වර්ෂ 2016 ක්වූ ඔක්තෝබර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




ඇත්තටම ඒ දවස සුන්දරයි

ඇත්තටම ඒ දවස සුන්දරයි

ගයනි ගිසන්තිකා

ගයනි ගිසන්තිකා වේදිකාවෙන් රංගනයට පිවිස, ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයෙන් ඉහළ ජනප්‍රසාදයක් දිනා සිනමාවේද තමන්ගේ ප්‍රතිභාව දක්වන දක්ෂ රංගන ශිල්පිනියක්. කාලයක් දිගු නිහඬතාවකින් පසුව මේ දිනවල ‘සල් සපු නා’ ටෙලි නාට්‍ය සමඟින් ඇය ඔබේ නිවහනට ගොඩවුනේ සුපුරුදු ළෙංගතුකමෙන්. වේදිකාවේ, පුංචි තිරයේ සේම රිදි තිරයේත් සම්මානනීය වෙමින් සාර්ථක ගමනක යෙදී සිටින ඈ අද අධචඤ බධ Road to Prestige  වෙත පැමිණියේ හොඳම සහය නිළියට හිමි සම්මානයත් සමඟින්. 2007 වසරේ සරසවිය සම්මාන උලෙළේ හොඳම සහය නිළියට හිමි සම්මානය දිනා ගත්තේ ඇය විසින්. ඒ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් අධ්‍යක්ෂණය කළ ‘අම්මාවරුණේ’ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන්.

ඔබ නැවතත් රංගනයට පිවිසුණේ කාලයකට පසුවයි. මේ දවස්වල අලුත්ම තොරතුරු මොනවාද ?

මේ දවස්වල තුසිත ද සිල්වා අධ්‍යක්ෂණය කරන ‘මන්දාරම්පුර’ ටෙලි නාට්‍යයේ රංගන කටයුතුවලට දායක වෙනවා. ඊට අමතරව නාලන් මෙන්ඩිස් මහත්මයාගේ ‘සල් සපු නා’ ටෙලි නාට්‍යයේ රූගත කිරීමුත් යෙදී තියෙනවා. මම ලංකාවට පැමිණි පසු මුලින්ම දායක වුණේ සුමිත් රත්නායකගේ ‘මද්දහන’ ටෙලි නාට්‍යයට. ඉන් පසුව අශෝක ආතාවුදහෙට්ටි අධ්‍යක්ෂණය කළ ‘තුන්පත් රෑන’ චිත්‍රපටයටත් සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කළ ‘සරිගමප’ චිත්‍රපටයටත් දායක වුණා.

වසර ගණනාවකට පසුව ලංකාවට ඇවිත් නිර්මාණවලට දායක වෙනකොට වෙනසක් දැනුණේ නැතිද?

කලා ක්ෂේත්‍රයේ ලොකු වෙනසක් සිදු වෙලා තියෙන බව දැනුණා. ගොඩක් අලුත් අය ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ වගේම මෙගා ටෙලි නාට්‍ය වැඩිවශයෙන් විකාශය කෙරෙන බවකුත් දැනෙනවා. ඒ අතරේ අපේ කලාකරුවන් සුපුරුදු විදියට වැඩ කරගෙන යනවා. ඉතින් මටත් ඒ අතරින් නිර්මාණ කිහිපයකට දායක වෙන්න අවස්ථාව ලැබුණා.

2007 වසරේ හොඳම සහය නිළිය වූ දිනය මතකද ?

ඇත්තටම ඒක සුන්දර දවසක්. ඊට පෙරත් මම සරසවිය සම්මාන උලෙළවලට සහභාගි වෙලා තිබුණත් එදා සම්මාන උලෙළ මට විශේෂ වුණේ මගේ නම හොඳම සහය නිළිය වෙනුවෙන් නිර්දේශ නාම අතරේ තිබුණු නිසයි. සම්මානය ලැබීම නොලැබීම හෝ තරගකාරිත්වයක් ගැන නොවුනත් නිර්දේශය නාම අතරට එක්වීම නිසා පොඩි චකිතයක් හිතේ තිබුණා.

සරසවිය සම්මාන උලෙළ සිනමාව වෙනුවෙන් පැවති සුවිශේෂ සම්මාන උලෙළක්. කවුරුත් අතරේ කතාබහට ලක්වෙන එහිදී සම්මානයක් ලැබෙනවා කියන එක කලාකරුවෙකුට තම ජීවිතයේ වටිනාම අවස්ථාවක්. ඉතින් මටත් එහිදී සම්මානයක් හිමිවීම භාග්‍යයක් කොට සලකනවා.

ඒක විශේෂ සතුටක්?

