වර්ෂ 2016 ක්වූ ජනවාරි 05 වැනිදා බ්‍රහස්පතින්දා




කලාකරුවකුට සරසවිය සම්මානයක් නොලැබීම දුකක්

කලාකරුවකුට සරසවිය සම්මානයක් නොලැබීම දුකක්

හොඳම ගායකයා ලෙස සම්මානනීය වූ එඩ්වඩ් ජයකොඩි

මෙරට සංගීත ක්ෂේත්‍රය තුළ එඩ්වඩ් ජයකොඩි සලකුණ කිිසි දිනයක වියැකී යන්නක් නොවේ. සුභාභිත ගීතයේ උන්නතිය වෙනුවෙන් ක්‍රියා කළ විශිෂ්ට සංගීතකරුවන් අතර ඔහු ද පෙරමුණේ සිටියි. ඒ අනර්ඝ වූ හැකියාවට අප රට තුළදි ලබන්නට හැකි ඉහළම සම්මානයෙන් පිදුම් ලැබීය. එලෙස ඉකුත් සරසවිය සම්මාන උලෙළේ හොඳම ගායකයාට හිමි සම්මානය දිනාගත් සංගීත විශාරද එඩ්ව්ඩ් ජයකොඩි මේ ලැබුවේ සිය දෙවැනි සරසවිය සම්මානයයි.

නැවත වරක් සරසවිය සම්මානයෙන් පිදුම් ලැබුවාම මොකද හිතුණේ?

පළමුව මා ඇසූ පැනයට එඩ්වඩ් පිළිතුරු ලබා දුන්නේ 'මේ සැරේ සම්මානයේ බර මගේ හිතට තදින් දැනුණා' යන්න පවසමිනි. එතැන් පටන් ඔහු හා මම මෙලෙස සංවාදය ඇරැඹුවෙමි.

සරසවිය සම්මාන උලෙළ ගැන අපූරු මතකයන් කිහිපයක්ම ඔබ සතුව තියෙනවා?

ඔව්. එතකොට අපි කලාවට එන්න අර අඳින ආධුනිකයෝ. සරසවිය පත්තරෙන් පමණයි අපි සම්මාන උලෙළ ගැන දැනගන්නේ. ඉතින් හරිම ආසාවෙන් උලෙළ ගැන විස්තර බලනවා. පින්තූර කපලා පොත්වල අලවනවා. එක්තරා ආකාරයකින් ඒක සුන්දර පිස්සුවක් ඒ කාලේ ඉඳලා. මං සරසවිය උලෙළට හරිම ළෙංගතුයි.

ඔබට මතකද ඔබ සහභාගි වු මුල්ම සරසවිය සම්මාන උලෙළ?

අසුව දශකයේ මං උලෙළයන්වලට සහභාගි වුණා මතකයි. එතකොට මං ක්ෂේත්‍රයට එකතු වෙලා යම් කිසි කතාබහකට ලක්වන අයකු වී අවසන්. මාව සරසවිය සම්මානෙකට මුලින්ම නිර්දේශ වුණේ සෙයිලම චිත්‍රපටයේ ගායනයට. පසුකාලිනව සමනළ තටු චිත්‍රපටයට සම්මාන නිර්දේශ වුණා. මුලින්ම සරසවිය සම්මානයක් ලැබුණේ සිරි රජ සිරි චිත්‍රපටයේ ගායනයට. මට ඒ චිත්‍රපටයත් විශේෂයි. ඒ මොකද දන්නවද මගේ දුව ශාරණ්‍යා තමයි එහි ප්‍රධාන චරිතය රඟපෑවේ. චරිතත් සුළු චරිතයකට පෙනී සිටියා.

කලාකරුවකුට හෝ කලාකාරිණියකට සරසවිය සම්මානයක් ලැබීම එක්තරා අයුරකින් භාග්‍යයක්?

ඔව්. ඒක මමත් පිළිගන්නවා. කලාවේ වැඩ කටයුතු කරලා සරසවිය සම්මානයක් නොලබා කලාවෙන් සමුගන්නට ලැබුණොත් ඒක ඔහුට හෝ ඇයට දුක හිතෙන කරුණක්. මොකද මේක තමයි අපව අගයන්න තියෙන ඉහළම සම්මානය.

අප කලක් දුටුවා එඩ්වඩ් ජයකොඩි නමැති රංගන ශිල්පියාව. ඔහු දැන් කෝ?

