වර්ෂ 2016 ක්වූ ඔක්තෝබර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




වැස්ස ආදරය සමඟ සමීපයි

වැස්ස ආදරය සමඟ සමීපයි

යාපන උලෙළේ ආදරය දිනූ ඉන්දීය තරුණයා සෙල්වමනී සෙල්වරාජ්

කුඩා කල මිතු දම තුරුණු වියේ තම කුලුඳුල් ප්‍රේමය කර ගත් තරුණයකු සහ ඒ සුන්දර අතීතයට නැවත යා නොහැකිව මං මුලා වු තරුණියකු වටා ගෙතුණු ‘නිලා‘ දෙමළ චිත්‍රපටය මෙවර යාපනයේදි පැවැති අන්තර්ජාතික සිනමා උලෙළෙ වඩාත් කතාබහට ලක්වූ මෙන්ම ප්‍රේක්ෂක හදවත් වලට වඩාත් ළෙන්ගතු වූ චිත්‍රපටයයි. දකුණු ඉන්දීය නවක අධ්‍යක්ෂවරයකු වන සෙල්වමනී සෙල්වරාජ් ගේ කුලුඳුල් අධ්‍යක්ෂණය ලෙස සිනමාවට නැගෙන ‘නිලා’ ප්‍රේමය හා විරහව අතර දෝලනය වූ තම ජිවිත අත්දැකීම් සිනමාවේ රූප මවන්නට ගත් කදිම උත්සහයකි....

ඔබ සිනමාව ජීවය කර ගත් තරුණයෙක්. ඉන් අප පිළිසඳර අරඹමු?

ඔව්.. මම ඉන්ජිනේරු අංශයෙනුයි අධ්‍යයන කටයුතු වල නිරත වුණේ.. ඒ කාලපරිච්ඡේදය එහෙම ගෙවා ගෙන යන විට මගේ ඔළුවට එනවා මෙන්න මෙහෙම දෙයක්.. ජිවිතය කියන්නේ මොකද්ද...කියලා. නමුත් ඒ වෙනකොටත් මම ගත කරමින් සිටි ඒ ජීවන රටාව, මගේ වෘත්තිය මට දැනුණ ඒ සිතිවිල්ල හා සම්බන්ධයක් හෝ කිසිඳු ගැළපීමක් තිබුණේ නැහැ. නමුත් එදා ඉඳන් මට වුවමණා වුණේ ජීවිතය මොකද්ද කියලා දකින්නයි. දවසින් දවස් ඒ ආසාව හිත අස්සේ මෝරා වැඩෙද්දි නිරතුරුම ජීවිතය දකින සහ විඳීන ක්‍ර‍මයක් ගැන හොයන්න පටන් ගත්තා. ඉතින් ඊට හොඳම විසඳුම ලෙස මගේ ඔළුවට එන්නේ සිනමාව. ඒ සිතිවිල්ලට තවත් කරුණක් ප්‍ර‍ල වශයෙන් බලපෑවා කිවොත් නිවරැදියි. ඒ ප්‍ර‍වීණ සිනමා අධ්‍යක්ෂ මනිරත්නම් ගේ චිත්‍රපට .

එතැන් සිට ඔබ සිනමාව පිළිබඳ හැදැරීම් කරනවා?

සිනමාව තුළ තිබෙන හැම දෙයක් ගැනම මම හොයන්න පටන් ගත්තා. ඔබ කියනවා වගේ හැදෑරිම් කළා. නමුත් ඒ සියලු දැනුම ලබා ගත්තේ අන්තර්ජාලයෙන්.. ආලෝකකරණය පිළිබඳ විවිධ වැඩමුළු වලට සහභාගි වී ලබා ගත් දැනුමක් තිබෙනවා.

ඔබේ පළමු නිර්මාණය බිහි වන්නේ කෙසේද?

මම බොහොම හැඟිම්බර පුද්ගලයෙක්. මට වුවමණා වුණේ මා ලද අත්දැකිම්, මගේ හැඟිම් නිර්මාණ ඔස්සේ ප්‍රේක්ෂකයා හා බෙදා ගන්නයි.. යම් කාලෙකදී මා තුල තිබු යම් යම් මතකයන්, ජිවතය ගැන හොයා ගෙන යන ගමනේදී එකතු වුණු අත්දැකීම් එක්ක තමයි මගේ කුලුදුල් චිත්‍ර‍පටය හෙවත් ‘නිලා‘ නිර්මාණය වෙන්නේ.

‘නිලා‘ වෙනස් තේමාවක් ඔස්සේ බිහි වූ නිර්මාණයක්. එහි පසු බිම් කතාව මා ඇසුවොත්?

මෙය මගේ මනසේ ඇඳුණු නිර්මාණයක්. මට ඕනේ වුණේ මම විඳී ආදරය සහ විරහව ප්‍රේක්ෂකයා හා බෙදා ගන්නයි.

