වර්ෂ 2016 ක්වූ ඔක්තෝබර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




D.V.D ලෝකයේ අලුත්ම පෙරැළිය ති.නා ඉදිරියට...

D.V.D ලෝකයේ අලුත්ම පෙරැළිය ති.නා ඉදිරියට...

ති. නා. යන අකුරු දෙක ඇසු දුටු පමණින් ඒ තිස්ස නාගොඩවිතාන බව නොදන්නා කෙනකු නැත. ති. නා. ගේ නාමය එසේ ප්‍රකටව ඇත්තේ මෙරට ප්‍රමුඛ පෙළේ චිත්‍රපට සංරක්ෂකයකු හා නිෂ්පාදකයකු ලෙසිනි. සිංහල චිත්‍රපට හා ටෙලි නාට්‍යය විකාශය උදෙසාම වෙන් වූ රිදී T.V. නාළිකාවේ නිර්මාතෘවරයා ද මේ කියන ති. නාමය.

ජනප්‍රිය පැරැණි සිංහල චිත්‍රපට රැසක අයිතිය සතුව පවතින්නේ ඔහුටය. ඒ අතර අතිශය දුර්ලභ චිත්‍රපට ද වේ. ඇතැම් චිත්‍රපටවල දැනට ඉතිරිව ඇති එකම පිටපතෙහි අයිතිය ද ඔහු සතුය.

ති. නා. චිත්‍රපට සමාගම මෑතකදී තවත් ව්‍යාපාරයකට අත ගැසීය. ඒ ජනප්‍රිය සිංහල චිත්‍රපට D.V.D මාධ්‍යයෙන් වෙළෙඳ පොළට බෙදා හැරීමේ කාර්යටය. නවීන තාක්ෂණය මුසු කොට උසස්ම ප්‍රමිතියකින් යුතුව ඒවා වෙළෙඳ පොළට මුදා හරින බව ති. නා. චිත්‍රපට සමාගමේ සම්බන්ධීකරණ නිලධාරි රොෂාන් සංජය හේරත් අප සමඟ පැවසීය.

ති. නා. චිත්‍රපට සමාගම මෑතකදී තමයි මේ අලුත් ව්‍යාපාරයට අත ගැහුවේ?

ඔව්. මේ වසරේ අප්‍රේල් මාසේ 07 වැනිදා තමයි අපි මුලින්ම නි. නා. වෙළෙඳ නාමය යටතේ අපේ D.V.D වෙළෙඳ පොළට මුදා හැරියේ. කස්තුරි සුවඳ, ආදරේ හිතෙනවා දැක්කම, අහිංසක ප්‍රයෝගය, මේ දෑස කුමටද, සුසී, සුබා, රතු මකරා, සිම්බෝ කියන චිත්‍රපට තමයි අපි මුලින්ම වෙළෙඳ පොළට නිකුත් කළේ.

අද වෙළෙඳ පොළේ තිබෙන ඇතැම් D.V.D නිෂ්පාදනවල තාක්ෂණික දුර්වලකම් රැසක් දකින්නට ලැබෙනවා. එතනදි කොහෙමද ඔබ ආයතනය උසස් ප්‍රමිතියකින් යුත් D.V.D පිටපත් පාරිභෝගිකයාට ලබා දෙන්න සැළසුම් කර තිබෙන්නේ?

ති. නා. චිත්‍රපට සමාගමේ නිර්මාතෘ තිස්ස නාගොඩවිතාන සහ එහි කළමනාකරුවන් වන චරිත් නාගොඩවිතාන, හරේන් නාගොඩවිතාන යන මහත්වරුන්ට අවශ්‍ය වුණේ ගුණාත්මකභාවයෙන් ඉහළ D.V.D නිෂ්පාදන ප්‍රේක්ෂකයාට ලබාදීම. මා(ර්)කට් එකට D.V.D දාන්න කලින් අපි වෙළෙඳ පොළේ සමීක්ෂණයක් කළා.

මොන ආකාරයේ සමීක්ෂණයක්ද?

