන එන්න පසුගිය වසර දහය - පහලොවක විතර කාලයක් ගත වුණා. එතැනදී මම ලැබූ සම්මානයට වඩා ඔවුන් ලද සම්මාන ගැන සතුටුයි. වෙනදා නම් අපි අපේ සිනමා නිර්මාණවල වර්ණ සංයෝජන කටයුත්ත වෙනුවෙන් අසල්වැසි ඉන්දියාවට යනවා. 'මහරජ ගැමුණු' චිත්‍රපටය ගැන කතා කරනවිටදී එහි වර්ණ සංයෝජන කටයුතු සම්පූර්ණයෙන් සිදු කළේ ලංකාවේදීයි. දිනිදු ජාගොඩ නම් යොවුන් නිර්මාණකරුවා එංගලන්තයේදී ඒ වෙනුවෙන් ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනය ලබා ඇවිත් සිටින අපේ සම්පතක්. ඔහුගේ දායකත්වයෙන් මෙහි සියලු වර්ණ සංයෝජන කටයුතු ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව සිදුකරන්න අපට හැකි වුණා. ඒ වගේම බලපත්‍ර සහිත මෘදුකාංග භාවිතයෙන් අවහිරයකින් තොරව ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව ඩිසීපි නිර්මාණය කිරීම ගැනත් සඳහන් කළ යුතුයි.
ඓතිහාසික කතා තේමාවක් රැගෙන එන 'මහරජ ගැමුණු' චිත්‍රපටය සංස්කරණය අනෙකුත් කලාත්මක චිත්‍රපට සංස්කරණයට වඩා වෙනස් වෙනවාද? 'මහරජ ගැමුණු' චිත්‍රපටයට පෙර එහි නවකතා කෘතිය අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි අතින්ම රචනා වුණා. එය කියවීම විශේෂයි. ඒ වගේම දුටුගැමුණු මහරජතුමා පිළිබඳ කතා පුවත අපේ රටේ ජනතාව හොඳීන් දන්නා ඓතිහාසික කතා පුවතක්. ඒ නිසා සාමාන්‍ය කලාත්මක සිනමා නිර්මාණයකට වඩා කවුරුත් දන්නා ජනප්‍රිය කතා පුවතක් සිනමාවට ගෙන ඒමේදී විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු වෙනවා. එහිදී වගකීම වැඩියි. මොකද එය සාමාන්‍ය ජනතාව අතරේ පවා ජනප්‍රිය නිසා එහිදී සියලු දේ නිසි අයුරින් පවත්වා ගැනීම වැදගත් වෙනවා. මමත් ප්‍රේක්ෂකයකු ලෙසින් 'මහරජ ගැමුණු' සිනමා නිර්මාණය පිළිබඳ තෘප්තිමත් නිසා ඒ සියල්ල මෙහිදී හොඳන් ඉටු වූ බව මගේ හැඟීමයි.
'මහරජ ගැමුණු' චිත්‍රපටයේ අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි සමඟ ගනුදෙනුව? මම සංස්කරණයට පිවිසෙනකොට අපේ රටේ ඒ වෙනුවෙන් තිබුණේ ඉතාම අවම තාක්ෂණයක්. පැරණි දේවල්වලට විතරක් සීමා වෙලා ඉන්න මට උවමනාවක් තිබුණේ නැහැ. මම සිනමා සංස්කරණයට පිවිසුනේ අලුත් තාක්ෂණයත් අපේ රටට තිළිණ කරමින්. ඒ විදියට නවීත තාක්ෂණයෙන් සංස්කරණය කළ මුල් සිනමා නිර්මාණ දෙකෙන් එකක් වන්නේ, ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කළ 'අග්නිදාහය' චිත්‍රපටය යි. එදා නවීන තාක්ෂණය අත්හදා බැලූ අවස්ථාවේදීත් මම, ජයන්ත සමඟ ගනුදෙනු කළා. සිනමා නිර්මාණයක අවසාන පරිච්ඡේදය වන්නේ සංස්කරණය යි. මුලදී යම් අඩුපාඩුවක් වී තිබේ නම් ඒවා නිවැරදි කරගැනීමට තිබෙන එකම අවස්ථාව වෙන්නෙත් සංස්කරණය යි. ඒ නිසා අධ්‍යක්ෂවරයාට වැදගත්ම අවස්ථාව වෙන්නෙත් සංස්කරණය නම් අවස්ථාවයි. ඔහුගේ හිතේ තිබෙන සිතුවම සිනමා නිර්මාණයක් ලෙසින් දකින්නට ලැබෙන්නේ එතැනදීයි. සාමාන්‍යයෙන් එතැනදී මම අධ්‍යක්ෂවරයා සමඟින් පිටපතෙන් එහාට ගොස් චිත්‍රපටයේ චරිත, කතාව ආදි දේ පිළිබඳ සාකච්ඡා කරනවා. අධ්‍යක්ෂවරයා නිර්මාණය දකින ආකාරය මම දකින්නේ එතැනින්. මේ අවස්ථාවේදීත් එය එපරිද්දෙන්ම සිදු වුණා. ජයන්ත විසින් රචිත නවකතාව කියවූ මම ඉන් පසුව පිටපතත් එතැනින් එහා ඔහු සමඟින් කළ සාකච්ඡාවන් අනුව 'මහරජ ගැමුණු' චිත්‍රපටයේ සංස්කරණ කටයුත්ත සිදු කෙරුණා.
ඔබගේ මීළඟ සංස්කරණ කටයුත්ත ගැනත් කියමු? ඩිජිටල් තාක්ෂණයෙන් සංස්කරණය යටතේ පැරණි විශිෂ්ට සිනමා කෘති ප්‍රතිසංස්කරණයක් ලෙස ආචාර්ය ඩී. බී නිහාල්සිංහ අධ්‍යක්ෂණය කළ වැලිකතර චිත්‍රපටය ප්‍රතිසංස්කරණය කළා. එතුමා ජීවතුන් අතර සිටියදී ඒ කටයුත්ත ආරම්භ කළද තිරගත කිරිමට පෙර එතුමා අපෙන් සමු ගත්තා. ප්‍රතිසංස්කරණය සමඟින් එදා 'වැලිකර' චිත්‍රපටය සේම අදත් 'වැලිකතර' චිත්‍රපටය බොහොම පැහැදිලිව නරඹන්න අපට දැන් පුළුවන්. එය අපි මේ වසරේ අප්‍රේල් මාසයේ දී ඩිජිටල් තාක්ෂණය සහිත සිනමා ශාලා කිහිපයක සීමිත ප්‍රදර්ශන වාර ගණනක් තිරගත කරන්න සූදානම්. මෙරටදී ඩිජිටල් තාක්ෂණයෙන් ප්‍රතිසංස්කරණය කළ ප්‍රථම චිත්‍රපටය වන්නේ 'වැලිකතර' චිත්‍රපටය යි. ඊට අමතරව අශෝක හඳගමගේ නවතම සිනමා නිර්මාණය ඇතුළුව තවත් සිනමා නිර්මාණ කිහිපයක සංස්කරණ කටයුතු යෙදී තිබෙනවා.
|