සම්මානයකින් පිදුම් ලැබීම රංගනයේදී ඕනෙම නළුවෙකුගේ නිළියකගේ හීනයක්. බලාපොරොත්තුවක්. ඒ කාලයේ සිනමාව වෙනුවෙන් සම්මාන උලෙළ ගොඩක් තිබුණේ නැහැ. සරසවිය සම්මානයක් ලබන්න ඕනෙම කලාකරුවෙක් ආසයි. ඒ ඔස්සේ ඇගයීමට ලක්වෙනවා නම් ඒක විශාල භාග්‍යයක්. ඒ වගේම තමන් නිර්මාණයකට දායකවීම පිළිබඳ ඇගයීමක්. එදා ඒ ඇගයීම මට හිමි වුණා. ඒ සතුට විශේෂයි.

එදා ගොඩක් සුබ පැතුම් එහෙමත් ලැබෙන්න ඇති?

එහිදී විශේෂයෙන් මාලිනි අක්කා සිහිපත් කළ යුතුයි. ‘අම්මාවරුණේ’ ප්‍රධාන චරිතය නිරූපණය කළේ ඇය යි. ඇය චිත්‍රපටයේදී රංගනයට ලොකු සහයෝගයක් ලබා දුන්නා වගේම සම්මානය ලැබුණු වෙලාවේදීත් සුබ පතමින් ආශිර්වාද කළා. රොෂාන් ඇතුළුව චිත්‍රපටයේ අනෙකුත් නළු නිළියන් වගේම එදා සරසවිය සම්මාන උලෙළට පැමිණි බොහෝ දෙනෙක් මට සුබ පැතුවා.

ඔබ සම්මානනීය කරවූ ‘අම්මාවරුණේ’ චිත්‍රපටයට රංගන වරම් ලැබුණේ කොහොමද?

මං ඒ වෙනකොට ලින්ටන් සේමගේ අධ්‍යක්ෂණය කළ ‘මගේ වම් අත’ චිත්‍රපටයටත් අශෝක හඳගමගේ තනිතටුවෙන් පියාඹන්න චිත්‍රපටයටත් දායක වෙලා තිබුණා. ලෙස්ටර් මහත්මයා සහ සුමිත්‍රා මහත්මිය ඒ චිත්‍රපට දෙකම නරඹලා මගේ රංගනය පිළිබඳ පැහැදිලා තිබුණේ. ඒ හරහා ඇති වුණු විශ්වාසය මත තමයි මට ‘අම්මාවරුණේ’ චිත්‍රපටයේ රංගනයට ආරාධනා කළේ.

එහිදී ඔබ පණ දුන් ‘ප්‍රේමලතා’ නම් ගැමි චරිතය ගැනත් කියමු?

ප්‍රේමලතා චරිතය පොල් අතු පැලක ජීවත් වෙන, හාල් පොලන, වී කොටන බොහොම මහන්සි වී වැඩ කරන තරුණ ගැමි චරිතයක්. මම විශේෂයෙන් ලොකු මහන්සියක් දරලා ඒ චරිතය ගැන අධ්‍යයනය කළේ නැහැ. දර්ශන තලයේදී කලා අධ්‍යක්ෂවරයා වගේම රූගත කිරීම් නරඹන්න පැමිණ සිටි ගමේ කාන්තාවන් එහෙමත් මට යම් යම් උපදෙස් දුන්නා. ඒ වෙලාවේ රූප රාමුවට ආදාළ දේ එතැනදීම පෙර පුහුණුවීමක් කළා.

‘අම්මාවරුණේ’ චිත්‍රපටයේ දර්ශන තලයේදී මහා සිනමාකරු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා සමඟින් කටයුතු කළ මතකය සිහිපත් කළොත්?

ජාත්‍යන්තර කීර්තියට පත් ලෙස්ටර් මහත්තයාගේ චිත්‍රපටයක රඟපාන්න අවස්ථාව ලැබීම ලොකු වාසනාවක්. ඇත්තටම ‘අම්මාවරුණේ’ චිත්‍රපටයේ දර්ශනතලය රංගනය පිළිබඳ වටිනා පාඩමක් වුණා. ඒ වගේම රංගනයේදී අපට අපේ චරිත හදාගන්න එතුමා ලොකු නිදහසක් දීලා තිබුණා. මොනම වෙලාවක පොඩි පීඩනයක්වත් හිතට දැනුණේ නැහැ.