හුඟක් අය නොදන්නවා වුණාට මුල් කාලේ මං වේදිකා නාට්‍ය රැසක රඟපෑවා. ගජමන් පුවත, සෙක්කුව, නරිබෑනා, අංගාරා ගඟ ගලා බසියි, මාවතේ අපි, කොන්ත නෝනා, මුහන්දිරම් හාමුදුරුවෝ ඉන් කිහිපයක්. ඒ අතරින් මුහන්දිරම් හාමුදුරුවෝ නාට්‍යයේ රංගනය වෙනුවෙන් හොඳම සහාය නළුාවට හිමි රාජ්‍ය සම්මානයත් ලැබුවා. මීට වසර ගණනාකට පෙර ටෙලි නාට්‍ය කිහිපයක රඟපෑවා. නමුත් දැන් රංගනය අතහැර දාලා වගේ තියෙන්නේ.

කොහොමද මේ දිනවල ඔබගේ නවතම කලා තොරතුරු?

චිත්‍රපට දෙකක සංගීත අධ්‍යක්ෂණය කළා. ලාල් ප්‍රියදේව අධ්‍යක්ෂණය කළ අතුරු මිතුරු හරි අපූරු සහ අප්පට සිරි තමයි ඒ චිත්‍රපට යුගළ. එන්. උදය කුමාර් තමයි නිෂ්පාදක. ඒ වගේම ජගත් ගලප්පත්ති කියන මගේ ඥාතියා නිෂ්පාදනය කළ වස්දඬුරාවය චිත්‍රපටයේ ගීත ගැයුවා.

ඔබගේ ජංගම දුරකථනයට අමතන කෙනෙකුට ඇහෙනවා ඉතාම මිහිරි ගියක්. ඒක කවද ද එළි දුටුවේ?

ඒ සින්දුව තවමත් නිකුත් කළා නොකළා වගේ. අහපු අයත් ඉන්නවා. 'ගිම්හාන කාලේ සුදු වැලිතලා, ගං දෑල මානේ හිත තනි කළා' යනුවෙනුයි ඒ ගීය ආරම්භ වන්නේ. රොඩ්නි විදානපතිරණ ගීතය ලිව්වා. සංගීත අධ්‍යක්ෂණය සුනිල් ධර්මසේනගෙන්.

අපේ නව පරපුර දෙස ප්‍රවීණයෙකු විදිහට ඔබ කොහොමද දකින්නේ?

නව පරපුරේ අයගේ විවිධ ආකල්ප තියෙන්න පුළුවනි. නමුත් ඔවුන් හරිම දක්ෂයි. හොඳ නිර්මාණත් තියෙනවා.

නමුත් ඉස්සර වගේ සුභාවිත ගීත හැදෙන්නේ නැත්තේ ඇයි?

අපේ ආරම්භක යුගයේ තිබුණේ ගුවන්විදුලිය පමණයි. ඒකෙන් සින්දු ප්‍රචාරය වුණේ ඉතාමත් සුපිරිසිදු විදිහට. ගීතයට කලින් පද රචනාව බැලුවා. ඊට උචිත තනුවක් තියෙනවාද කියලා ඊළඟට බලනවා. ගායනයත් ප්‍රශස්ත මට්ටමකින් තියෙනවද කියා බලලයි ගීතයක් ජනතාව අතට යවන්නේ. නමුත් අද ඒ මොකවත් නැහැනෙ. මේ කතාව කියාගෙන එද්දී මට අතීතයේ වුණු සිදුවීමක් මතක් වෙනවා. මේක මගේ ඇස් දෙකෙන් දැකපු දෙයක්. පෞද්ගලික ගුවන් විදුලි නාළිකා ආරම්භ වූ යුගයක ගුවන් විදුලියෙන් ප්‍රතික්ෂේප වූ ගීත එම නාළිකාව මඟින් බාරගෙන ප්‍රචාරය කළා. එතැනින් තමයි ඔය ව්‍යසනය ඇති වුණේ.

එඩ්වඩ් ජයකොඩිගේ ගීතයක් රීමේක් කරන්න නව පරපුරේ කෙනෙක් ඉල්ලුවොත් මොකද කියන්නේ?

