|
තමිල්නාඩුවේ රැජන සමුගනී
ජයලලිතා ජයරාම් තමිල්නාඩු රාජ්‍ය සම්මාන උලෙළේ හොඳම නිළිය ලෙසින් පස් වතාවක් සම්මාන දිනූ අතර කොලිවුඩයේ ෆිල්ම් ෆෙයාර් සම්මාන උලෙළේදි ද පස් වතාවක් හොඳම නිළියට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවාය. ජයලලිතාගේ සිනමා ගමනේ ආරම්භය සනිටුහන් වෙන්නේ 1961 වසරේදීය. ඒ ඉංග්‍රීසි බසින් නිර්මාණය වූ චිත්‍රපටයක් වන Epistle චිත්‍රපටයෙනි. ඇය ඉහළ ජනප්‍රියත්වයක් දිනා ගන්නේ Sri Shalia Mahathme කන්නඩ චිත්‍රපටයෙනි. ඇය සිනමාවට හඳුන්වාදීමේ ගෞරවය හිමි වෙන්නේ කොලිවුඩයේ අතිශය ජනප්‍රිය නළු එම්. ජී රාමචන්ද්‍රන් හෙවත් එම්ජීආර් වෙතය. සිනමාවේදී ඔහු ඇයගේ පෙම්වතා වන විට ඇයගේ වයස අවුරුදු දහසයක් විය. එවිට එම්ජීආර්ගේ වයස අවුරුදු හතලිස් දෙකකි. චිත්‍රපට තිහකට අධික ප්‍රමාණයක ඔවුහු පෙම්වතුන් වූහ. සැබෑ ජීවිතයේද එම්ජීආර් ඇයගේ පෙම්වතා බව රහසක් නොවීය.
රංගනය පමණක් නොව චිත්‍රපට ගීත රැසකට ඇය ගායන දායක්වයද ලබා දී ඇත. Adimi Penn, Suriyakaanti, Vandhaale Maharaasi, Thumngalyam ඒ අතරින් කිහිපයකි. ඇය හින්දි සිනමාවට සම්බන්ධ වන්නේ 1962 වසරේදීය. කිෂෝර් කුමාර් සහ සධානා රංගනයෙන් දායක වූ Man Mauji නම් චිත්‍රපටයේ ඇය පණ පෙවූයේ ළමා චරිතයකටය. අනතුරුව ඇය හින්දි සිනමාව වෙනුවෙන් දායක වූයේ එක චිත්‍රපටයක පමණි. ඒ 1968 වසරේදී හින්දි සිනමාවේ සුපිරි නළු ධර්මේන්ද්‍ර සමඟින් රඟපෑ Izzat චිත්‍රපටය යි. ඇය දේශපාලන ක්ෂේත්‍රයේ පමණක් නොව සිනමාවේද ආන්දෝලනාත්මක චරිතයක් බවට පත් වූයේ, දෙමළ සිනමාවේ ප්‍රථමවරට නාන ඇඳුමකින් සැරසී රංගනයේ යෙදීමෙනි.
ඇයට දෙවසරක් සම්පූර්ණ වෙනවිටදී ඇය පියා ජීවතුන් අතරින් සමු ගැනීම හේතුවෙන් කුඩා ජයලලිතා සමඟින් මව බැංගලෝරය වෙත පැමිණියාය. ජයලලිතා සිය රංගන වෘත්තිය ආරම්භ කරන්නේ එහිදීය. බැංගලෝරයේදී හා චෙන්නායිහිදි සිය අධ්‍යාපන කටයුතුවල නිරත වූ ඇය ඉංග්‍රීසි ඇතුළුව භාෂා කිහිපයකම ප්‍රවීණත්වය ලබා ගත්තාය. එපමණක් නොව භරත, කථක් නර්තන මෙන්ම කර්ණාටක සංගීතයද ඇය හැදෑරූ විෂයන් අතරට ඇතුළත් විය. රංගනය පමණක් නොව ජයලලිතාගේ දේශපාලන ගමනේ ආරම්භය සිදු වන්නේද එම්ජීආර්ගේ සහයෝගය ඇතිවය. 1977 වසරේ සිට එම්ජීආර්ගේ අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කසගම් පක්ෂයට සහයෝගය දෙමින් කටයුතු කළ ඇය ඉන්දීය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියක ලෙසින් පත්වීම් ලැබූයේ 1984 වසරේදීය. එම ධුරයට පත් ප්‍රථම කාන්තාව වන්නේද ඇයයි. 1991 වසරේදී ඇය මහඇමති ධූරයට තේරි පත් වෙන්නේද එම ධූරයට පත් ප්‍රථම කාන්තාව ලෙසිනි. ජයලලිතාගේ දේශපාලන චරිතය අලලා 1997 වසරේදී චිත්‍රපට අධ්‍යක්ෂ මනිරත්නම් විසින් චිත්‍රපටයක් නිර්මාණය කළේය. Iruvar නම් වූ එහි ජයලලිතාගේ චරිතයට පණ පෙවූයේ අයිවර්යා රායි බච්චන් විසිනි.
|