දැන් තියෙන D.V.D වල ප්‍රශ්න මොනවද කියන එක තමයි අපි මූලිකව සොයා බැලුවේ. සමහර D.V.D අරන් ගියාට Play වෙන්නේ නෑ. ඊළඟට කවරයේ තියෙනවා Original කියලා. ඇතුළේ තියෙන්නේ පාවිච්චි කරපු Film එකක්. සමහර ඒවා T.V එකේ යනකොට අනවසරයෙන් පටිගත කරපුවා. ලොකුම ප්‍රශ්නය ආවේ ති. නා. චිත්‍රපට සමාගමට අයත් චිත්‍රපට රාශියක් විවිධ පුද්ගලයන් විසින් අනවසරයෙන් වෙළෙඳ පොළට නිකුත් කර තිබීමයි. මේ අකටයුතු සම්බන්ධයෙන් උසාවියේ නඩු රාශියක් පවරා තිබෙනවා. ඉතින් මෙන්න මේ වගේ තත්ත්වයක් යටතේ අපේ සමාගම යටතේ නීත්‍යානුකුල අයිතිය තිබෙන සිංහල චිත්‍රපට පමණක් D.V.D වෙළෙඳ පොළට නිකුත් කරන්න අපි තිරණය කළා.

මේ අලුත් ව්‍යාපාරය සඳහා ති. නා. චිත්‍රපට සමාගම අත ගැසුවේ නවීන තාක්ෂණික මෙවලම් සමඟයි?

ඔව්. මිලියන හතරක් පමණ වියදම් කරලා අපි ඒ අවශ්‍යය උපකරණ මිලදී ගත්තා. වෙළෙද පොළේ අද පවතින උසස්ම තත්ත්වයෙන් යුත් උපකරණ. හරේන් නාගොඩවිතාන මහත්තයා මේ තාක්ෂණය පිළිබඳ උපරිම දැනුමක්, අවබෝධයක් තියෙන කෙනෙක්. ඒ නිසා නිෂ්පාදන කාර්යයේ සිට වෙළෙඳ පොළට නිකුත් කෙරන ක්‍රියාවලියේදී උසස්ම තාක්ෂණය සහ ප්‍රමිතිය පිළිබඳ අප සමාගම විශේෂයෙන්ම සැළකිලිමත් වෙනවා.

කොතරම් ආරක්ෂිත ක්‍රමවේද යොදා ගත්තත් අනවසරයෙන් D.V.D පිටපත් කර වෙළෙඳ පොළට නිකුත් කෙරෙන ජාවාරමකුත් තියෙනවා. ඈත පළාත්වල තමයි මේ කාර්යය ජයටම කෙරෙන්නේ?

අපි මේ D.V.D ව්‍යාපාරය ආරම්භ කළේ මොනරාගල, බදුල්ල, අනුරාධපුරය වගේ ඈත පළාත්වලින් අපේ නියෝජිතයන් පත් කරගෙන. මේ වෙනකොට ලංකාවේ හැම නගරයකම අපේ D.V.D තියෙනවා. ඒත් D.V.D Shop එකකම අපේ ඒවා නැහැ. අපේ නිෂ්පාදක බෙදා හැරීමේදී ඒ සඳහා අපි විශේෂ කණ්ඩායමක් පත්කර තිබෙනවා. එය සිදු වන්නේ මගේ අධීක්ෂණය යටතේ. අපි ඒ වෙළෙඳ ආයතනත් එක්ක මුලින්ම ගිහින් කතා කරනවා. හොර බොරු නැතුව වැඩේ හරියට කරනවා කියන විශ්වාසය ඇති වුණොත් අපි අපේ නිෂ්පාදන එම ආයතනයට ලබා දෙනවා.

අද පදික වේදිකාවත් D.V.D ව්‍යාපාරයට හොඳ ඉල්ලමක් වෙලා?