මෙහිදී එක්තරා කරුණක් කිව යුතුයි. මං ගැයූ ගීතවලට උපරිම සාධාරණයක් මවිසින් ඉටු කරලා තියෙනවා. ගයන්න ඕන උපරිම අයුරින් තමයි ඒවා ගයලා තියෙන්නේ. මේ ළඟදී දවසක අපේ පුතා වන චන්දීප මගේ වසන්තයේ අග සහ චරිතගේ ජීවිතයේ යොවුන් වියේ ගීත යුගළ තබ්ලාව සහ පියානෝව භාවිත කරමින් ප්‍රතිනිර්මාණය කළා. ළඟදීම ඒවා මාධ්‍යයට නිකුත් වේවි. මං කියාගෙන ආවේ මේකයි. මගේ ගීතයක් කෙනෙකු ඉල්ලුවොත් නොදී ඉන්නේ නැහැ. නමුත් ඔහු ඒ කරන්න යන රීමේක් එක තුළින් මට හා ශ්‍රාවකයන්ට හානියක් නොවිය යුතුයි.

චිත්‍රපටයක සංගීත අධ්‍යක්ෂණයට කතා කළාම ඔබ පළමුව සලකා බලන කාරණා මොනවාද?

අධ්‍යක්ෂවරයා කවුද, නිෂ්පාදක කවුද යන කාරණය බලනවා. චිත්‍රපටයේ පිටපත බලල මට සංගීතය පැත්තෙන් අලුතින් කරන්න පුළුවන් දේවල් හිතනවා. මට මෙවන් වූ කටයුත්තකට කතා කළාම මං හරි කැමැතියි නිදහසේ වැඩ කරන්න.ඒ කිව්වේ නිර්මාණය තුළ මගේ ආධිපත්‍යය පතුරවනවා කියනඑක නෙවෙයි. නිර්මාණකරුවන් හා තර්ක විතර්ක ගෙන එමින් හොඳ උසස් නිර්මාණයක් කරන්නයි මට ඒ නිදහස ඕනෑ.

වරෙක ඔබට චිත්‍රපටයකට ගයන්නට කියලා දුන්නු ගීතයක් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඇයි එහෙම වුණේ?

මං නිර්මාණවලටවත්, මුදල්වලටවත් ලෝබ කෙනෙක් නෙවෙයි. ඒ හින්දයි එහෙම කළේ. ඔය සිද්ධිය වුණේ වසර ගණනාවකට පෙර. දිනෙක මට චිත්‍රපටයකට ඇරැයුම් ලැබුණා ගීතයක් ගයන්න. එහි ට්‍රැක් එක මට අහන්නට ලැබුණේ ස්ටුඩියෝ එකට ගිය අවස්ථාවේදී. අන්න ඒ වෙලාවේදී මට හිතුණා මේක කොච්චර ශෝක් ද ග්‍රේෂන් ආනන්ද ගැයුවා නම් කියලා. එතකොට ඔහු ජීවතුන් අතර හිටියා. අවසනදී එම ගීය ගැයුවේ ඔහු. ඉතාමත් ජනප්‍රියත්වයට ඒ ගීතය පත් වුණා.

කොහොමද ඔබේ ඒක පුද්ගල ප්‍රසංගය වන මාරම්බරී හී වැඩ කටයුතු?

ඉතාමත් හොඳින් සිදු කෙරෙනවා. එහි සියවැනි ප්‍රසංගය මේ වසරේදී පැවැත්වීමට නියමිතයි. අමරදේව සර්, සනත් නන්දසිරි සර්, වික්ටර් රත්නායක මහත්මයා, දයාරත්න රණතුංග මහත්මයා, අමරා මිස් වැනි අයගේ ඒක පුද්ගල ප්‍රසංග දැකලා ඒ ආභාෂයෙන් තමයි මාරම්බරී ඇරැඹුවේ. මට අමරදේව සර්ගේ සහ වික්ටර් රත්නායක මහත්මයාගේ ඒක පුද්ගල ප්‍රසංගවලට අත්වැල් ගායනයෙන් සහාය වන්නට ලැබුණා. ඉන් මා ලබාගත් අත්දැකීම් බොහොමයි. මේ වන විට මාරම්බරි ප්‍රසංගය එංගලනත්ය, ප්‍රංශය, ඉතාලිය, ස්විට්සර්ලන්තය, ඔස්්ට්‍රේලියාව, කුවෙට්, ඩුබායි ආදී රටවල් ගණනාවකදී පවත්වා තිබෙනවා. චරිතා තමයි මාරම්බරී ප්‍රසංගයේ බර කරට අරගෙන කටයුතු කරන්නේ.