වර්ෂ 2016 ක්වූ දෙසැම්බර් 08 වැනිදා බ්‍රහස්පතින්දා




‘සම්මාන ලබන්න සුදුසු කවුද?

‘සම්මාන ලබන්න සුදුසු කවුද?

ඒ අයට දෙන්න. පක්ෂ පාට බලන්න එපා’

ජනාධිපති ප්‍රේමදාස අපට කියයි

සරසවිය සිනමා සම්මාන උලෙළේ එකම වසරේ සම්මාන උලෙළ දෙකක් පවත්වා ඇත්තේ එක් වරකි. මගේ කර්තෘත්වයෙන් සරසවිය පත්‍රය පැවති 1990 වසෙර්ය ඒ. 1990 අප්‍රේල් මස 17 වෙනිදා 17 වෙනි සරසවිය සම්මාන උලෙළ කොළඹ සරසවිපායේ (එල්ෆින්ස්ටන් ශාලාව) පැවැත් වූ අතර එම වසරේම අගෝස්්තු මස 25 වෙනිදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී 18 වැනි සරසවිය සම්මාන උලෙළ පවත්වන ලද්දේ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි.

ලේක්හවුස් ආයතනයේ නව සභාපතිවරයා වූ අධිනීතිඥ සුනිල් කේ. රුද්‍රිගූ මහතාගේ උපදේශකත්වයෙන් පැවැති 17 වැනි සරසවිය සම්මාන උලෙළ පාඨක ඡන්දයෙන් තේරුණු ජනප්‍රිය චිත්‍රපට සතිය කොළඹ රීගල් සිනමහලේ පැවැත් වූ අතර ඒ සඳහා සටන, දුර්ගා, සඳකඩ පහණ, සාගර ජලය, නැවත අපි එක් වෙමු, අංගුලිමාල හා චණ්ඩියන්ගෙත් චණ්ඩියා චිත්‍රපට ඇතුළත් විය. සම්මාන තේරූ විනිශ්චය මණ්ඩලයට මහාචාර්ය එස්. ආර්. කෝට්ටේගොඩ (සභාපති), දිසා වීරපාන, මොනිකා රුවන්පතිරණ, ජයන්ත ධර්මදාස, ලීල් ගුණසේකර, වෛද්‍ය සීතා නානායක්කාර, අධිනීතිඥ ඩබ්ලිව්. කේ. ප්‍රේමරත්න යන මහත්ම මහත්මීන් ඇතුළත් වූහ.

18 වැනි සරසවිය සම්මාන උලෙළේ විනිශ්චය මණ්ඩලයේ සභාපතිත්වය දැරුවේ මහාචාර්ය ජී. එල්. පීරිස්ය. නීතිඥ කෝසල විජේතිලක, ඩී. ජී. ආරියදාස, ලාල් ඇන්තනිස්, අර්වින් වීරක්කොඩි, දමයන්ති ද අල්විස්, සුරංගණී අබේරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු වූ අතර ජනප්‍රිය චිත්‍රපට සතියට නොම්මර 17, මමයි රජා, කැඩපතක ඡායා, සිනාසෙන්න රත්තරන්, සිරි මැදුර, ඔක්කොම රජවරු, රන්දෙණිගල සිංහයා යන චිත්‍රපට ඇතුළත් වූහ. අපි ඉතා හොඳ සංස්කෘතික අංශ ඇතුළත් කොට හොඳ කලා ප්‍රසංගයක් ද සංවිධානය කළෙමු. විනිශ්චය මණ්ඩලය තම තීන්දු තීරණ සීල් තබා උලෙළට දින කිහිපයකට පෙර මට භාර දුන්නේය. ඒවා කඩා බැලීමට සභාපතිවරයා කිසි විටක උත්සාහ නොකළේය. 'අපි කෝකටත් ජනාධිපතිතුමා හමුවෙන්න හෙට හවස යමු' සභාපතිවරයා එසේ කීවේ මෙවැනි කටයුතු ඔහුට අලුත් අත්දැකිමක් වන නිසාය.

'තමුසෙට බලපෑම් එන්නේ නැද්ද?' සභාපති මහතා යන ගමන් මගෙන් ඇසීය.

'එනවා සර්. අරයා අපිට විරුද්ධව වැඩ කරපු අය. මෙයා ජනාධිපති එක්ක තරහයි. අරයා මීට ඉස්සර කළු කමිසයක් ඇඳගෙන ඇවිත් (සරසවි සම්මාන උලෙළේ නොවේ) විරෝධයටත් එක්ක ජනාධිපතිතුමා, අගමැති කාලේ වේදිකාවට ආවා. ඔය විදිහට.'

