වර්ෂ 2016 ක්වූ දෙසැම්බර් 08 වැනිදා බ්‍රහස්පතින්දා




E හොඳයි DVD නරකයි?

E හොඳයි DVD නරකයි?

- රොහාන් පින්නදූව

චිත්‍රපටය ප්‍රදර්ශනය ගැන නොහිතන කතාවක්

රොහාන් පින්නදූවගේ නම සාමාන්‍ය සිනමා ප්‍රේක්ෂකයා අතර දන්නා නමක් නොවේ. එහෙත් අද මෙරට සිනමාවේ සිදුවන විවිධ කටයුතු අතරේ තිරයෙන් පිටුපස දැවැන්ත රාජකාරියක් රොහාන් පින්නදූව සිදු කරයි. ලංකාවේ නාමධාරී සිනමාකරුවන් බොහෝ දෙනා තම චිත්‍රපට ප්‍රදර්ශනයේදී බොහෝ විට සොයා යන චරිතයක් බවට ඔහු පත්ව ඇත. රොහාන් ක්ෂේත්‍රයේ යමක් කළ හැකි චරිතයක් බවට පත් වන්නේ ලෝක සිනමාවේ සිදුවන මහා පරිමාණ ඩිජිටල් සංක්‍රාන්ති සමයේ ආරම්භයත් සමඟය. තවත් විස්තර කළහොත් ඒ යුගය සිනමාහල්වල පැරැණි 35 ප්‍රක්ෂේපණ ගැලවී ඩිජිටල් ප්‍රක්ෂේපණ ආදේශ වී සිනමාහල් නවීකරණය වූ යුගයයි. අප තවම නවීකරණයක් ගැන කතා කරන්නේ ලෝකයේ සිනමා ප්‍රක්ෂේපණය වෙනස් වන විටම ලංකාව එසේ වෙනස් වීම ප්‍රතික්ෂේප කළ නිසාවෙනි. මෙසේ අප පාළු ළිඳේ සිටින විටක ශ්‍රී ලංකාවේ තීරණාත්මක මැදිහත් වීම කිරිමේ එක් පුරෝගාමියකු වන්නේ රොහාන් පින්නදූවයි. මුලින්ම ශ්‍රී ලංකාවට ඊ සිනමා ඩිජිටල් ප්‍රක්ෂේපණය ඉන්දියාවේ සිට ගෙනවිත් සවි කිරීමේ වගකීම බාර ගන්නේ ඔහුගේ සමාගම වෙනුවෙන් ඔහුය. එදා ඔහුගේ ප්‍රයත්නයේ සාර්ථකභාවය අද කොතරම් සිනමා ශාලා ඩිජිටල් වී ඇත්දැයි බැලීමෙන් මැන ගත හැකිය. රොහාන් සිනමා ක්ෂේත්‍රයේ කුඩාම තැනින් පටන් ගෙන විශාල පිමි කිහිපයක් අද වන විට තැබූ අයෙකි. ඩිජිටල් සිනමාවේත් විවිධ ප්‍රමිති ගැන කතාබහ වෙන අපි රොහාන් සොයා ගියේ ලංකාවේ ඩිජිටල් බැඳි සිනමාවේ අලුත් තතු දැනගන්නටය. මේ ඔහු හා අප අතර වුණු සංවාදයයි.

* රොහාන් ක්ෂේත්‍රයට ඔබගේ ආගමනය සිද්ධ වෙන්නේ කොහොද?

මම මුලින්ම වැඩ කරන්න එන්නේ සිනමාස් ප්‍රධානි ජී. පත්මරාජ් මහත්මයා ළඟට. මම කාලයක් ඔහුගේ කාර්යය සහයක හැටියට හිටියේ. ඊට පස්සේ මම එන්නේ ඉමිතියාස් කාදර් මහත්මයාගේ ලිබර්ටි සිනමාහලට. මම ඒකේ ඔපරේටර්වරයෙක් හැටියටයි වැඩ කළේ. ඊට පස්සේ මම නැවතුණේ මම දැන් වැඩ කරන එක්සෙල් ඩිජිටල් සමාගමේ. දැන් මම මේ සමාගමේ සාමාන්‍යාධිකාරිවරයා.

* දැනට අවුරදු 3 කට කළින් ඔබ ඩිජිටල් ප්‍රක්ෂේපණය ලංකාවේ ව්‍යාප්ත කරන්න උත්සුක වෙනවා?