ඔබේ සිතිවිලි ප්‍රේක්ෂකයා පිළි ගත්තාද?

‘නිලා‘ චිත්‍ර‍පටය නිර්මාණය වුණේ බොහොම සංවේදී මානූෂීය විෂයක් ඔස්සේ. ඉතින් විරුද්ධ අදහස් ඒවිදෝ යැයි තිර ගත කිරීමට පෙර සිතුණ අවස්ථා තිබුණා. දැනට මෙම චිත්‍ර‍පටය අන්තර්ජාතික සිනමා උලෙල පහක පමණ ප්‍ර‍ර්ශනය කර තිබෙනවා. ලන්ඩන් හි Rain Dance චිත්‍රපට‍ උළෙලේ සඳහා තිර ගත කිරීමට තෝරා ගත් පළමු දෙමළ චිත්‍ර‍පටය මෙයයි. ඉතින් ඒ අවස්ථා වලදී ලැබුණු යහපත් ප්‍ර‍තිචාර එක්ක මගේ නිර්මාණය ප්‍රේක්ෂකයා වැලඳගෙන තිබෙන බව හැඟෙනවා. කෙසේ වෙතත් නිර්මාණකරනයේදි මා විශ්වාස කරන දෙයක් නම්..මගේ නිර්මාණය ගැන මම මුලින්ම තෘප්තිමත් විය යුතුයි. එවිට ප්‍රේක්ෂකයා ඒය වැළඳ ගනිවී යන්නයි.

‘නිලා‘ අන්තර්ජාතික සිනමාව තුළ ඔබේ අනන්‍යතාව ගොඩ නගා ගැනීමේ අරමුණෙන් බිහි වූ නිර්මාණයක් යැයි කෙනෙකුට සිතන්නට පුළුවනි?

මට ගැඹුරින් දෙයක් බෙදා ගන්න වුවමනා නම් එයයි මම කරන්නේ. නැතුව ජාත්‍යන්තර සිනමාව ගැන තිබෙන උනන්දුව හෝ ඒ අරමුණෙන් නෙමෙයි.

මෙම චිත්‍ර‍පටය තුළ ඔබ ඉස් මතු කරන්නේ චරිත කිහිපයයි. නමුත් චරිත බොහොමයක අවශ්‍යතා තිබෙනවා?

ඔව්. සෙසු චරිත සියල්ල ඉවත් කිරීම මා සිතා මතා කළ දෙයක්.. විනාඩි 90 පුරාවට මේ චිත්‍ර‍පටය නරඹා ශාලාවෙන් බැහැර වන ප්‍රේක්ෂකයාගේ මතකයේ රැගෙන යා යුත්තේ මෙහි තරුණයා සහ තරුණිය මිස වෙන කිසිවක් ඒ මතකයට එක් කරන්න මට අවශ්‍ය වුණේ නැහැ.

මනිරත්නම් ගේ චිත්‍ර‍පටවල ආභාසය ඔබේ නිර්මාණයටත් එක්වී ඇති හැඩයි?

ඔබට පෙනෙන්නේ මොන වගේ ආභාසයක්ද..

‘වැස්ස‘ යන සංඥාර්ත නාමය ඔබේ නිර්මාණයේදිත් ඉස්මතු වෙනවා?

වැස්ස... රෝමානතික බව, ආදරය යන හැඟීම හා හරිම සමීපයි. මනිරත්නම් කියන්නෙත් එවැනි රොමෑන්ටික් අධ්‍යක්ෂවරයෙක්. ඉතින් නිර්මාණයකදී හැඟුම්බර බව, විරහා වේදනාව තව තවත් ප්‍රේක්ෂකයා ගේ හදවත ස්පර්ශ කරන්නයි වැස්ස යොදා ගන්නේ..

ඉන්දියාවේ ඔබේ චිත්‍ර‍පටය ප්‍ර‍ර්ශනය කිරිමට සූදානම්ද?

මෙය ඉතා සංවේදී තේමාවක් තුළ බිහි වූ සියයට සියක්ම දේශීය ඒ කියන්නේ දෙමළ නිර්මාණයක්. ඉතින් ඒ නිර්මාණය අපේ රට තුළ ප්‍රදර්ශනය වනවාට වඩා ඒ අත්දැකීම විදේශිය රටවල ප්‍ර‍දර්ශනය කරන්න අවස්ථාවක් ලැබෙනවා නම් හොඳයි. දැනටමත් ජාත්‍යන්තර ප්‍ර‍ර්ශනය සඳහා සාකච්ජා කෙරෙනවා.

ඔබගේ මිලඟ නිර්මාණයත් මෙවැනිම වෙනසක් කරාවිද?