'මම කිව්වේ, අපි කෝකටත් ජනාධිපතිතුමා හමු වෙන්න යමු'

1990 සරසවිය සම්මාන උලෙළේ ජනාධිපති ප්‍රේමදාස මහතා, සභාපති සුනිල් රුද්‍රිගූ මහතා හා මාද පෙරහැරින් ප්‍රධාන ශාලාවට ගිය අයුරු

ජනාධිපතිතුමාට ඉතා ළඟින් හිටි ඇතැම් නිලධාරීන් මට අනතුරු අඟවා තිබුණා.

'අපෝ ඒ අයට දුන්නොත් ඔයා අමාරුවේ වැටෙයි. ජනාධිපතිතුමාට තරහ යයි' ඕව වෙනස් කරන්න. නැත්නම් ජොබ් එකත් ෂුවර් නෑ'

අපි හවසක සුචරිතයට ගියෙමු. ජනාධිපතිතුමා සතුටින් සිටි මොහොතකි ඒ. තේ කෝප්පයක් පානය කරමින් සිටි ඒ මහතා අපට තේ ගෙනෙන්නැයි කීය. සභාපතිතුමා සමඟ එතුමා ආයතනික ප්‍රශ්න ගැන මුලින්ම කතා කළේය.

'දැන් සරසවිය සම්මාන උලෙළෙටත් දින ළඟයි නේද?'

'ඔව් සර්'

' රංජිත්ට අත්දැකීම් තියෙනවනේ'

'සර්, විනිශ්චය මණ්ඩලයේ තීරණ අපට ලැබුණා'. සභාපතිවරයා කිවේය. සීල් කොට තිබූ ලියුම් කවරය මගේ අතේය.

'ඒක හොඳයි, ඒක මට බලන්න ඕනෑ නෑ. රහස්‍ය දෙයක්නේ. අපි කලා කෘතියක් තෝරන කොට සුනිල් පක්ෂ, හිතවත්කම්, ආගම්, ජාතිය මොකක්ද කියලා හොයන්න හොඳ නැහැ. අපක්ෂපාත විනිශ්චය මණ්ඩලයක් සිටිනවා නම් ඒ තීන්දු වෙනස් කරන්න බෑ. නැත්නම් අපේම හිතවතුන් මේකට යොදා ගන්න තිබුණානේ. මට ඒවා අදාළ නෑ. කොහොමද අනිත් අංග . . . ගීත කියන්නේ කවුද?'

සභාපතිතුමා මා දෙස බැලීය. මම ගීත ගයන අය ගැන, නර්තන ඉදිරිපත් කරන අය ගැන විස්තරයක් කළෙමි.

'හොඳයි චිත්‍රා සෝමපාලව ගත්ත එක හොඳයි. ඒ අය ලොකු සේවයක් සංගීත කලාවට කළා. මොකක්ද චිත්‍රා කියන ගීතය'

'දඹුලු ගලේ . . .'

'මම ඒ ගීතයට කැමැතියි. සෝමපාලයි, චිත්‍රයි මගේ පරණම යාළුවෝ'

= 'හොඳයි, තව වැඩත් ඇතිනේ' ප්‍රේමදාස මහතා නැගිට්ටේය.

අප එන විට ජනාධිපතිතුමාගේ අර නිලධාරියා අප අසලට ආවේය.

'ජනාධිපතිතුමාට මම කිව්ව නම් ගැන කිව්වාද?'

'නැහැ. ජනාධිපතිතුමා විනිශ්චය මණ්ඩලයේ වැඩවලට අත ගහන්නේ නැහැ කිව්වා. දක්ෂයෙක් නම් සුදුසු නම් කාට වුණත් කමක් නෑ ඒ අයට දෙන්න කිව්වා' මම කීවෙමි.

ඔහු අමනාපයෙන් මෙන් ගියේය.

'මම කිව්වේ ඔයාගේ හොඳට' යන ගමන් ඔහු මට කියාගෙන ගියේය.

සරසවිය චිත්‍රපට සතියක සරසවි ඇත්තෝ වමේ සිට වරුණ මල්ලවාරච්චි, විමල් තිලකරත්න, අනුර බණ්ඩාර රාජගුරු, චාලි තිසේරා, ඒ. ඩී. රන්ජිත් කුමාර (සරසවිය කර්තෘ), සුනිල් කේ. රුද්‍රිගූ (සභාපති) දීප්ති ෆොන්සේකා, සුසිල් ගුණරත්න, සුසිල් ජිනප්‍රිය, මහේෂ් තුරෙයිසිංහම්

සම්මාන පිරිනමන අවස්ථාවේ ජනාධිපතිතුමා වේදිකාවට කැටුව ගියේ මාය.