පේව්මන්ට් එක වුණත් කමක් නෑ හරියට බිස්නස් එක වෙනවානම්. ඇත්තටම දැන් පදික වේදිකාවේ ඉන්න වෙළෙන්දෝ කීප දෙනෙක් අපේ Original D.V.D විකුණනවා. ඒගොල්ල එහෙම කරන්නේ ස්ථිර තැනක් නැති හින්දා. නමුත් බිස්නස් එක ජෙනිවින්. ඈත ගම් පළාත්වල A/C කරලා ලොකුවට D.V.D සාප්පු නෑ. කොළඹ අවට තමයි එහෙම මහා පරිමාණයේ D.V.D වෙළෙදාම සිදු වන්නේ. අපිට ඕනෑ ගුණාත්මකභාවයෙන් අපි දෙන දේ හොරකම් කරන්නේ නැතිව අපේ D.V.D පාරිභෝගිකයාට ලබා දෙන ස්ථාන කිහිපයක්.

විවිධ මිල ගණන් යටතේ අද වෙළෙඳ පොළේ D.V.D අලෙවි කෙරෙනවා. දැන් ඔබ සමාගමේ D.V.D නිෂ්පාදන සඳහා නිශ්චිත මිලක් තියෙනවාද?

අපි උපරිම මිල සඳහන් කරලා තියෙන්නේ රු: 200 යි. සාමාන්‍යයෙන් ඕනෑම සිංහල චිත්‍රපටයක මිල සඳහන් වෙන්නේ රු: 200 යි කියලා. නමුත් එක එක පළාත්වල ඒ මිල වෙනස් වෙන්න පුළුවන්. හැබැයි කොළඹට වගේම අම්පාර, කැබිතිගොල්ලෑව, හොරොව්පතාන වගේ ප්‍රදේශවලටත් අපි D.V.D බෙදා හරින්නේ එකම මිලකට.

අද වෙනකොට දැඩි තරගයක් තියෙනවා මේ අලුතින් ප්‍රදර්ශනය වන චිත්‍රපට D.V.D බවට පරිවර්තනය කරලා ඒවා වෙළෙඳ පොලට මුදා හරින්න. නමුත් ති. නා. සමාගම බොහෝ විට උත්සුක වෙන්නේ පැරැණි ජනප්‍රිය සිංහල චිත්‍රපට ප්‍රේක්ෂකයන් වෙත ගෙන එන්න?

ඔව්. ඒකට හේතුව ජනප්‍රිය සිංහල චිත්‍රපට රාශියක් අප සතුව තිබීම. ඒ වගේම අපි අතීතයේදී වගේම නැවතත් චිත්‍රපට නිෂ්පාදනයට පිවිසෙනවා ඉතා ඉක්මනින්ම. ඒවාත් සිනමා ශාලාවල ප්‍රදර්ශනයෙන් පසු D.V.D වෙළෙඳපොළට නිකුත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. සිංහල සිනාමාවේ ස්වර්ණමය යුගය හැටියට බෙහෝ අය හඳුන්වන්නේ 70 දශකය. සමහර ප්‍රේක්ෂකයන්ට ඒ චිත්‍රපට නැරඹීමේ ලොකු පිපාසයක් තිබුණා. ඒක අපට තේරුණේ මේ Films ටික එළියට දැම්මට පස්සේ. ඒ යුගයේ චිත්‍රපටවලට ලොකු ඉල්ලුමක් තියෙනවා. සමහර චිත්‍රපටවල නම්වත් අපි අහලා නෑ.

ඉදිරියේදී වෙළෙඳපොළට නිකුත් කිරිමට බලාපොරොත්තු වන චිත්‍රපට මොනවාද?

චිත්‍රපට කිහිපයක්ම තියෙනවා. හරේන් මහත්මයාගේ යෝජනාවක් අනුව යම් සමීක්ෂණයකින් පසුව කිසියම් අනු පිළිවෙළකට තමයි අපි ඒ D.V.D වෙළෙඳපොළට නිකුත් කරන්න බලාපොරොත්තු වෙන්නේ.