අවුරුදු 3 කට කළින් තමා අපි මුල්ම ප්‍රක්ෂේපණ යන්ත්‍රයයි පරිඝණක උපාංග ටිකයි ගෙනාවේ. ඉන්දියාවේ සමාගමක් එක්ක හවුල් වෙලා තමයි අපි මේවා ගෙන්වන්නේ. ඒ ගෙන්වපු උපාංග අපි මුලින්ම සවි කළේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල. ඊට පස්සේ අපි බදුල්ලේ සිනෙල්මා සිනමා ශාලවේ මේ උපාංග සවි කළා. ඊ සිනමා තත්වයෙන් ලංකාව් අපි පෙන්වපු පළමු චිත්‍රපටය වුණේ 'මහරජ අජාසත්'. අනෙක් සිනමා ශාලාවල දෙමළ චිත්‍රපට ප්‍රදර්ශනය කළා. අපේ නිෂ්පාදකයන්ට පරණ ක්‍රමයට වඩා දස ගුණයක් ලාබයි ඩිජිටල් පිටපතක් ප්‍රදර්ශනය කරන එක.

* ඔබ එමඟින් ඉන්දියන් චිත්‍රපට ලංකාවේ පෙන්වන්න තිබුණ අපහසුකම් සියල්ල දුරු කරලා දුන්නා?

අපහසුකම තියෙන්නේ චිත්‍රපට ප්‍රදර්ශනය කරන එකේ නෙවෙයි. ලොකුම අපහසුකම තිබ්බේ මේ සර්වර් (පරිගණක උපාංග) ලංකාවට ගේන එකේ. අපි කොහොම හරි ඒක ගෙනාවා. විදේශීිය චිත්‍රපට ලංකාවේ පෙන්වන්න නම් ඒවා බෙදා හරින සමාගමට අපි මෙහේ තිබෙන උපාංගවල විස්තර යවලා රෙජිස්ටර් කරන්න ඕනෑ. ඕනෑම විදේශීය චිත්‍රපටයක් අපට එන්නේ මූම්බාය හරහා. මූම්බායේ මාර්කට් එකේ තමා ලංකාවේ සර්වර් ලියාපදිංචි කරන්නේ.

* මේ වෙනකොට ඔබේ මැදිහත්වීමෙන් ඊ සිනමා උපාංග කොපමණ සවි කරලා තියෙනවාද?

මේ වෙනකොට සිනමා ශාලා 55 කට මේ උපාංග සවි කරලා ඉවරයි. ඔවුන් ඉතාම තෘප්තිමත් වගේම හොඳටම ලාබ ලබනවා ඩිජිටල් චිත්‍රපට පෙන්වලා. මේ උපාංගත් ඉන්දියාවෙන් ගෙනාවට ජපානයේ නිෂ්පාදිත ඒවා.

* ඔබේ අලෙවියෙන් පසු සේවාව කොහොමද සපයන්නේ?

මට කියන්න සතුටුයි 2ම් හා 4ම් ප්‍රක්ෂේපණයන් වලට සාපේක්ෂව ඊ සිනමාවේ නඩත්තු ඉතා අවමයි. මම දන්න හැටියට 2ම් හෝ 4ම් තිබෙන සිනමා ශාලාවල ඒ උපාංග නඩත්තුවට ඒ සමාගම් මුදල් අය කරනවා. නමුත් මම මැදිහත් වෙලා අපේ උපාංගවල නඩත්තුවට කිසිම මුදලක් අය කරන්නේ නැහැ. ඒවා මම නොමිලයේ සපයන්නේ.

* ඔබ ඊ සිනමා උපාංග හොඳින් නඩත්තු කර පවත්වාගෙන යන එක සත්‍යයක් වෙන්න පුළුවන්. නමුත් අප නරඹන ද්විමාන සිනමාවේත් ඡ් සිනමාව පසු කර ගොස් වඩාත් සුපැහැදිලි අනර්ඝ රූප තිබෙන 2ම් හා 4ම් තත්ත්වයට ඇවිත්. එහෙම තත්ත්වයක් උඩ ඔබට යාවත්කාලීන නොවී සිටින්නට බැහැ නේද?