'හොඳම . . . '

සම්මානයක් ගැනීමට සිටින කලාකරුවෙකුගේ හෝ කලාකාරියකගේ නම නිවේදකයා ගාම්භීර ලෙස ප්‍රකාශයට පත් කළේය. සම්මානලාභියා හෝ ලාභිනිය අත්පොළසන් මැද අභිමානයෙන් අසුනෙන් නැගිට වේදිකාවට එන අතරේ ජනාධිපතිතුමා මට මෙසේ තොල් මතුවේය.

'අපි එයාට උදව් කරලත් තියෙනවා. ඒත් අපට ඡන්දය දෙන්නේ නෑ. දක්ෂ කලා ශිල්පිනියක්. අපි ඒකට ගරු කරන්න ඕනෑ'

වේදිකාවට පැමිණි කලාකරුවන්ට 'මගේ සුභපැතුම්' කියමින් සම්මානය පිළිගැන් වූ ජනාධිපතිතුමා වචනයක් දෙකක් ඔවුන් සමඟ කතා කිරීමට අමතක නොකළේය.

සරසවිය සම්මාන තේරූ විනිශ්චය මණ්ඩලය මඟින් තෝරන කිසිම සම්මානයක් වෙනස් කිරීම තබා ඒ තීරණ ගැන දැන ගැනීමටවත් ජනාධිපතිතුමා හෝ සභාපතිවරයා උනන්දු වූයේ නැති බව සටහන් කර තබන්නේ ඔවුන්ට කරන ගෞරවයක් පිණිසය.

සම්මාන උලෙළින් පසු ලැබෙන පෙත්සම් එමටය. ඒවා දෙස බලන සභාපතිතුමා 'මුන්ට වෙන වැඩක් නැද්ද ඕයි මේවා ලියන්නේ' යි සිනාසෙයි. සුනිල් රුද්‍රිගූ සභාපතිතුමා සමඟ වසර පහක් සමීපව කටයුතු කිරීමෙන් ඔහු කොතරම් ශ්‍රේෂ්ඨ මිනිසෙකුදැයි මම තේරුම් ගතිමි. ඔහු වැඩ කටයුතු කළේ තමාට හිතවත් කිහිප දෙනෙකු සමඟ පමණය. ඒ පිරිස අතර මම ද වීමි. වැඩිපුරම බැනුම් ඇසුවේ ද ඒ පිරිසමය. ඔහු ආදරය කළේ ද ඒ පිරිසටමය. ඒ වෙනුවෙන් අපට පඩි වැඩි කළේවත් වැඩි වරප්‍රසාද දුන්නේ ද නැත.

'ඕයි තමුසෙලා හැම තිස්සෙම මගේ කාමරයට රිංගනවා. මිනිස්සු හිතයි තමුසෙලා මට කේලම් කියලා ඉන්ක්‍රිමන්ට්ස් ගන්නවා කියලා. ඔය නෝමල් ඉන්ක්‍රිමන්ට් එක ඇති. තමුසෙලා ඔක්කොම හෙට හවස අපේ ගෙදර එනවා. පරක්කු වෙලා ගෙදර යන්න බලාගෙන. හැබැයි ගොයියෝ . . . මෙහේ ඇවිත් තමුන්ගේ කාර්වල යන්න බෑ. ඔෆිස් එකෙන් වෑන් එකක් ගෙන්න ගෙන ඔක්කෝම ගෙදරට ඇරලවා ගන්නවා.'

සුනිල් රුද්‍රිගූ මහතා ආගන්තුක සත්කාරයට සූරයෙකි. මේ කටයුතු නොපිරිහෙලා ඉටු කරන්නේ ඔහුගේ බෑණනුවන් වූ බෝධි රණසිංහ මහතාය. පසුව දේශපාලනයට පිවිසි රණසිංහ මහතා අකාලයේ මිය යාම අපට දැරිය නොහැකි කනගාටුවකි. රුද්‍රිගූ මහතා තම ජීවිතය කොට ගත්තේ තම මුනුබුරුන් දෙදෙනාය. එවකට මේ දෙදෙනා හත් හැවිරිදි පමණ පසු වූවාය යයි සිතමි.