මේ දවස් වල ඒ ගැන මම හිතමින් ඉන්නේ. කලාත්මක මෙන්ම වානිජ්‍යමය නිර්මාණ වලටත් මම කැමැතියි. නමුත් නිලා චිත්‍ර‍පටය වානිජ්‍යමය අරමුණක් ඇතිව නිර්මාණය කරන්න මට අවශ්‍යතාවක් තිබුණේ නැහැ. මගේ මුල්ම නිර්මාණය ලෙස හොඳ කලාත්මක දෙමළ චිත්‍ර‍පටයක් බිහි කරන්නයි මට අවශ්‍ය වුණේ. සමහර විට දෙවන චිත්‍ර‍පටය වානිජ්‍ය චිත්‍ර‍ටයක් වේවි.

ඉන්දිය සිනමාව තුළ බොහෝ විට බිහි වන්නේ තම සමාජීය රාමුවේ තිබෙන ගැටලු, සංසකෘතිය හා බැඳුනු නිර්මාණයි?

ඔව්. මා එය පිළි ගන්නවා. මටත් මගේ මුල්ම නිර්මාණය ඒ රාමුවට සීමා කරන්න වුණා. මගේ පළමු ඉලක්කය ලෙස.

දකුණු ඉන්දීය සිනමාව තුළ ඔබ වැනි නවකයින්ට ප්‍ර‍වීණයන්ගෙන් ලැබෙන සහය ගැන කතා කළොත්?

ලොකු සහයක් ලැබෙනවා. එවැනි ප්‍ර‍වීණ අධ්‍යක්ෂ වරයෙක් වරක් මට මෙහෙම කියනවා..“ ඔබ එක් පියවරක් ඉදිරියට තබන්න, ලොව ඔබ වෙනුවෙන් ඉදිරි පියවර තබාවී“ මම දැන් එය අත් සැබවින්ම අත් දකිනවා..

සිනමාව හැරුණු විට ඔබ සමීප ?

මගේ හැඟිම් හෝ අත්දැකීම් ලියන්න... ඒ වගේම සංගීතයට මම බොහොම කැමැති. ඒ නිසයි මම සතුටින් ඉන්නේ

ඔබ ලාංකේය චිත්‍ර‍පට නරඹා තිබෙනවාද?

ලංකාවේ වානිජ්‍ය සිනමාව ගැන නම් මම දැනුවත් නැහැ. නමුත් සම්භාව්‍ය චිත්‍ර‍පට නරඹා තිබෙනවා. විමුක්ති ජයසුන්දර , ප්‍ර‍සන්න විතානගේ සහ ප්‍ර‍සන්න ජයකොඩිගේ නිර්මාණ වලට මම බෙහෙවින් කැමැතියි. ලංකාවේ කලාත්මක නිර්මාණ වලට පසු බිම් වන විෂයන් ගැන බොහො විට විමුක්ති මට කියා දී තිබෙනවා.

ඔබේ චිත්‍ර‍පටය ගැන මෙරට ප්‍රේක්ෂකයා දැක්වූ ප්‍ර‍තිචාර පිළිබඳ අදහස?

මගේ නිර්මාණයට ලැබුණු ප්‍රේක්ෂක ප්‍ර‍තිචාර සජීවිව අත් වින්දේ මේ සිනමා උලෙළදීයි. ඇත්තටම හොඳ රස වින්දනයක් තිබෙන ප්‍රේක්ෂකයින් ලංකවේ සිටින බව පසු ගිය දවස් වල මට මැනවින් තහවුරු වුණා..ඔවුන් නිර්මාණයක් නැරඹීමෙන් පසු දරන මත විටෙක මා විශ්මයට පත් කළා. සිනමාහල් වලට ප්‍රේකෂකයා ඇදෙන විදිහ, චිත්‍ර‍පටයක් නැරඹු පසු ඔවුන් ඒ නිර්මාණය විඳීමින් ප්‍ර‍තිචාර දක්වන අයුරු පිළිබඳ මා ඉතා සතුටට පත් වුණා.

යාපන අන්තර්ජාතික සිනමා උළෙල පිළිබඳ ඔබටත් කියන්නට යමක් ඇති?

මගේ චිත්‍ර‍පටය මෙවර අන්තර් ජාතික සිනමා උලෙළ සඳහා තෝරා ගෙන ඇති බව දැනුම් දුන්නහම දැණුන සතුට වචන වලට පෙරලන්න අපහසුයි. මෙහෙට එන්න කලින් හිතුවේ මෙය ඉතා කුඩා සිනමා උලෙළක් වේවි කියායි.නමුත් එය සංවිධානය කර තිබු අයුරු, අගන්තුක සත්කාර කළ අයුරු ගැන මම පුදුමයට පත් වුණා වගේම බොහොම සතුටුයි. මම ආවේ මගේ චිත්‍ර‍පටය තේරුණු නිසා නෙමෙයි.මේ උලෙළට සහභාගි වෙන්න මම තිබුණු උනන්දුව සහ මීට කලින් ලංකාවට එන්න තිබුණු කැමැත්ත නිසයි.