ඒ විතරක් නෙවෙයි එතුමා නිරන්තරයෙන් අප ඇගයීමත් විශේෂයි. රංගනය වෙනුවෙන් ගොඩක් වටිනා උපදෙස් රැසක් ලබා දුන්නා. කවදාවත් එතුමා දර්ශන තලයේ කෑගහන අධ්‍යක්ෂවරයෙක් නෙවෙයි. බොහොම නිහතමානිව කටයුතු කරන සෞම්‍ය අධ්‍යක්ෂවරයෙක්. එතුමාගේ අවසන් චිත්‍රපටය වූ ‘අම්මාවරුණේ’ චිත්‍රපටයේ රඟපාන්න ලැබීමත් ඒ වෙනුවෙන් සම්මානයක් හිමි වීමත් එදා නවකයෙක් විදියට මා ලද වටිනාම අවස්ථාවක්.

ඔබ වේදිකාව, පුංචි තිරය වගේම සිනමාව තුළත් සුවිශේෂි රංගන කාර්යයක නියැළී සිටින නිළියක්. මේ ක්ෂේත්‍ර තුනටම දායකවීම අභියෝගයක් නෙවෙයි ද?

මේ ක්ෂේත්‍ර තුනම ගත්තොත් රංගනයේ පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. ඒ නිර්මාණ හරහා අධ්‍යක්ෂවරු අවබෝධ කරගෙන ඒ නිර්මාණවලට දායක වෙනවා නම් ගැටළු ඇති වෙන්නේ නැහැ. මගේ රංගන ජීවිතය ආරම්භ වුණේ වේදිකාවෙන්. මම වැඩියෙන්ම දායක වුණේ ටෙලි නාට්‍යවලටයි. ඇත්තටම මේ අතරින් මා වඩාත්ම කැමැති ක්ෂේත්‍රය සිනමාවයි.

පුංචි කාලයේ අනාගත බලාපොරොත්තුව වුණෙත් නිළියක් වෙන්නද?

මට එහෙම බලාපොරොත්තුවක් නම් තිබුණේ නැහැ. රංගනයට කැමැත්තක් ඇති වෙන්න හේතුව වුණේ චිත්‍රපට නැරඹීමයි. ඒ වුණත් මං කවදාවත් නළු නිළියන්ගේ පින්තූර එකතු කළේ නැහැ. සිනමා ක්ෂේත්‍රය ගැන පොඩි ආසාවක් තිබුණා. සාමාන්‍ය පෙළ අවසන් කරලා ඊළඟට වෘත්තිය තෝරා ගන්නේ කුමක්ද කියන ප්‍රශ්නෙට මගේ පිළිතුර වුණේ ‘නිළි වෘත්තිය’ කියන එකයි. හැබැයි ඒ වෙනකොට මම කිසිම කලා නිර්මාණයකටවත් දායකවෙලා තිබුණේ නැහැ. මං හිතන්නේ පෙර ආත්මක සිට මේ ක්ෂේත්‍රයට එන්න හිතාගෙන ඉන්න ඇති.

1993 වසරේ සිට අද දක්වා කලා ක්ෂේත්‍රයේ පැමිණි ගමන ගැන තෘප්තිමත්ද?

ඇත්තටම රංගන ක්ෂේත්‍රය තෝරා ගත්තා කියා කනගාටු වෙන්න මට මොනම හේතුවක්වත් බලපෑම් කරලා නැහැ. ඒ වගේම කිසිම ආකාරයේ අවැඩක් සිදුවෙලත් නැහැ. අනේ මම දැන් නිළියක්. ඒක මොනතරම් කරදරකාරි වෘත්තියක්ද? ලබන ආත්මෙක නම් මාව නිළියක් වෙන්න එපා කියලා කවදාවත් ප්‍රාර්ථනා කරන්නේ නැහැ. මම යමක් උපයාගෙන තියෙනවා නම් නිළි වෘත්තියෙන් පමණයි. මම මේ ක්ෂේත්‍රයට බොහොම ආදරෙයි. ඒ වගේම ගරු කරනවා.

ඒ වෙනුවෙන් විශාල කැපවීමක් කරනවා. ඇත්තටම ඔබ නරඹන නිර්මාණ තරම් නිර්මාණ බිහි කරන කාලය සුන්දර නැහැ. සමහර දවසට උදේ පාන්දර පටන් රාත්‍රී වෙනකල් රූගත කිරීම් යෙදෙනවා. මහ රෑ රූගත කිරීම් ඉවර වෙලා ගෙදර එන්නේ ඊළඟ දවසේ උදේ පාන්දර. ඒක ඇත්තටම දුෂ්කර ක්‍රියාවක්. එහෙම කියලා කවදාවත් කලකිරීමක් නැහැ. මම අලුත් දේවල් සොයමින් සිතමින් අලුත් නිර්මාණවලට දායක වෙන්න කැමැති කෙනෙක්. ඒ නිසා පොඩි පසුතැවිල්ලක්වත් නැහැ.