රුද්‍රිගූ මහතාට සමීපව සිටි අය අතර අලෙවි කළමනාකරු චාල්ස් තිසේරා, වරුණ මල්ලවාරච්චි, මහේෂ් තුරෙයිසිංහම් හා මා ද මුල් තැනක් ගති. සරසවිය සම්මාන උලෙළ සංවිධානය කළේ ද මා ප්‍රමුඛ මේ තිදෙනාය. උලෙළින් පසු එන චෝදනා, අපහාස, උපහාස හමුවේ නොසැලුණු සභාපතිවරයා අප හැම රැක ගත්තේය. තමා යටතේ සිටින අයට ඔහු කොතරම් බැන වැදුණත්, පිටස්තරයන්ගේ තර්ජන, ගර්ජන බලපෑම හමුවේ හිස නොනැමුවේය. ඔහු ගත්තේ අපේ පැත්තය. කලා ක්ෂේත්‍රයේ හැම කෙනෙකුටම හැකි උපකාර උපරිමයෙන් ඉටු කළ ඔහු තමා යටතේ සිටින කිසිවෙකුට අනුන්ගෙන් අඹ මල් රේණුවක පීඩාවීමට ඉඩ නොතබා සතුරන්ට නොපැකිළව දඬුවම් දුන්නේ ඔවුන් නොතකා සිටීමෙනි.

ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් ඉගෙනුම ලබා එංගලන්තයේදී නීතිය හැදෑරූ සුනිල් කුමාර රුද්‍රිගූ මහතා රාජනීතිඥ ජී. ජී. පොන්නම්බලම්ගේ කනිෂ්ඨයකු ලෙස කටයුතු කොට අධිනීතිඥවරයකු වී ඇත. රුද්‍රිගූ මහතා විවාහ වී ඇත්තේ හොරණ දානපතියකු හා වැවිලිකරුවකුව සිටි දොන් පේද්‍රික් මහතාගේ දියණියක වූ තිලකා හෙට්ටිආරච්චි මහත්මිය සමඟය. කීර්තිමත් සිවිල් සේවකයකු වූ ඇම්. ජේ. පෙරේරා, හිටපු උප කුලපතිවරයකු වූ ඇස්. ඩබ්ලිව්. වල්පිට, අධ්‍යාපනඥයකු වූ ඩබ්ලිව්. ඩී. සී. මහතන්තිල, හිටපු අමාත්‍ය ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි රුද්‍රිගූ මහතාගේ මස්සිනාවරුන්ය.

1990 වසරේ සරසවිය සම්මාන උලෙළේදී ප්‍රථමවරට සම්මාන සමඟ රුපියල් ලක්ෂ පහක් පිරිනැමිය යුතු බව ජනාධිපති ප්‍රේමදාස මහතා අපට උපදෙස් දුන්නේය. මුල් මුදල්වලින් භාගයක් එවර අනුග්‍රාහක යුනිලීවර් සමාගම දීමට එකඟ විය.

'ගොයියෝ, මේ මුදල් මට කොම්පැනියෙන් දුන්නොත් තමුසෙලාගේ බෝනස්වලින් අඩු වෙනවා. මොකක් හරි විසඳුමක් හොයනවා' සභාපතිවරයා අපි දිරි ගන්වමින් කීවේය.

' සර් අපි හොඳ සමරු කලාපයක් ගහමු. මම දැන්වීම් හොයලා දෙන්නම්' චාලි කිවේය.

'ඒක හොඳයි'

මුල්වරට අපි මුදල් ත්‍යාග පිරිනැමුවේ ඔය ආකාරයෙනි. ඒ වසරේ (1991) 'පාලම යට' චිත්‍රපටය සඳහා හොඳම නිළිය හා චිත්‍රපට නිෂ්පාදනය සඳහා ගීතා කුමාරසිංහ එම චිත්‍රපටය වෙනුවෙන් සරසවිය සම්මාන 10 ක් දිනා ගත්තාය.

1989 සිට 1994 තෙක් මගේ සංවිධානයෙන් කළ සරසවිය සම්මාන උලෙළේදී විද්වත් විනිශ්චය මණ්ඩල පත් කිරීමට අපි උත්සුක විය. එම මණ්ඩලවලට අපෙන් කිසිදු බලපෑමක් නොවීය. ඊ. එම්. ජී. එදිරිසිංහ, දොස්තර රන්ජන් අබේසිංහ, ලීල් ගුණසේකර, තිලක් මාරපන, තිස්ස ලියනසූරිය, බෙනඩික්ට් දොඩම්පෙගම ආදීන් එයට සම්බන්ධ පිරිස අතර වූහ.

සරසවිය කර්තෘ මණ්ඩලය, රාජගුරු, සුසිල් ජිනප්‍රිය, දීප්ති, නෙළුම්, ලතා, කැමිලස්, ගීෂා, අරුණ මෙන්ම විමල්, කල්‍යාණ ද අපේ සහායක ආරියරත්න පෙරේරා ද මට හැකි හැම සහායක්ම දුන් අතර ගර්ජන, තර්ජන හමුවේ මගේ සෙවණැල්ලක් මෙන් මා අසලම සිටි බව කාතඥතා පූර්වකව අවසාන වශයෙන් සටහන් කළ යුතුය.