අපේ මුල් චිත්‍රපට වෙළෙඳ පොළට දැම්මට පස්සේ බොහෝ ප්‍රේක්ෂකයන් අපිට දුරකථනයෙන් කතා කළා. ඒ අය වැඩිපුරම අපෙන් ඉල්ලා සිටියේ 70 දශකයේ ජනප්‍රිය චිත්‍රපට. සමහර චිත්‍රපට අපි ළඟත් නෑ. ඉතින් වැඩි පිරිසක් ඉල්ලන චිත්‍රපට තමයි අපි මුලින් වෙළෙඳ පොළට නිකුත් කරන්නේ. ඒ අතර ඉතා දුර්ලභ, කිසිදා D.V.D මාධ්‍යයට නොනැගුණු චිත්‍රපටත් තියෙනවා.

අනතුරුව අප හා කතාබහට එක් වූයේ ති. නා. චිත්‍රපට සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයකු වන හරේන් නාගොඩවිතානය.

ති. නා. චිත්‍රපට සමාගම D.V.D නිෂ්පාදනයට ප්‍රවිශ්ට වූයේ එය ලාභදායී ව්‍යාපාරයක් නිසාද?

වාණිජ අරමුණු නැතුව කිසිම ව්‍යාපාරයකට පැවැත්මක් නෑ. එත් අපි D.V.D ව්‍යාපාරයට අත ගැහුවේ මුදල් හොයන්න විතරක්ම නෙවේ. අපේ චිත්‍රපට සමාගමට අයත් සමහර චිත්‍රපට පසුගිය කාලයේ D.V.D හැටියට මා(ර්)කට් එකට ආවා. ඒවා තත්වයෙනුත් බාලයි. මිනිස්සු හිතන්නේ ඒවා නිෂ්පාදනය කළේ අපි කියලයි. ඒකෙන් වෙන්නේ ති. නා. කියන නම සවුත්තු වෙන එකයි. ඒක නිසා තමයි අපි තීරණය කළේ අපිට නීත්‍යානුකූල අයිතිය තියෙන චිත්‍රපට ච්.ඍ.ච් මාධ්‍යයෙන් වෙළෙඳ පොළට නිකුත් කරන්න.

මම හිතන්නේ 70 දශකයෙන් එපිට බොහෝ පැරැණි සිංහල චිත්‍රපටවලට පවා තවම හොඳ ඉල්ලුමක් තියෙනවා?

ඇත්තෙන්ම. මම හිතන්නේ ඒකට එක හේතුවක් තමයි ඒවායේ තියෙන ගීත. ඒ ගීත අදටත් ජනප්‍රියයි. සමහර පැරැණි ජනප්‍රිය ගීත Remix කරලා අලුත් චිත්‍රපටවලට පවා යොදා ගන්නේ ඒ ජනප්‍රියත්වය නිසයි. සිංදුවල කොලිටිය තවත් උස්සලා තමයි අපි D.V.D එක දාන්නේ. එතකොට චිත්‍රපටය නරඹද්දී ඒ ගීතමය ආශ්වාදය උපරිමව විඳගන්න පුළුවන්.

රිදී T. V. මඟින් විකාශය කෙරෙන ඇතැම් පැරැණි සිංහල චිත්‍රපටවල රූප රාමු, ශබ්ද තාක්ෂණය සෑහෙන්න දුර්වලයි. D.V.D මාධ්‍යයට එනකොට එවැනි තාක්ෂණික ගැටලු සඳහා යම් පිළියමක් තියෙනවාද?

අපි දැන් ක්‍රමවේදයක් හොයාගෙන යනවා. ඇත්තටම ඒ සිස්ටම් එක යුරෝපයේ තියෙන්නේ. මිල අධික මෘදුකාංගයක් තිබෙනවා. ඒක යොදගෙන අපි කරන්න හිතාගෙන ඉන්නේ ඔය පැරැණි චිත්‍රපටවල ඉරී යන ඒවා, පනින ඒවා, එතකොට වර්ණ බොඳ වෙලා තියෙන ඒවා හදන්න. ඒ සිස්ටම් එක මම දැනට ඉබභඤර කරගෙන යනවා. ඒ මාර්ගයට යන්න තමයි අපි හිතාගෙන ඉන්නේ.