ඔව්. ඒක ඇත්ත. නමුත් ලංකාවේ වෙච්ච සමහර දේවල් සිනමාවේ යහපතට නෙවෙයි වුණේ. ඊ සිනමාව තමයි ඩිජිටල් සිනමාවේ මූලිකම අවධිය. ඒ අවධියට ආවට පසසේ තමයි ඊළඟ අවධීන් ගැන කතාබහක් ඇති වෙන්නේ. නමුත් ලංකාවේ වුණේ ඒකේ අනිත් පැත්ත. ඔවුන් අපිට දේශන තියලා කිව්වේ ඊ සිනමා අපිට හරි යන්නේ නැහැ. අපිට ඕනෑ 2ම් කියලා. ඒ කියන්නේ පළමුවැනි පඩිය නඟින්නේ නැතුව ඊට පඩි ගණනක් ඈතින් තියෙන පඩියකට කෙළින්ම නඟින්න කියපු එකනේ. සංස්ථාව තාමත් ඉන්නේ 2ම් මතයේ. නමුත් සිනමාව යාවත්කාලීන වෙනකොට ඔවුන්ටත් බැරි වුණා ඊ සිනමාවට වැට බඳින්න.

* නමුත් ඔය 2ම් යෝජනාව ගෙනාවේ ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණම උදවිය?

ඔය 2ම් ගැන දේශන තිබ්බ උදවිය තමා මේ වැඩ පිළිවෙලවල් විනාශ කළේ. ඒ වැඩෙන් වුණේ ලංකාවේ සිනමාව අවුරුදු 5 ක් විතර ආපස්සට ගිය එක. ඒකෙන් සිනමාවට වෙච්ච පාඩුව ගණනය කර ගන්නත් අමාරුයි. ඊ සිනමාව තිබුණේ නැත්නම් ලංකාවේ සිනමාව ඉවරෙටම ඉවර වෙන්න තිබුණා.

* ඉන්න තැනින් ගොඩ එන්න අලුත් යෝජනාවක් තිබෙනවාද?

අපි පසුගිය කාලේ හොඳටම දැක්කා සිනමාවේ ප්‍රශ්න අන්තිමට ගිහින් නැවතුණේ කොහෙද කියලා. කරන්න තියෙන්නේ බලධරයන් වහාම මැදිහත් වෙලා ඩිජිටල් නොවුණු ඉතිරි සිනමා ශාලාවලට ණය පහසුකම් සම්පාදනය කරන එක. මොකද ඔවුන්ට යමක් කර කියා ගන්න බැරිව ඉන්නේ. මේවා කලින් වගේ අවුරුදු ගණන් මීටින් තිය තිය අදින්න නරකයි. ක්ෂණිකව මේ දේවල් සම්පාදනය කරන එකයි දැන් කරන්න තියෙන්නේ. එතකොට ඔවුන් පාඩු නොවන තත්ත්වයකට සිනමාහල ගෙනෙයි. දැන් බලන්න සෝමරත්න දිසානායක මහත්මයාගේ 'සරිගම' චිත්‍රපටය දාගන්න බැරිව කී දෙනෙක් නම් ඉන්නවද. එතනින්ම ඔවුන්ට විශාල පාඩුවක් වෙනවා. ඒක නිසා වැරැදි උපදෙස් ගන්නේ නැතුව සංස්ථාව කෙළින් වැඩ කරන්න ඕනෑ දැන්වත්. ඉන්දියාවෙන් සෑහෙන උපකාර ගන්න පුළුවන් මේ දේවල් සාර්ථක වුණොත්.

* ඔබ අදහස් කරන්නේ මේ ප්‍රක්ෂේපණ ප්‍රශ්න විසඳුණොත් සිනමාවෙ අනෙක් ප්‍රශ්නත් ඉබේ විසඳෙයි කියලාද?

නැහැ. බරපතළ ප්‍රශ්න කිහිපයක් තියෙනවා සිනමාව විසින්ම විසඳ ගන්න අවශ්‍යය. එකක් අවුරුද්දට හොඳ සාර්ථක චිත්‍රපට 3 කට 4 කට වඩා එන්නේ නැහැ. ඒ කියන්නේ අනික් චිත්‍රපට දුවන්නේ නැහැ කියන එකනේ. ඒ කියන්නේ තවත් නිෂ්පාදකවරු රාශියක් ෆිල්ම්වලට සල්ලි දාලා පාඩු කරගෙන. එක හේතුවක්. ඒ දවස්වල තාක්ෂණය වැඩිය තිබ්බේ නැහැ . නමුත් හොඳ චිත්‍රපට ආවා. අද තාක්ෂණය තියෙනවා. නමුත් එන්නේ දුර්වල චිත්‍රපට. ඒක එකක් විතරයි. තවත් බරපතළ ප්‍රශ්න කිහිපයක් අපට ඉතිරියි.

