|
ආයෙමත් රජකතාවලට දායක වෙන්නේ නැහැකලා අධ්‍යක්ෂණය සම සම්මානයරොහාන් සමරදිවාකර
රොහාන් සමරදිවාකර කලාවේ අත්පොත තබන්නේ නාට්‍ය ක්ෂේත්‍රයෙන්. වේදිකා නාට්‍ය ඔස්සේ දැක්වූ දස්කම් හා ඒ තුළින් ලද පන්නරය හමුවේ දෙවනුව ටෙලි නිර්මාණ සහ වෙළෙඳ දැන්වීම් කලාවටත් ඉන් අනතුරුව සිනමාවටත් පිවිසෙන්නේ කලා අධ්‍යක්ෂවරයකු ලෙසින්. එලෙස පැමිණි ගමනේදී රොහාන් සරසවිය සම්මානයකින් පිදුම් ලබන්නත් වාසනාවන්ත වුණා. ඒ දිගු නිහැඬියාවක් බිඳ දමමින් පැවැති 33 වැනි සරසවිය සම්මාන උලෙළේදීයි. 'මහරජ ගැමුණු' චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂණයට හිමි සම සම්මානය යි. සිය හැකියාවන් සරසවිය සම්මානයකින් ඇගයීමට ලක් වූ අවස්ථාවේදී රොහාන් දැක් වූ අදහස් මෙසේයි. සරසවිය සම්මානයකින් පිදුම් ලද සතුට ඔබට දැනෙන්නේ කොහොමද? ඒ ගැන නම් මොන කතාද. අමනාපයක් වෙන්නේ කොහොමද? 'මහරජ ගැමුණු' චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂණය වෙනුවෙන් සරසවිය සම්මානයකින් පිදුම් ලැබීම මොන තරම් සතුටක්ද. ජීවිතයේ ලද වටිනාම වගේම ප්‍රීතිදායකම අවස්ථාවක් ලෙස සරසවිය සම්මානයකින් පිදුම් ලැබීම මගේ හිතේ බොහොම සුන්දරව තැන්පත් වෙලා තියෙනවා. 'මහරජ ගැමුණු' චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂණය වෙනුවෙන් සරසවිය සම්මානය වගේම දෙරණ සිනමා සම්මාන උලෙළ සහ සිග්නීස් සම්මාන උලෙළේදීත් මට හොඳම කලා අධ්‍යක්ෂණය වෙනුවෙන් සම්මාන හිමි වුණා. ඒ අනුව 'මහරජ ගැමුණු' චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂණය වෙනුවෙන් මට සම්මාන තුනක්ම හිමි වෙලා තියෙනවා. කලා අධ්‍යක්ෂණය තෝරා ගන්නත් විශේෂ හේතුවක් තිබුණාද? මුලින්ම මගේ දායකත්වය ලැබුණේ නාට්‍ය ක්ෂේත්‍රයට. කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ඉගෙනුම ලබන කාලයේදී පටන් මම වේදිකා නාට්‍යවලට දායක වුණා. පාසලේදී අපට නාට්‍යය විෂය ඉගැන්නුවේ මහාචාර්ය ජේ. බී දිසානායක මහත්තයාගේ බිරිය කුසුම් දිසානායක මහත්මිය යි. අන්තර් පාඨශාලාන්තර නාට්‍ය තරගවලට වගේම 1986දී විතර යොවුන් නාට්‍ය තරගවලටත් ඉදිරිපත් වෙලා ජයග්‍රහණ ලැබුවා. පසුතල සහ ඇඳුම් නිර්මාණය, වේදිකා සැරසිලි එහෙම තමයි කළේ. 'ලෝකා', 'ඒකාධිපති' වැනි නාට්‍ය කිහිපයක රංගනයෙනුත් දායක වෙලා තියෙනවා. ලීල් ආනන්ද ගජනායක මෙහෙයවන සරසවි නිර්මාණ සම්මාන උලෙළේදී හොඳම සහය නළුවා සම්මානයත් දිනාගෙන තියෙනවා. එතකොට සිනමාවට සම්බන්ධ වුණේ? ධර්මසේන පතිරාජ, ආචාර්ය තිස්ස අබේසේකරයන්ගේ එහෙම නිර්මාණ දැකලා සිනමාව ගැන වහ වැටිලා හිටියේ. ඒ කාලයේ අපට ලෝක සිනමාවත් ඇසුරු කරන්න හොඳ මාවත් විවර වෙලා තිබුණා. ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානය, බ්‍රිතාන්‍ය කවුන්සිලය, සෝවියට් සංස්කෘතික මධ්‍යස්ථානය ආදි ස්ථානවල තිරගත කළ විදෙස් චිත්‍රපට නරඹන්න අපි ඒ කාලයේ පුරුදු වෙලා හිටියා. මට සිනමාවට පිවිසෙන්න අවස්ථාව ලැබුණේ, 1991 වසරේදී පරාක්‍රම නිරිඇල්ල අධ්‍යක්ෂණය කළ 'අයෝමා' චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂණය සමඟින්. වසන්ත ඔබේසේකරගේ 'දොරකඩ මාරාව', සුදත් දේවප්‍රියගේ 'උඩුගංයාමය', අශෝක හඳගමගේ 'මේ මගේ සඳයි' සහ 'තනි තටුවෙන් පියාඹන්න', ජයන්ත චන්ද්‍රසිරිගේ 'සමනල සංධ්වනිය' වැනි සිනමා නිර්මාණ රැසකට කලා අධ්‍යක්ෂණයෙන් දායක වුණා. නමුත් ඊට පෙර මම රූපවාහිනි නිර්මාණවල කලා අධ්‍යක්ෂණ කටයුතු ඉටු කළා. එහි මූලාරම්භය සිදු වුණේ, සමන් ආතාවුදහෙට්ටි මහත්මයා විසින් අධ්‍යක්ෂණය කළ 'අඳුකොළ' ටෙලි නිර්මණයෙන්. වෙළෙඳ දැන්වීම් නිර්මාණකරණයේදීත් කලා අධ්‍යක්ෂණයෙන් සහය දුන්නා. පරාක්‍රම නිරිඇල්ල, සුගතපාල ද සිල්වා, ධර්මසිරි බණ්ඩාරනායක, වැනි ප්‍රවීණයන්ගේ නිර්මාණ සමඟින් මට කලා අධ්‍යක්ෂණයේ ඉදිරියට එන්න ලැබීම ගැන තියෙන්නේ ලොකු සතුටක්. කලා අධ්‍යක්ෂණය පුරාවට අමතක නොවන අත්දැකීම් ඇති? හැම නිර්මාණයක්ම අමතක නොවන අත්දැකීමක් තමයි. විමුක්ති ජයසුන්දරගේ 'සුළඟ එනු පිණිස' චිත්‍රපටය වෙනුවෙන් මැංගුස් ඕනි වුණා. ඒක මැංගුස් අවාරේ. විමුක්ති කියනවා මැංගුස්ම ඕනේ කියලා. මොනව කරන්නද? කොහොම හරි අමාරුවෙන් මැංගුස් ගෙඩි දෙකක් හොයා ගත්තත් ඒ ගෙඩි දෙකත් කුණු වෙලා. කොහොම හරි චිත්‍රපටයේ රූගත කිරීම්වලට පේන්න කෑවේ මැංගුස්ම නෙවෙයි. කලා අධ්‍යක්ෂණයේදී හැම නිර්මාණයක්ම අලුත් අත්දැකීමක්. එක වතාවක් කළ දෙයක් තවත් වතාවක් කරන්න බැහැනේ. 'මහරජ ගැමුණු' චිත්‍රපටයේදිත් අපි ඒ වගේ අත්දැකීම් රැසක් ලැබුවා. ඒ වෙනුවෙන් අපි ඉදිකළ දැවැන්ත පසුතල දැවැන්ත විදියට සුළඟේ ගසාගෙන අවස්ථා එහෙමත් තිබුණා. දුන්නත් ඊතලයක් හැදුවත් කුඹුරක් හාන දර්ශනයක් වුණත් ඒ කාලයට අවශ්‍ය විදියටම තියෙන්න ඕනේ. කලා අධ්‍යක්ෂණයෙන් කරන්නේ බොරුවෙන් ඇස් රවටන එකයි. නමුත් ඒ බොරුව බොරුවක් නොවන විදියට තිබිය යුතුයි. කැමරා අධ්‍යක්ෂවරයා, ඇඳුම් නිර්මාණ ශිල්පියා, වේශ නිරූපණ ශිල්පියා ආදින්ගේ සහයත් මෙහිදී ඉහළයි. 