දැනට කොපමණ චිත්‍රපට සංඛ්‍යාවක් ඔබ සමාගම සතුව තිබෙනවාද?

දළ වශයෙන් චිත්‍රපට පන්සියයකට අධික සංඛ්‍යාවක්. නමුත් සමහර චිත්‍රපටල D.V.D අයිතිය අපට නෑ. ඒ නිසා අපි ඒවාට අත තියන්නෙත් නෑ. නමුත් ඒවා රූපවාහිනී නාළිකාවල ප්‍රදර්ශනය කිරීමේ අයිතිය අපට තියෙනවා.

වෙළෙඳ පොළේ තිබෙන බොහෝ සිංහල චිත්‍රපට පිටපත් කරලා තියෙන්නේ බාල D.V.D වල. මේ නිසා පාරිභෝගිකයා ගෙවන මුදලට සාධාරණයක් ඉටු වෙන්නේ නෑ?

අපේ ප්‍රේක්ෂකයන්ගෙන් නිතරම අපට ඒ වගේ මැසිවිලි අහන්න ලැබෙනවා. සමහර චිත්‍රපට එක පාරයි ර්‍ථතචර වෙන්නේ. සමහර ඒවා දුවන්නේ නෑ. ඉතිං ඒ ගෙනිච්ච තැන්වලට ආපහු බාර දෙනවලු බැනලා. ඔහොම දේවල් වෙලා තියෙනවා. අපි අපේ D.V.D විධිමත් පරීක්ෂණවලින් පසුව තමයි වෙළෙඳපොළට නිකුත් කරන්නේ. මේ අපි පාවිච්චි කරන D.V.D වර්ගය දහ පාරක් බැලුවත් ප්‍රශ්නයක් වෙන්නේ නෑ.

ති. නා. ලේබලය යටතේ වෙළෙඳ පොළට එන D.V.D තව කාටවත් ඛ්ධනර කරන්න බැරිද?

හැම D.V.D නිෂ්පාදකයකු වගේම අපිත් මේකට Copy Protection එකක් දානවා. නමුත් සමහර සොෆ්ට් වෙයාර්වලින් ඒ ලොක් එක කඩන්නත් පුළුවන්කම තියෙනවා. අපි දැන් පිටරටින් මුද්‍රණය කරපු ස්ටිකර් එකක් D.V.D තැටියේ අලවනවා. අර හොලෝ ග්‍රෑම්ස් ස්ටිකර් කියන්නේ. දැන් මේක ඇතුළේ තියෙනවා සීක්‍රට් කෝවිස් තුනක් විතර. මේක බලන්න පුළුවන් අපට විතරයි. මේ ස්ටිකර් එක අපි ඇලෙව්වාම වෙන කවුරුවත් ළඟ ඒක නෑනේ.

චරිත් නාගොඩවිතාන ද ති. නා. චිත්‍රපට සමාගමේ කළමනාකාර අධක්ෂවරයෙකි. ඔහු අප වෙත හෙළිදරව් කරන්නේ සුවිශේෂී කාරණාවකි.

ළඟදීම අපි බ්ලූරේ තාක්ෂණයට එක්වෙනවා. මම හිතන්නේ මුල්වරට බ්ලූරේ තාක්ෂණයෙන් සිංහල චිත්‍රපට වෙළඳපොළට නිකුත් කරන්නේ අපයි. ඒ අදහස අපට ඇති වුණේ ‘සරසවිය’ කර්තෘ අරුණ ගුණරත්න මහතා එම තාක්ෂණය පිළිබඳ හෙළිදරව් කරමින් සරසවිය පුවත්පතට ලියූ කතුවැකිය නිසයි. එම නිසා එහි ගෞරවය ‘සරසවිය’ පුවත්පතට හිමි විය යුතුයි. මනුෂ්‍යත්වය, කස්තුරි සුවඳ, මාතලන්, මධු සිහින යන ජනප්‍රිය චිත්‍රපට තමයි අපි මුලින් බ්ලූරේ තාක්ෂණය යටතේ නිකුත් කරන්නේ.