* මොනවද ඒ ප්‍රශ්න?

මම හොඳ සිනමා රසිකයෙක්. මට මතකයි මම ඒ දවස්වල වරදට දඬුවම බලන්න ගිහින් කාපු කට්ට. මම දවස් 3 ක් ඉන්න වුණා ඒ චිත්‍රපටය බලන්න. එච්චරටම සෙනඟ. නමුත් අද මොකද වෙලා තියෙන්නේ කෝ සෙනඟ.

* ඔබත් සහයෝගය දෙන දෙමළ චිත්‍රපට වැඩියෙන් ප්‍රේක්ෂකයා ළඟට යාම සිංහල චිත්‍රපටවලට ප්‍රේක්ෂකයා ඒම බරපතළ අඩුවක් කරන්නට ඇති?

මම ඒ කතාව පිළිගන්නේ නැහැ . දෙමළ චිත්‍රපට වැඩියෙන් බලන්නේ දෙමළ කතා කරන පිරිස. සිංහල ප්‍රේක්ෂකයෝ නෙවෙයි. සිංහල ප්‍රෙක්ෂකයෝ ඈත් වෙන්න ලොකුම හේතුව මේ ඩී වී ඩී ක්‍රමය. සිංහල ප්‍රේක්ෂකයන් දන්නවා චිත්‍රපටය නොබැලුවාට කමක් නැහැ, තව මාසයකින් දෙකකින් ඩී වී ඩී එක එනවා කියලා. ඒ නිසා ප්‍රේක්ෂකයා හෝල් එකට එන්නේ නැහැ. එන්නේ ජෝඩු විතරයි. මේ ක්‍රමය නිසා සම්පූර්ණ සිනමාවම බංකොලොත් වෙන්න යන්නේ. අනික් කාරණය සමහර නිෂ්පාදකයෝ අනෙක් නිෂ්පාදකයන්ගේ කකුලෙන් අදිනවා චිත්‍රපට ප්‍රදර්ශනය කරගන්න යද්දි. ඒකෙන් වුණේ සමහර හොඳ චිත්‍රපට පෙන්ව ගන්න බැරිව පස්සට විසි වෙව්ච එක. මම කියන්නේ මේ මෙහොතේ සංස්ථාව බලවත් වෙන්න ඕනෑ. බලවත් වෙලා මේ ඔක්කොම ප්‍රදර්ශන මණ්ඩල තමන්ගේ අතට අරන් සාධාරණව බෙදලා පාලනය කරන්න ඕනෑ. එහෙම වුණොත් විතරක් සිංහල තිර කාලය ආරක්ෂා කර ගන්න පුළුවන් වෙයි.

* ඔබට ගෝචර ප්‍රශ්න දිහා බලපුවාම පෙනෙනවා සියල්ල රාජ්‍ය මැදිහත්වීමකිනුත් සියල්ල පුද්ගලික මැදිහත්වීමකිනුත් කරන්න බැරි බව?

කලාවට ඕනෑ කලාව විතරයි. කලාවට දේශපාලනය වැදගත් නැහැ. ආණ්ඩු වැදගත් නැහැ.නමුත් මේ මොහොතේ කළ යුතු දෙයක් තිබෙනවා. අඩුම ගණනේ කලාකරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් එක ටිකට් පතකින් රුපියලක් වෙන් කරන්න පුළුවන් නම් ඒක වටිනවා. අපේ සමහර කලාකාරයන්ට බෙහෙත් ටිකක් ගන්න සල්ලි නැහැ. ගෙදර කුලිය ගෙවාගන්න සල්ලි නැහැ. ඒ නිසා ඔවුන් කරපු සේවය වෙනුවෙන් කෘතවේදී වෙන්න. ඒ කෙසේ වෙතත් මම ගරු කරන කෙනෙක් තමයි වර්තමාන චිත්‍රපට සංස්ථාවේ සභාපතිතුමා. ඔහුගේ ඇතැම් ක්‍රියා මාර්ග සිනමාව මේ තත්ත්වයෙන් රැකිලා තියෙන්න උපකාර වුණා. ඒ වගේම පුද්ගලික චරිතයක් හැටියට සුනිල් ටී. මහත්මයාට ප්‍රශංසා කරනවා. ඊ සිනමාව ව්‍යාප්ත කරන්න ඔහු හදවතින්ම කැප වෙච්ච කෙනෙක්.