'මහරජ ගැමුණු' චිත්‍රපටය වෙනුවෙන් ඔබ විශේෂ අධ්‍යයනයන් එහෙමත් කළාද? 'මහරජ ගැමුණු' චිත්‍රපටය ඓතිහාසික කතාපුවතක් කියන චිත්‍රපටයක් නිසා එහි සෑම නිර්මාණ කටයුත්තක්ම ඒ කාලයේ විදියට නිර්මාණය කළ යුතුයි. එහිදී කෞතුකාගාර, පැරණි චිත්‍ර ආදියෙන් තොරතුරු රැසක් එකතුකර ගැනීමට හැකි වුණා. රජ මාලිගාව නිර්මාණයට ඒ වෙනුවෙන් විශේෂ අවධානය යොමු කළා. මේ කටයුත්තේදී ඇඳුම් නිර්මාණය කළ අරුණ ධර්මපාල ගෙන් ලද සහායත් සුවිශේෂයි. අපි නිර්මාණකරණයේදී අපේ පැරණි චිත්‍රපට ආදර්ශයට ගන්නවානේ. මටත් උවමනා වුණේ 'මහරජ ගැමුණු' චිත්‍රපටයත් අනාගතයේදී ඒවගේ ආදර්ශයට ගන්නා චිත්‍රපටයක් කරන්නයි. 'මහරජ ගැමුණු' චිත්‍රපටය කියන්නේ අපේ රටේ නිර්මාණය වූ ප්‍රථම ඓතිහාසික කතාවක් ගෙන චිත්‍රපටය නෙවෙයි. නමුත් මට උවමනා වුණේ මීර පෙර නිර්මාණය කෙරුණු ඒ හැම චිත්‍රපටයක්ම අතික්‍රමණය කරමින් ඉදිරි නිර්මාණවලට පූර්වාදර්ශයක් ගෙන දෙන සිනමා නිර්මාණයක් කරන්නයි. ඒ වෙනුවෙන් මම දැඩි මහන්සියෙන් කැප වෙලා කටයුතු කළා. චිත්‍රපට අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි සමඟින් කටයුතු කිරීම ගැනත් කිව්වොත්? නිර්මාණය ආරම්භයට පෙර මම ජයන්ත සමඟින් මේ ගැන ගැඹුරු සාකච්ඡාවල නිරත වුණා. ජයන්ත එක්ක වැඩ කරන එක හිතන තරම් ලෙහෙසි නැහැ. හැබැයි අපේ වැඩේ හරියට කළොත් ඔහු එය ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. 'මහරජ ගැමුණු' චිත්‍රපටයේදී මම කලා අධ්‍යක්ෂණයේ යෙදුනෙත් හරියට යුද්ධයක් කරනවා වගේ. එක ලොකේෂන් එකක් නිර්මාණය කරලා එහි රූගත කරන්න ඉඩදීලා මම ඊළඟ ලොකේෂන් එකට පසු බහිනවා. එනැත නිර්මාණ කටයුත්ත නිම කරලා එතැනින් එහාට යනවා. ජයන්ත ඇතුළු පිරිස රූගත කරමින් පැමිණෙනවා. එතැනදී මා සමඟින් සියයකට අධික පිරිසක් මේ කටයුත්තට දායක වුණා. මොන තරම් දැවැන්ත කටයුත්තක් වුණත් අපි හොඳ සැළසුමක් ඇතිව කටයුතු කළ නිසා සියලු දේ සාර්ථකව කරගන්න හැකි වුණා.
ඉදිරියේදී ඔබේ කලා අධ්‍යක්ෂණය දැක ගන්න ලැබෙන්න නිර්මාණ මොනවාද? මම කලා අධ්‍යක්ෂණයෙන් දායක වුණු චිත්‍රපට දෙකක් ඉදිරියේදී තිරගත වෙන්න තියෙනවා. ඒ වෙනුවෙන් තව වසර දෙකක්වත් යයි. හැබැයි ආයෙමත් රජ කතාවලට නම් දායක වෙන්න මගේ අදහසක් නැහැ. මොකද මගේ කලා අධ්‍යක්ෂණය සිදු වූ මේ කාලය පුරාවට එක සමාන දේවල් කවදාවත් කරලා නැහැ. මම උත්සාහ කරන්නේ, නිර්මාණයෙන් නිර්මාණයට අලුත් වෙනසක් කරන්නයි. කලා අධ්‍යක්ෂවරයකු අතින් ඉටු විය යුත්තේද එය යි.
|